ශ්‍රී ලංකා රජයත් එල් ටී ටී ඊ යත් අතර දශක තුනක් තිස්සේ කෙරුණු යුද්ධය පසුගිය වසරේ මැයි මාසයේදී අවසන් විය. ‛‛මානුෂික මෙහෙයුම’’ යයි රජය විසින් හැඳින් වූ මහා සටනකින් පසු එල් ටී ටී ඊ ය යුදමය වශයෙන් මුළුමනින්ම පරාජය කර දැමුණි. නිමාවක් නැති මරණය සහ විනාශය අත් දුටු, ලක්ෂ්‍ය සංඛ්‍යාත ජනකායකට කඳවුරු ජීවිතය උරුම විය.
ඒ මුරුගසන් වරුසාව නිමා වී දැන් අවුරුද්දක් ගෙවී ගොසිනි.
අවුරුද්දක් යනු දිගු කාලයකි.
කඳුළ ද වේදනාවද කිසිදා පහව නොයන මුත්, තමා අවට ඇති ඉතුරු වූ ජීවිතද, බැඳගෙන ආ පොට්ටනිවල ඇති මොන මොනවා හරි ද සමග නැවත ජීවිතය අරඹන්නට ආත්ම ධෛර්යය කැඳවා ගන්නට දැන් මේ මනුෂ්‍යයන් වෙර දරන බව කිලිනොච්චිය පසුකර යාපනයට යන මාර්ගයේදී ඇසූ දුටු දේ වලින් මට අවබෝධ විය.
වසර තිහක් පුරා සිදු වූ අති මහත් විනාශය හමුවේ නැගී සිටින්නට මේ මිනිසුන්ට තනිව නොහැකිය. ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම්වත් සපයා දීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි. නමුත්, පුපුරා ගිය උතුරේ දෙමළ ජාතිකයන්ගේ හදවත් යම් තරමකට හෝ දිනා ගැනීමට දකුණට ලැබෙන මේ අවසාන අවස්ථාව ද නිවැරදිව හසුරුවා ගන්නට රටේ නායකයන්ට අවංක අව්‍යශතාවක් ඇති බව තවමත් නොපෙනේ. මහා ජීවිත සහ දේපල විනාශයකින් පසුව වුව ඉතිහාසය විසින් මේ අපට උදා කර දී ඇත්තේ විරළ මහාර්ඝ අවස්ථාවකි. දෙමළ ජනයා වෙනුවෙන් යැයි කියමින් සටන් වැදුණු එල් ටී ටී ඊ ය විනාශ වී යෑමත් සමග දෙමළ සමාජයේ ඇති වූ උභතෝකෝටික රික්තය තුළ, දකුණේ ආණ්ඩුව සහ සිංහල ජනයා කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් ජනිත කරවීමට යොදා ගත හැකිව තිබූ මේ අවස්ථාව ද, ඉතිහාසයේ හැම වරකම සිදු වුණාක් මෙන් ජාතිවාදය සහ කූට බල ලෝභිත්වය විසින් වෙළා ගත් දකුණේ ආණ්ඩුව විසින් වරද්දා ගනිමින් සිටින බව පෙනේ.
උතුරු වසන්තය කොහේටද?
යුද්ධය නිමා වී මාස කීපයක් යන විටම ආණ්ඩුව විශාල මානුෂික මුහුණුවරක් ගත්, යෝධ ප්‍රචාරණ ව්‍යාපාරයක් ඇරඹූයේ, ඉතා කෙටි කලකින්ම උතුරට වසන්තය උදා කරවන බව කියමිනි. මේ සංවර්ධන සැලසුම්වලට ප්‍රකෝටි ගණනින් විදේශ ආධාර ද ලැබුණු බව අපි දනිමු. නමුත් යාපනයට යන මාර්ගයේ තවමත් වසන්තයක සලකුණකවත් පෙනෙන්නට නැත. යුද්ධයෙන් කඩා වැටී ගිය පාසැල්, රෝහල් ඇතුළු ගොඩනැගිලි තවමත් ඒ විදියටමය. කිලිනොච්චියේ ඒ 9 පාර අද්දරම ඇති එක් පාසැලක දරුවන් දහ පහළොස් දෙනෙක් පොල් අතු වලින් සෙවිලිකළ මඩුවක අකුරු කරනවා අපි දුටුවෙමු. ඒ පාසලේ සියලුම ගොඩනැගිලි වල වහල ගැලවී ගොසිනි. තමන් කලින් පදිංචි වී සිටි තැන්වලට ආපසු යන්නට ඉඩ දී කඳවුරු වලින් මුදා හැර ඇති අනාථයන්ට ටකරං කෑලි කීපයක් සහ සිමෙන්ති කොට්ට දෙක තුනක් ඇරෙන්නට වෙන දෙයක් ආණ්ඩුවෙන් ලබා දී නැත. තමන්ගේ ගෙවල් දොරවල් තිබූ තැන්වල, මැටි ගසා අටවා ගත් පැලක හෝ විදේශ සහන සේවා ආයතනයකින් ලැබුණු කූඩාරමක හෝ ජීවිතය පටන් ගන්නට හදන කේඩෑරි ගැහැණු මිනිසුන් ඒ 9 පාර දිගේ අපට හමුවූහ. ඔවුන් සමග කළ කතා බහින් අපට හෙළි වූයේ, කඳවුරෙන් එළියට එන විට ලබා දුන් රුපියල් 5000 කට අමතරව රජයෙන් වෙනත් කිසිම දෙයක් ලැබී නැති බවයි. ඇතැමුන්ට ඒ පන්දාහවත් ටකරං වත් ලැබී නැත. ඉටි රෙදි වලින් වහල දාගෙන, සාරි කෑලි වලින් බිත්ති හදාගෙන, විනාශ වී ගිය ගෙවල් වලම සමහර පවුල් පදිංචි වී සිටිති. බොහෝ පවුල් වල පිරිමි ඉතුරු වී නැත. එවැනි පවුල්වල කැලෑ කපා කොටා ගෙවල් බැඳ ගැනීම, ලිං ඉහ ගැනීම ඈ සෑම සියලු දේම කරගන්නට ඉන්නේ ගැහැණු පමණකි.
යාපනයේදී අපට හමු වූ අයගෙන් උතුරු වසන්තය වැඩසටහන ගැන අපි විමසූවෙමු. බොහෝ දෙනෙක් ඒ වචන දෙක අසා තිබුණේවත් නැත. අසා තිබුණු අය ඒ ගැන දැනගෙන තිබුණේ ආණ්ඩුවේ පත්තරවලිනි.
යුද්ධයෙන් පසුව යාපනයේ ආර්ථිකයේ ඇති වී ඇති වෙනස්කම් මොනවාදැයි සොයා බැලූ විට අපට දැනගන්නට ලැබුණේ උතුරේ ජනතාව කෙසේ වෙතත් සමාගම් ව්‍යාපාරිකයන් සහ මහා පරිමාණ වෙළෙන්දන් නම් වසන්තය උරගා බලන්නට වැඩ අල්ලා ඇති බවයි. එච් එස් බී සී, හැටන් නැෂනල්, සම්පත්, ආදී සියලුම බැංකු යාපනයේ තම ශාඛා විවෘත කර ඇත. ‛‛ ඒ බැංකු මෙහේ ඇවිත් කළේ මිනිස්සුන්ගෙ සල්ලි ටික අද්ද ගත්ත එක විතරයි. දුප්පත් මිනිහට නැගිටින්න, ගොවිතැන, ධීවර කර්මාන්තය දියුණු කරගන්න ඒවායින් අපට කිසි සහනයක් ලබා දෙන්නේ නෑ. පෝසත් මිනිස්සු බැංකුවල සල්ලි දැම්මා. බැංකු ඒවා ඇදගෙන ලාභ උපයා ගන්නවා. එච්චරයි. අපට ඇති සෙතක් නෑ’ ඒවායේ රැකියාවලට ගන්නෙත් වැඩිපුරම පිට අයව. දැන් යාපනේට එළවලු ගේන්නෙත් දඹුල්ලෙන්. අඹ හිටන් දඹුල්ලෙන් ගෙනත් මෙහේ විකුණනවා. ඇත්තටම යාපනේ ගොවියන්ට තමන්ගේ නිෂ්පාදන විකුණගන්න වෙළෙඳ පොළක් නෑ. දකුණෙන් ආපු අය තමයි දැන් යාපනේ මාර්කට් එක අල්ලගෙන ඉන්නෙ. ඇත්තම කියනවනම් යුද්දෙන් පස්සෙ වුණේ, උතුරේ මිනිස්සුන්ගෙ ආර්ථිකය දියුණු වෙච්ච එක නෙමෙයි. පිටින් ආපු අයට මෙහේ වෙළඳ පොළ අල්ලගන්න ඉඩ ලැබුණු එකයි. යාපනේ ගොවියො කබලෙන් ලිපට වැටුණා. ධීවරයන්ට මාළු අල්ලන්න යන්න තිබිච්ච තහනම් ඉවත් කළා ඇරෙන්න වෙන කිසිම පහසුකමක් ආණ්ඩුව සපයලා නෑ. මෙහේ මිනිස්සු තාමත් මාළු අල්ලන්නේ යල් පැන ගිය ක්‍රම වලින්. ඒ අයට දියුණු තාක්ෂණ ක්‍රම ගැන දැනුමක් වත්, යන්ත්‍ර සූත්‍රවත් නෑ. ඉතිං තරඟකාරී වෙළඳ පොළකට ඔරොත්තු දෙන්න හුඟාක් අයට බැහැ. උතුරු වසන්තය කියලා ආණ්ඩුව කියන්නේ මේකද?’’ ඒ අප සමග කතා කළ යාපන වැසියන් කීප දෙනෙකුගේ අදහස්.
යාපනයේ මාර්කට් එකේදී අපට හමු වූ තවත් අයෙක් කියා සිටි දෙයක් මේ. ‛‛ අපේ ලූනු අස්වැන්න නෙලන්න ලෑස්ති වෙන කොටම ආණ්ඩුව කරන්නේ ඉන්දියාවෙන් ලූනු ගෙන්නන එක. ඉතිං අපේ ලූනු මෙහේ කුණු වෙලා යනවා. කිසිම සැලැස්මක් ඇතුව නෙමෙයි ආණ්ඩුව වැඩ කරන්නෙ. දැන් ඕනෑම කෙනෙකුට යාපනේ ඇවිත් බිස්නස් කරන්න පුළුවන්. අපේ සංස්කෘතිය, අපේ පැරණි සම්ප්‍රදායන්…ඒවා ගැන කිසිම තැකීමක් කාටවත් නෑ…’’
දකුණේ අපට නිතර ඇස ගැටෙන දෙයක් උතුරේ ඇත්තේ නම්, ඒ ඩයලොග් දැන්වීම් පුවරුය. ඒ 9 පාර දිගටම ඝණ කැලෑ රොදවල් අස්සෙන් එසවී සිටින පතාක ඩයලොග් බිල්බෝඩ් දැක ගත හැක. ප්‍රධාන පෙලේ දුරකතන සමාගම් සියල්ලම පාහේ උතුරේ ව්‍යාපාර අරඹා ඇත. එය යහපත් දෙයක් බව සැබෑය. දුරකතන පහසුකම් ඇතුළු සන්නිවේදන තාක්ෂණය උතුරට ලැබීම අතිශයින්ම සාධනීය දෙයකි. නමුත් සේවා සපයන සමාගම්වලට පමණක් උතුරේ වෙළඳපොළ විවෘත කර බලා සිටීමෙන් රජය ආර්ථිකයේත් සමාජ සංස්කෘතික ජීවිතයේත් ඇති කරන්නේ විකෘතියකි. පෞද්ගලික ආයතන වට ඉඩ දෙනවාට සමාන්තරව නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීම සඳහා රජය දැවැන්ත ලෙස මැදිහත් විය යුතුය. කෙසේ වෙතත් දකුණේද විකෘති ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනයන මේ ආණ්ඩුව, උතුරේ කරන දේවල් ගැන අකම්පාල වීමෙන් පලක් නැත.
යාපනයේ තැන තැන රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. අපට දැනගන්නට ලැබුණේ එම ඉදිකිරීම් වැඩබිම්වල පෙදරේරුවන් සහ අත් උදව් කරුවන් පවා බොහෝ විට දකුණෙන් පැමිණෙන අය බවයි. සැබවින්ම උතුරේ වැසියන්ට සිදුවී ඇත්තේ, තමන් කොටස්කරුවන් නොවන, තමන්ගෙ නිජබිමේ දෑස් අද්දර සිද්දවෙන සංවර්ධනය යන නමින් පින්තාරු කර ඇති විකෘතියක් දෙස අසරණව බලා සිටීමටයි.
ජනතාව වෙනුවට හමුදාව
යුද්ධයේ නිමාව පැහැදිලිව පෙන්නුම් කරන්නේ හමුදාවයි. ඒ 9 පාර දිගටම මීටර් 200 ක පමණ පරතරයක් සිටින සේ හමුදා බංකර්ය. ඒ බංකර් යුද්ධය කාලයේ මෙන් නොව, නිවිසැනසිල්ලේ හුරුබුහුටියට හදාපුවාය. ඇතැම් බංකර් වල උළු වහලවල් රටාවකට තීන්ත ගා ඇත. යුද්ධයේ නිමාවේ සහනය පිළිඹිබු කරමින් සොල්දාදුවෝ නිදහසේ වගා බිම් කොටමින්, එළවළු පාත්ති වලට වතුර වත්කරමින් සිටිනවා පාරේ යන ඕනෑම කෙනෙකුට පෙනෙන දසුනකි. කිලිනොච්චි නගරය පසු කරමින් යන විට මීටර් 400 ක් පමණ දිගට පාර දෙපස අතුරා ඇති කොන්ක්‍රීට් ලෑලි සහ ජනෙල් තොගයක් අපි දුටුවෙමු. මේ නම් උතුරු වසන්තයේ යටතේ අවතැන් ජනයාට නිවාස ඉදි කරන්නට ගෙනා ඒවා විය යුතුයැයි සිතූ නමුත්, යාපනයේදී හමු වු අයෙක් අපට කිව්වේ ඒවා ඉදි කරන්නට නියමිත හමුදා කඳවුරක් සඳහා ගෙනා ඒවා බවයි.
පාර දිගේ ‛‛ජන අවන්හල’’ නමින් හමුදා සුබ සාධක සංගම් විසින් පවත්වාගෙන යන ආපනශාලා ඉදි කර ඇත. ඒවායේ සියළුම ආවතේව කෙරෙන්නේ හමුදා සොල්දාදුවන් අතිනි. අප දවල් කෑමට නතර කළ කිලිනොච්චි නගරයේ ඇති එවැනි එක් ජන අවන්හලක හරක් මස්ද තිබුණි.
උතුරු මිතුරු?????
යුද්ධය අවසන් වී ඉතා කෙටි කලකින් ආණ්ඩුව භාවාතිශය දැන්වීමක් විද්‍යුත් මාධ්‍යවල පළකරමින් යාපනයට යන රේල් පාර නැවත ඉදිකරන්නට අරමුදල් එකතු කරන බව කියමින් දැවැන්ත වැඩසටහනක් දියත් කළේය. පාසල් දරුවන් අතරේ ටිකට් අලෙවි කළේය. ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කෙරිණ. නමුත් යුද්ධය නිම වී අවුරුද්දක් ගත වීත්, තවමත් වවුනියාවෙන් එහාට ටික දුරක් ඇරෙන්නට රේල් පාර ඉදි වී නැත. අතර මග ඇති විනාශ වී ගිය කිසිදු දුම්රිය ස්ථානයක් අලුත්වැඩියා කරන්නට පටන්ගෙන නැත. යාපනයේ සිට කොළඹ බලා එන විට වෑන් රියේ වූ රේඩියෝවේ කුමක් හෝ චැනලයක ගිය ප්‍රවෘත්තියකින් කියනවා ඇසුණේ, උතුරු මිතුරු අරමුදලට එකතු වුණු මුදල් වලට සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමට අධ්‍යාපන ඇමතිවරයා උත්සුක විය යුතුයැයි ගුරු සංගම් නියෝජිතයන් බල කර සිටින බවයි. ඒ කියන්නේ උතුරු මිතුරු පාලමත්, ආණ්ඩුවේ දැවැන්ත මගෝඩියක් වී ඇති බවද?
අසංවේදී සිංහල බෞද්ධ කම
ආණ්ඩුවේ අසංවේදීකම පෙන්නුම් කරන තවත් පැහැදිලි කාරණයක් වන්නේ, ඒ 9 පාර දිගේ ලහි ලහියේ අලුත්වැඩියා කෙරෙන බෞද්ධ විහාරයි. කිලිනොච්චියේ වටේ පිටේ සියලු විනාශ වී ගිය ගොඩනැගිලි නටබුන් මැද්දේ ලුම්බිණි විහාරය අලුත්වැඩියා කර ඇත්තේ දකුණේ සිට යාපනය බලන්නට යන බෞද්ධයන්ට වැඳුම් පිඳුම් කරන්නටද? බෞද්ධ කොඩි පෙළක් ඒ ඉදිරියෙන් සුළඟේ වැනෙයි. පාර හරහා තොරණක, ‛‛බුදු සසුන බැබළේවා’’ යැයි විශාලෙට ලියා ඇත. බෞද්ධයකු වන මට එය දැකීමෙන් සැබවින්ම හටගත්තේ මහත් ලැජ්ජාවකි. ඉතිහාසය පුරාම දෙමළ ජන සමාජයට අප පෙන්නා ඇත්තේ මේ අසංවේදීකමයි. අප නැවත නැවතත් ඉදිරි පරපුරු කිහිපයක විනාශය කටින ඒ අශ්ශීල අසංවේදීකමම ප්‍රකට කරමින් සිටිමු.
විනාශ වී ගිය නටබුන් මැද්දේ තේජාන්විත යුද ස්මාරක නැගී සිටියි. යුද ස්මාරක ඉදි කිරීම නොකළ යුතුයැයි මම නොකියමි. නමුත්, එල් ටී ටී ඊ යේ මහ විරු සොහොන් බිමට සමතලා කොට, යාපනයේ නල්ලූර් කෝවිල අසල තිබූ තිලීපන් පිළිරුව බිමට සමතලාකොට, රජය විසින් ඉදි කළ යුද ස්මාරක පමණක් ඉතිරි කිරීමෙන් අප උත්සහා ගන්නේ ඉතිහාසයේ පිටු ඉරා දමා විකෘති පින්තූරක් ඉතිරි කරන්නට නොවේද? තම ජීවිතය පරදුවට තබා අලිමංකඩදී බෝම්බ පිරවූ ට්‍රක් රථයට පැන්න හසලක ගාමිණී අනභිභවනීය වීරයෙකි. ඔහු වෙනුවෙන් ස්මාරක ඉදි විය යුතුය. එසේම අප අකමැත්තෙන් වුව අමතක නොකළ යුතු කාරණය වන්නේ, තමන් විශ්වාස කළ දෙයක් වෙනුවෙන්, තමන්ට භුක්ති විඳින්නට නොලැබෙන අනාගතයක් වෙනුවෙන් තම ජීවිතය පුපුරවා ගන්නට සූදානම් වූ ස්වයං නාශක බෝම්බ කරුවන් සිය ගණනක් එල් ටී ටී ඊ යට ද සිටි බවයි. මානව වීරත්වය යන අර්ථයෙන් ගත්විට ඔවුන්ද සුවිශේෂී වීරයෝය. ඔවුන් විශ්වාස කළ දේ අප ප්‍රතික්ෂේප කරන්නේය යන කාරණය මෙතනදී අදාළ වන්නේ නැත. එදා දුටුගැමුණු එළාර වෙනුවෙන් සොහොනක් කළාක් මෙන් ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව ස්මාරක ඉදි කළ යුතු නැත. නමුත් ඔවුන් සිටි බව කියවෙන සොහොන් කොත් කඩා බිඳ දැමීම නැවත වරක් දකුණේ සිංහලයන්ගේ අමනෝඥ අසංවේදීකම ප්‍රකට කිරීමක් පමණි.
කිලිනොච්චියේ බිමට පෙරළා දමා ඇති යෝධ වතුර ටැංකියේ ඇතුළු බිත්තිවල දකුණෙන් යන අය ලියා ඇති වැකි කියවන විට මට යළි යළිත් සිංහල සමාජය, සහ ඒ සමාජයට මතවාද කවන දේශපාලන නායකයන් ගැන ඇති වන්නේ මහත් කළකිරීමකි. ඒ වතුර ටැංකිය බිම පෙරළුයේ එල් ටී ටී ඊ යද රජයේ හමුදාවද යන්න තම තමන්ගේ ජාතිකාභිමානයට ගැළපෙන පරිදි සිතා ගත හැකිය. නමුත් ඒ යෝධ ටැංකිය දරා සිටියේ වතුර බව කිසිවෙකුටත් සැකයක් නැත. ‛‛ජයවේවා’’ කියා ලොකු අකුරින් පොළොව බදා ගෙන වැතිරී සිටින ටැංකි බඳේ අප ලියන්නේ කා වෙනුවෙන්ද?
ලොරි, වෑන්, බස්වල පොල්මල් බැඳගෙන, සිංහ කොඩි ඔසවාගෙන පපු ජාතිකාභිමානයෙන් පුම්බාගෙන දකුණේ සිංහල ගම්වල ජනයා යාපනේට විනෝද චාරිකා යෑම, යුද්ධය නිමා කොට අප ඇති කළ ජනවාර්ගික සහජීවනයේ ප්‍රතිඵල යැයි කියා දකුණේ නායකයෙන් පාරම්බානවා අපට ඇසේ. උතුරු මිතුරු, උතුරු වසන්තය ඈ නොයෙක් හැඟීම්බර නම්වලින් ඇති වැඩසටහන් මාධ්‍ය වල පුම්බමින් වත්මන් පාලකයන් ගෙන යන පුහු ප්‍රචාරකවාදී පිළිවෙත, ශ්‍රී ලාංකීය සමාජය ඇද ගෙන යන්නේ, පෙර අත්දුටු විනාශයට වඩා කිහිප ගුණයකින් වැඩි විනාශයකට බව අවාසනාවකට මෙන් වැටහෙන්නේ මේ රටේ අතසොල්සක් ජනයාට පමණකි.
පසුවූයේ කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් පෝසටර් අලවමින්, දැන්වීම් පළ කරමින්, පතාක පුවරු ඉදිකරමින් මැතිවරණ කළ වසරකි. පරහිතකාමීත්වයම දිවියේ අරමුණ කරගත් ඒ කවුරුන් හෝ එක පෝස්ටර් වටයක් අච්චු ගසන මුදල් වියදම් කළේ නම් අර අප දුටු පොල් අතු මඩු පාසලේ ගොඩනැගිලි වල වහල සාදා දෙන්නට තිබුණි.
දැන් ඉතිං සියලු පොර අල්ලා දිනාගත යුතු සියල්ල දිනාගෙන අවසන්ය. ආණ්ඩුවට කරනවා නම් නිවිසැනසිල්ලේ මොනවා හෝ කළ හැකිය.
අවුරුද්දක් යනු දිගු කාලයක් බව සැබෑය. නමුත් තවම පමා නැත….
සියලු ඛේදවාචකයන්ට මුහුණ දී වුවත්, උතුරේ ජනතාව තවමත් දකුණේ සිංහලයන් සමග සහෝදරත්වයෙන් බැඳෙන්නට සූදානම් බව අපට මේ සියලු දේ මැද්දේත් පසක් වූ කාරණයයි. එළඹී ඇති මේ අවස්ථාව ගිලිහී යන්නට ඉඩ දෙතොත් ඒ වූ කලී, රටේ වත්මන් පාලකයන් ඉදිරි පරම්පරා ගණනාවකටම කරන මහා සාපයකි. එසේම යුද්ධය උදෙසා ජීවිතය දුන් දහස් ගණන් සෙබළුන්ගේද, යුද්ධයෙන් වැනසී ගිය ලක්ෂ ගණන් වැසියන්ගේද ආත්මයන් පාවා දීමකි.
මේ මොහොත ගිලිහෙන්නට නොදී, ඉතිහාසයේ ආශ්චර්යයමත් හැරවුම් ලක්ෂ්‍යයක් කර ගැනීම සඳහා රටේ නායකත්වයට ප්‍රඥාවත් සංවේදීබවත් පහළ වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.