ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය පහු වෙලා පැය කිහිපයක්..! ඉස්සරනම් මාර්තු 8 කියන්නෙ අපිට සුවිශේෂී දිනයක්, දැන් ඇත්තටම එහෙම දැනෙන්නෙ නැහැ. කොහේහරි කවුරුහරි මොනවාහරි කරනබව දන්නවා, ඒත් ඒවා ගැන හොයන්නවත් සම්බන්ධ වෙන්නවත් ලොකු උනන්දුවක් දැනෙන්නේ නැහැ. එක විදිහකට ඒ වැඩවලටත් අයිතිකාරයෝ ඉන්නවා. අපි ඒවලට ගියත් අපිත් කොටස්කාරයො විදිහට දැනෙන්නෙ නැති තරමට මේ හැම කණ්ඩායමක්ම ගෝත්‍රික වෙලා….අනිත් අතට මේ එක දිනයක්වත් සමරන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා….
කාන්තා දින සමරන්න පටන් ගෙන අවුරුදු ගණනාවක් ගිහින් තිබුණත් ලංකාවට විදේශ විනිමය හොයල දෙන්න ඇස් ඉස් මස් ලේ දන් දෙන මැදපෙරදිග ගෘහ සේවිකාවො, ගාමන්ට් කෙල්ලො සහ තේ දළු නෙලන ගෑනු වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? ඒ අය වෙනුවෙන් කථාකරන පෙනිහිටින එකත් අන්තිමට ප්‍රොජෙක්ට් එකක් බවට පත්වෙලා. අවසානෙදි සිද්ධ වෙන්නෙ සුපුරුදු ලෙසම ප්‍රොජෙක්ට් එක කරන අයගේ සහ ඒ අයගේ යාළුවන්ගේ පවුල් නඩත්තුවීම… ඒ අයගේ ජීවිත විශාලවීම… අර තුන්ගොල්ලොම හිටපු තැන්වලමයි..!
බරපතලම කාරණය වශයෙන් මට දැනෙන්නෙ උතුරු නැගෙණහිර ජීවත්වෙන ගෑණුන්ගෙ තත්ත්වය කෙරෙහි අපේ මැදිහත්වීම, අවුරුදු ගාණක් ඇදිල ගිය යුද්ධ තත්ත්වය තුලත් අපි කොළඹ කාන්තා දින සැමරුවා, සමහරවිට උතුරේ හෝ නැගෙනහිර යා ගන්න පුළුුවන් නගරෙකට ගිහින් ඒක සැමරුවා, ඒත් ඇත්තටම ඒ අම්මලා, ඒ තරුණ ගෑණු මූණ දෙමින් හිටි කටුක ඇත්තෙන් අපි මගහැරියා, අපි පැන්නා..(බොහෝ අවස්ථාවල ප්‍රොජෙක්ට් එකේ මැන්ඬේට් එකේ ඊට වඩා දෙයක් කරන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ).. යුද්දෙ බරපතල වෙද්දි අපි බලා හිටියා… ගණන් හදමින්, තර්ක කරමින්, හීන දකිමින්…
යුද්දෙන් වතුපිටි හරකබාන දේපල අහිමිවීම්වලට අමතරව හැම ගෑනියෙකුගේම කවුරුන් හෝ මියගියා, අතුරුදහන් වුනා, නැත්නම් නඩුවක් නැතුව හිර අඩස්සියේ.. එතකොට අද අපි ස්ත්‍රී දිනය සමරන්නේ ඒ අයත් වෙනුවෙන්ද? ඒ අයත් සමගද? ඒ කදුල හා සුසුම අමතක කොටද? (ඒ අය වෙනුවෙන් කරන වැඩත් බොහොමයක් ආදරය කරුණාව සමානත්මතාවය බෙදාහදා ගැනීම අමතක වුනු ප්‍රොජෙක්ට් බවට පත්වෙලා ඉවර කොට!!)
අදත් සන්ධ්‍යා සුපුරුදු ලෙසම තනියම උසාවි ගියා. ජාත්‍යන්තර ස්ත්‍රී දිනය නිසා මම හිතුවා අඩුම වශයෙන් ගැහැණුන් වෙනුවෙන් හඩනගන, පෙනීහිටින ආයතනවල කිහිප දෙනෙක් හෝ සන්ධ්‍යාට ශක්තියක් ලෙස උසාවි භූමියේ සිටීවි කියා. ඒත් ඒක එහෙම වුනේ නැහැ. සන්ධ්‍යා තනියම මේ සටන දිගටම අරගෙන යන්නේ එයාගේ අතුරුදහන්වුනු මිනිහට සිද්ධවුනු දේ හොයාගන්න තමයි, සන්ධ්‍යාගෙ භාෂාවෙන්ම කියනවානම් ප්‍රගීත් සොයා යන මේ ගමන සන්ධ්‍යාගේ ආගම. ඒත් සන්ධ්‍යාගෙ මේ සටන අපි හැමෝම වෙනුවෙන් කරන සටනක් නෙමෙයි ද? මිනිහ අතුරුදහන් වුනු උතුරේ හෝ නැගෙනහිර විතරක් නෙමෙයි, දකුනේ ගෑනුන්ටත් මේ විදිහට මේ සටන කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්්‍යය නිර්භීතකම හදාගන්න පුළුවන් පසුබිමක් පසුගිය කාලය පුරා තිබුනේ නැහැ. අපි දන්න විදිහට තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ විදිහට සමාජය ඉදිරියේ සටන අරගෙන ගියේ රිචඞ් ද සොයිසාගෙ මව, මනෝරානි සරවනමුත්තු විතරයි. එයාගෙයි සන්ධ්යාගෙයි පවුල් පසුබිම, ආර්ථික ශක්තිය, සම්බන්ධකම් ජාලය අහසයි පොළොවයි ගාණටම දුරස්ථයි. ඒත් සන්ධ්‍යාත් අත්හැරියේ නැහැ, ඒකයි සන්ධ්‍යාගේ විශේෂත්වය. අනෙක සන්ධ්‍යාට දිගටම සටන් කරන්න වෙන්නෙ රට ජාතිය ආගම කියන සංකල්ප රැකගන්නවා කියන අයත් එක්ක, එතකොට ඒ අය පිටුපස්සෙන් රැල්ලට ඔහේ ඇදී යන ඔලූගෙඩි පාවිච්චි නොකරන දායකයො හා හෙංචයියො රොත්තක් එක්ක. ලේසි නැහැ, ඒකයි සන්ධ්‍යා අපි වෙනුවෙනුයි මේ සටන කරනවා කියන්නේ, ඒකයි සන්ධ්‍යාට ශක්තියක් වශයෙන් අද(8) – ජාත්‍යන්තර කාන්තා දිනයේ- සන්ධ්‍යා එක්ක කවුරුන් හෝ සිටියානම් වටින්නේ..
එක එක කාලවල එක එක සංවිධාන, ආයතන, පුද්ගලයන් සන්ධ්‍යාට උදව් කරන්න ඇති, සන්ධ්‍යා වෙනුවෙන් කථාකරන්න ඇති, පෙනී හිටින්න ඇති, සන්ධ්‍යාට හයියක් වෙන්න ඇති, (එහෙම නැත්නම් සන්ධ්‍යාට මේ ගමන මග නතර කරන්න වෙනවා තමයි) ඒත් ඒ දේවලූත් නිකම්ම පහල වුනේ නෑ, බොහෝවිට ඒවා සන්ධ්‍යා හොයා ගෙන ආව නොවෙයි, දාඩිය පෙරාගෙන සන්ධ්යාම ඇවිදල, මහන්සිවෙලා, ලියුම් ලියල ඒව හොයා ගත්තා. මම දන්න තරමින්නං සන්ධ්‍යාට බය නැතුව අත අල්ලං මේ ගමන එක්ක යන්න කෙනෙක් හිටියෙ නෑ හෝ සංවිධානයක් තිබුනෙ නැහැ. සන්ධ්‍යා හිටගෙන හිටියෙ තනියම, නොයෙක් අය හා සංවිධාන ඒ අයට දැනුනු අවස්ථාවල හැකි පමණට දේවල් කරන්න ඇති. ඒකයි සන්ධ්‍යාගෙ විශේෂත්වය, සන්ධ්‍යාගෙ නිර්භීතකම, අත නොහරින වීර්ය…
ඒක හොදටම පැහැදිලිව පෙනුනු දවසක් අද… අද උසාවි කටයුතු ඉවර වෙලා ගෙදර යද්දි ත්‍රීවීලර් එකක යන්න මම යෝජනා කලත් අඩුම වශයෙන් සන්ධ්‍යා ලග ඒකට සල්ලි තිබුනෙ නෑ…
විතරක් නෙවෙයි ඒ ගැන ප්‍රශ්නයක් තිබුනෙත් නැහැ. ප්‍රශ්නෙ තිබුනෙ මට, මොකද උසාවියට හැරෙන තැන පාරෙ හන්දියෙ ඉදලම තිබුන තත්ත්වයන්, හිටි අයගෙ හැසිරීම් එක්ක මම හිටියෙ තැති ගැන්මක.. කෝකටත් සන්ධ්‍යා පරිස්සමින් යන එක හොදයි කියලයි මට හිතුනෙ. සන්ධ්‍යා පුරුදු ලෙසම හිනාවුනා, මීට වඩා අමාරු කාල තිබුනා කියලයි සන්ධ්‍යා කිව්වෙ.
කුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage