ගිය අගහරුවාදත් මම සන්ධ්‍යා පස්සෙන් උසාවියට ගියා. මේ උසාවි අත්දැකීම් අලූත් සහ අපූරුයි. උසාව්යක් කියන්නෙ බොහෝ දේවල් දකින්න, තේරුම් ගන්න, ඉගෙන ගන්න, කියවන්න ඉතා හොද තැනක් බව මෙවර මගේ තේරුම්ගැනීම. වරුවක් උසාවියක් ඇතුලෙ ඉදගෙන හිටියාම පළමුව ඉගෙන ගන්න දේ තමයි ඉවසීම……. දෙවැන්න, අපි ඇත්ත කියල හොදටම දන්නා දේවලූත් ඔප්පු කිරීමට අපහසු නිසා ‘ඇත්ත’ ලෙස නීතිය ඉදිරියේ පිළිනොගැනීම ගැන ඇතිවෙන පුදුමය හා කළකිරීම අත්හැරීමට පුරුදුවීම… තෙවැන්න, තවමත් නීතියට වඩා ලේ ඝනකමබව පිළිගැනීමට වීම, සිව්වැන්න, අපි තුල මතුවෙන සාධාරණ හා තර්කානුකූල ප‍්‍රශ්ණ දෙවැනි සහ තෙවැනි තේ්රුම් ගැනීම් හරහා අත්හැර දැමීමට පුරුදුවීම…… මේ වගේ බොහෝ දේවල් ගණනාවක්ම මෙතනදී අපිට ඉගෙන ගන්න පුලූවන්..
උදාහරනෙකට කිව්වොත්, මම මෙවර උසාවි යන්නෙ සන්ධ්‍යා නිසා. මේ ගමන පටන්ගනිද්දිම මම හොදටම දන්නවා 2010 ජනාධිපතිවරනෙට දිනකට හෝ දෙකකට කලින් තමයි ප‍්‍රගීත් අතුරුදහන්වුනේ කියලා.. ඒ මොහොතෙ බලයෙ හිටපු මහින්ද රාජපක්ෂව පරදවන්න ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දිනවන කැම්පේන් එකේ ප‍්‍රගීත් බැහැලාම වැඩ කරමින් හිටියා කියලා. ඊට අමතරව ප‍්‍රගීත්ට අන්තිමට ආව දුරකථන ඇමතුම් අංක ප‍්‍රගීත්ගේ යාලූවො ලබා දුන් බවත්, එයාව ගෙනියපු අය සහ තැන් මේවන විට හොයාගෙන ඇතිබවත්, ඊට සම්බන්ධ වූ කිහිප දෙනෙකු අත්අඩංගුවේ පසුවන බවත් මම දන්නවා…..
මීට සාපේක්ෂව ලංකාවෙ ජීවත්වුන හැමෝම දන්නවා ඒ කාලෙ අපේ දේශපාලන සංස්කෟතිය මොනවගේ එකක්ද කියලා, සුදුවෑන්, වෙනත් මත නොඉවසන අතුරුදහන් කිරීම්, මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම්, පැහැරගැනීම් හා මරණ තර්ජන, කෙක්කෙන් බැරිනම් කොක්කෙන් ඡන්ද දිනීම්, කප්පම් සදහා පැහැරගෙන යාම්, මුදල් සෙවීම සදහා ඕනෑම ජඩ වැඩක් කිරීමට ආණ්ඩුවේම අයට සහ ආණ්ඩුවට සහයෝගය දැක්වූ අයට තිබූ නිදහස, පොලීසිය හමුදාව අධිකරණය විතරක් නෙමේ ආගමික ආයතන පවා දේශපාලනීකරණයවීම හා බලයේ සිටි දේශපාලනඥයන්ගේ අතකොලූවීම, මේ වගේ බොහෝ දේ…..
තර්කානුකූල කෙනෙක් මේ දේවල් එක්ක හොදින්ම දන්නවා ප‍්‍රගීත්ට මොකද වෙන්න ඇත්තෙ කියලා. ආයි ඕක තේරුම් ගන්න ස්කොට්ලන්ඞ් යාර්ඞ් ගෙන්නන්න අවශ්‍ය නෑ.
සන්ධ්‍යාට වෙච්ච අසාධාරනේ ගැන අවංකවම කණගාටුවෙන හැමෝමත්, සන්ධ්‍යා තමන්ගේ සැමියාට මොකද වුනේ කියලා හොයාගන්න මේ කරන නොනවතින සටන ගැන අගය කරන සැවොමත් වගේම මමත් බලාපොරොත්තු වෙනවා මේ අපිට ඉතාම ලේසියෙන් පෙනෙන සත්‍යය එළිදරව් වී සන්ධ්‍යාට සාධාරණයක් ඉෂ්ඨ වෙයි සහ වැරදිකාරයො එලිදරව්වෙයි කියලා. මෙන්න මේගැන තමයි මට ඔය ඉහලින් සදහන් කරපු කාරණා හතරම සහ තවත් කාරණා වඩාත් හොදින් ඉගෙනගන්න ලැබෙන්නෙ, ඒවා මේ සමාජයේ මේ මොහොතේ පැවැත්මට පවා කොච්චර අදාලද දැනෙන්න පටන්ගන්නෙ….
කාටහරි ප‍්‍රශ්ණයක් මතුවෙන්න පුලූවන් ඒ තුන්වෙනි පාඩම – නීතියට වඩා ලේ ඝණකම බව තේරුම් ගැනීම – මෙතැනදී සිද්ධ වෙන්නෙ කොහොමද කියලා… ලේසිම උත්තරේ තමයි ‘සිංහ ලේ’, බොදු බ’ලේ’ එහෙම නැත්නම් බ’ලේ‘ කියන එක…
සිංහල දේශපාලනඥයො සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ඡන්ද ටික පරිස්සම් කරගෙන තමයි ඕනෑම ප‍්‍රශ්නෙකට විසදුම් සොයන්නෙ. ඒ ගොල්ලො වමද දකුණද, සාම්ප‍්‍රදායිකද ලිබරල්ද කියන ප‍්‍රශ්ණ ඒ අවස්ථාවෙදි පැත්තකට විසිවෙලා යනවා. දේශපාලනඥයින් විසින් එක එක කාලයන්හිදී එක එක සෙල්ලම් නැත්නම් මැජික් ගේනවා සිංහලකම සහ බෞද්ධකම මේ සිංහල බෞද්ධ ඡන්දදායකයන් තුල අවුලුවා තබාගැනීමට. මොකද හදිසියෙවත් සිංහල බෞද්ධකම ඡන්ද දායකයා තුල දියවෙලා ගියොත් මේ ෂුවර් ඡන්ද ටික අන්ෂුවර් වෙන නිසා.. එක කාලෙකට එනවා සිංහල රාජ්‍ය භාෂාව කිරීම, තව කාලෙක වැවයි දාගැබයි නැත්නම් ගමයි පන්සලයි, බුද්ධාගම රාජ්‍ය ආගම කිරීම, සිහල උරුමය, හමුදාව සිංහල වීම, හෙල උරුමය, සිංහල හමුදාවට යුද්ධය සදහා සෙත් පිරිත් කීම, හමුදා තුල පන්සල් හා පන්සල් තුල හමුදා, පන්සල හා හමුදාව එක්ව සිංහල ය රැකීමට පෙරමුණ ගැනීම, බොදු බලේ, රාවණා බලකාය, සිංහ ලේ…. මේ කිසිවක්ම සිංහල දේශපාලනඥයින්ගෙන් වියුක්තව ගොඩනැගුනු හෝ ගමේ අප්පුහාමිලාගෙ ඇගිනස් අ්කකලාගේ වුවමනාවට ගොඩනැගුනු කාරණා නෙමේනෙ.. ඉතින් ප‍්‍රගීත්ට වෙච්ච දේ හොයන් සන්ධ්‍යා එක්ක උසාවි ගියාම මේ ’ලේ‘ පාඩම ඉතාම හොදින් ඉගෙන ගන්න පුලුවන් වෙනවා. මොකද කිව්වොත් දේශපාලනය, හමුදාව හා සිංහල බුද්ධාගම කියන කාරණා තුනම උසාවියේ ගණුදෙනුව එක්ක සම්බන්ධ වෙලා ඉවර නිසා…
මේ උසාවි ගමනෙදි අලූතින්ම ඉගෙනගත් දේ තමයි හමුදාවට වැඩියෙන් භීතියක් බුද්ධ පුත‍්‍රයන්ට නිර්මාණය කලහැකි බව….. මගේ උසාවි ගමන පටන්ගන්නෙ ඥානසාර සන්ධ්‍යාට තර්ජනය කිරීමෙන් හා උසාවියට අපහාස කලා කියන කාරණා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පසුයි, ඒ අත්අඩංගුවට ගැනීම ගැන තවත් චීවරධාරීන් කිහිප දෙනෙකුම පිස්සු නැටීමෙන් ඔවුනුත් අත්අඩංගුවට පත්වූ පසුයි. හමුදාවේ අයවත් මේ බුද්ධ පුත‍්‍රයන්වත් උසාවි ගෙනෙන දිනයන්හිදී කලූම කලූ හැදි පොලිසිය විශාල ප‍්‍රමාණයක් උසාවිය අවට ආරක්ෂාවට දමා සිටියා, පොලීසියේ ජල ප‍්‍රහාරක යන්ත‍්‍රයක් හන්දියේ නවතා තිබුනා. හන්දියේ චීවරධාරීන් සමූහයක් එක් රොක්ව සිටියා. උසාවියේ ගේට්ටුව ප‍්‍රදේශයේ පාර දිගේ ඒ අය තැන් තැන්වල කණ්ඩායම් හිටියා. පාර හැරෙන තැන මාර්ග බාධක දමා වසා පොලීසිය දමා තිබුනා. උසාවි භූමිය තුල බන්ධනාගාර නිළධාරීන් විශාල ප‍්‍රමාණයක් සේවයේ යෙදී සිටියා… සන්ධ්‍යා ගේට්ටුවෙන් ඇතුලූ වෙද්දි තැන් තැන්වල අය ඇයව ලග සිටි අයට පෙන්වා ’එක්නැලිගොඩ’ කිව්වා, සමහරු සමච්චල් හිනා දැම්මා, ඉගි මැරුවා. මේ කිසි කෙනෙකු සන්ධ්‍යා ලගට පැමිණ කතා කලේ හෝ අභිනයෙන් හෝ ඇයව පහසු කලේවත් ලගින් ඉදගැනීමට උත්සාහ කලේවත් නැහැ. පැමිණ සිටි බොහෝ දෙනෙකු කතා කරමින් හිටියේ ඥානසාරගේ අගය. ඒ කියන්නෙ ඒ දිනවල උසාවි භූමිය තුල පිරී සිටි අයගෙන් බහුතරයක් ඥානසාරගෙ ගෝල චීවරධාරීන්, පිරිත් නූල් කිහිපයක්ම අතේ බැදගත් දායකයෝ සහ සුදු හැදගත් උපාසක අම්මලා. මට ටිකක් පුදුම හිතුනා තමයි. මොකද මේ හැම කෙනෙකුම අඩුම වශයෙන් තම තමන්ගේ විහාර ගෙවල් තුල සිතුවමට නගා ඇති බුද්ධ චරිතය ගැන හෝ සිය දහස් වරක් අසා ඇති අය, වෙසක් කාලෙට තොරන් වලින් විස්තර කරන ජාතක කතාවලට සාදුකාරය දුන් අය, පොසොන් කාලයට වන්දනාවෙ ගිය අය…. අතුරුදහන් වූ තමන්ගේ සැමියා සොයම්න් දරු දෙදෙනාත් සමග තැනින් තැන යන මේ කුඩා ගැහැණිය ගැන කිසිම කැක්කුමක් හැගීමක් ඇති නොවීමට තරම් ඒ ’ලේ’ ඝණකම් වී ඇති සැටි! මට හිතුනෙ බුදුන් වදාල ධර්මයටත් වඩා ලේ ඝණකම් කියලයි! ඒ දිනවල උසාවි භූමිය තුල රැදී සිටි කාලය පුරාවටම මට දැනුනේ හිතට හරිම බරක්, එක්තරා විදිහක භීතියක්. හරියට පහුගිය ආණ්ඩුව කාලෙ වගෙයි.
අනික මේ කිසිම මුරකාවලක් දමා තිබුනේ සන්ධ්‍යා වෙනුවෙන් නම් නෙවෙයි. සන්ධ්‍යා තට්ට තනියම බස් එකෙන් බැහැලා ඇවිද්දා, වැඬේ ඉවරවෙලා ඒ විදිහටම ගෙදර ගියා. ඥානසාරට ඇප ලැබුනාට පසු සන්ධ්‍යා උසාවියට ගිය පළමු අවස්ථාවේ සන්ධ්‍යා හන්දියෙන් හැරිලා පාරදිගේ උසාවි ගේට්ටුව දෙසට ඇවිදගෙන යද්දි මම දැක්කා උසාවි ගේට්ටුව ලග ඥානසාර තවත් චීවරධාරීන් කිහිප දෙනෙකු සමගින් කතාකරමින් සිටිබව. කෙනෙකු ඔහුට සන්ධ්‍යා එන බව සන්කලා. ඔළුව ඔසවමින් සන්ධ්‍යා එන මග බලමින් සිටි ඔහු හදිසියේ තීරණය කලා සන්ධ්‍යා එන පෙරමගට ඇවිදින්න, තනියම. සමහරවිට සන්ධ්‍යාව බය කරන්න වෙන්නැති. සන්ධ්‍යා සුපුරුදු ගමනින්ම ඇවිද්දා, සන්ධ්‍යාට අඩි කීපයක් ඉදිරියේ දී සැරෙන් උගුර පෑදූ ඔහු එතනින් දකුණට තිබූ රථගාල තුලට ඇවිද්දා!!! ඒක මහා රස්තියාදුකාර තග් වැඩක් නෙමෙයිද? කවුරුහරි තාමත් කියනවාද ඥානසාර භික්ෂුවක් කියලා? එසේනම් බුදුන් වදාල ධර්මයට සිදුවී ඇත්තේ මොන නස්පැත්තියක්ද?
අන්තිමට උසාවි ගිය දවසේ චීවරධාරීන් කිසිවෙකු පෙනෙන්න හිටියේ නැහැ විතරක් නෙවෙයි, කළු හැදගත් පොලීසියවත්, ජල විදිනයන්වත් මාර්ග බාධකවත් නැහැ. උසාවි භූමිය තුල බන්ධනාගාර නිළධාරීන්ගේ ප‍්‍රමාණයත් හොදටම අඩුවෙලා. ඒත් අත්අඩංගුවේ සිටි හමුදාවේ අයව ගෙනත් ඇතුලේ ඉන්දවලා හිටියා. වටා පිටාවේ සිටි කිහිප දෙනෙකු ඇරෙන්න අනික් අය සන්ධ්‍යාට කෙනෙහිලිකම් පෙන්නුවෙත් නැහැ. එතකොට මේ භීතිය මවන්නේ බුද්ධ පුත‍්‍රයන් විසින්ද? ඒ අරුමයක්ම නොවේද? ඒකයි මම ඉගෙනගත්තු විශේෂ පාඩම…. හමුදාවට වැඩි භීතියක් බුද්ධ පුත‍්‍රයන්ට නිර්මාණය කලහැකි බව…..
ඉගෙනගත් ඉතුරු දේවල් කතා කරන්න තව කල් තියෙන නිසා මෙතනින් නවතිනවා.
කුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage