පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කොට ඇති අගමැතිවරයා ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?’ යැයි ප්‍රශ්න කොට ඇත.‘ යනුවෙන් ය. ඒ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන දේශපාලන අංශ නායිකාව වී සිට පසුව පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස ලැබූ(පසුව ඇය 2015 ඔක්තෝබර් 18 වනදා රෝගී තත්ත්වයකින් මිය ගියාය) තමිලිනී හෙවත් සුබ‍්‍රමනියම් සිවකාමි ගේ ජීවත කතාව ඇතුළත් කෘතිය දොරට වැඩීමේ උත්සවය නවතා දැමීමට කිලිනොච්චිය පොලීසිය ගත් උත්සාහය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් නිමා වී ඇත්තේ සැබෑ ජාතික සංහිදියාව වචනයෙන් නොව ක්‍රියාවෙන්ම පෙන්වමිනි.
තමිලිනී ගේ පොත, පොතේ අන්තර්ගතය සහ එළිදැක්වීමේ උත්සවය ගැන විවිද කතා පැතීරි ගියද අගමැතිතුමා ගේ එම ප්‍රකාශය කෙසේ වෙතත් හොදය. එසේ ප්‍රකාශ කිරීමට පාදක වූ කරුණු කෙසේ වෙතත් එවැනි ප්‍රකාශයක් අගය කළ යුත්තකි.
මේ කතාව සටහන් කළේ ඒ පොත හෝ තමිලිනී ගැන ලියන්නට නොවේ.
ඒ රාජපක්ෂ ආණ්ඩුවේ කුලි මැරයන් විසින් පහර දී, ගෙවල් ගිණි තබා සිය ගම්බිම්වලින් එළවා දමා ඒ බ්මි හමුදාවේ අනසකට ගත් පානම මිනිසුන්ගේ ඉඩම්වල ඉරණම ගැන යමක් කියන්නටය. එය අගමැතිතුමා කළ ප්‍රකාශය තුළින් මතුව එන්නකි.
රාජපක්ෂ පාලයෙ විසින් උදුරාගත්, තම ඉඩම් ඉල්ලා පානම මිනිසුන් ධෛර්යවන්ත අරගලයක නිරත විය. සිවිල් සංවිධාන, විවිද පුරවැසියන් ඒ අරගලය පෝෂණය කළේ රාජපක්ෂ පාලනය විසින් සිදු කරමින් තිබූ ඉඩම් කොල්ලකෑමට එරෙහිවය. පානම මිනිසුන්ගේ ධෛර්ය කොතරම් ද යත් ජනවාරි 8 වෙනිදා ඇති කළ වෙනසට පෙර පැවැත්වූ පලාත් පාලන ආයතන මැතිවරණයෙන් ලාහුගල ප්‍රාදේශීය සභාව රාජපක්ෂලාගේ පාලනයෙන් මුදවා ගන්නට ඔවුන් ක්‍රියා කලේ අනෙක් සියලුම පලාත් පාලන ආයතන රාජපක්ෂ පාලනය විසින් බලය අත්පත් කරගත් මොහොතකය. එපමණක් ද නොවේ 2015 ජනවාරි 8වනදා වෙනසට ප්‍රාදේශීය ජනයා ලෙසට හැකි පමණ දායකත්වය ක් දැක්වූ හ. ඒ සියලු ප්‍රජාතන්ත්‍රවාදී වුවමනාවන් සමගම තමන්ගෙන් උදුරාගත් ඉඩම් නැවත ලබා ගැනීම පිළිබද බලාපොත්තු දල්වාගෙනය.
ඒ බලාපොරොත්තුවලට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් මෙන්ම ජාතික නායකයින් ද පානම මිනිසුන්ට පොරොන්දු වූ හැටි අදද ඔවුන් විස්තර කරයි.‘අපේ ආණ්ඩුව ආපුගමන් මම පානමට එන්නේ ඔප්පුත් අරගෙන‘ එදා දයා මහත්තයා(වත්මක් අමාත්‍ය, දයා ගමගේ) ඡන්දේ කාලෙදි කිව්වා‘ පානම මිනිසුන් අද ද පවසයි.
ඒ අනුව වික්‍රමසිංහ-සිරිසේන නව ආණ්ඩුව බලයට පැමිණියේය. බලයට පැමිණ හරියටම මාසයයි දවස් තුනකින්, එනම් 2015 පෙබරවාරි 11වනදා කැබිනට් තීරණයක් ගනිමින් ‘යහපාලන‘ ආණ්ඩුව හෙවත් වික්‍රමසිංහ-සිරිසේන නව ආණ්ඩුව පානම ඉඩම් ඇතුලු ආරක්ෂක හමුදාවන් නතු කරගෙන සිටින ඉඩම් නැවත ජනයාට ලබා දීමට තිරණය කරයි. ඒ කැබිනට් තීන්දුවට අනුව එම ඉඩම් වලින් ගුවන්හමුදා කඳවුරක් පිහිටුවා ඇති අක්කර 25ක් හැර සෙසු ඉඩම් යළි ජනයා වෙත පවරා දීමට තීරණය කරයි.
නමුත් එහි තරම කෙසේ ද යත් තීන්දුවෙන් වසරකුත් මාසයක් ගත වී ඇතත් තවමත් වික්‍රමසිංහ-සිරිසේන ආණ්ඩුවේ කැබිනට් තීරණය පානමට ක්‍රියාත්මක වීමක් දක්නට නැත. ආණ්ඩුවේ ප්‍රධානීන් ගේ අදහස වන්නේ ‘දැන් හරිනේ‘ වැනි තලගොයි පිළිතුරකි.
ප්‍රදේශයේ ඉඩම් බලධාරියාගේ අදහස වන්නේ, ‘මිනිසුන් නීතියට අනුව වැඩ කරනවා නේ, ඒනිසා අපිත් නීතියට අනුව වැඩ කරනවා, ඒ නිසා පරක්කු වෙනවා‘
නමුත් ආණ්ඩුවේ කැබිනට් තීරණයක් ක්‍රියාත්මක නොකරන්නේ අයි ද යන්න ඇසීමට ‘යහපාලන‘ ආණ්ඩුවේ කිසිවකුත් නැති සේයකි.
‘අපේ ආණ්ඩුව ආපුගමන් මම පානමට එන්නේ ඔප්පුත් අරගෙන‘ යනුවෙන් මැතිවරණයට පෙර මිනිසුන්ට කියූ දයා මහත්තයා හොවත් වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වෙන දයා ගමගේ දැන් ඒ ඉඩම් වලට එන්නේ මිනිසුන්ටත් හොරෙන් ගුවනින් බව පානම මිනිසුන් පවසයි.
තත්ත්වය එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් දැන් රගදක්වීමට සූදානම් වන්නේ රාජපක්ෂ පාලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් රගදැක්වූ භූමිකාවම බව පානමින් ඇසෙමින් තිබේ(ඒ පිළිබද පසුවට ලියමු)
කෙසේ නමුත් වැදගත් ප්‍රශ්ණය වන්නේ ආණ්ඩුවේ කැබිනට් තීරණයක් ක්‍රියාත්මක නොවන විට එම ආණ්ඩුව හොරට නිදාගෙන සිටිනවා දැයි යන සැකය දැන් මතු වෙමින් තිබේ.
ඒ නිසා වත්මන් අගමැතිවරයා කිලිනොච්චිය පොලීසියෙන් ඇසූ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?’ යන්න පානමදී ‘ආණ්ඩුව අපේ – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහින්දගේද?‘ යනුවෙන් ඇසීමට අගමැතිවරයාට හෝ ‘යහපාලන‘ ආණ්ඩුවේ කිසිදු අයෙකුට ධෛර්යයක් නැත්තේ මන්ද?
නොඑසේ නම් ආණ්ඩුවක කැබිනට් තීරණයක් යනු නොසලකා දැමිය හැකි දෙයක් බවට පත් වෙමින් තිබේද?
කැබිනට් තීරණයට හෝ යහපාලනයට වඩා වටින ‘තව දේවල්‘ තිබෙන නිසාද?
ඒ ගැන පසුවට කතා කරන්නට ඉතිරි කරමු.