දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි.
හෝමාගම නගරයේ සිට පටු අතුරු පාරක ටික දුරක් යන විට සතියේ වැඩ කරන දිනයක් නම් මඟ දෙපස සෙනග රුස්වී සිටිනු දැක්ක හැකිය.
පාරෙහි දකුණූ අත පැත්තට පරණ තාලයේ දෙමහල් මන්දිරයකි. ගොඩනැගිල්ල ගුප්ත පෙනුමකින් යුතුය. හරියට ෂර්ලොක් හොම්ස් සිය පරීක්ෂණ පැවැත්වීම සඳහා ගිය අතරහැර දමන ලද නිවෙසක් වැන්න. නඩු විභාගය පැවැත්වෙන හෝමාගම දිසා අධිකරණය පිහිටියේ මෙකී දෙමහල් නිවෙසෙහිය.
නිවෙස ඉදිරිපිට රථ ගාලකි. බන්ධනාගාර බස් රථයක් ද එහි ගාල් කර ඇත. විඩියෝ කැමරා රැගත් මාධ්‍යකරුවෝ ගණනාවක්ම බන්ධනාගාර රථයේ සෙවන විඳිමින් සිටියහ. භික්ෂුන් සිටියේ පාර මැදය. පොලිස් නිලධාරීහු ගණනාවක්ද මැෂින් තුවක්කු මානාගෙන රැකවලේ සිටිති.
පසුගිය 28දා අප දෙදෙනෙකු එහි යන විට රූප පෙට්ටියෙහි මුහුණු දැක පුරුදු බෞද්ධ භික්ෂූහු කිහිප නමක්ම පාරෙහි රැදී සිටියෝය. ඒ මුහුණු අයත්වන්නේ බොදුබල සේනා වැනි සංවිධානවලට යැයි ජායාවක් මෙන් සිතෙහි සටහන්ව තිබුණි.
[Image: (c) Sunanda Deshapriya]
බියක් හෝ කුකුසක් ඇති නොවී යැයි කිව නොහැක. එසේ නමුත් එම භික්ෂුහු කිසිවකු අධිකරණ ශාලාව තුළට නොවැඩියහ.
මුවෙන් නොබැන්නහ. ඊට හේතුව විය හැක්කේ පෙර දිනක මැරවර බලය පාමින් අධිකරණට අපහාස කළ වරදට ඇප පිට සිටීමයැයි අසන්නට ලැබුණි. ඇත්ත නැත්ත නොදනිමි. ඔවුන්ටත් සිදු වූයේ අපට මෙන්ම පැය ගණනාවක් පට්ට අව්වවේ කට්ට කෑමට ය. ඔවුන් එහි වැඩ සිටියේ ප්‍රගීත් පැහැර ගැනීම සම්බන්ධ සැකකාර හමුදා නිලධාරීන්ට සහාය දැක්වීමටය.
අප (ඉන්ෆෝම් හි උදය සහ මා) එහි යන විට වේලාව පස්වරු 1.00ට පමණ ඇත. අධිකරණයේ දහවල් කෑම පැය තවම අවසන් වී නැත. එනමුත් සිය ගණනාවක් ජනයා එම දෙමහල් ගොඩනැගිල්ල සහිත බිමෙහි ඉදිරිපසට වී සිටිති. පස්වරු 1.30ට අධිකරණය කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා ඇයගේ අසල්වාසී කාන්තාවක සමඟ පැමිණියේ එම අවස්ථාවෙහිදීම වාගේය.
සැකකාර යුද හමුදා නිලධාරීන්ගේ පවුල් සාමාජික පිරිස් ද එහි පිරී සිටියහ. ඒ කවරකුගේ හෝ බිරිඳයැයි සිතිය හැකි කාන්තාවක කඳුලින් පිරි දැසින් යුතුව අනන්තය කරා වූ සිතිවිල්ලක නිමග්න වී සිටියේය. ඇයද සන්ධ්‍යා මෙන්ම යුද්ධයේ ගොදුරු බවට පත් වින්දිතයකු නොවේදැයි මසිත ගොලු විය. ඇය දවස පුරාම සිටියේ එම දුක්බර ඉරියව්වෙහිය.
විමල් වීරවංශ පාර්ශවයේ මංත්‍රීවරයකු සහ තවත් ලොකු පිරිසක් පැමිණියේ ද සැකකාර හමුදා පිරිස්වලට සහාය දැක්වීමටය. ඔව්හු අප දෙස කුරුස ගසා බැලූහ. මංත්‍රීවරයා අධිකරණ ශාලාව ඇතුළට ගියේය. සිවිල් ඇදුමින් සැරසුණු යුද හමුදා පිරිස් යැයි සිතිය හැකි සැළකියයුතු තරම් පිරිසක්ද අධිකරණ භූමියේ සිටි අතර අප තේ බීමට යන එන විටත් සෙවනැළි මෙන් අයෙක් අප පසු පසින් සිටියෝය.
අධිකරණ ශාලාව ඇතුළත ඉඩක් ඇත්තේම නැති තරම්ය. මන්ද යත් මේ වනාහී කවරකු හෝ විසින් වාසය පිණිස ගොඩ නගන ලද නිවසක ශාලාව පමණක් බැවිනි. ගොඩනැඟිල්ල පිටත ලෑලි බංකු හත අටක් තිබේ. එකක හිරවී වාඩිවිය හැක්කේ පස් දෙනෙකුට පමණි. එනයින් ආසන හිමිවන්නේ වැඩිම වශයෙන් 40-50කට පමණි. සියයකට වඩා පිරිමි සහ ගැහැණු ඉන්නේ සිටගෙනය. ජරාවාස වූ තාප්පයේ අඟල් හයක පමණ ගැට්ටක තවත් හය හත් දෙනෙක් අමාරුවෙන් වාඩිවී සිටිති. තාප්ප ගැට්ටේ කොනක පොලිස් නිලධාරීන්ගේ කැප් තොප්පි තුනක් එක පිට තබා තිබේ. මන්ද යත් කැප් තොප්පි පැළඳගෙන අධිකරණ ශාලාවට ඇතුල්වීම තහනම් බැවිනි.
කොන්ක්‍රීට් ලැල්ලක් දමා වසන ලද ළිං ගැට්ටෙහි වාඩිවූ පුද්ගලයා නිකමට හෝ නැගිට්ටේම නැත. ඒ ඔහුගේ රාජකාරිය නිරීක්ෂණය නිසා විය හැකිය.
විනිශ්චාසනය පිහිටියේ එම ශාලාවෙහි වම් කෙළවරෙහි යැයි නිගමනය කළ හැකි වූයේ තෝල්කවරියක මයික්‍ර ෆෝනයක් ඇතිව එපස සිට නඩු අඬ ගැසූ නිසාය. දොරෙන් පිටත සිටි අපට විනිසුරුතුමා පෙනුණේ හෝ ඔහුගේ කටහඬ ඇසුණේ නැත. මයික්‍ර ෆෝනයක් තිබුණේ ඇයට පමණි.
එම ශාලාවෙහි දොරට දකුණු පසින් ජනෙල් පියන් තුනක් තිබූ නමුත් අධිකරණ කටයුතු ආරම්භ වූ වහාම පොලීසියේ මහත්වරු පැමිණ ඒවා වැසූහ. අපි දොර ළගටවී සවන් දෙමින් සිටියෙමු. සෑම විනාඩි කිහිපයකටම වරක් දොරකාවලෙහි සිටි පොලිස් නිලධාරියාට දොරකඩ නොඅසුරණසේ ඉල්ලා සිටීමට සිදුවිය. එම නිලධාරියාද වින්දිතයකුවූවා වැන්න.
තෝල්කවරිය නඩු අංක 9001 ගුණදාස සිල්වා ලෙසින් නමක් කී කල පිටතට යොමු කර ඇති ස්පීකර පෙට්ටියෙන් එය එළියේ සිටින අපට ඇසේ. එවිට නම අයිතිකරු දිව යා යුතුය. ‘ජූනි 26දාට නඩුව කතා කරනවා’ ඇය කී විගස ඔහු එළියට පැමිණේ. බොහෝ විට ඒ සමඟ කලු ලෝගු ලූ නීතිවේදියකුද පැමිණ වහ වහා කණට කර යමක් කියා යන්න යයි.
එළියට සවිකර ඇති ස්පීකර පෙට්ටිය ජනේලයට උඩින් ඇති කොන්ක්‍රීට් ලැල්ලෙන් පහළට එල්ලෙයි. එය දූවිලි බැදී දුඹුරු පැහැ ගැන්වී තිබේ. ඊට ඉහළින් අඩි එකහමාරක පමණ ප්ලාස්ටික් පීවීසී බටයක් ඉදිරියට නෙරා ඇත්තේ වැසි වතුර බැස යාමට විය යුතුය. එවැනි අවවර්ණ වූ ප්ලාස්ටික් බට කෑලි දෙකකි.
දෙවන මහළෙහි සදළු තලය පුරා බිදී යමින් පවතින විවිධ ලී බඩු දැක්ක හැකිය. ඒවා විවිධ නඩු සඳහා ඉදිරිපත් වූ නඩු භාණ්ඩ ද නැත්නම් නිවෙස හිමිකරු දමා ගිය බඩු දැයි කිව නොහැක. පෙනෙන්නට ඇති දෙය නම් ස්වභාව ධර්මයේ බලවේග විසින් ඒවා ටිකින් ටික කා දමමින් ඇති බවය.
දාහය සමඟ එක්වූ සමස්ත පරිසරය අප අඟුටු මිට්ටන් බවට පත් කරයි.
[Image: (c) Sunanda Deshapriya]
ඇතුළත රජයේ නිතිඥ දිලීප පීරිස් ද විත්තියේ නීතිඥවරුද මහ හඩින් වාද විවාද කර ගත්හ. අපට ඇසුණේ ඉන් කොටසක් පමණි. සන්ධ්‍යා ශාලාව ඇතුළෙහි දොර ළගින්ම සිටගෙන සිටියාය. තවමත් යුද හමුදාපතිවරයා අවශ්‍ය තොරතුරු ලබා දී නැතැයි නීතිඥ දිලීප පීරිස් කීවේ පරීක්ෂණ කටයුතු ඉක්මනින් අවසන් කරන ලෙස විනිසුරුතුමා කියා සිටි අවස්ථාවේදීය. සැකකරුවන්ගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බැවින් ඔවුන් වෙන් වෙන්ව රඳවා තබන ලෙස පොලිස් අධිකාරී ශානි විජේසූරිය ඉල්ලා සිටි අවස්ථාවෙහි විත්තියේ නීතිඥ ඊට විරුද්ධ වූයේ එය සැකකරුවන්ගෙන් සමහරකු රජයේ සාක්ෂිකරුවන් කර ගැනීමට දරන උත්සාහයක් ලෙස පෙන්වා දෙමිනි.
පරීක්ෂණය අවසන්වන තුරු සැකකරුවන්ට ඇප ලබා දීමට තමාට බලයක් නැතැයි විභාගය ආරම්භයේදීම විනිසුරුතුමා ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
අධිකරණ භූමියෙහි පැය ගණනාවක් හිටගෙනම වේලෙමින් සිටින අතරවාරයෙහි රාජපක්ෂ භීෂණ සමයෙහි පැවැති තිස්සනායගම් නඩු විභාගය නිරීක්ෂණයට මහාධිකරණයෙහි මා දවසක්ම වාඩිවී සිටි අයුරු සිහිවිය. ඔහුගේ නඩු විභාගය නිරීක්ෂණයට තානාපති කාර්යාල නිලධාරිනියක් නිතිපතා පැමිණයාය. ඔහුගේ බිරිඳ පවා නොපැමිණි දිනයන්හි අපි එහි සිටියෙමු. පසු කලෙක ඔවුන් විසින් සහමුලින්ම අමතක කර දමන ලද නමුදු තිස්සනායගම්ගේ පමණක් නොව රඳවා සිටි වලර්මතී සහ ජසීහරන් යන මාධ්‍යවේදීන්ගේ සිරගෙදර දුක සැප බැලුවේ ද අප විසිනි.
දැන් සන්ධ්‍යා වසර ගණනාවක් නිතිපතා උසාවි යයි. එහෙත් ඇයට සහායට හෝ ප්‍රගීත් වෙනුවෙන් හෝ යනෙන අයෙක් නැති බව දෙවතාවක්ම කුමාරි කුමාරගමගේ සංවේදී රචනාවක සටහන් කර තිබුණේ මසකට තරම් පෙරය.
ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගගේ බිරිඳද සහෝදරයාද වත්මන් ආණ්ඩුවෙන් තානාපති වරප්‍රසාදයන්ගෙන් පිදුම් ලැබුවෝය. ඝාතනය වූ බොහෝ දෙමළ ජනමාධ්‍යවේදින්ගේ පවුල් විදෙස් ගතවිය.
ප්‍රගීත් වෙනුවෙන් පමණක් නොව ඔහු නියෝජනය කළ මාධ්‍ය නිදහස වෙනුවෙන්ද සය වසරක් අතනෑර අරගල කළ සන්ධ්‍යා තනිව හෝ අසල්වාසිනියක සමඟ තවමත් උසාවි යයි.
| ප්‍රගීත් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යේෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම[Image: (c) Sunanda Deshapriya]
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya