තව අවුරුදු පහකින් පසුවත්, අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, ජාවාරම්කරුවන්, මහජන දේපළ කොල්ලකරුවන්, බලය අපහරණය කළවූන් ආදී වශයෙන් වන දීර්ඝ නම් වැලට ගැනෙන කිසිවෙකු මේ රටේ කිසි නීතියක් හෝ අධිකරණයක් ඉදිරියේ වරදකරු වී හිරේට නියම නොවුණොත් පුදුම නොවන්න, එසේ නොවුණේ, මේ රටේ ඉහත කී පිරිස් සිටි බවට කලකට ඉහතදී නැගූ චෝදනා පදනම් විරහිත, ද්වේෂ සහගත මඩ ගැසීම් වූ නිසා යැයි බොහෝ දෙනා එදාට තර්ක කරනු නිසැකයි. එසේම, එම චෝදනාවන්ට ලක් වූ සියල්ලන් නිර්දෝෂී අහිංසකයන් යැයි තවත් අය කියා සිටිනු ඇත.
මේ කියන කිසි පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වැරදිකරු වී දඬුවමකට ලක් නොවීමෙන් සිදුවන විශාලම හානිය වනුයේ, ඔවුන් විසින් සැබවින් කරන ලද එකී මහා අපරාධවලට ගොදුරු වූ වින්දිතයන්ට අසාධාරණයක් සිදුවීම පමණක් නොවේ. ඔවුන්ගේ එකී ක්‍රියාකලාපය නීතිය ඉදිරියේ ඔප්පු කර ගැනීමෙන් පසු තවත් අනාගත බල පුලූවන්කාර පාලක පැලැන්තියකට නැවත එවැනි වැරදි කිරීමට පෙර දෙවරක් සිතා බැලීමට පාඩමක් සැලසිය හැකිව තිබූ අගනා අවස්ථාවක් අප විසින් අතපසු කර ගැනීම පමණක්මත් නොවේ. ඇත්තෙන්ම ඒ සියල්ලට වඩා හානිය වනුයේ, මේ කියන අපරාධකරුවන් පිළිබඳ ‘සිල්වත්’ චිත්‍රයක් මේ රටේ පුහුදුන් ජනයා තුළ ඇති වීමට ඒ මගින් ඉඩ සැලසීමයි.
නීතිය ඉදිරියේ වැරදිකරු නොවීමේ එකම හේතුව, වැරැද්දක් සිදුවී නැති බවම නොවේ. සිදු වී ඇති වැරදි, නීතියේ වැරැද්දක් නිසා හෝ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වැරැද්දක් නිසා හෝ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ වැරැද්දක් නිසා හෝ අවසාන විනිශ්චයකට ලක් නොවී තිබිය හැකිය. සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැන්නකි. එහෙත් අද අප අත්දකින්නේ ඊට වෙනස්, යම් සංකීර්ණ තත්වයකි. මේ සියලූ පිරිස් නීතිය ඉදිරියේ වරදකරුවන් කැරැවීමට තරම් පවතින නීතිය ශක්තිමත් ය. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලීසිය සහ අධිකරණය ඇතුළු ආයතන සිය රාජකාරිය වෙනුවෙන් වෙනදාට වඩා කැප වී සිටින බවක්ද පෙනේ. එසේ තිබියදීත්, රාජපක්ෂ පාලනය යටතේ වැජඹුණු කිසි දූෂිතයෙකු, හොරෙකු හෝ අපරාධකරුවෙකු මේ දක්වා නීතිය ඉදිරියේ වැරදිකරුවෙකු කොට හිරේට නොයවා ඇත්තේ, තිරය පසුපසින් යන එක්තරා දේශපාලනික සැලැස්මක් ඔස්සේ දියත් වන යම් චේතනාන්විත මෙහෙයුමක් නිසාදෝ යන සැකය දැන් දැන් ජනතා සිත්සතන් තුළ මතුවෙයි.
පසුගිය කාලයේ, බැසිල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ වැනි කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වන්නේ දේශපාලනික දඩයමක් නිසා යැයි රාජපක්ෂවාදීන් නිතර කියනු අප අසා ඇත. එහෙත් ඒ කිසිවෙකු මෙතෙක් වැරදිකරුවෙකු කොට හිරේට නියම වී නැත්තේ මන්දැයි අපට කියා දීමට කිසිවෙකු නැත. එය හුදෙක්, අධිකරණ ක්‍රියාවලියේ පවතින මන්දගාමී ස්වභාවය නිසා සිදුවන්නක්ද? බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට පත් අවස්ථාවේ යහපාලනකාමීන් දල්වා ගත් බලාපොරොත්තු අපට මතකයි. එහෙත් අද බැසිල් රාජපක්ෂ කෙනෙකු ගැන අසන්ට ලැබෙන්නේ ඔහුගේ නඩුව කැඳවන අවස්ථාවකදී පමණි. එය පවා හුදෙක් නඩුව පිළිබඳ කෙටි වාර්තාවකට සීමා වෙයි. ඊළඟට ඔහුගේ නඩුව කැඳවෙන්නේ තවත් මාස හයකට පමණ පසුවයි. මේ ආණ්ඩුවේ ඉතිරි කාලය මාස හයෙන් බෙදුවොත්, තව හත් අට වාරයක් නඩුව කැඳවෙන්නට පුලූවන. යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ආදී අන් සියල්ලන්මත් විටින් විට අධිකරණය ඉදිරියට ඒවි. ඒ සෑම අවස්ථාවකම මෙය ‘දඩයමක්’ යැයි ඔවුන් කියාවි.
අවසානයේදී කිසිවෙකු කිසි දවසක වැරදිකරුවන් වී හිරේට නොයන්නේ, අර කියන ‘දඩයම’ දියත් වූ දේශපාලනික සැලැස්මේ ඉතිරි අර්ධය ක්‍රියාත්මක වන නිසා විය හැකිය. 2015 ජනවාරි 8 වැනි දා පටන්, මේ කියන රාජපක්ෂ පාලනයේ අවකල් ක්‍රියා සොයා බැලීම වේගවත් කිරීම සඳහා විශේෂ විමර්ශන අංශ පිහිටුවන ලදි. මුල්‍ය අපරාධ පොලිස් කොට්ඨාශය (එෆ්.සී.අයි.ඞී) ඉන් එකකි. සාමාන්‍ය පොලිස් පරිපාටි හරහා එකී අපරාධ සොයා බැලීම කාර්යක්ෂමව කළ නොහැකි නිසා එවැනි විශේෂ පොලිස් ඒකකයක් අවශ්‍ය විය. මේ අතර, එදා තිබුණු අල්ලස් හෝ දූෂණ සොයා බැලීමේ කොමිසම යම් තාක් ප්‍රතිසංස්කරණය කෙරුණි. පැවති කොමිසම ඊට ප්‍රමාණවත් නොවන බව තේරුම්ගත් බැවිනි. එසේම, මහ පරිමාණ දූෂණ සිදුවීම් සොයා බැලීමේ තවත් ජනාධිපති විමර්ශන කොමිසමක්ද පත්කෙරුණි. මේ සියල්ල අවශ්‍ය කෙළේ, පවතින නීතිය පවා ක්‍රියාත්මක කැරවීම සඳහා වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් අවශ්‍ය කළ බැවිනි. මේ වන විට, දුසිමක් තරම් මහ මෝරුන්ද, තවත් දුසිමක් දෙකක් හාල්මැස්සන්ද එකී කාර්යාංශ වෙත ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අඩු වශයෙන් සතියකට වරක්වත්, ඉහත කී සැකකරුවන් ඒවා ඉදිරියට තවමත් කැඳවේ. එහෙත්, ඉන් අනතුරුව කටයුතු සිදුවන්නේ අදහාගත නොහැකි ඉබි ගමනිනි. මොවුන් අවසාන විනිශ්චයකට පත්වීම සඳහා (එසේ වන්නේ නම්) තව අවුරුදු පහක්වත් ගත විය හැකි යැයි කෙනෙකුට සිතුණොත් එය පුදුමයක් නොවේ. ඒ වන විට මේ ආණ්ඩුව බලයේ සිටියත්, ආණ්ඩුව කෙරෙහි වන ජනතා විශ්වාසය එදාට බිංදුවටම බාල්දු වී තිබෙනු නිසැකයි. ඊට සාපේක්ෂව, මහින්ද, බැසිල් සහ යෝෂිත ඇතුළු පිරිස සමාජය ඉදිරියේ ‘සුදනන්’ වී සිටිනු ඇත.
යහපාලනය යටතේ පවා, විවිධ පුද්ගලයන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ විවිධ ආකාරයෙන් බව බැහැර කළ නොහැකි කටුක සත්‍යයකි. විල්පත්තු වනාන්තරය එළි කරනවා යැයි කියන ඇමතිවරයෙකුට නීතිය එක ආකාරයකටත්, වල් අලි පැටවෙකු ළඟ තබා ගත් උඩුවේ ධම්මාලෝක භික්ෂුවට නීතිය තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන්නේ මන්දැයි විමල් වීරවංශ පසුගිය දා ප්‍රශ්න කර තිබුණි. නීතිය මෙයාකාරයෙන් දෙවිදිහකට හෝ තුන් හතර විදිහකට ක්‍රියාත්මක වන ආකාරය පෙන්වීම සඳහා ඊට වඩා අගනා වෙනත් නිදසුනක් තමා ආශ්රයෙන්මත් ඔහුට ගෙනහැර දැක්විය හැකිව තිබුණි. වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේදී සහ ‘හොර’ පාස්පෝට් පාවිච්චි කිරීමේදී තමා සහ තම ඇඹෙනිය කෙරෙහි නීතිය ක්‍රියාත්මක වූ ආකාරයත්, සාමාන්‍ය පුරවැසියෙකුට එම වරද සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය හැකිව තිබූ ආකාරයත් සන්සන්දනය කෙළේ නම්, වඩා පහසුවෙන් ඔහුගේ තර්කය අපට තේරුම් ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් අලි චෞර උඩුවේ ධම්මාලෝක භික්ෂුව දින දෙකකින්, ව්‍යාජ අවසරයක් යටතේ, නිදහස් කර ගෙදර ඇරියේ කෙසේද යන්න, අර කියන ‘දඩයමේ’ ඇති සැඟවුණු අර්ධය බව විමල් වීරවංශලා රටට කියන්නේ නැත.
මහින්ද රාජපක්ෂ පාලනය ගැන එදා අඩමානයෙන් එල්ල කළ චෝදනා අද සාක්ෂි සහ නිශ්චිත දත්ත සහිතව සොයාගෙන තිබේ. නැත්නම් සොයා ගැනෙමින් තිබේ. වැලිඅමුණ වාර්තාව ආණ්ඩුවට භාර දී දැන් වසරක් ගතව ඇත. එම වාර්තාවේ සඳහන් චූදිතයන් කිසිවෙකු අඩු වශයෙන් වැඩ තහනමකටවත් මේ දක්වා ලක්ව නැත. ගිය සතියේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ඉතා දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව, එමිරේට්ස් ගුවන් සමාගම සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිවිසුම්ගතව සිටි අවසාන වසර වන 2008 දී ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව තිබූ ශුද්ධ ලාභයේ එකතුව, රුපියල් බිලියන 9.288 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම වසරේ ලන්ඩනයට ගිය අවස්ථාවක තමන්ට සහ තම සහචර පිරිවරට ආපසු පැමිණීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානයක ආසන විශාල ප්‍රමාණයක්, ඉතා කෙටි දැනුම් දීමක් හරහා ඉල්ලා සිටියේය. ඒ වන විට එකී ගුවන් යානයේ සියලූ ආසන විකුණා අවසන්ව තිබූ බැවින් ඒ අවසාන මොහොතේ ඔහුගේ එම ඉල්ලීම ඉටු කිරීමට ශ්‍රී ලංකන් අධිකාරියට නොහැකි විය. මුදල් ගෙවා නීත්‍යානුකූලව ආසන වෙන් කරවාගෙන සිටි පුරවැසියන් ගුවන් යානයෙන් එළියට දමා, තමාට සහ තම සහචරයන්ට කොළඹට පැමිණීමට එම ගුවන් යානය නොදීම ගැන උරණ වූ මහින්ද රාජපක්ෂ, ඒ වන විට එමිරේට්ස් ගුවන් සමාගම සමග පැවති ගිවිසුම අවලංගු කොට එහි ප්‍රධානියාවත් රටෙන් නෙරපුවේය. එදා පටන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුලෙනි. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? 2008 සිට 2015 වන විට මේ ‘දේශීය’ ගජයන් විසින් කළමණාකරණය කරන ලද ‘දේශීය’ ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 128.238 කි. අදත් දිනපතා කෝටි ගණනින් මේ රටේ ජනතාවගේ බදු මුදල් ඊනියා ජාතික ගුවන් සේවයක් නඩත්තු කිරීම සඳහා විනාශ කෙරේ. මේ මුදලින් සියලූ පහසුකම් සහිත රෝහල් 65 ක් ඉදි කළ හැකිලූ. සියලූ පහසුකම් සහිත පාසල් 300 ක් ඉදි කළ හැකිලූ.
වරද වන්නේ, මේ හෙණ ගහන ජාතික අපරාධවලට වගකිව යුත්තන් නැවත තමන්ට බලය දෙන්නැයි හයිඞ් පිටියට පැමිණ ඉල්ලා සිටීමද? නැත්නම්, එම අපරාධකරුවන්ට නීතියෙන් ගැලවී සිටීමට තවමත් ඉඩ හැර තිබීමද?
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda