එය බිම්බරක් සෙනඟ ගැවසුණු භූමියයි. පුරාතන වෙල්ලස්සයි. සද්දන්ත ගිජිඳන් ගැවසුණු භූමියට යකඩ ඇත්තු පෝලිමේ ඇවිත් දැවැන්ත වනස්පතීන් මුලිනුදුරා දමන කල්හි කල්පාන්තයෙක සේ සියල්ල වෙනස් වන්නට විය. මිනිසුන් පරම්පරාවක් භුක්ති විඳි බිම් අත්පත් කොට ගනිමින් රටට සීනි සපයන්නට සැළසුම් ඇඳෙද්දී ජන අයිතීන් උදෙසා හඬ නැගෙන්නට විය. එවකට බොහෝ සෙයින් දුෂ්කර ප‍්‍රත්‍යන්ත මොණරාගල පාසලෙක ගුරු වෘත්තියෙහි නිරත රත්න ශ‍්‍රී ගේ පෑනෙන් වැනසෙන පරම්පරා උරුමය ගැන ගී උපදින්නට විය.

එහෙත් කිසිවක් නොදුටු නොඇසූ පාලකයින්ගේ උවමනාවන් ඉටුකරමින් පැල්වත්තේ දැවැන්ත සීනි කම්හලක් කේන්ද්‍ර කරගනිමින් බුත්තල හා වැල්ලවායේ අක්කර දහස් ගණනාවක් සීනි කර්මාන්තයට පවරා ගැණුනි. පැල්වත්ත සීනි සමාගමේ නින්දගම් වූ බිමෙක සිය දහස් ගණනක් ජනයාට කඹුරන්නට සිදුවිය. වනගත ගම් සිය ගණනක ජනයාට බ්ලොක් යැයි යළි නම් කෙරුණු ජනාවාස කට්ටි වල යාන්ත‍්‍රික ජීවිතයකට යළි හුරුවන්නට සිදුවිය. වැල්ලවාය කරමැටිය ගමේ උප්පැන්නය ද 1985 අවුරුද්දේ සිට වෙනස් වූ අතර ගම්මුන්ගේ කටට නුහුරු බ්ලොක් 03 නම් අලූත් නමක් ගමට උරුම විය. 1984 දී කරමැටියේ එවක පදිංචි ගොවිතැනෙන් ජීවිකාව සරි කරගත් ජනයාට තමන් ස්ථීර පදිංචි බිම උක් වගාව සඳහා පවරා ගන්නට රජය තීන්දු කර ඇති වග මුලින්ම දැනගන්නට ලැබුණි. ඔවුන් ඇතුලූව පසුව අංකයක් හා බ්ලොක් යන නුහුරු සඳහනකින් හඳුන්වන්නට වූ පුරාණ ගම් ගණනාවක ජනයාට සිහින දේශයක් මවා පෙන්වීම සිදුවනවිට ස්වෛරී ගොවීන් වූ ඔවුහු තමන්ගේ භූමිය නිදහසේ භුක්ති විඳිමින් සිටියහ. මාස් වැහි කන්නයට කැලේ හේන් කෙටූ ඔවුහූ දියපිරි ආරවලින් පෝෂණය වූ කුඹුරු දෙකන්නයම වැවූහ.

දෙන දෙයක් විතරමයි.

පවරා ගන්නා ඉඩම් සීමාවේ ගම් ගානේ යමින් රැස්වීම් පැවැත්වූ නිළධාරින් පොරොන්දු වූයේ උක් වගාවට හා පදිංචියට විකල්ප ඉඩම් ලබාදෙන බවයි. ඔප්පු තිරප්පු බලපත‍්‍ර තිබූ නැතිනම් හේන් සංස්කෘතියේ හැටියට භුක්ති විඳි තමන්ගේම ඉඩම වෙනුවට ලබාදෙන ඕනෑම තැනකින් පදිංචියට අක්කර භාගයක් හා උක් වවන්නට අක්කර හතර හමාරක් ලබාදීම පොරොන්දුවයි. අක්කර හත අට නැතිනම් පහළොව විස්ස සරුවට ගහකොළ වවා තිබුණු ඉඩම වෙනුවට අක්කර පහකින් සෑහීමට පත්වන්නට සෑම ගම්වැසියෙකුටම සිදුවිය. කෙනෙකුගේ සරු ඉඩමක් අක්කර භාගයේ කෑලි වලට කැඞී හෝ උක් වගාව සඳහා ඩෝසර් කෙරෙද්දී එළි පහළි වනවිට ඒවායේ තිබූ වටිනා ගස් කොහේ පැටවෙන්නේදැයි ඇසීම කළ නොහැකි විය. ඒ නොයෙක් සිවිල් සංවිධාන මේ මහා ව්‍යසනයට එරෙහිව වෙල්ලස්සට පැමිණ හඬ නගද්දී ද එසවුණු තර්ජනාංගුලිය හුදෙකලා ගම්මුන් ඉදිරියේ එසවීම තිබුණු හෙයිනි. කෙසේ හෝ ඉඩම් අක්කර පහක් ලැබීම වාසනාවකැයි කිසිවෙකුට සිතෙන්නටද බැරි නැත. එහෙත් මේ මිනිසුන්ගේ ජීවිත වල අවාසනාව ඇරඹෙනුයේම අදටත් ඔවුන්ට නිසි අයිතියක් නොමැති ඒ ඉඩම් වල පැටලීම සමගමය.

එවක කරමැටියේ විසූ බොහෝ දෙනෙකුට මෙන් ආර්. එම් කිරිබණ්ඩාටද කොස් පොල් වැවූ ගෙඩි කඩන පුවක් අරඹක් සහිත ඉඩමක් විය. ආණ්ඩුවේ බලපත‍්‍රයක් හිමිව තිබූ අක්කර අටක ඉඩමට ආරක් හරස් කොට දියවර සපයාගත් හෙතෙම වී බුසල් හයක කුඹුරක් ද වපුළේය. එවන් කුඹුරු බොහෝ දෙනෙකුට තිබුණේ වන වදුලූ මැදින් ගලන දිය හිඟ නොවූ ආරවල් නිසාවෙන් වන අතර 1984න් පසුව කිසිදිනක මේ කුඹුරක වියැට ගෙඩියක් වපුරන්නට අවකාශ නොලැබුණි. අවුරුදු හත අටකින් එහා උක්පැළ කරදඬු ඔසවද්දී ඔවුන්ගේ ඇස් මානයේ සියලූ ආරවල් අන්තිම බිංදුවට හිදී ගියේය. එදා පටන් ඔවුන්ගේ ජීවිත වලට සින්න වූ ව්‍යසනය කිරිබණ්ඩාට අද ඊයේ වාගේ මතකය.

KiriBanda

”අපේ ඉඩම් ගත්තට පස්සේ සමාගම ඒවා ඩෝසර් කළා. අප්පච්චියේ ගෙඩි පැහෙන මහ කොස්ගස් ඇස් ඉස්සරහ උදුරලා වැටුණා. අපෙන් ගත්ත ඉඩම් වෙනුවට දෙන ඉඩම් වල අයිතිය ගැන කවුරුවත් වචනයක්වත් කථා කෙරුවේ නෑ අද වෙනකොට තිස් අවුරුද්දක් අපිට එක කරදහියක් දීලා නෑ ඉඩම් අයිතිය ගැන කියලා. ලයිට් ගන්න ගියත් වතුර ගන්න ගියත් සීනි සමාගමෙන් ලියුමක් ගන්න ඕන. මහත්තයෝ අපිම හදපු තේක්ක ගහ කපන්න අහන්න ගියාම ඒජී මහත්තයා කියනවා සමාගමෙන් ලියුමක් ගේන්න කියලා. අපි නින්දගමක හිරකාරයෝ වුණේ එහෙමයි. කොම්පැනිය පුද්ගලික අංශෙට දුන්නමත් මේ දේවල් මෙහෙම්ම වුණා ඉතිං. ආයේ ආණ්ඩුව ගත්තමත් තිබ්බා වගේමයි.”

කිරිබණ්ඩා උක්ගසක් වාගේය. කෘශය. ඒ උක්යාය වල ජීවිතය දියව යාම නිසාවෙනි. අන්තිමේදී ඔහුට වකුගඩු රෝගයද උරුම වී ඇත.

”උක් වැව්වාම අපේ ජීවිත වෙනස් වුණා ඒත් සරුවුණේ නෑ. කිව්ව විදිහට මහා ලොකු ආදායමක් ලැබුණෙත් නෑ. ගණන් හදලා බැලූවොත් උක් අක්කරයක් වවන මිනිහෙකුට දවසකට උපයගන්න ලැබෙන්නේ රුපියල් හැත්තපහක විතර සොච්චමක් මහත්තයෝ. ඒකත් ලැබෙන්නේ අවුරුද්දට සැරයයි. තිබ්බ විදිහට අපි මීට වඩා හොඳට ජීවත් වුණා.” කිරිබණ්ඩාගේ ස්වරය වේදනාබරිතය.

එහෙත් ඔවුන්ගේ ඇස්වලට කඳුලූ උනන්නේ නැත. ඒවා උක් යාය වල දාහයට හසුව වියැලී ඇති බැවිනි. උක් වගාව ආරම්භ කර මද කලකට පසුව භුමිය වියැලී ගිය අන්දම ඇස් පනාපිට දුටු සාක්කිකරුවන් අතර ඞී. එම් පේ‍්‍රමරත්න ද කෙනෙකි. ”මුලින්ම හිඳුනේ අපේ පුංචි සන්දියේ හිට තිබුණු ආරවල් . ඊට පස්සේ සමාගම ළිං කප්පවලා දුන්නා. කාලෙකින් ඒවත් හිඳුණා. ඊටත් පස්සේ 92 ගම් උදාවට ගහලා දුන්න නල ළිං ඒවත් හිඳුණා. දැන් වතුර බොන මේ පයිප්ප දීලා මාස තුනක් නැ, එතකොට හු`ගක් දේවල් වෙලා ඉවරයි.”

නොඉල්ලූ දේවල්ම මිස

ආර්. ආර් ජයරත්නට අනුව ඔවුන් ස්ථීර පදිංචි කරුවන් බව පැල්වත්ත සීනි සමාගම පිළිගනියි. එහෙත් ඉඩම උකසට තබා බැංකු ණයක්වත් ගැනීමට ඒ ස්ථීර පදිංචියට නොහැකිය. එය සමවන්නේ වතුකරයේ ලැයිම් කාමරවල පදිංචි කම්කරුවන්ගේ අයිතියටය. දැන්නම් ඔවුන්ටද ස්ථීර ඔප්පුවක් ලැබෙමින් පවතී. එහෙත් ජයරත්නලා තවමත් එතැනමය.

Jayarathne

”සමාගම කියනවා ඉඩම් දුන්නේ තිස් අවුරුදු ක‍්‍රමයට කියලා අවුරුද්දට රුපියල් 160 ක් බදු කපාගන්නවා. දැන් තිස් අවුරුද්ද ඉවරයි. තේ වතුවල මිනිස්සුන්ගෙන් නම් එහෙම බද්දක් ගන්නේ නෑ. අපිට ණය පොළියට උක් බීජ දෙනවා. රසායනික පොහොර වල් නාශක දෙනවා. වවන්න කියනවා. ආණ්ඩුවේ බළධාරින් කියනවා මොනවාහරි කරගන්න ගියාම සමාගමෙන් කරගන්න කියලා. අපිට ග‍්‍රාමසේවක මහත්තුරු වගේ ඉන්නෙත් සමාගමේ අය. ඕක තමයි අපි ඉල්ලූවේ නැති ජීවිතය.”.

ඔහු පවසන අන්දමට තමන්ගේම යැයි කියා දැන් ඉතිරිව ඇත්තේ ඡන්ද අයිතිය පමණි. ඒ නිසා සෑම මැතිවරණයක්ම ආසන්නයේ පොරොන්දු මල්ලක්ද සමග ගම් වදින දේශපාලනඥයින්ගෙන් මේ පළාතට හිඟයක් නොමැත.

BOX

උක් වගාවෙන් ඔවුන් නොඉල්ලා ලද දේවල් අතරට නිසරු භූමියද අයත් වේ. සමාගම ඉඩම් පවරා ගන්නට පෙර අඩුම තරමේ යූරියා ස්වල්පයක්වත් ඉස නොමැති මේ පොළව අද නිසරු ව ඇති තරමේ හැටියට රසායනික පොහොර නොමැතිව වගා කළ නොහැකිය. සියලූ පාරම්පරික භෝග වැනසී දෙමුහුම් මැලේසියන් ප‍්‍රභේද වවන්නට සිදුව ඇත. නියඟයෙන් වරින්වර මුලූ මොණරාගල දිස්ත‍්‍රික්කයම බැටකන්නටද මේ පාපය හේතු වේ. ඒ අතරට හඳපානාගල අලි ද ගම් වදිති. උක් වවන්නට පෙරද අලින් ජීවත් වූ නමුත් උන්ට අවශ්‍ය පමණට ආහාර ජලය වනයේ විය. ඉඳහිට හේනකට වැදුණු හිතුවක්කාර අලියෙක් පන්නා දැමීමට අත්පුඩියකින් පුලූවන් වූ අන්දම ගැමියන්ට මතකය. එසේ වූ අලි අද වනය අහිමිව උක් රසට හුරුවී මිනී ද මරති.

සියල්ලටම වඩා, උක් වවන්නට පෙර ඔවුන් අසාවත් නොතිබුණු වකුගඩු රෝගයද බිම් අඟලක නියත අයිතියක් නොමැති ඔවුනට මේ වෙද්දී දායාද ව හමාරය. බ්ලොක් 03 උක් ගොවීන් පවසන අන්දමට පසුගිය කාලයේ සීනි සමාගම උක් වගාවට මහා පරිමාණයෙන් වල්නාශක භාවිතා කොට තිබේ. පවර්මේට්, ඞී ඩෑෂ්, ඩයරෙප්ත් ඔවුන්ට ඒවා භාවිත කළ නමින් මතකය. නල ජලය සම්පාදනය කෙරී ඇත්තේ දෙතුන් මසකට පෙර වන නිසා මේ තාක් පානය කරන්නට සිදුවූයේ වල් නාශක සේදී එන ජලය වීමෙන් දැනට තිස් දෙනෙකුවත් වකුගඩු රෝගයෙන් මරු සොයා ගොස් ඇත. වකුගඩු රෝගයෙන් පීඩා විඳින කිරිබණ්ඩා පවසන පරිදි තවත් තිස් දෙනෙකුවත් රෝගීන්ය. ”රජරට විශ්වවිද්‍යාලේ ජයසුමන දොස්තර මහත්තයාත් ඇවිල්ලා බැලූවා. අවුරුදු විස්සෙන් පහළ ලෙඞ්ඩු 03 දෙනෙකුත් අඳුරගත්තා. මේක හරියට මරණ සහතිකේ අතින් අරන් ජීවත් වෙනවා වගේ වැඩක්නේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමති කාලේ ලෙඞ්ඩු අට දෙනෙක් එක්ක වැල්ලවායට ගිහින් හමුවෙලා ලියුමක් දුන්නම එයා සමාජ සේවා එකට කථා කළා. මාසෙකට රුපියල් 1000ක් දෙන්න නියම වුණා. එච්චරයි. ඉඩම් අයිතිය ගැනනම් කවුරුවත් කථා කෙරුවේ නෑ.”

දැනගතයුතු නොදන්නා දේ.

පැල්වත්ත සීනි කර්මාන්තය ආරම්භ වීමට ප‍්‍රථම මේ අඩවියේ කුඩා වැව් සියයකට එහා තිබුණු බව පැරණි සිතියම් ආශ‍්‍රය කොටගෙන පවසන්නී ප‍්‍රදේශයේ සමාජ ක‍්‍රියාකාරිනියක වන කේ. පී. සෝමාවතී මහත්මියයි. ඇයට අනුව සීනි සමාගමේ කොටස් අයිතියෙන් සියයට 51ක් ආරම්භයේ සිටම රජයට පැවතියත් ඒ පිළිබඳව ජනයා නොදැන සිටීම හේතුවෙන් අයිතීන් ඉල්ලා රජයට බල කෙරෙන තැනකට ඔවුන් තල්ලූ නොවීය. එසේම මර්ධනයද ඒ සඳහා හේතුවූ බව පවසන ඇය සඳහන් කරන්නේ ජනතා අයිතීන් වෙනුවෙන් ආරම්භයේදී පෙනී සිටි පෙරමුණු නායකයින් ඇතමෙක් අතුරුදන් වූ අතර අද වනතෙක් ඔවුන් ට සිදුවූ දෙයක් කිසිවෙක් නොදන්නා බවයි.

පසුගිය සමයේ බ්ලොක් 03 හි පවුල් 230 කටම සිය ඉඩමට කිසිම නීත්‍යානුකූල ලියවිල්ලක් නොමැති පසුබිමක සමාගම කිහිප දෙනෙකුට ලියවිල්ලක් ලබාදීම ආරම්භ කළ අතර හදිසියේ එම වැඩපිළිවෙල නතර වූයේ ඇයිද යන්නවත් ගම්වාසීන් නොදනී. ඔවුන්ගේ මේ නොදන්නා කම නිසා බොහෝ දේ අහිමි වූ බවද පවසන්නේ සෝමාවතී මහත්මියයි.

”මේ මිනිස්සු අහිංසකයි. ඉස්කෝල පවා හදලා නඩත්තු කළේ කොම්පැනිය. එයාලා මිනිස්සුන්ට පෙන්නුවා රස්සාවක් තියෙනවා කියලා. මිනිස්සු ගැහැණු ඔක්කොම වැඩට ගියා. ස්වාධීන ගොවිතැන බිඳ වැටිලා කුලී කාරයෝ බිහිවුණා. පවුල් ජීවිත හිටන් විනාශ වුණා. විශ්වාස කරනවද උක්යාය වලම දරුවෝ ලැබිලා ෂොපිං කවර වල දාලා ගියපු අවස්ථා තිබුණා. කිසිම සමාජ ප‍්‍රශ්නයක් ගැන කොම්පැනිය බැලූවේ නෑ. ලස්සනට පාක් එහෙම හදලා තිබ්බා. ඒවා නිළධාරීන්ගේ දරුවන්ට. මේ පංති පරතරය අස්සේ කොහොමවත් ගොවීන්ගේ ඉඩම් ප‍්‍රශ්නේ කොම්පැනියට ප‍්‍රශ්නයක් නෙවෙයි.”

මස් රාත්තලම වුවමනා නැත.

දැන් අවුරුදු තිහකට වඩා ගෙවී හමාරය. තිස් අවුරුදු බදු කථාව ගැන කථාවක් ඇත්තේම නැත. ඡන්ද පොරොන්දු ද නැත. අනුන්ගේ කොලනියක ඔවුහු වහලූන් මෙන් දිවි ගෙවති.

”මෙහෙම සළකන්න අපි පිටරටකින් ආපු කල්ලතෝනි නෙවෙයිනේ. අපි ඉල්ලන්නේ අපෙන් උදුරගත්ත දේ වෙනුවට.” ඒ ඔවුන්ගේ ආවේගශීලී හඬයි. එහෙත් ඔවුන් ඩෝසර් කළ ඔවුන්ගේ උරුමය ඉල්ලන්නේ නැත. වකුගඩු මාරයා බිලිගත් ජීවිත හෝ වන්දි ඉල්ලන්නේ නැත. සිඳී ගිය ආරවල් දියකඳුරු ඉල්ලන්නේද නැත. ඉල්ලන්නේ එකම දෙයකි. ඒ තම තමන්ගේ ඉඩම් වලට නීත්‍යානුකූල අයිතිය දැක්වෙන ලියවිල්ලකි. එහෙත් ඒ පිළිබඳව ආණ්ඩුවට හෝ සමාගමට බියවන්නට කාරණයක් නොමැත. ඉඩම් හිමිකම ලැබූ පමණින් ඔවුන් උක්වගාවෙන් මිදී තමන් කැමති වෙනත් භෝගයක් වවාගෙන පසෙකට වන්නේද නැත. එහෙයින් රටේ සීනි නිෂ්පාදනය පහත වැටෙන්නේ හෝ කර්මාන්තය වසා දමන්නට සිදුවන්නේ නැත. තමන් උක් වගාවෙන් මහා ලාභයක් නොලබන බව දැන දැනම වුව ඔවුන් උක් අක්කර හතරහමාර වවනු ඇත. ඒ උණු උක් පැණියේ තැම්බෙමින් ඔවුන් ඉල්ලන්නේ තමන් පදිංචි අක්කර භාගයට ස්ථීර හිමිකම දැක්වෙන ලියවිල්ලක් පමණක් හෙයිනි. සිදුවන අවාසියක් නොමැති නිසා එය බළධාරින්ට අසීරු කරුණක් නොවේ. මුල් පදිංචි කරුවන් වන, වෙනත් පළාතක ආපදාවක් නිසා ඉඩම් දී පදිංචි කළ පිරිස් වන හෝ පුනරුත්ථාපනය කළ ජනතා විමුක්ති පෙරමුණ කැරළි කරුවන් වන කියා හෝ වෙනසක් නොමැතිව බ්ලොක් 03 හා පැල්වත්ත සීනි කර්මාන්තයට අයත් අනෙක් කලාප වලද පවුල් දහස් ගණනක ජනයා යුක්ති සහගත අපේක්ෂාවක පසුවන්නේ තමන්ගේම කියා බිම් කැබැල්ලක් හිමිකරගන්නටයි. ඉන් තමන් දවන උක්දඬු ගින්න නිවාගන්නටයි.

Lasantha De Silva ලසන්ත ද සිල්වා | Lasantha de Silva