end of the War, Featured Articles, Features

සන්නද්ධ ගැටුම අවසන් වී අදට(18)… “වසරයි” – දකුණේ දේශපාලනයට තමන්ගේ ‛‛සුජාතබාවය’’ පෙන්වීමට හොඳම අවස්තාවයි…

සාමිනාදන් විමල්, කථිකාචාර්ය, යාපනය විශ්වවිද්‍යාලය.

දැන් පෙනෙන්ට තිබෙන කාරණය තමයි මේවන විට මහත් උත්සවශ්‍රියෙන් සමරන්නට සූදානම් වෙලා තිබෙන යුද්ධය ජයග්‍රහණය කිරීම කියන එක. නමුත් ඒක හඳුන්වන්න පුලුවන් වෙන්නේ යුද්ධය ජයග්‍රහණය කිරිම කියන එකට වඩා ‛‛යුද්ධයෙන් ජයග්‍රහණය’’ කිරිම කියලා.

යුද්ධය ජයග්‍රණය කරා නම් ඇත්ත වශයෙන්ම සුඑ ජාතින්ගේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කාරණා, මාධ්‍ය නිදහස පිලිබඳ කාරණා, මිනිසුන්ගේ අධ්‍යාපන පහසුකම් යන කාරණාවල වර්ධනයක් වෙලා තියෙන්න ඕන. එසේම යුද කාලය තුළදී සමාජයේ තීව්‍රලෙස ඉහළ නැග තිබූ සමාජයට අහිතකර සාධක නැතිවෙලා යහපත් සමාජයක් ඇතිවෙලා තියෙන්න ඕන. ඒක එමෙහ වන්නේ යුද්ධය ජයග්‍රණය කිරීමක් තුළ. නමුත් දැන් වෙලා තියෙන්න යුද්ධයෙන් ජයග්‍රණයක් කිරීම තුළ, ”යුධමය ක්‍රියාමාර්ගයකින් ජයග්‍රහණය” කිරීමක්. ඒ නිසා බොහෝ විට කාරණා සිදුවෙමින් පවතින්නේ යුද්ධයෙන් ජයග්‍රහණය කිරීම සහ යුධමය සංස්කෘතිය සහ යුධමය ක්‍රියාමාර්ග උත්කර්ෂවයට නැංවීමත් සහ දේශපාලනික වශයෙන් දකුණේ ජනතාවට සන්තර්පනය කිරීම සඳහා මේ කාරණා උපයෝගී කර ගැනීමත් කියලා. එහෙම නැතුව දීර්ඝ කාලීන්ව තිබුණ ආයුධ සන්නද්ධ අරගලයක් සහ ඒ තුලින් මතු වුනු ප්‍රචණ්ඩ සංස්කෘතිය අවසානයකට ඇවිල්ලා ලංකා සමාජය ඉහල තලයකට ගෙන යාමේ උත්සහයක් සියයට දශම ගණනක උත්සහයක් පවා දක්නට ලැබෙන්නේ නෑ. ආර්ථික සංවර්ධනය, මානව සංවර්ධනය වැනි කාරණා පිලිබඳව ද එතරම් දෙයක් සිදුවෙමින් පවතින බව ඒ තරම් දුරට පෙනෙන්නේ නෑ.

බෙහෝ අය අවධාරණය කරන කාරණයක් තමයි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කියන එක. ඒක පශ්චාත් යුධ සමයත් සමඟ ගැටගහලා ගන්න ඕන නෑ. ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ලංකාවේ සෑම තැනටම අදාල පොදු කටයුත්තක්. ඒක යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවලට විතරක් නෙමේ, හැමතැනටම සිද්ධවෙන්න ඕන දෙයක්. නමුත් යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ තුළ, විශේෂ න්‍යාය පත්‍රයකට යන වැඩ පිළිවෙලක් තියෙන්න ඕන.

ඒ වගේම යුද්ධය නිසා ඇති වෙච්ච ප්‍රශ්ණ වලට දීර්ඝ කාලීනව සහ ක්ෂණිකවත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. නමුත් එවා කෙරෙන බවක් තෙරෙන්නනේ නෑ. ආර්ථික සංවර්ධනමය ව්‍යාපෘති පිළිබඳව යම් කිසි නැඹුරුවක් දක්වන බවක් පෙනෙන්නට තිබුණත් ඒවා කොතෙක් දුරට පාරදෟෂ්‍යභාවයකින් යුක්තව පවතිනවාද?, එහෙම නැත්නම් අදාල ප්‍රදේශයේ ජන ජීවිතයත් සමඟ ෙකාෙතක් සම්බන්ධව තිබේද? යන දේවල පිළිබඳව ගැටලු මතු වෙනවා.

අනෙක් කරුණ නම් යුද්ධයෙන් පීඩාවට පත් වූ මිනිසුන්ගේ මානව සංවර්ධනය පිළිබඳව, ආර්ථික සංවර්ධනය පිළිබඳව දක්වන සුඑ උනන්දුව තරම්වත් උනන්දුවක් දක්වලා තියෙනවද කියලා.

ඇත්තටම මෙතන සිද්ධවෙලා තියෙන්නේ ‛‛පරාජිතයා සහ ජයග්‍රාහකයා’’ කියන ආකල්පය.

දකුණේ සමාජය තුළට තමන් ජයග්‍රාහකයා යැයි කියන පණිවිඩය ගෙන යන්නට රාජ්‍යතන්ත්‍රය විසින් කටයුතු කළත් උතුරේ මිනිසුන්ට ඔබලා පරාජිතයෝ නොවේ කියන අදහස ගෙනයන්න කිසිම වැඩපිළිවෙලක් ඇතිවෙලා නෑ. මොකද ඒ අය තමන්ගේ වැඩපිලිවෙලට එකතුකර ගැනීමට යම් උත්සහ දැරුවත් ඔවුන් ඇත්ත වශයෙන්ම පරාජිතයන් නොවේය කියන, ජනතාව තුළ මුල් ඇද ගන්නා විදිහේ වැඩපිළිවෙලක් කෙරිලා නැහැ.
ඇත්තටම සිදුවිය යුත්තේ එයට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළ දකුණේ සමාජයත් මේ තුළට ඇදගැනීමයි. හුදෙක් දකුණේ අයට අපි විසින් දිනාගන්නා ලද ප්‍රදේශ ප්‍රදර්ශණය කිරීමට වඩා, එහෙම නැතිනම් අපි යුද්ධයේදී පාවිච්චිකරපු අවි ආයුධ, මිනිස් බලය වැනි දේ ප්‍රදර්ශණය කිරිමට වඩා, මෙන්න මේ වගේ ප්‍රශ්ණයකින් පීඩා විදි මිනිස් සමාජයකට ඒ පිලිබඳව අපි කුමක් කරන්නේද යන්නත්, උතුරේ සහ දකුණේ සමාජ දෙක එකතුවෙලා ඒ පිලිබඳව කුමක්ද කරන්නේ ද යන්නත් කියන එක තමා වැදගත්ම වන්නේ.

විශේෂයෙන් සුනාමි වැනි ව්‍යසන අවස්ථාවකදී දකුණේ සමාජයේ සමහර අය ඉතාමත්ම උනන්දුවෙන් ඉදිරිපත් වෙලා වැඩ කරා. උපකාර කරා. නමුත් මේ වගේ දෙයකදී හුදෙක් රජය විසින්ම කරන කාර්යයක් නෙමෙයි, සිවිල් සමාජය, දේශපාලන පක්ෂවල ඉන්න අය සහ සමාජ වෙනසක් වෙනුවෙන් වැඩකරන අය ඒ හැමෝටම වගකීමක් තියෙනවා. උදා. විදිහට සුනාමි වෙලාවේදී ජේවීපි එකේ සහන්රථ බලකාය විසින් නිවාස පවා ගොඩ නැඟුවා. එවැනි වැඩපිළිවෙලවල් උතුරු සහ නැගෙණහිර ප්‍රදේශවල කරන්න පුලුවන්. ඒවාගේ වැඩ කරන්න පුලුවන් කම තිබෙද්දී හුදෙක් හමුදාමය ජයග්‍රහණය විතරක් සැමරීම මම හිතන්නේ නෑ දකුණට හෝ උතුරට යම් කිසි දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන යහපතක් අත්පත්කර දෙයි කියලා.

අනාගතය….

1983 පස්සේ පත්වෙච්ච හැම රජයක්ම පිළිගත්ත දෙයක් තමයි දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවෙලා තියෙනවයි කියලා. පවතින්නේ ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් යැයි කියලා ප්‍රකාශ කරපු පිරිස් සහ අන්තජාතිවාදී කොටස් පවා පිළිගත්ත දෙයක් තමයි ජනවාර්ගික වශයෙන් දෙමළ ජනතාවට අසාධාරණයක් වෙලා තියනවා කියලා. ඒ නිසා හමුදා මෙහෙයුම් පවා නම් කරේ මානුෂික මෙහෙයුම් කියලා. එහිදීත් ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය සඳහා මෙහෙයුම් කරනවා මිස, දෙමළ ජනතාවගේ ඉල්ලීම් අහක දැමීම සඳහා කරන දෙයක් නෙමේ කියලා.

අනිත් කරුණ නම් ඒ කාලය තුළදී රජයන් විසින් ගෙන හැර දුක්වූයේ එල්ටීටීඊ සංවිධානය කිසිම දේ්ශපාලන විසඳුමකට කැමති නැහැ. ඒ නිසා කිසිම දෙයක් කරන්න බැහැ කියලා. දැන් ඒ සාධකය නැතිවෙලා තියනවා. දැන් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක නොවන තත්වයක් තුළ දේශපාලන විසඳුමක් පිළිබඳව කටයුතු කිරීමට අවස්තාව තිබෙනවා. දකුණේ සමාජය තුළ දේශපාලන විසඳුමකට විරුද්ධව කතා කරපු බලවේග උනත්, යම් දේශපාලනික මට්ටමක ඉන්නවා. ඒ නිසා කරන්න පුවන්නම් ඉතා හොද අවස්ථාවක් හැටියට තිබෙන්නෙත් මේ අවස්ථාව.

‛‛අනෙක තමන්ගේ සුජාතබාවය පෙන්වීමට හෝ හුදෙක් අපි මේ කරේ ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධයක් මිස, දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ අපි නොදන්නවා නොවේ, කියන ස්ථාවරය ඇත්තට ප්‍රායෝගිකව පෙන්නන්න පුඑවන්වන්නේ ඒවාගේ දේශපාලන විසඳුමක් ලබා දීම තුළින්. නමුත් එවැනි අදහසක සේයාවක් අපට පෙනෙන්නට නෑ.’’

අනෙක මිනිසුන්ට ප්‍රවාහණ පහසුකම් ලැබීමත් සමඟම සිදුවෙලා තිබෙන හොඳම දේ තමයි උතුරේ සහ දකුණේ මිනිසුන් තුළ මතවාදී තලයේ නිර්මාණය කර තිබූ වැරදි අදහස් දැන් පරාජය වෙමින් පවතිනවා. උතුරේ අය ගොඩක් දුරට හිතන් හිටියේ දකුණේ සිංහල ජනතාවට විශාල සංවර්ධනයක් ආණ්ඩුව විසින් කරලා තියනවා කියලා. නමුත් ‛‛උතුරට සංචාරයේ එන මිනිසුන්ගේ හැටි බලපූහාම උතුරේ මිනිසුන්ටත් අවබෝධ වෙනවා ආර්ථික අසංවර්ධනය කියන එක දකුණේ තියනම දෙයක් කයලා.’’

Pic: by – Sampath samarakoon (2010 May 11) A9 Road