මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි ටිකක් අමාරු වෙන්න පුලුවන්.
අනෙක් ගෝත්‍රය වන බොදුබලේ, විමල්, දිනේෂ්, වාසු වැනි නරුම සලකුණු පිළිබද පළමුව නොකීවේ ඔවුන් හැමදාමත් සේම අදත් මළමිනී මතින් හෝ බලයට පැමිණීමට වෙර දරන ජාතිවාදී රොත්ත ගැන ඇති පදම් ලියැවී අැති නිසාය.
යුද්ධය ‘ශුද්ධ‘යි ද? යන්න ඇසීමට පාදක වූයේ ඉහත නරුමයින්ගේ අදත් පවතින අශිෂ්ඨ සංවාදයන් නිසා නොව; එය මෙය ලිවීමට පදනම් වන පාරිසරික තත්ත්වයක් පමණි. නිමිත්ත වූයේ නිලන්ත ඉලංගමුව නමින් ‘විකල්ප‘ වෙබ් අඩවියේ ‘බැසගිය මෛත්‍රී රැල්ල සහ හඳුනා නොගත් මෛත්‍රී’ යන හිසින් පළවු ලිපියක් නිසාවෙනි.
එම ලිපියේ තැනක මෙසේ දැක්වෙයි.
‘‘..එහිදී සමාජයට ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදුන් මූලික කාරණයක් තිබේ. එනම් යම් “ශුද්ධ” කටයුත්තක් වෙනුවෙන් සිදුකරන කැපකිරීම සාමුහික වීමටත් ඉන් පසු ලබන ජයග්‍රහණය කල්ලියකගේ මනදොන පිනවන කටයුත්තක් වීමටත් පසුබිම්වන හේතුව කුමක්ද යන්නය. ‘‘
තවදුරටත් එහි මෙසේ දැක්වෙයි..
‘‘මෙවැනි ගැඹුරු සමාජ ප්‍රශ්න සඳහා නිශ්චිත තනි පිළිතුරක් නොමැත. එසේම සැබෑ කැපකරන්නා ජයග්රහණයෙන් පසු ක්‍රමානුකූලව යටපත් කිරීම හෝ පද්ධතියෙන් අතුගා දැමීමේ ක්රමානූකූල වැඩපිළිවෙලක් මෙම සමාජ් නැඹුරුව තුළ ඇත.
යුද්ධයේදී කැප වූ සැබෑ වීරයින්ට මුහුණ දීමට සිදු වූයේද, මෛත්‍රී රැල්ල තුළ සැබෑ සමාජ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙකු මුහුණ දී සිටින්නේද මෙම කටුක යථාර්තයටය. ඔවුහුගේ හඬ නොඇසෙන්නේ යැයි වැළපීමක් තිබේ. එය එසේ වන්නේ වෙනස් දෙයක් මෙවැනි සමාජ සංස්කෘතියක සිදු විය නොහැකි බැවැනි. එනම් කෙටි කාලීන අවශ්‍යතාවයන් වෙනුවෙන් පොරබදන සමාජීය ව්‍යුහයක ඇති සම්ප්රදාය මෙයයි. අනෙකාගේ නිවසට වඩා විශාලව තමන්ගේ නිවස තනාගන්නේ කෙසේද?..‘‘
මෙසේ ප්‍රශ්ණ කිරීමට මා හට සිදුවන්නේ, නිලන්ත ඉලංගමුව විසින් මෙම ප්‍රකාශයට පෙර මෛත්‍රී සහ මහින්ද සමබන්ධ කරමින් ප්රජාතන්ත්රවාදී මෙන්ම ශිෂ්ඨ තත්ත්වයක යැයි සැලකිය හැකි ප්‍රවිශ්ඨයක් පෙන්වා ‘අශිෂ්ඨත්වයේ‘ පිළිබිබුවක් වූ ජනඝාතක යුද්ධය ‘ශුද්ධ‘ කටයුත්තක් යැයි නම් කිරීම නිසාය.
මෙයින් පෙනෙන්නේ නිලන්ත ඉලංගමුව විසින් සමාජය ඉදිරියේ ප්රජාතන්ත්රවාදයට සහ මානව හිමිකම්වලට ඇති සිය ගැඹුරු නැඹුරුතාවය පෙන්වා පසුව සිය සත්‍ය නැඹුරුතාවය වන මහා ඛේදවාචකක් කළ යුද්ධය ‘ශුද්ධ‘ තත්ත්වයක් ලෙස ඔසවා තැබීමේ ජාතිවාදීන්ගේ මූලික ආස්ථානය නිරුවතින් අකුරු අතර ගැලපීමය.
ප්‍රශ්ණය වන්නේ ‘මානව හිමිකම්‘ තත්ත්වයන් පිළිබද සාකච්ඡා කරන්නෙකුට යුද්ධය ‘ශුද්ධ‘ අර්ථයෙන් දැකිය හැකිද?
මෙය මේ අවදියේ නිලන්තලා ට පමණක් නොව ජනවාරි 8 වෙනස, කෙසේ හෝ අරක්ෂා කර ගැනීම සදහා, දෙමළ පීඩිත හෘද සාක්ෂිය නැවත වරක් බිල්ලට දීමට පවා කිසිදු මැලිකමක් නොදක්වන ඇතැම් මානව හිමිකම් ගැන ලියන්නන්ගෙන් පවා හෙමිහිට මතු වන්නකි.(විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් යෝජනාවේ අන්තර්ගලය හෝ එවැන්නක් පසෙකින් තැබුවත් එයට දකුණේ ජාතිවාදී මාධ්‍ය උඩදමාගෙන තලන විට රෑපවාහිනියේ/ගුවන්විදුලියේ වැනි රාජ්‍ය මාධ්‍ය තුළ ‘දැන් ශෝක්‘ දේවල් කරන ඇතැම් පිරිස්ට ඒවා නොඇසුනේද ඒ නිසාය.)
එබැවින් මෙම තත්ත්වයන් ලාංකීය සමාජය ඉතා සංයමයෙන් යුතුව අවබෝධ කර ගත යුතුය. එසේ නොවුනහොත් නැවත වරක් සංහිදියාවේ නමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු දෙනා පැරණි වලේ නැවතත් වැටිය හැකිය. වැටිය හැකි කියනවාට වඩා ‘වලට ඇද දැමිය‘ හැකිය.
එම නිසා එයින් බේරිය යුතුය. නමුත් එයින් බේරිම සදහා විග්නේෂ්වරන්ට තලා නම් හරියන්නේ ද නැති බවත් සිහිපත් කළ යුතුය.
විශේෂයෙන් යුද්දයෙන් වසර 7ක් ඉක්ම යෑමට ආසන්නව තිබියදී පවා ජනඝාතක යුද්ධය උත්කර්ශයට නංවා එය ‘ශුද්ධ‘ ත්ත්වයට ඔසවා තබන්නේද ඒ සමාජයෙන් කිසි දිනක ‘යුක්තිය‘ බලාපොරොත්තු විය නොහැකිය.
එසේම ගෙවෙන්නේ මැයි මාසය ය.. එය දකුණට විජයග්‍රහණයේ(ඊනියා) මාසය ක් වුවත්, උතුරට එය කදුලු මාසයකි. උතුරේ භූමිය ලේ බිමක් කල මාසයේ තවමත් ඒ සංහාරය ‘ශුද්ධ‘ යන්න කීමට කෙනෙක් සමත් වන්නේ ද ඔහු අයිති වන්නේ ශිෂ්ඨ සමාජයට නොවේ ‘අශිෂ්ඨ‘ ගෝත්‍රික සමාජයට බව ද අවසන ලියා තැබිය යුතුමය.
(මෙය ‘විකල්ප‘ වෙබ් අඩවියේ පළ කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙන අතර, අදාල ලිපියේ අයිතිකරුට හෝ නම් කරන ලද කිසිවෙකුට හිත් රීදීමක් වූවා නම් කණගාටුව භජනය කරන්නේ නැති බව ද දන්වා සිටීමට කැමැත්තෙමි. නමුත් ඔවුන්ගේ පිළිතුරු දීමට ඇති අයිතියට ගරු කරමි.)
වාසල කැලුම්