මා ජිවත්වන කොළඹ තදාසන්න පෙදෙසට ජනවාරි 01දා උදාවූයේ දින ගණනාවක් එකතු වූ කුණු සමගිනි. ජනයා අතුරු පාරවල් දිගට ගස්වල සහ තාප්පවල කුණු බෑග් එල්ලා තිබුණේ නව වසරට (අ)සුභ පැතීමට මෙන්ය. කුණු එකතු කරන්නන් පැමිණියේ ජනවාරි තුන්වනදාය. මේ සටහන ලියන ජූනි 01දා වන විටත් දින ගණනාවක කුණු මෙම පෙදෙස්හි ගොඩ ගැසෙමින් තිබේ. හරියට ආණ්ඩුවක් නොව පාන්ඩුවක්වත් ඇති බවක් පෙනෙන්නේ නැත. දැන් පළාත් පාලනය කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති බැවින් ප්‍රාදේශීය සභා දේශපාලනඥයින්ට බැණ වැදීමෙන්ද වැඩක් නැත.
කැළණි ගඟ දෙපස ගංවතුරට හසුවූ පෙදෙස්හි කුණූ සහ අබිලි ද්‍රව්‍ය ගොඩ ගැසෙන අතරවාරයේ ජපානයේදී ජනාධිපති සිරිසේන ජී හත මල් හතක් කරමින් සිටියේය. එම අවස්ථාවේදීම අගමැති දකුණු කොරියාවේදී අගමැති වික්රමසිංහද සිත්බඳනා කතාවත් දුන්නේය. ඇත්තටම කියන්නේ නම් කතා දෙකම අපූරුය. නමුත් ප්‍රශ්ණය එවැනි කතා වලට රට තුළ තිබෙන එදිනෙදා ප්‍රශ්ණ විසදීමට බැරිකමයි. ගවතුරින් බැට කෑ ජනයාගේ ගම්-බිම් සහ ගේ-දොර සුද්ධ පවිත්‍රකරණය ඉක්මන් කිරීමට ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබුණේ නැත.
එපමණක්ම නොවේ. මෙවැනි ස්වභාවික ආපදා පිළිබඳව පරීක්ෂාවෙන් සිටිය යුතු එවැනි තත්වයන් පිළිබඳ මෙරට ජනයාට අනතුරු හැඟවිය යුතු කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පත්ව ඇති තත්වය එහි වෙබ් අඩවියෙන් පෙනේ. එහි සිංහල බසින් ඇති දෙයක් නැති තරම්ය. එම දෙපාර්තමේන්තුවට සිදුව තිබෙන්නේ තමන් ගැන අනතුරු හැඟවීමට පමණය. නිවැරදි කාලගුණ අනාවැකි කීමට අවශ්‍ය උපකරණ ද එය සතුව නැතැයි කියනු ලැබේ. මේ වනාහී සුනාමි ව්‍යසනයෙන් 30,000ක් ජීවිත නැති වූ රටක කාලගුණ දෙපාර්ථමේන්තුවේ තත්වයයි. මුදල් නැතුව ඇති!
ආණ්ඩුවට මුදල් තිබෙන්නේ කෝටි ප්‍රකෝටි ගණන් දී අමාත්‍යාංශවලට ගොඩනැගිලි බද්දට ගැනීමට සහ මැති ඇමැතිවරුන්ට යාන වාහන ලබා දීමට පමණක් විය හැකිය. කුණු අදින්නේ ටැක්ටර්වලය. ටැක්ටරය එන බව ගන්ධස්කාරයෙන් දැනගත හැකිය. කුණු අදින සේවකයින්ට ආරක්ෂිත මුහුණු වැස්මක් හෝ නැත. මුදල් නැතිව ඇති!
ආණ්ඩුවට දැන් වසය මාස 18කි. තව ඉතිරිව තියෙන්නේ සිව් වසරකි. දින සියය ඇතුළත ලබා දෙන බවට පොරොන්දු වූ තොරතුරු දැන ගැනීමේ පනත තවම නීතියක් බවට පත්ව නැත. සකස්කර අවසන් එම පනත ඉක්මණින් සම්මත කරන්නට ආණ්ඩුවට කිසිදු උවමනාවක් ඇති බවක් නොපෙනේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහොසි කිරීමද දින සියයේ පොරොන්දුවකි. එම පොරොන්දුව ආගිය අතක් නැත. ඒ වෙනුවට දැන් අප හමුවෙහි ඇත්තේ එම දුෂ්ඨ පනත යටතෙහි ගැනෙන අත් අඩංඟුවට ගැනීම් සඳහා මානව හිමිකම් කොමිසම විසින් සකස් කරන ලද මඟ පෙන්වීම්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනත සූදානම් යැයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි කියා සිටියේ පසුගිය මාර්තුවෙහි ජීනීවාහි පැවැති සමුළුවකදීය. අද වන තුරු එම කෙටුම්පත දුටු කෙනෙක් නැත.
නැගෙනහිර මහඇමැති නසීර් අහමඩ් යක්ෂවේශයෙන් නාවික හමුදා නිලධාරියකුට සහ පළාත් ආණ්ඩුකාරවරයාට ප්‍රසිද්ධියේ බැණ වැදීම පිළිබඳ ප්‍රශ්ණය විසඳීමට කිසිදු පියවරක් නොගෙන ආරක්ෂක ලේකම් විසින් පළිගැනීමේ නියෝගයක් නිකුත් කරන ලද්දේද ජනපති සහ අගමැති එතෙර කතා පවත්වමින් සිටියදීය. ආරක්ෂක ලේකම් කියා සිටියේ ආරක්ෂක හමුදා ඉල්ලීම අනුව මහ ඇමැතිවරයාට නැගෙනහිර පළාතෙහි කිසිදු ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල්වීම තහනම් කරන බවත් ත්‍රිවිධ හමුදා මහ ඇමැති සහභාගිවන කිසිදු උත්සවයකට නොපැමිණෙන බවත්ය. ඒ අනුව ත්‍රිවිධ හමුදාව එවැනි ඉල්ලීමක් කවර හෝ ඇමැතිවරයකු සම්බන්ධයෙන් කළද එය පිළිගත යුතුය. ආරක්ෂක ලේකම්වරයාගේ තීරණය ආණ්ඩු බලය යුදහමුදාවන්ට පවරා දීමක් වැනිවිය. දැන් එම තීරණය වෙනස් කොට තිබේ. එනමුත් සිදුවූ වැරදි නිවැරදි කිරීමක් නැත.
ආණ්ඩුවේ බොහෝ වැඩ වෙන්නේ ඒ විදියටය. ඇමැති වජිර අබේවර්ධන කප්පරක් දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජපක්ෂ හෙංචයියකු වන අනූෂ පැල්පිට සිය අමාත්‍යාංශයට පත්කර ගත්තේය. ඊට විරුද්ධත්වය දැක්වූයේ සිවිල් සමාජ පිරිස් පමණි. විශේෂයෙන්ම කැෆේ සංවිධානයේ ප්‍රධානියා වන රජිත් කීර්ති තෙන්නකෝන් නොවන්නට අනූෂ පැල්පිට යහපාලන ආණ්ඩුවේ වැඩකරුවකු වන්නට හොදටම ඉඩ තිබුණි. දැන් අනූෂ පැල්පිට වැඩ තහනමකට ලක්ව ප්‍රශ්ණය අවසන් වූ සෙයකි. ඇවන්ඩ් ගාඩ් ජාවාරම්කරුගේද සහකරුවකුවූ ඇමැති අබේවර්ධනට අවුලක් නැත.
මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ද වරක් ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ වාරණ නියෝගයක් ජනමාධ්‍ය වෙත නිකුත් කළේ ‘පොදු විපක්ෂය’ යන වචනය තහනම් කරමිනි. ජනමාධ්‍ය ගැන හංකාවිසියක්වත් දන්නේ නම් ලේකම්වරයා එවැනි පංගෝට් එකක් දාන්නේ නැත. එහෙත් ඒ මහතාද අපූරුවට දිගටම වැඩ කරමින් යයි. දැන් ජනමාධ්‍ය ගැන ඒ මහතාට එතරම් කැක්කුමක් ඇති පාටක් ද නැත. රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද මාධ්‍යෙව්දීන් ගැන ඒ මහතා දන්නේම නැතිපාටය.
මෙම මස ජිනිවාහිදී ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව ගැන මහ කොමසාරිස් සෙයිඩ් විසින් වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීත් ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව ගැන එක් මතයකින් කතා කිරීමට ආණ්ඩුව සහමුලින්ම වාගේ අසමත් වී තිබේ.
ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරන ආණ්ඩුවේ මුදල් ඇමැති රවි කරුණානායක කියන්නේ යුද්ධයට ආදාළ මානව හිමිකම් ප්‍රශ්ණ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුව ඇත්තේ ජනාධිපති රාජපක්ෂ සහ විදේශ ඇමැති පිරිස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන් සමඟ අත්සන් කළ ප්‍රකාශණ සහ දුන් පොරොන්දු නිසා බවයි.
ඇමැති නවින් දිසානායක කියන්නේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවන්ට ජන්දය නොදීම පිළිබඳව ජපානයට ස්තුති කළ යුතු බවයි. ඉන් ඇඟවෙන්නේ රාජපක්ෂ පිළිවෙත නිවැරදි බව නොවේද?
එමෙන්ම ඇමැති මහින්ද අමරවීර කියන්නේ ආණ්ඩුව බටහිර රාජ්‍යයන් සමඟ ගොඩ නඟා ගෙන ඇති සබඳතා නිසා දැන් යුද අපරාධ චෝදනා එල්ල වන්නේ නැති බවයි.
ජනපති සිරිසේන සමඟ ජපානයට ගොස් පැමිණ මෙම ඇමැති තිදෙනා පැවැත්වූ පුවත්පත් සකච්ජාවේදී ඉදිරිපත් කරන ලද උක්ත කරුණූ වලින් පෙනි යන්නේ යුද්දයෙන් විපතට පත් ජනයාට සාධාරණය ඉෂ්ඨ කිරීමට අදහසක් අඩුම වශයෙන් මේ ඇමැතිවරුන්ට නැති බවයි. ඔවුන් කතා කරන්නේ රාජපක්ෂ භාෂාවෙනි.
විපක්ෂයේ සිටියදී මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා පිළිබඳව අවබෝධයකින් යුතුව කරුණු ඉදිරිපත් කළ ලක්ෂ්මන් කිරිඇල්ල අමැතිවරයකු වී දෙකුන් වතාවක් ජනමාධ්‍ය සමඟ ඇන ගැනීමෙන් පසු දැන් නිහඩය.
එක් මතයක් සිට එක් අරමුණක් කරා යාමට ආණ්ඩුව එන්න එන්නම අසමත් වෙමින් තිබේ. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ විශ්වාසය දිනා ගැනීම අතින් ආණ්ඩුව ඉන්නේ ඉතාම පහළ තැනකය. යාපනයේ විසිපස් වසරක් සරනාගතව සිටින ජන පිරිසට මෙම ජූනි මාසය අවසන්විමට පෙර ඔවුන්ගේ ඉඩම් ලබා දෙන බවට ජනපති වූ පොරොන්දුව තවම එහෙමය. දෙමළ ජනයාගේ එදිනෙදා ජිවිතයට යුදහමුදා මැදිහත්වීම් නතර වී නැත. බිය ගැන්වීමද සිදුවෙයි.
ජනයාට දැනෙන මගී ප්රවාහණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය යනාදියෙහි කිසිදු කැපී පෙනෙන දියුණුවක් නැත. එක මහා පරිමාණ වංචාකාරයකු හෝ දඩුවම් ලබා නැත. එක දේශපාලන මිනිමරුවකු හෝ දඩුවම් ලබා නැත.
කරන දෙයක් හරියට එක මතයකින් යුතුව කරන්නටට බැරි නම් ඒ ආණ්ඩුව, ආණ්ඩුවක් නොවේ. කප්පිත්තකු නැති නෞකාව කොයි මෙහොතක හෝ ගල්පරයක හැපී නොබිදෙන බවට සහතිකයක් දිය හැකි කෙනෙක් නැත.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya