Image Credit; Sanjula Oshadi
වසර 10ක අඛණ්ඩ හා පටහැනි භුක්තිය පවතී නම් වෙනත් අයකුගේ ඉඩමකට කාලාවරෝධි අයිතියක් ලැබීම හෙවත් සාමාන්‍ය වචනයෙන් පවසතොත් භුක්තියට සවිවන බව (68 වන අධිකාරයවූ) කාලාවරෝධ ආඥාපනතේ දක්වා සිටියි. ඒ අනුව යම්කිසි පුද්ගලයකු තමන්ගේ ඉඩමක් අනවසර අල්ලා ගැනීමක් සිදුවී නම් වසර 10ක් ඇතුලත අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුය.
එසේ වුවත් පසුගිය තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙකුට තම ඉඩම් අහිමු වූ අතර එකී ඉඩම්වට වෙනත් පුද්ගලයින් අනවසරයෙන් ඇතුලූ වී දීර්ග කාලයත් තිස්සේ භුක්ති විදින නමුත් පැවති යුධ වාතාවරණය හේතුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි විය. 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වූ පසුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ වාතාවරණයක් ඇතිවුවද ඉහත කි කාලාවරෝධී පනතේ ප්‍රතිපාදන මේ සදහා හරස්විය. මෙම තත්වය එකී පුද්ගලයන්ට විශාල අසාධාරණයක් විය. එසේම එය ,කල නොහැකි දේ කිරීමට නීතිය බල නොකරයි ,(Lex non cogit ad imposibilia) යන නීති ආප්තයටද පටහැනිය.
යුද්ධයකින් පසුව පැමිණෙන සංක්‍රාන්තික සමයකදී යුද්ධය නිසා සිදුවූ අසාධාරණයන් නිවැරදි කිරීම සදහා නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සෑම රටක්ම සිදුකරනු ලබයි. ඒ අනුව ඉහතකී අර්බුදයට මුහුණදුන් පුද්ගලයන්ට අසාධාරණයක් සිදුවීම වැලැක්වීම සදහා රජය විසින් කාලාවරෝධී පනතේ යම් යම් වගන්ති සංශෝධනයට ලක් කර ඇත.
මෙම සංශෝධනයන් සිදුකර ඇත්තේ 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත මගිනි. 2016 අපේ‍්‍රල් මස 26 වන දින මෙම පනත සදහා ගරු කථානායකවරයාගේ සහතිකය සටහන් කර ඇති අතර ඒ අනුව එදින සිට මෙම පනත ක්‍රියාත්මක වේ.
මෙම පනත යටතේ ඇති ප්‍රතිපාදන අනුව 1983 මැයි මස 1 වන දින සිට 2009 මැයි මස 18 වන දින දක්වා කාලය තුල සටන්කාමී ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරකම් හේතුවෙන් නීතියෙන් සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනිමට නොහැකිවූ අයෙකුට එරෙහිව කාලාවරෝධී අයිතිවාසිකමක් ක්‍රියාත්මක නොවේ. ඒ අනුව පනතේ එවැනි අයෙකු ”අවාසි සහගත තත්ත්වයට පත් වූ තැනැත්තා” යනුවෙන් හදුන්වනු ලැබේ.
එවැනි අවාසිසහගත තත්වයට පත්වූ අයෙකුට(හෝ ඔහුගේ උරුමකරුවන්ට) පනත ක්‍රියාත්මකවූ දින සිට වසර 2ක් ඇතුලත සිය අයිතිවාසිකම් තහවුරු කරගැනීම සදහා නඩු පැවරීමට පනත මගින් හිමිකම් ලබාදෙනු ලබයි.
මෙහිදී එකී ඉඩම හෝ නිශ්චල දේපළ පවතින ප්‍රදේශය ගැටලූවක් නොවන අතර මෙම පනත යටතේ ප්රතිලාභ ලබාගැනීම සදහා අධිකරණයට සනාත කල යුතු කරුණ වන්නේ තමන් පනතේ අර්ථ නිරූපනයට වැටෙන ”අවාසි සහගත තැනැත්තෙකු” යන්නයි.
මෙම පනතේ ප්‍රතිපාදන ඉඩම් සංවාර්ධන ආඥා පනත යටතේ හෝ ඉඩම් ප්‍රදාන(විශේෂ විධිවිධාන) පනත යටතේ පැවරූ ඉඩම් සම්බන්ධයෙන් අදාල නොවන බවද පනතේ දක්වා ඇත. ඒ අනුව රජයේ ඉඩම්වල බලපත්‍ර හෝ ප්‍රදානපත්‍ර මත අයිතිවාසිකම් ලැබූ පුද්ගලයන්ට පනතේ ප්රතිලාභ හිමි නොවේ.
මෙම සංශෝධනය මගින් පුද්ගලික ඉඩම් හිමියන් බොහෝ දෙනෙකුට සිය අයිතිවාසිකම් සනාත කරගැනීමට අවස්ථාව උදාවනු ඇත.
යුද්ධය නිසා සිය නිශ්චල දේපළ සදාකාලිකවම අහිමිවීමට තිබූ අවස්ථාවක් මෙම නීතිමය ප්‍රතිපාදන ඔස්සේ ආරක්ෂා කරගැනීමට ඔවුන්ට යලි අවස්ථාව උදාවී ඇත. නමුත් මෙම අවස්ථාව උදාව පවතින්නේ වසර දෙකක කාලයක් පමණි. එබැවින් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවයන් ක්‍රියාත්මක විය යුතුය.
මෙම නීතිමය ක්‍රියා හේතුවෙන් තවත් පිරිසකට මෙතෙක් භුක්තිවිදි ඉඩම් අහිමිවීමක් ද සිදුවිය හැකිය. එකී පුද්ගලයන් අතර තමන් මෙම භුක්ති විදින ඉඩම හැර වෙනත් ඉඩමක් නැති පුද්ගලයන් බොහොමයක්ද සිටිය හැකි බව මෙහිදී කල්පනාවට ගත යුතුය. පිරිසකට සාධාරණයක් ඉටුවන විට තවත් පිරිසකට සිය ගම්බිම් අහිමි විය හැකිය. කෙසේ නමුත් තමන්ට හිමි ඉඩමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිවූ පැවති යුධමය තත්වය හේතුවෙන් නම් එවැනි කරුණක් නිසා තම ඉඩම වෙනත් අයකුට අයිතිවීමට ඉඩ හැරීම කිසිසේත්ම සාදාරණ නොවේ. එවැනි තත්වයක් නිවැරදි කිරීම රජයේ වගකිමකි. මෙම පනත හරහා රජය එම වගකිම ඉටුකිරීමට උත්සාහ ගැනීමක් සනිටුහන් කරයි.
නීතීඥ ජගත් ලියන ආරච්ච්
(මෙම ලිපිය 2016 ජූනි 5 වන දින රාවය පුවත්පතේ පලවිය)