Image: Chaminda Upasena

නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය ඇරඹෙන විට කොස්සත් අතැතිව ශාලාව තුල කොටුවන ජේමිස් අයියා කළ හැකි දෙයක් නැතිව පිටුපස අසුනක වාඩිවී ඔහෙ නාට්‍යය බලන්නට පටන් ගනියි.

දාර්ශණික ප්‍රශ්ණය මෙයයි, ජේමිස් අයියා ප්‍රේක්ෂකයෙක්ද? ප්‍රශ්ණය දාර්ශණික වන්නේ ඔවු සහ නෑ යන පිලිතුරු දෙකම ඇති නිසාය.

එක් පැත්තකින් රඟහලක් තුල නාට්‍යයක් නරඹන සියළුම දෙනා ඔවුන් එතනට පැමීණියේ කෙසේද යන කතාව අමතක කර දැමුවහොත් නමින් ප්‍රේක්ෂකයින් ලෙස ගැනීමට සිදුවේ. අනිත් පැත්තෙන් ප්‍රේක්ෂක යන නමේම අර්ථය අනූව ප්‍රේක්ෂාවක් නැති නාට්‍යය නැරඹීම පවා තෝරා නොගත් කෙනෙකු ප්‍රේක්ෂයකු ලෙස ගත හැකිද යන ප්‍රශ්ණය මතුවේ. නාට්‍යයක “සැබෑ ප්‍රේක්ෂකයකු” වීමටනම් ප්‍රේක්ෂාවක් සහිතව කිසිවකුගේ මැදිහත් වීමකින් හෝ බලපෑමකින් තොරව තමාගේම තෝරා ගැනීම මත රඟහලේ සිට නාට්‍ය නැරඹිය යුතු යැයි අපට නාට්‍ය නැරඹීමේ දීර්ග කලීන සංස්කෘතීන් දෙස බලා සැබෑ ප්‍රේක්ෂකයාට අර්තකතනයක් ලබා දිය හැකියි. සෑබෑ යන්න තරමක් විවාදාත්මක නමුදු බ්‍රෙශ්ට් කීවාක් සේ වැදූ මව හැමවිටම සැබෑ මව ලෙස ගත නොහැකිය, ඇය සැබෑ මවක් වීමට වැදීමට වඩා දේවල් සැපිරිය යුතුය. නමුත් ඇයත් මවකි. දැන් අපි අපේ සිංහල රඟහලේ සැබෑ ප්‍රේක්ෂකයා හැකි තරම් අපගේ ප්‍රායෝගික අත්දැකීම් හරහා සොයා යමු. ඒ ප්‍රේක්ෂකයා ජේමිස් අයියා නොවේවා!

මුලින්ම හඳුනාගත යුතු හා ඕනෑම කලක ශ්‍රී ලංකාවේ විශාල ප්‍රේක‍්ෂකාගාරයක් වන්නේ සංවිධායකගේ ප්‍රේක‍්ෂකාගාරයයි. කිසියම් සංවිධායකවරයෙකු නාට්‍ය මිලදී ගෙන මුදල් උපයීමට හෝ වෙනයම් දෙයක් උපයාගැනීම පිණිස නාට්‍යය සංවිධානය කරයි. එවිට ඒ සංවිධායකට අනුග්‍රහයක් පිණිස ප්‍රවේශ පත්‍ර විකුණා ප්‍රේක‍්ෂකයින් එකතු කිරීම සංවිධායකගේ ප්‍රේක‍්ෂාකාගාරය ලෙසට ගත හැකිය. මෙසේ ප්‍රවේශ පත්‍ර විකිණීමට පූජකයින් මඟින් අනුගාමිකයින්ට, මුදලාලි මඟින් ණයකාරයින්ට, පොලීසිය මඟින් වැරදිකාරයින්ට, ගුරුවරු මඟින් ශිෂ්‍යයින්ට ආදි වශයෙන් ඇති සියලූම උපක්‍රම භාවිතා කරයි. මීට අමතරව උද්‍යාන වැනි තැන්වල සිටින පෙම්වතුන් මැද්දට පවා කඩා පැන ප්‍රවේශ පත්‍ර විකුණයි. නාට්‍යයට ජනප්‍රිය නළුනිලියන්, සම්මාන හෝ විශේෂ කටකතා ආදිය ඇත්නම් එම ක්‍රියාවලිය වඩාත් පහසු කරයි. මේ ආදි ලෙස සංවිධායක විසින් තම ශූරත්වය මත විවිධ උපක්‍රම හා බලපෑම් වලින් රැස් කරනා ප්‍රේක‍්ෂකයින් මේ ගණයට වැටේ. වැදගත් දේ නම් එකී සංවිධායකගේ මැදිහත් වීම, බලපෑම නොවන්නට එම නාට්‍ය විශේෂයෙන් ගොස් නැරඹීමට එම ප්‍රේක‍්ෂකයින්ට උවමනාවක් නොමැති වීමයි. සමහරවිට නාට්‍යය නැරඹීමට යන්නේ ප්‍රවේශපත්‍ර මිල දී ගන්නට සිදුවූ කෙනා ද නොවේ.

ශ්‍රී ලංකාවේ නාට්‍ය නරඹන තවත් විශාල ප්‍රේක‍්ෂාකාගාරයකි සහායක ප්‍රේක්ෂකාගාරය. කෙනෙක් තමන්ගේ තනියට හෝ සහායට නාට්‍ය නරඹන්නට කැඳවාගෙන යන්නා හෙවත් දෙවැන්නා සහායක ප්‍රේක්ෂකයා වෙයි. ශ්‍රී ලංකාවේ තවමත් නාට්‍ය හෝ චිත්‍රපටි වැනි දෑ කෙනෙක් තනියම නරඹන්නට යන අවස්ථා තරමක් දුලබය. මෙය කාන්තාවන්ට විශේෂයි. මේ සහායකයා මිතුරා, බිරිඳ, ස්වාමී පුරුෂයා, පෙම්වතා, පෙම්වතිය, අම්මා, තාත්තා, දුව, පුතා, ශිෂ්‍යයා, ආදි විවිධ විය හැකිය. කෙසේ හෝ මේ දෙවැන්නා පළමුවැන්නා තරම්වත් නාට්‍ය සමඟ ගණුදෙනුවක් නැත. බොහෝ විට දෙවැන්නා හෙවත් සහායක නැරඹිය යුතු නාට්‍ය තෝරන්නේ පළමුවැන්නා විසින්ය. මින් අදහස් කරන්නේ පළමුවැන්නාගේ තෝරාගැනීමට, තීරණයට හා බලපෑමට සම්පූර්ණයෙන්ම යටත් කෙනෙක් විනා සෑම කෙනෙක්ම හා යන තවකෙනෙක් නොවේ. කෙසේ හෝ පළමුවැන්නාගේ මැදිහත් වීම නොවන්නට මේ දෙවැන්නා එකී නාට්‍ය විශේෂයෙන් ගොස් නැරඹිමට උවමනාව ඇත්තෙක් නොවේ. මාගේ ගණන් බැලීම් වලට අනුව මේ සහායක ප්‍රේක‍්ෂකාගාරය ඕනෑම නාට්‍ය ශාලාවක සාමාන්‍යෙයන් 30%-45% අතර සිටී. එනම් රඟහලක භාගයකට ආසන්නව පිරී ඇත්තේ සහායක ප්‍රේක‍්ෂකයින්ගෙන් ය.

ඊළඟට විශාල ප්‍රේක‍්ෂකාගාරයක් වන්නේ ශිෂ්‍ය ප්‍රේක‍්ෂකාගාරය යි. මේ අය විශ්වවිද්‍යාල හා පාසල් මට්ටමෙන් මෙන්ම විවිධ පාඨමාලා හරහා නාට්‍ය කලාව අනු හෝ ප්‍රධාන විෂයක් ලෙසට හදාරණ අයයි. ඒ හේතුවෙන් නාට්‍ය බැලීමට සිදු වී ඇති අයයි. මොවුන්ට නාට්‍ය රසාස්වාදය හෝ එහි දේශපාලනික උවමනාව ඇඟට ඇතුල් කිරීමට අවුරුදු කිහිපයක අවිධිමත් අධ්‍යාපනයකට අපහසුය. පාඨමාලාවෙන් පසු නාට්‍ය නිෂ්පාදනය කිරීමට හෝ නැරඹිමට හෝ වෙනත් එවැනි නාට්‍ය කලාවට අදාළ රැකියාවක් ලදහොත් ඊට අනුව නාට්‍ය කලාවේ ගැවසෙන මේ බොහෝ දෙනෙක් ශිෂ්‍ය අවධියෙන් පසු වෙනත් රැකියාවකට ගිය පසු නාට්‍ය නැරඹීමට උනන්දුවක් නොදක්වයි. ඔවුන් ඉගෙන ගන්නේ වෙනත් වුවමනාවකට ය, මූලික වශයෙන් ශිෂ්‍යයකු ලෙස නාට්‍ය නැරඹීමට පැමිණෙන්නේ එම උවමනාවට සහයෝගයක් වශයෙන්ය.

අනිත් ප්‍රේක‍්ෂකාගාරය ඥාති – මිත්‍ර ප්‍රේක්ෂකාගාරයයි. නාට්‍යයේ රඟපාන හෝ සංවිධානය දක්වා එම ව්‍යාපෘතියේ කටයුතු කරන කවර කෙනෙකුට හෝ ඥාති හෝ මිත්‍ර සම්බන්ධයක් තිබීම හේතු කොට ගෙන එම නාට්‍ය නරඹන්නට යන්නා මේ ගණයට වැටේ. සමහර විට එකී නාට්‍යයට සම්බන්ධ පුද්ගලයාගේ ඉල්ලීම පරිදි හෝ එය නරඹන්නට ගොස් ඒ පුද්ගලයාට පක‍්ෂපාතිත්වය පෙන්වීමට හෝ මෙසේ මගුල් තුලාවකට මෙන් හිතවත්කමට නාට්‍ය නරඹන්නට යාම සුලබව සිදුවේ. නාට්‍යයට සම්බන්ධ තැනැත්තා සමාජයේ කිසියම් පිරිස් බලයක් ගොඩනගාගෙන හෝ නායකත්වයක් දරන්නෙක් නම් මේ පිරිස විශාලය. මෙම ප්‍රේක්ෂකයා ද එකී පුද්ගලික සම්බන්ධතාවය නොවන්නට එම නාට්‍ය නරඹන්නට යන්නෙක් නොවේ.

තවත් ප්‍රේක්ෂක කොටසකි ආරාධනා ප්‍රේක්ෂකාගාරය. ප්‍රභූත්වය නිසා, ජනප්‍රියත්වය නිසා, සමාජ බලයක් තිබීම නිසා තරුවක් වීම නිසා ආදී ලෙස නාට්‍යකරුවාට සුවිශේෂි පුද්ගලයකු වීම නිසාවෙන් ආරාධනා පත්‍රයක් ලබා නාට්‍ය නරඹන්නට යන්නා මේ ප්‍රේක්ෂකාගාරය යි. තමන්ට ලැබුණු මේ ගෞරවනීයත්වය තුළ හොඳින් ඇඳ පැළඳ ගෙන (ඇතැම් විට පවුල් පිටින්) ගොස් තමන්ට හිමි ගෞරවය රසවිඳ නාට්‍යයක් ද නොමිලේ බලා සමහරවිට ඡායාරූපවලට ද පෙනී සිට අවසානයේ ප්‍රවෘත්තියක් බවට ද පත්ව මුහුණු පොතින් අවසන්වීමට හැන්දෑවේ රඟහල පැත්තට යන අය මේ කොටස යි. මෙතනදී ඉලක්ක කරන්නේ ආරාධනාපත් ලද සියලුම දෙනා නොව ආරාධනාපතක් නොලැබෙන්නට එම නාට්‍යය නරඹන්නට නොයනා පිරිසය. මෙවැනි අවස්ථාවක් නොලැබෙන්නට ඔවුන්ට ද එකී නාට්‍ය විශේෂයෙන් ගොස් නැරඹීමට වුවමනාවක් නැත.

ඊළඟට එන ප්‍රේක්ෂකාගාරය අපි පංති හෝ ගෝත්‍රික ප්‍රේක‍්ෂකාගාරය නමින් හඳුන්වමු. එනම් නාට්‍යකරුවා හා කිසියම් පංතිමය වශයෙන්, වෘත්තීමය වශයෙන් හෝ නාට්‍යකරුවාගේ යුගයේ වීම නිසා, ගමේ වීම නිසා ආදි වශයෙන් ඇති නිශ්චිත ජන-පංතියකට ඇති සම්බන්ධයක් මත ‘අපේ එකෙක්ගේ වැඩක්’ වීම නිසා නාට්‍ය නරඹන්නට එන්නා මේය. මම මොවුන් ඥාති- මිත්‍ර කොටසට ඇතුලත් නොකලේ මොවුන්ගේ පෙළඹුම එවැනි පුද්ගලික හැඳුනුම්කමකට වඩා අර කී ගෝත්‍රමය හෝ පංතිමය නියෝජනය වීමයි. උදාහරණයකට, පෙර කල නාට්‍ය හැදුවේ ගුරුවරයෙකු නම් අනිත් ගුරුවරු එය නැරඹීමටත් සංවිධානය කිරීමටත් පෙළඹුණි. ඒ සඳහා නාට්‍යයකරුවාව පුද්ගලිකව හඳුනනවාද යන්න ඥාති- මිත්‍ර ප්‍රේක‍්ෂකාගාරයේ මෙන් මෙහිදි අදාළ නොවේ. මෙය 60 දශකයේ පමණ සිට 80 දෂකය වන විටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රෙක්ෂකාගාරයක් වූ අතර අවම වශයෙන් සීයයට පණහක් පමණ නාට්‍ය සංවිධානය කිරීමට මෙම ගෝත්‍රික-පංතික සම්බන්දධය හේතු විය. මීට තවත් හේතුවක් වූයේ එදා නාට්‍ය වල රඟපෑ බහුතරයක් රජයේ රැකියා කරන්නන් වශයෙන් විවිධ ආයතන නියෝජනය කිරීමයි. කෙසේ හෝ මේ ප්‍රේක‍්ෂකාගාරය එදා තරම් තදින් අද ක්‍රියාත්මක නොවේ. ජීවිතය වඩා පුද්ගලිකකරණය වීමත් නාගරිකකරණය වීමත් සමඟ මෙවැනි ප්‍රේක්ෂකාගාර දියවී යන නමුදු මෙය තවමත් විශාල ප්‍රේක්ෂකාගාරයක් ලෙසට පවතී. මෙම ප්‍රේක‍්ෂක කොටස ද එවැනි සම්බන්ධයක් නොතිබෙන්නට එම නාට්‍ය නරඹන්නට හෝ සංවිධානය කරන්නට විශේෂ උනන්දුවක් නොදක්වයි.

ඊළඟට එන්නේ ගෘහීය ප්‍රේක‍්ෂකාගාරය යි. මෙහි ලක‍්ෂණය නම් නාට්‍ය නරඹන්නට රඟහලට යනවා වෙනුවට නාට්‍ය තමන් සිටිනා ආයතනය (ගෘහස්ථයට) තුළට ගෙන ඒ තුළ සංවිධානය කර මූලිකව ඒ ආයතනයේ පිරිස පමණක් නැරඹීමයි. සාමාන්‍යෙයන් දැනට මෙය පුළුල් වශයෙන් සිදුවන්නේ විශ්වවිද්‍යාල තුළ යි. බහුතරය ශීෂ්‍ය වුවද ශිෂ්‍ය ‍ ප්‍රේක‍්ෂකාගාරයට මෙය ඇතුල් කල නොහැක්කේ මොවුන්ගේ ශීෂ්‍යභාවය හෝ අධ්‍යාපනය සමඟ නාට්‍ය නැරඹීම අනිවාර්ය සම්බන්ධයක් නැති වීම නිසයි. මෙහිදී ප්‍රවේශපත්‍ර ඉතා අඩු මිලට ලබා ගත හැකි අතර එසේම යහළුවන් සියලූම දෙනා සමඟ රංචු පිටින් ගොස් මේ ‘ඇඳ ළඟටම’ ගෙනත් දැම්ම නාට්‍ය නැරඹීම විශේෂ ලක‍ෂණයකි. නාට්‍යය එසේ සංවිධානය නොවන්නට ඔවුන්ද සාමාන්‍යෙයන් එම නාට්‍ය විශේෂයෙන් සොයා ගොස් නරඹන්නෙන් නොවේ.

තවත් ප්‍රේක‍්ෂකාගාරයකි පාලිත ප්‍රේක‍්ෂකාගාරය. මේ වූ කලි අනාථ නිවාස, පාසල් සිසුන් , මහළු නිවාස, සිරකරුවන්, ආබාධිතයින් (සොල්දාදුවන්) ආදි කාගේ හෝ සැලැස්මක් යටතේ පාලනය වන පිරිස් ය. එකී පාලකයින් විසින් ඔවුන්ව ප්‍රාසාංගික කටයුත්තක් වශයෙන් නාට්‍යයක් නරඹන්නට ගෙනයාමට තීරණය කර කණ්ඩායම පිටින්ම රඟහලට රැගෙන ගොස් නාට්‍ය පෙන්වා ආපසු අරගෙන යයි. මෙතනදි මේ පාලිත ප්‍රේක‍්ෂක පිරිසට කිසිඳු තෝරා ගැනීමක් නැති අතර ඔවුන් නැරඹිය යුතු නාට්‍ය පවා තෝරන්නේ වෙනත් කෙනෙකි. මෙසේ එකට සිටින පිරිස සමඟ එළියට ගොස් ඒමම ඔවුන්ගේ ලොකුම අරමුණ වෙයි. මේ ප්‍රේක‍්ෂකයින් හා නාට්‍ය අතර ද කිසිඳු සම්බන්ධයක් ගොඩනැඟිය නොහැකි ය. මොවුන්ගේ කණ්ඩායමේ ප්‍රමාණය දෙතුන් දෙනාගේ සිට දහස් ගණනක් දක්වා විය හැකිය.

Audience

මේ සිනා ප්‍රේක‍ෂාගාරය ගැනයි. කිසියම් නාට්‍යයක් හෝ එවැනි ඕනෑම දෙයක් විසින් හුදෙක් හිනස්සවන්නේ නම් පමණක් එය නරඹන්නට යන්නන් මොවුන්ය. ඔවුන් නාට්‍යයක් ද නැද්ද යන්න පවා අදාල නැති, ඕනෑම හිනස්සවන ප්‍රසංගයකට හුදු සිනාවීම පමණක් සොයා යන පිරිසකි. මම එය හාස්‍ය ප්‍රේක‍්ෂකාගාරය ලෙස නම් නොකළේ ප්‍රහසන හෝ හාස්‍ය යනු ඉතා විශිෂ්ට වෙනත් නාට්‍ය විශේෂයක් වන නිසාය. මොවුන්ගේ බහුතරය එදිනෙදා ජීවිතයේදී පුක යන්න පවා ප්‍රසිද්ධීයේ කීම හෝ ‘විකාර ලෙස හැසිරීම’ සමාජමය වශයෙන් පහත් තත්වයක් යැයි සිතන, ‘පැරණි වික්ටෝරියානු සදාචාරයෙන්’ මඩනා ලද මනසකින් ද යුත් ‘නූතන පංති තත්වයක් ඇති ජීවිත’ ගත කරන අතිශය සම්මත මැද පංතික පිරිසකි. සමහර නළුවන් කට පස්ස එකට තබා අඹරවමින් මෙන් මහන්සි වුනද මේ ජන කොටස හිනැස්සවීමට එතරම් මහන්සි විය යුතු නැත. ඔබ කළ යුත්තේ වේදිකාවට නැග පස්සවල් දෙකක් එකට හැප්පවීම හෝ නිකන් පුටුවකට හරි ‘පුක කීම’ පමණි. ඔවුහු ඊට ඉල බදාගෙන ලඟ ඉන්න එකාටද අනිමින් හිනා වෙනු ඇත. හුදු හිනාවීම ද වරදක් නැත. ඒත් හුදු හිනාව සොයා යාම නාට්‍ය සොයා යාම නොවේ. බොහෝ බටහිර යුරෝපීය රටවල හුදු හිනස්සවීම පිණිස විවිධ ප්‍රසාංගික අංග සහ ජවනිකා ඇති අතර සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ හාස්‍ය ප්‍රසංග ලෙසට හෙවත් කොමඩි එනටර්ටේන්මන්ට් ලෙසටය. ඒවා නැරඹීමට පුරුදුවී ඇති බොහෝ දෙනෙකු ඒවා නාට්‍ය හා පටලවා නොගනී. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රසාංගික සම්ප්‍රධායක් එතරම් වර්දනය වී නැති අතර ඒ සියලු ප්‍රසංග මෙන් පෙන්වන්නේ ‘නාට්‍ය’ නම් ලේබල් එක යටතේය. කෙසේ හෝ මේ ප්‍රේක්ෂකාගාරයද හිනස්සවන් නැත්නම් කුමක් වුවත් ඔවුන් එය නරඹන්නට නොයයි.

අවසාන වශයෙන් හඳුනාගන්ඩ තරඟ ප්‍රේක‍්ෂකාගාරය. මේ ප්‍රේක‍්ෂකාගාරය බොහෝ විට හමුවන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සිට පාසල් නාට්‍ය තරඟ දක්වා විවිධ නාට්‍ය තරඟ තුළදීය. මෙයට ඇතුලත් වන්නේ නාට්‍ය කලාවේ නළුවන්, නිෂ්පාදකවරුන්, ආදි ලෙසට කටයුතු කරන පිරිස් ය. එකී කවර ආකාරයකින් හෝ නාට්‍යයකට සම්බන්ධ වූ පමණින් හොඳ රසඥ්ඥතාවය ඇති ප්‍රේක‍්ෂකයකු බිහි නොවේ.මෙකී සමහර ශිල්පීන් නාට්‍ය බලන්නේ නාට්‍ය තරඟ අවස්ථාවකදී සමාජ තත්වය-ප්‍රථිරූපය, ත්‍යාග, ප්‍රසිද්ධිය ආදිය විසින් නිර්මාණය කරන එම තරඟකාරී පරිසරය නිසාය. එම හේතු නොවන්නට එහි අති බොහෝ නාට්‍ය ඔවුන් විශේෂයෙන් නරඹන්නට යන් නැත.

මේ ප්‍රේක්ෂක ප්‍රවණතාවලට අමතරව මීටම සමාන හුදකලා හා වෙනස් වන ප්‍රවණතා තව තිබිය හැකිය. උදාහරණයක් ලෙසට, 1989 භීෂණ සමයේ දී භීෂණය ආශ්‍රිත තේමා රැගත් නාට්‍ය නැරඹීමට ඒ කී කැරැල්ලට හෝ භීෂණයට රිජුව හෝ වක්‍රව සම්බන්ධ වූ විශේෂයෙන් තරුණ කොටස් උනන්දු විය. එහෙත් භීෂණය පහව යත්ම ඒ තරුණ ප්‍රවණතා ඉන් අනතුරුව එයාකාරයෙන් දිගටම නාට්‍ය බලන බවක් අපට දක්නට නොලැබුණි. ඒ සමහරු ඊට සම්න්ධවූයේ නාට්‍යයකට වඩා භීෂණයට සම්බන්ධ ඉසව්වක් ලෙසටයි. එසේම කිසියම් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි අධ්‍යක‍්ෂවරයෙකු නළුනිළියන් සොයන්නට පමණක් කිසියම් නාට්‍යයක් නැරඹීමද මෙවැනි අතුරු තත්ත්වයකි.

ඉහත මා පෙන්වු සෑම ප්‍රේක්ෂකාගාරයකම පොදු ලක‍්ෂණයක් වනුයේ එකී ප්‍රේක‍්ෂකයින්ට සැබෑ ප්‍රේක‍්ෂාවක් නොමැති වීමයි. එසේම ඔවුන් නිත්‍ය ප්‍රේක‍්ෂාගාරයක් ද නොවේ. එකී කතාව තුළ කියවීමේ උවමනාව මත, කිසිඳු බලපෑමකින් තොරව, හුදු නාට්‍ය නැරඹීමේම ආශ්වාදය මත මුදල් දී පොතක් ගෙන කියවන ලෙස ප්‍රවේශ පතක් මිලට ගෙන ස්වාධීනව නාට්‍ය නරඹන්නන් අපට හමු නොවේ.

සත්තකින්ම සැබෑ ප්‍රේක්ෂාවක් ඇති ප්‍රේක්ෂකයෙක් සිටියේම නැද්ද යන්න ඔබ දැනටමත් විමසමින් ඇත? සිටියේය! සමහර නිර්මාණකරුවන් ද ඇතුලු ඒ ප්‍රේක‍්ෂක ප්‍රමාණය අතිශය සුළු වූ අතර එය කෙතරම් සුළු වුයේ දැයි කියතොත් නොපෙනෙන තරම් ය. මේ ප්‍රේක්ෂකයා නාට්‍යෙ කලාවට පමණක් විශේෂ නොවූ ඉන් බාහිරද පොතපත කලාව ගැන උනන්දු, හොඳ චිත්‍රපට සොයාගෙන බලන බොහෝ විට නගරාශ්‍රිතව ගැවසෙන්නෙකි. ඒ සුළු කොටසේ සැබෑ ප්‍රේක්ෂාව සංස්කෘතියක් ලෙසට වර්ධනය නොවුන අතර ඔවුන්ගේ පවුලේ අනිත් සාමාජිකයින්වත් ඒ හරහා නාට්‍ය නරඹන්නට පුරුදු වූ බවක් පෙනෙන්නට නැත. ඒ පුද්ගලයා කිසියම් ක්‍රමිකව වර්ධනයවූ නාට්‍ය බලන සංස්කෘතියක නිර්මිතියකට වඩා හුදෙකලා සුවිශේෂ තත්වයන් යටතේ ඊට නැඹුරුවුවෙකි. අනිත් අතට මේ ප්‍රේක‍්ෂකයාට සාධාරණයක් කල හැකි තරම් හොඳ නාට්‍ය ක්‍රමිකව නිෂ්පාදනය නොවුණි. ඉඳ හිට හොඳ නාට්‍ය බිහිවන නමුත් අර ප්‍රේක්ෂකාගාරයේ උද්යෝගය පවත්වාගන්න හා විකාශණය වන්නට ප්‍රමාණාත්මකව එය මදිය. එසේ නිපදවුණි නම් සමහර විට මේ ප්‍රේක්ෂකාගාරය මීට වඩා වර්ධනය වන්නට ඉඩ තිබුණි, ක්‍රියාත්මක වන්නට ඉඩ තිබණි. මොවුන්ගේ ආර්ථීක පසුබිම කවරක් වේවා මේ ප්‍රේක‍්ෂකයා මුදලට සරිලන හොඳ නාට්‍යයක් ලබා දෙන්නේනම් එය නැරඹීමට මේ දැණුත් සුදානමින් සිටී.

මේ වන විට විශේෂයෙන් කොළඹාශ්‍රිත සාමාජික ප්‍රමාණයෙන් වැඩි නව ප්‍රේක්ෂකාගාරයක් ඇත. ඒ අය කවුද? මේ බහුතරය වූකලි නාට්‍ය කලාව කිරීමට වැඩමුලු, පාඨමාලා හා උළේලවල් හරහා පැමිණෙමින් සිටින තරුණ ප්‍රේක්ෂකාගාරයයි. රියැලිටි ෂෝ ආදිය හරහා මෑත කාලය තුල ප්‍රසාංගික කලාව ජනප්‍රියවීම, කලා නොවන පාසල් විශයන් වලින් විශල වශයෙන් පිරිස් අසමත් වීම, රැකී රක්ෂා අර්බුදය උත්සන්නවීම, ජනගහනය සීග්‍රයෙන් වැඩිවීම , ගමේ ඉන්න බැරි නිසා මොනවාහරි කරන්නට කොළඹට යාමේ උවමනාව වැඩිවීම, කාන්තාව වඩාත් සමාජයට විවෘතවීම, නාට්‍ය කලාව අධ්‍යාපනික විශයක් ලෙස ව්‍යාප්ත වීම ආදී පසුගිය කාලයේ මතුවුන නව සමාජ ආර්තික දේශපාලනික ප්‍රවණතා පහසුවෙන් ඇතුල්විය හැකි ප්‍රසාංගික මාධ්‍යය ලෙස නාට්‍ය කලාවට විශාල වශයෙන් අලුත් පිරිස් එවන ලදි. මේ පිරිස් නාට්‍ය කලාව තුල දිගටම ඉඳිම හෝ එය හැරදා යාම විශාල ප්‍රමාණයට තීරණය කරන්නේ ආර්තික තත්වයයි, රැකියාවයි. සමහරුන්ට, විශේෂයෙන් කාන්තාවන්ට කසාදයද තීරණාත්මක සාධකයක් වෙයි. ‘සුලු ධනේශ්වර මැද පංතික උවමනාවන්’ උදෙසා හදා ඇති ඒ බොහෝ මනස් තුල නාට්‍යකරුවෙකු ලෙසට මොන කට්ට කාගෙන හරි ජීවිතයම නාට්‍ය කලාවේ රැඳී සිටීමට තරම් ප්‍රමාණවත් ආධ්‍යාත්මික, දේශපාලනික හෝ ‘බොහිමියානු හේතු’ නැත. සමහර විට නාට්‍ය කලාවෙන් ලැබෙන භෞතික දේ හා භාහිර ඔපය පවතින්නට වඩාම බලවත් හේතු විය හැකිය. මේ හේතු උඩ බොහෝ විට මේ විශාල පිරිස අවුරුදු කීපයක් වැනි කෙටි කාලයක් නාට්‍ය කලාවේ කරක් ගසා සමහර විට සැබෑ ප්‍රේක්ෂාවක් වර්ධනය වන්නටත් පෙර එය හැරදා යයි. ඒ අනූව වාර්ෂිකව විශාල පිරිසක් නාට්‍ය කලාවට පැමිණෙමින් පවතින කොට තවත් විශාල පිරිසක් වාර්ෂිකව එය හැරදා යයි. බැලු බැල්මට අලුතින් රඟහලවල් පිරී ඇත්තේ මොවුන් ගෙන්ය. එසේ වුවත් කෙසේ හෝ නාට්‍ය නැරඹීමට විශාල පිරසක් සිටීම අසුභවාදී දෙයක් නොවන අතර ඒ හරහා යම් පිරිසක් රසිකයින් හෝ නාට්‍ය කරුවන් ලෙස ප්‍රේක්ෂාව වර්ධනය වී නිත්‍ය සාමාජීකයින් වීමට ඉඩ ඇත. මෙය කවදත් තිබුණ ප්‍රවණතාවයක් වන අතර මේ වනවිට පිරිස වැඩිවී සමහර හේතු පමණක් වෙනස්වී ඇත.

ඉහත මම විග්‍රහ කල සන්ධර්භීය ලක‍්ෂණය බොහෝ පසුගාමී පශ්චාත් යටත් විජිත රටවල සුලභව දැකිය හැකිය. විශේෂයෙන් ඒ රටවල ,නාට්‍ය නැරඹීම වැනි බටහිරින් ලබා ගත් නුතන සංස්කෘතික ක්‍රියාකාරකම් එහි නියම අර්ථයෙන් සන්ධර්භගත නොවීම, සංස්කෘතික ගත නොවීම මීට ප්‍රධාන හේතුවකි. එපමණක් නොව සමාජවාදය වැනි දෘෂ්ඨිවාද වල සිට විවිධ පාරිභෝගික භාණ්ඩ දක්වා දේවල් වෙනත් අර්ථයෙන් භාවිතා කිරීම සුලභව දැකිය හැකිය. නාට්‍ය ඇතුලු ජනතාව වෙනස් කිරිමට උත්සාහ කරන බොහේ සංස්කෘතික හා අධ්‍යාපන ව්‍යාපෘති අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේත් මතුපිට අර්ථයට යටින් ජනතාව වෙනත් අරමුණු සඳහා ඒවා භාවිතා කිරීමයි. අර ඊනියා ප්‍රේක්ෂකයින්ගෙන් රඟහල පිරී ඇතිවිට අප රැවටී යනවාක් මෙන්බොහෝ මිනිසුන් ඇතුලින් සිදුවන යථාර්තය නොදැන ඒ ක්‍රියාකාරකම්වල මතුපිට මායාවට ද රැවටී යනු ඇත.

අදත් සිංහල නාට්‍ය කලාවේ ප්‍රධාන අර්බූදය ප්‍රේක‍්ෂකයින් හිඟ විමට වඩා හොඳ නාට්‍ය හිඟවීම ය. ප්‍රේක්ෂකයා යනු නාට්‍ය සංස්කෘතියයි, එහි ශාරයයි. සාමාන්‍යෙයන් සිද්ධ වන්නේ නාට්‍යයේ හැටියට ප්‍රේක‍්ෂකයින් බිහිවන විට ප්‍රේක‍්ෂකයින්ගේ හැටියට යලි නාට්‍ය බිහි වීමයි. ( කිකිලියි බිත්තරෙයි කතාව මෙන්) මා පෙර කී වර්ගීකරණයට බාහිරව බලවත් සැබෑ ප්‍රේක්ෂකයකු නැති වීම දිගින් දිගටම නාට්‍ය පිරිහීමට බලපෑවේය. නාට්‍ය පිරිහීම ප්‍රේක්ෂක පිරිහීමට බලපෑවේය. බොහෝ විට නාට්‍යකරුවා වීමට ඉඩ ඇත්තේත් ඉහත කී වර්ගීකරණයට අයත් ඊනියා ප්‍රේක්ෂකයාම විනා වෙනත් ලොවකින් වැටුණ සුවිශේෂ ජනකොටසක් නොවේ.
අවශ්‍යනම් ප්‍රේක්ෂකයා වෙනත් අරමුණු වලින් නාට්‍ය බලන්නට යාමට සාපේක්ෂව නාට්‍ය කරුවා වෙනත් අරමුණු වලින් නාට්‍ය නිෂ්පාදනය කිරීමේ අනිත් කතාවද අපට දැන් කියවීමට උත්සහ කළ හැකිය!

ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne