ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්රබලය. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක් දුෂ්ඨයාට දෙයි. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා දුෂ්ඨයා දුර්වල මොහොතක් බලා පෙරළා වීරයාට පහර දෙයි. නැතිනම් දුෂ්ඨයාට පහරක් එල්ල කොට පෙම්වතිය බේරාගන්නා වීරයා, පෙම්වතිය සමඟ ආදර බස් දොඩමින් සිප වැළඳ ගැනීම් කරයි. අවට පිළිබඳ ඔවුනට වගේ වගක් නැත. එතැනදීද සිදු වන්නේ නැවත හිස ඔසවන දුෂ්ඨයාගේ බරපතල ප්‍රහාරයකට වීරයාට මුහුණ දෙන්නට සිදුවීමයි. අවසානයේදී පෙම්වතියට තනිවම දුෂ්ඨයා සමඟ මාරාන්තික සටනක් දෙන්නට සිදුවන්නේය. ජාතික ගැටලුවට විසඳුමක් ලෙසින් බලය බෙදා ගැනීමේ ලංකාවේ පාලකයන් ගේ ප්රතිපත්තියද හින්ඳි සිනමාවේ මේ දර්ශණයන්ට බොහෝ සමානය.
1994 දී චන්ද්‍රිකා බලය ඉල්ලුවේද තමාම අත්විඳි පියන් කෙනෙකුගේ බලයක් නැතැයි කී පළාත් සභාවන්ට බලය බෙදා හරිමින් ජාතික ගැටලුවට විසඳුම් ඉදිරිපත් කර ගෞරවනීය ලෙස උතුරෙන් හමුදා කැඳවන බවටද පොරොන්දු දෙමිනි. මේ මැතිවරණ පොරොන් දුව පාදක කර ගනිමින් යූ.ඇන්.පීය චන්ද්‍රිකාගේ පින්තූරවල පොට්ටු තබමින් ‘ලෙච්චමී’ කියා සරදම් කලත් මැතිවරණය ජයග්‍රහනය කලේය. ජයග්රහනයෙන් පසු ඇය පොරොන්දු වූ සියල්ල හැර අනෙක් සියල්ල ඉටු කලේය. පාලනයේ අවසාන කාලයේ නැවත බලය බෙදා හැරීමකට ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව චන්ද්‍රිකා පාලනය යෝජනා ගෙනෙන්නට විය. එහෙත් ඒවන විට ජනතා අප්‍රසාදයට පත්ව සිටි චන්ද්‍රිකා පාලනය ශක්තිමත්ව සිටි ජාතිවාදී ජ.වි.පෙ. විසින් ග්රහනයට ගනිමින් ඒ යෝජනා පරාජය කරන ලදී. පාර්ලිමේන්තුවේ එක් ආසනයකින් බලය හෙබවූ චන්ද්‍රිකා රජයට ඒ ගැසූ මුක්කුව පරිවාසය ලෙස නම් කැරිනි. නමුත් චන්ද්‍රිකාගේ ජනාධිපතිකම යටතේ රනිල් වික්‍රසිංහගේ රජය, එල්.ටී.ටී.ඊ.ය සමගින් සටන් විරාම ගිවිසුමක් අත්සන් කල මොහොතේ රටතුළ ජ.වි.පෙ. හෝ ජාතිවාදී බලවේග ශක්තිමත් වී තිබුනේ නැත. ඒත් චන්ද්‍රිකා රජය එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේද නැත. මේ මගහැර යෑම ශ්‍රී.ල.නි.ප.හා එහි නායකයන් ගේ බලය බෙදා හැරීම පිළිබඳ චපල බවේ මනා ලිට්මස් පරීක්ෂණයක්ය. ඒ පියවර අවසන් වුනේ දෙමළ ජනඝාතක යුද්දයකින් හා ”මානුෂික මෙහෙයුම”ට විරුද්ධ වූ දකුණේ බොහෝ දෙනෙකුගේද ජීවිත නිමා කරමිනි.
ජ.වි.පෙ හා හෙළ උරුමය මූළිකත්වයෙන් මෙසේ ගොඩනැගූ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ ෆැසිස්ට් ආණ්ඩුව 2015 පෙරළා දැමුනි. එහිදී බලය බෙදා රට එක්සත් කිරීම මෛත්‍රීපාල ජනාධිපති අපේක්ෂකයාගේ පොරොන්දු අතර ප්‍රධාන එකක් විය. 2015 අගෝස්තු මැතිවරණයේදී වික්‍රමසිංහ අගමැතිවරයාගේ මැතිවරණ පොරොන්දු අතරද මේ සඳහා ලැබී තිබුනේ ප්රමුඛ ස්ථානයකි. නමුත් වසර එකහමාරකට පසුව මේ කරුණ අරඹයා මෛත්‍රී – රනිල් සම්මුතික ආණ්ඩුව ගනු ලැබුවේ එකම පියවරකි. එනම් නොකෙරෙන බලය බෙදීමට පිටු 300ක පොතක් නිර්මාණය කිරීම හා ඒ සඳහා තවත් කමිටු පත් කිරීමය. නමුත් මෛත්‍රී – රනිල් ආණ්ඩුවට බලය බෙදීමේ ඇත්ත උවමනාවක් තිබුනේනම් මේ තරම් කැටයම් දමමින් සිටීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු මෙරට පිළිගත් නීතියකි. ඒ අනුව පළමුවෙන්ම කලයුතුව තිබුනේ පවතින පළාත් සභාවන්ට පූර්ණ බලතල බෙදා දීමය. ඉන්පසු සුලුතර ජාතීන් සමඟ සාකච්ඡා කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිව තිබුනි. නමුත් එසේ සිදු නොවුනි. එසේනම් දැන් උදාවෙමින් එන සමාජ ආර්ථික ප්‍රශ්ණ හමුවේ ආණ්ඩුවට බලය බෙදීමේ පියවරකට යා හැකිද ?
ජනපතිවරණයෙන් පැරදුනු ෆැසිස්ට් නායක රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවතුනේ ඈත ගිරුවාපත්තුවේ මැද මුලනතෙක් පසු බැසය. ඒ සඳහා හෙලිකොප්ටරයක් ඉල්ලා ගත්තේද වික්‍රමසිංහ විපක්ෂනායකවරයාගෙනි. ඒත් දැන් ඔහු මන්ත්‍රීවරයෙක් ලෙසින් කොළඹ දක්වා නැවත පැමිණ ඇත. ඔහුගේ ෆැසිස්ට් බලකාය තණකොළ යට සැගවුනු කූඩැල්ලන් මෙන් සිට පොද වැස්සට එළියට විත් ලේ සුවඳට ඉව අල්ලමින් සිටිති. ඉන්දියානු විරෝධයක් හරහා ජ.වි.පෙ.ද හොර ගල් අහුලමින් සිටී. ආණ්ඩුව තුළ ඉන්නා හෙළ උරුමේ කස හඞද වරින් වර මතුවෙයි. මේ සියලු බලවේගයන් මේ මොහොතේ මතු කරන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් බැටකන ජන ජීවිතයේ සැබෑ ප්‍රශ්ණය. නමුත් සත්‍ය නම් වටේට මෝල්ට් මැද චොකලට් කිව්වා වාගේ ජනතා දුක හා අධිරාජ්‍ය විරෝධය නැමැති ජනප්‍රිය මෝල්ට් තවරා වසා ඇත්තේ බලය බෙදීමට එරෙහි විසකුරු ජාතිවාදී චොකලට් එකය.
එපමණක්ද? නැත.
උතුරේ හමුදා බ්‍රිගේඩියර්වරයෙක් සමරවීර විදේශ ඇමතිවරයාට තර්ජනය කරද්දී නැගෙනහිරේ මහ ඇමැතිවරයාගේ බඩ මිරිකා වේදිකාවෙන් එළවා දැමීමට නාවික නිලධාරියෙක් පෙරමුණට එයි. ඉන්පසු ත්‍රිවිධ හමුදාව එක්වී මහ ඇමැතිවරයා සම්බන්ද දේශපාලන තීන්දු ද ගනී. ශ්‍රී ලංකාව තුළ යළි යුද්ධයක් ඇති නොවන බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනාරත්න පවස්ද්දී උතුරේ මහ ඇමැතිවරයා ඉල්ලා සිටිනේ එසේනම් උතුරෙන් යුදහමුදාව ඉවත්කර ආරක්ෂාව සඳහා පොලීසිය යොදවන ලෙසය. මහ ඇමැතිවරයාගේ ඉල්ලීමට පිළිතුරු දෙන්නේ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායකය. ඒ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කියමිනි. සේනාධිනයකයා වූ ජනාධිපතිවරයා මේවා පිළිබඳව පුවත්පතකින් හෝ දැක නැති සෙයකි. ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දෙන්නේ යැයි යහපාලකයන් කීවා නොවේදැයි ජනමාධ්‍යද විමසන්නේ නැත. ඒවා බොහොමයක් එදා වේල ටුවර්ස් ය.
මේවන විට යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට උරදුන් බොහෝ සංවිධානයන් හා පුද්ගලයන්ද ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටී. මුස්ලිම් දේවස්ථානයක ඉදිකිරීමක් මුල්කර ගනිමින් පත්තිරිප්පුවට උඩින් කාක්කෙකුට හෝ ඉගිලෙන්න දෙන්නේ නැතැයි චීවරධාරියෙක් තග දමද්දී උස් ගොඩනැගිලි හෝ ප්‍රතිමා ආගමකට අනවශ්‍ය දේ යැයි දේශනා කරන්නේ අස්ගිරි මහනායකය. ඒත් අසූ අටරියන් බුදු පිළිම හෝ ඊටත් වඩා උස ඒවා තැනීම ප්රශ්ණකාරී නොවන්නේ මෙය සිංහල බෞද්ධ රාජ්‍ය නිසාය. පිරිමින් ගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයෙන් කාන්තාවන් ඇඳුම් නොඇඳිය යුතුයැයි බොහෝ දෙනා කියන්නාක් මෙන් සුලුතර ජනයාද මහජාතියේ විරෝධයට ලක් නොවන ආකාරයේ කටයුතු නොකර සිටීම ඇඟට ගුන බවද උන් වහන්සේ වැඩි දුරටත් අනුශාසනා කර තිබුනි. දැන් ඉතින් මෛත්‍රී – රනිල් ආණ්ඩුව පිටු 300 පොත කියවා ජාතික ප්‍රශ්ණයට විසඳුම් ගෙනෙන කල සියලු ජාතිවාදී දුෂ්ඨ බලවේග හිස ඔසවා හමාරය.”පවතින තත්වය තුළ අපි ගැටුම් අවමකර ගැනීම වෙනුවෙන් බලය බෙදීමේ ප්‍රශ්ණය පසුවට තියමු”. එවිට ජාතික ගැටලුවට තිරසර විසඳුමක් හා විධායක ජනාධිධූරය අහෝසි කිරීමේ සටන් පාඨය 2020 මැතිවරණ ප්රකාශණයටද ඇතුළත්කර ගැනීමේ යුක්ති සහගත භාවයක් මේ දෙපක්ෂයටම නැවතත් උදාවනු ඇත.
බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගිහින් ගමරාළගෙන් බූරුවා හොඳහැටි තැලුම් කෑවේ ඉස්සරය. ඒත් දැන් දැන් ජනතා ප්‍රසාදයත් මාධ්‍ය ප්රචාරයත් ලැබෙන්නේ බූරුවන්ටය. අප රටේ බොහෝ වෘත්තිකයෝ නොකරන්නේම තමන් ගේ වෘත්තියයි. ඒ හැර අනෙක් සියල්ල කරති. හාමුදුරුවන් බුද්ද දර්ශනය ප්‍රචාරය කරන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ ආරක්ෂක මණ්ඩලය ගතයුතු තීන්දු තීරණ ගැනීම හා ඒවා ප්‍රචාරය කිරීමය. දේශපාලකයන් කරන්නේ බිස්නස් ය. බිස්නස් කරුවෝ දේශපාලන තීන්දු තීරණ ගනිති. මාධ්‍ය සේවකයෝ කුණු අදින නිසා නගර සභා සේවකයෝ රේස්කොළේ බලති. වෛද්‍යවරු ඉට්කා සඳහා මරාගෙන මැරෙති. රෝහල් ප්‍රශ්ණ විසඳන්නේ තෙවරප්පෙරුමලාය. මේ නිසා නායකත්වයේ රික්තයක් රට තුළ මතුව ඇත. එය පුරවන්නේ කවුද?
ඥානසිරි කොත්තිගොඩ