එක්සත් ජාතීන්ගේ 32 වන මානව හිමිකම් කවුසලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිළි කළ විදේශ ක‍ටයුතු ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අදහස් බොහොමයක් ගැන මාධ්‍යය වාර්තා මෙන්ම ඊට අදාළ විචාර මේ වන විටත් පළ වී තිබේ. තම ජිනීවා සංචාරයට පෙර හෙතම නොර්වේ දින කිහිපයක් ගත කළ අතර, ඇතැමුන් ඔහු සමග මෙන්ම මෙරට අධිකරණ සහ බුද්ධ සාසන කටයුතු ඇමතිවරයා වන ආචාර්යය විජේදාස රාජපක්ෂ මහතා සමග “සෙල්ෆි” සේයාරූ රාශියකට පෙනී සිටියෝය.

ඔවුන්ගෙන් ඇතැමෙකු පොට්ටු අම්මාන්ගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය මෙහෙවනු ලැබූ ඉහළපෙළේ අයවලුන් වූ අතර වත්මන් ආණ්ඩුවට හොර රහසේ රිංගා, ඔවුන්ට අවශ්‍යය අයගෙන් පළිගනිමින් සිටින අයවලුන්ය. ඉන් එක් අයෙක් පසුගිය මැතිවරණ සමයක විජේකලාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරමින් සිටින අතර තුර අත්අඩංගුවට පත්වූ අයෙකි. අත්අඩංගුවට ගෙන, පැයකිහියකින් හෙතම නිදහස් කරනු ලැබීය. එකම හේතුවක් පදනම් කරගනිමින්, කුමාර්ගුණරත්නම් සිරගත කරනු ලැබූ ආණ්ඩුව අදාළ පුද්ගලයා වහා නිදහස් කරනු ලැබුවේ කුමන හෝ හේතුවක් නිසාය. ඔහු, ඔස්ලෝ වලදී විදේශ ඇමති, අධිකරණ ඇමති කී නොකී සෑම අයෙකු සමගම “සෙල්ෆි” ගසා තම මුහුණුපොතේ පළකොට යහපාලන ආණ්ඩුවේ නිර්මාතෘවරයෙකු සේ රඟපාමින් සිටින්නේය. මෙය විහිළුවකි. වත්මන් ආණ්ඩුව ලැජ්ජාවිය යුතු කාරණයකි.

රටේ අවාසනාවට අහිමු වූ කීර්තිමත් දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙඩිතබා ඝාතනය කරන බව ඊට පැය කිහිපයකට පෙර සඳහන් කරමින් එහි පුවත් එල්. ටී. ටී. ඊ. වෙබ්අඩවි වල පළ කරනු ලැබුවේ මෙම සෙල්ෆි වීරයාය. තවත් බොහෝ දෑ ඔහු කළේය. ඉන් පසු හෙතම බොහෝ දෙනෙකුට තර්ජනය කරමින් ඔහුගේ නම සඳහන් පුවත් ඉවත්කර ගනු ලැබීය. ඔහු මෙහෙවනු ලැබූ වෙබ් අඩවි සියල්ලම මකා දැමුවේය. හිටි අඩියේ උග්‍ර එල්. ටී. ටී. ඊ. විරෝධියෙක් ලෙස වෙස් ගත්තේය. ඉන් වසර කිහිපයකට පසු අප හමුවේ ඇති කණගාටුදායක තත්වය කුමක්ද? මංගල ඔස්ලෝ ගොස් හෙතම බදා ගන්නේ එහි ප්‍රතිඵලය ලෙසය. මෙරට දේශපාලනඥයින්ද පිටරටදී හමුවන ඕනෑම කුණුගොඩක් බදාගැනීමට කැමතිය. විදේශ ප්‍රතිපත්තියක් ඇති වෙනත් රටක්, ඕනෑම තැනකදී පුද්ගලයෙකු හමුවන්නේ, අනුගමනය කළ යුතු මූලික ක්‍රියාපටිපාටියකට අනුවය. ඒ ඔවුන් නිසා නොව ඔවුහු දරන ධූරයට ගරුත්වයක් ලෙසය. ඔවුහු නියෝජනය කරන්නේ රාජ්‍යය මිස ඔවුන්ගේ පෞද්ගලික චරිතය නොවේ.

කෙසේ වෙතත්, ඔස්ලෝ වලින් ජිනීවා පැමිණි සමරවීර මහතා තම ආණ්ඩුවේ ස්ථාවරය යළිත් පැහැදිළි කිරීමෙන් පසු, වැදගත් “සෙල්ෆියක්” යළිත් ගත්තේය. එය සැබවින්ම වැදගත් මෙන්ම වටිනා එකකි. ඒ, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍යය නියෝජිතයාගේ කාර්යාලයේදීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි කිරීම මෙහිදී වැදගත් නොවුනත්, අදාළ අවස්ථාවේදී, සමරවීර මහතා සඳහන් කළ එක කාරණයක් මෙහිදී දැක්වීම වැදගත් යැයි සිතේ. “අපි ක්‍රමයෙන් හුදෙකලා වෙමින් සිටිනවා,” යැයි හෙතම සඳහන් කරනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ ඉහළ පෙලේ නිලධාරීන් ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් දක්වන ක්‍රමික නමුත් ඉතා හෙමින් වර්ධනය වන සැකය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මෙය බැලූ බැල්මට පිටතට නොපෙනේ. නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුවට, වචන වලින් කළ හැකි සෙල්ලම කළ හැක්කේ ඉතා සීමිත කාලයක් බවත්, එම සීමාව ක්‍රමයෙන් නිමාවට පත් වෙමින් තිබෙන බවත්, මංගලට අවබෝධවනවා විය හැකිය. අදාළ අවස්ථාවට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපදේශකවරයෙකු වූ මනෝ තිත්තවැල්ල මහතාද සහභාගී විය. එසේම ඊට තවත් විශාල පිරිසක් ලංකා ආණ්ඩුවේ “නියෝජනය” ලෙස එක් වී සිටියෝය.

නමුත්, ලබන සැප්තැම්බර් මාසය වන විට බොහෝ අනපේක්ෂිත දෑ වීමට ඉඩ තිබේ. විශේෂයෙන්, ආණ්ඩුව ක්‍රමයෙන් ඇදී යන අර්බුදයට කඩිනම් විසඳුම් ලබා නොගත හොත් සිදුවන තත්වය වඩාත් කණගාටුදායක වනු නියතය. විදේශ කටයුතු අමාත්‍යවරයා, එල්. ටී. ටී. ඊ. හිතවාදී පිරිස් එකතු කිරීම සහ ඒ හා සමාන අදහස් ඇති පිරිස් සමග එකතු වෙමින්, එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් බැට කෑ සහ ඊට එරෙහිව කටයුතු කළ දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කිරීම මගින් ජාතික සංහිදියාවක් වෙත තල්ලු විය හැකි යැයි සඳහන් කළ නොහේ.

එසේම, අදාළ යුධ අපරාධ චෝදනා වලට අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කටයුතු කිරීමෙදී ඉතා වැදගත් වන්නේ, ආණ්ඩුවට තම උපයාශීලීවීම සහ මෙහි ඇති දේශපාලනික වටිනාකම් ගැන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සැලසුම් කිරීමය. ආණ්ඩුවට තම ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා ලැබී ඇති මෙවැනි වැදගත් අවස්ථා, අපහරණය නොකළයුතු අතර, මෙරට බදු මුදලින් නඩත්තු කරන සියලුම තානාපතිසේවා කාර්යාල වලට එහි වගකීම පැවරී තිබේ. සිදුවන බොහොමයක් දෑ දෙස බැලීමේදී, මංගල හුදු හුදෙකලා අරගලයක නිරත වී සිටින බව නිරීක්ෂණය කළ හැකිය. එය, ඔහු ස්වකැමැත්තෙන් නිර්මාණය කර ගනු ලැබුවේද? නොඑසේනම්, ඒ වෙතට ඔහු තල්ලු කළේද යන්න දන්නේ ඔහු පමණි.

මංගලට අනුව ශ්‍රී ලංකාව, නීතීගත කිරීමට නියමිත නව ව්‍යවස්ථාව මඟින් බොහොමයක් ගැටලු විසඳෙනු ඇත. එය ඔහු, ඔහුගේ මිත්‍රයින්ට ඉදිරිපත් කළ අදහස වේ. මූලික අභියෝග සහ අර්බුද වලට විසඳුම් ඉදිරිපත් නොකොට, “බ්‍රෑන්ඩ් නිව්” ව්‍යවස්ථාව ගැටලු විසඳනු ඇතැයි සිහින දකින්නේ නම්, මෙරටට අවශ්‍යවන්නේ “බ්‍රෑන්ඩ් නිව්” පුරවැසියන්ය.

සැබැවින්ම, ශ්‍රී ලංකාවේ සැබෑ අර්බුදය ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ හෝ මංගලට මිතුරු වී සිටින දෙමළ දේශපාලන කණ්ඩායම් මත නොවේ. සැබෑ අර්බුදය ඇත්තේ මෙරට භූමියේය. ශ්‍රී ලංකා ආණ්ඩුව කෙතරම් දුරට රටේ අධිකරණ ක්‍රමය සහ ඊට සම්බන්ධ ආයතන ශක්තිමත් සහ ස්වාධීන ආයතන බවට පත්කරන්නේද යන්න මතය. එය, රටේ පොදු ප්‍රශ්නයකි. එම පොදු ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි බව පෙන්වීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍යතරම් සිදුවීම් තිබේ. එම සිදුවීම් නිවැරදිව භාවිතා කිරීමට හැකිවන්නෙන් නම්, ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වේ. නමුත්, ආණ්ඩුව යලි යලිත් ඔප්පු කරමින් සිටින මූලික කාරණය වූ කලී, එය අත්‍යවශ්‍යය කරනා වලට නිසි පිළිතුරු ලබාදීම වෙනුවට, අනවශ්‍යය දෑ විශාල ප්‍රශ්න ලෙස චිත්‍රණය කොට ඇති බවයි.

මෙහි කදිම නිදසුන මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් රටේ මතු වී ඇති නියාලු සහ වෛරී විවාදයයි. මෙය සැබවින්ම හාස්‍යය ජනක කාරණයකි. අර්ජුන්ට එරෙහිව පැමිණි කැරැල්ල හුදු “කුහකකම” සහ ඔහු “සිංගප්පුරු” ජාතිකයෙකු වීම නිසා පමණක් නිසා යැයි, මෙම සියලු නාඩගම අවසානයේ කෙනෙකුට අවබෝධ වුව හොත් පුදුම විය යුතු නැත. අර්ජුන් ගැන මූලික වශයෙන් මතු වූ පෞද්ගලික එදිරිවාදිකම පැත්තකින් තබමු.

හෙතම, පසුගිය 29 වැනිදා කොළඹ විශ්ව විද්‍යලයේදී මෙරට ආර්ථිකය ගැන ප්‍රකාශ කළ මූලික අදහසක් සඳහන් කිරීම වැදගත් වේ. එනම්, ලංකාව ආදායම වශයෙන් ලබන සෑම රුපියලකින්ම, ශත 80ක් ණය ගෙවීමට වැය වේ. ඉතුරු සියලුම කටයුතු කිරීම ඇත්තේ ඉතිරි ශත 20යි. තව දුරටත් මෙරට ඉදිකිරීම් සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය පමණක් මැදිහත් වුවහොත් මෙම අර්බුදය තව දුරටත් දුර්වලවීම මිස යහපතක් සිදු වන්නේ නැත. පිළිගැනීමට ඇති සත්‍යය කාරණයය මෙයයි. රටේ අභියෝගය මෙයයි.

අරජුන් එළවීම ජයග්‍රහණයක් නොවන බවත්, සැබෑ ගැටලුව ඇත්තේ වෙනත් තැනක බවත් ඉතා සුළු කාලයකදී තේරුම් ගැනීමට බොහෝ දෙනෙකුට හැකිවනු ඇත. අර්ජුන් යළි, අගමැතිවරයාගේ විශේෂ ආර්ථික උපදේශක ධූරයට හෝ වෙනත් ඉහළ පෙලේ තනතුරකට පත්කරනු ලැබුවහොත් ඒ ගැන පුදුම විය යුතු නොවේ.

ආණ්ඩුවට නඩත්තු කිරීමට ඇති අනවශ්‍යය දේශපාලනඥයින් රොත්ත හේතුවෙන්, රටේ දුර්වල ආර්ථිකය තව දුරටත් සංකීරණ වී තිබේ. ජාතික ආණ්ඩුව, අවංකව රට වෙනුවෙන් පෙනී සිටින්නේනම්, මෙම අනවශ්‍යය නඩත්තුව සඳහා යන වියදම හැකි උපරිමයෙන් අවම කිරීම සඳහා කැපවීම වැදගත් වේ. නමුත්, සිදු වන්නේ එහි අනෙක් පැත්තය. මහබැංකුව වටා ගෙතී ඇති කාරණය තව දුරටත් විමසා බැලීම වැදගත් වන්නේ මේ නිසාය.

ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර මූලික අර්බුදය ඇතිවන්නේ සැබවින්ම අරජුන් කේන්ද්‍ර කරගෙන නොවේ. එය මූලික වශයෙන් ඇති වූයේ මුදල් ඇමති රවී කරුණානායක මූලික කරගනිමිනි. රවී කරුණානායක, මහජනතාව අතර එතරම් ගරුත්වයක් හිමි දේශපාලඥයෙකු නොවේ, එසේම හෙතම අදාළ ධූරය සඳහා පත් කිරීම අගමැතිවරයාගේ තනි තීරණයක් වූ අතර, ජනාධිපති මෛත්‍රී එකල අගමැතිවරයාට යෝජනා කරනු ලැබුවේ එරාන් ( ඉරාන්) වික්‍රමරත්න අදාළ ධූරයට සුදුසු පුද්ගලයා බවය. එරාන් වූ කලී, ප්‍රසාදයක් ඇති ගෞරවාන්විත දේශපාලනඥයකි. ඉහල විනයක් මෙනම් ගැඹුරු කියවීමක් ඇති හෙතම මෙරට මූල්‍යක්ෂේත්‍රය ගැන මනා දැනුමැත්තෙකි. නමුත් අගමැති වික්‍රමසිංහ කුමන හෝ හේතුවක් නිසා, අදාළ ධූරය කරුණානායක මහතාගේ දෑත් මත තැබීමට තීන්දු කළේය.

මහබැංකුවේ මූලික වෙනස්කම් ඇතිවන්නේ ඒ අනුවය. අර්ජුන් ගොදුරක් බවට පත්වන්නේ එම මූලික දේශපාලන කල්ලිවාදය තුළය. අර්ජුන්, මූල්‍යමය වංචාවක් කළේනම් ( ඇතැම් සිවිල් සංවිධාන චෝදනා කළ ආකාරයෙන්) සිදු විය යුත්තේ කුමක්ද ? එනම්, හෙතම ධූරයෙන් ඉල්ලා අස්වීම හෝ සේවය දීර්ඝ නොකිරීම නොව ඒ සඳහා ගතයුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකි. නමුත්, එවැන්නක් නැත. ඒ වෙනුවට තම සේවා කාලය අවසන් වීමෙන් පසු ගෙදර යන අර්ජුන් දැක සිවිල් සමාජ ක්‍රියාදරයින් ළදරුවන් සේ ජයග්‍රහණය සමරති.

වර්තමානයේ මෙම නාමික ජාතික ආණ්ඩුව, තම එක් ප්‍රධාන අභියෝගයකට මුහුණ දී සිටින්නේ ඒ අනුවය. රනිල්- අර්ජුන් – රවී නිවැරදිව කියවීමට මෛත්‍රීට හැකිද යන්න අපැහැදිලි කාරණයකි. නමුත්, එම තුන්කට්ටුව, මෛත්‍රී නිවැරදිව කියවන බව නිරීක්ෂණය කළ හැකිය. එහි, වඩාත් අප්‍රසන්නම කාරණය වූ කලී, ජනාධිපතිවරයා මහජනතාව ඉදිරියේ, නව මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් සනදහන් කිරීමට ගොස්, හාස්‍යයට ලක් වීමය. එවිට, කරුණානායක මහතා විදේශගත විය. විදේශගත වූයේ “මඟ හැරිය නොහැකි” රාජකාරී කටයුතක් හේතුවෙන්ද? නො එසේනම්, රනිල්ගේ “දේශීය මැකියාවෙලියානු” චින්තනය තුළ වඩාත් තියුණුවී ඇති “මුලාකිරීමේ” පියවරක් ලෙසද? යන්න මේ වන විට අදාල සිදුවීම මුහුණ දී ඇති තත්වයෙන් පැහැදිලිය.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පෙනී යන තවත් කාරණයක් වූ කලී, ජාතික ආණ්ඩුවට රටේ ඉතාම තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ගැන පැහැදිළි ප්‍රතිප්තියක් හෝ පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් නොමැති බවය. රටේ විදේශ ප්‍රතිපත්තිය, මුදල් සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම, මෙන්ම ජාතික ආණ්ඩුව තනාගෙන ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අනාගතයේ මුහුණ දීමට යන මැතිවරණ, ආදී කිසිවක් ගැන මූලික අවබෝධතා ගිවිසුම් පෙර සිටම අත්සන් කොටනැති බව ඔප්පු කරමින් සිටින්නේද? බොහොමයක්, දෑ සිදුවෙමින් ඇත්තේ කටවචනයට මිස, පැහැදිළි ප්‍රතිප්තියකට නොවන බව, මතුපිටට පෙනීම සැබවින්ම කණගාටුදායක කාරණයකි.

වරක් ජනාධිපතිවරයා, අගමැතිවරයා කුඩා කාලේ ක්‍රිකට් ගැසූ ආකාරය කියන විට ප්‍රතිචාර දක්වනු ලැබුවේ, අපිනම් ක්‍රිකට් නෙමෙයි එල්ලේ ගැහුවේ කියාය. අර්ජුන් මූලිකකොට ගෙන මතුවන දේශපලන කුණාටුවද මේහා සමානය. එය, පන්ති අවුලකි. සම්ප්‍රදාය සහ නූතනත්වය පිළිබඳ ගැටලුවකි. ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් සිතීම අතර ඇති පරතරය පිළිබඳ අවුලකි. නගරය සහ ගම පිළිබඳ අවුලකි. මෙම තත්වය මේ ආකරයෙන්ම ඉදිරියට ඇදුන හොත්, මේ සියලු පාර්ශ්වයන්ට, හවුලේ කැඳත් එපා වී, පැරණි නැටුම යළි නටනු ඇත. අපි, සාමානය ජනතාව ලෙස දුක් විඳිනු ඇත.

nilantha-profile
නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa