විසල් අහසත්, මහපොළවත් උහුළන්නේ නැති, පාපතර යුද්ධය අවසන් වී අදට(18) එක්(01)වසරයි. එයින් ඇති වුනු කම්පනය සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු මිනිසුන්ගේ හදවත් වල තාමත් රැව් දෙනවා. වේදනාවෙන් පුපුරු ගහනවා. ඒ වේදනාවෙන් පුපුරු ගසන මිනිස් හදවත් සනහන්නට වසරක් ගතවන අදවන විටත් නොහැකිවී තිබීම තරම් වේදනාවක් තවත් ඇති ද?
ඒ යුද්ධය අවසන් වී වසරක් ගතවන විට අපට ඉතිරිව ඇත්තේ, අපට ඉතිරිකලේ මොනවාද?…,
අතපය අහිමි මිනිසුන්,
තම සමීපතමයින් කොහේ ද කියා හොයාගන්නවත් බැරි මිනිසුන්.
අවුරුදු ගණනක යුද්ධය නිසා තමන්ගේම ගෙවල්වලට තවමත් යාගන්න බැරි මිනිසුන්,
තමන්ගේ වේදනාව, තවමත් කාටවත් කියාගන්න බැරි මිනිසුන්.
තමන්ගේ ඇදුම් පැළදුම් තවමත් උණ්ඩ ගෙනපු පෙට්ටිවල දමාගෙන වේදනා විඳින මිනිසුන්.
උණ්ඩ ගෙනා පෙට්ටිවලින් පුටු සාදා විනෝද වන මෙහෙන් යන මිනිසුන්.
තමන් වවන එළවලු ටික හදාගන්න බැරුව, දඹුල්ලෙන් එළවලු මිලට ගන්නා මිනිසුන්.
‛‛වසන්තය’’ පිලිබඳව අංශුමාත්‍රයක්වත් නොදන්නා මිනිසුන්.
අත්අඩංගුවට ගත් තම මිතුරන් කවදා හෝ නිදහස් කරා වී යැයි මඟ බලා සිටින සරසවි සිසුන්.
තමන්ගේ දරුවන්ට හොඳ වහලක් යට ඉගෙන ගැනීමට දවසක් උදාවෙතැයි ඇගිළි ගැන ගැන බලා සිටින මිනිසුන්.
ඒ මිනිසුන් මැදින් විනෝද වෙවී ‛වන්දනාවේ’ යන දකුණේ(අහිංසක, අහිංසක නොවන, කිසිවක් නොදන්නා, සියලු දේ දන්නා) මිනිසුන්.
විනාශය තම දෑසට දැක, දකත් කඳුලු නොයෙන මෙහෙන් යන මිනිසුන්.
පාලම් වෙනුවට තිබෙන ඒදණ්ඩත් උදුරා දමන මිනිසුන්.
සිංහල නම් චෙක් නැති, දෙමළ නම් චෙක් ඇති, යාපනයේ නගරයෙන් එපිට අහිංසක මිනිසුන්.
වැරුද්ද, නිවැරුද්ද කෙසේ වෙතත් තම දරුවන්ගේත්, සැමියන්ගේත් එකම සිහිවටන උදුරා දමන (මිනි)සුන්.
සුනු විසුනු වී ගිය තම නිවස ළග ඉටිරෙදි ආවණයකින් ගෙයක් සාදාගෙන කඳුලු සලන මිනිසුන්.
ඒ සියලු දේ මැද සුන්දර අනාගතයක් පිළිබද සිහිනය මුව පුරා සරසාගෙන සිනාසෙන කුඩා දරුවන්.
එහෙව් මිනිසුන්ගේ වේදනාවත්, ඒ වේදනාව මතින් විනෝදවන ඇතැම් (නො)මිනිසුන්ගේ හැඩතලත් මගේ කැමරා කාචය පසුගිය දා මෙසේ ලීවේය.
‛‛නැවතවරක් මෙවන් කවක් ලියන්නට නොලැබේවා….’’