Image Credit: www.tamilguardian.com

By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG
| මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප‍්‍රනාන්දු විසිනි

2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා ගෙන මැරෙන ජැකට්ටුවක් ද පුපුරන ද්‍රව්‍ය ද වෙනත් වෙඩි උණ්ඩ ද සොයා ගනු ලැබිණ. එතැන් සිට ජූනි 28 දින දක්වා කාලය තුළ දී යටත් පිරිසෙයින් පුද්ගලයන් 28 දෙනෙකු අත් අඩංගුවට ගැනීම වාර්තා වී ඇත. මේ සියලූ දෙනා ම ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පදිංචි දමිළයෝ ය. තම සැමියා ද අත් අඩංගුවට පත් එක් කාන්තාවක හැර අන් සියලූ දෙනා ම පිරිමි වූහ. ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ”තුණ්ඩු කෑලි” ලබා දී තවත් පුද්ගලයෝ දෙදෙනෙක් (ඔවුහු ද දමිළයෝ ය) විමර්ශනය සඳහා පොලීසියේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට(TID) කැඳවන ලදහ. ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර එදින ම ඔවුහු මුදා හැරුණහ.

අත් අඩංගුවට ගත් 28 දෙනාගෙන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත (PTA) යටතේ ය. හිටපු එල්ටීටීඊ සටන්කරුවන් වුව ද අනෙක් 4 දෙනා අත් අඩංගුවට ගෙන රඳවා තබා ඇත්තේ ඉහත සඳහන් කළ සිද්ධියට සම්බන්ධයක් නැති කාරණා මත බව පෙනී යයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගත් අයගෙන් එක් අයෙකු අත් අඩංගුවට ගන්නා ලද්දේ පැමිණිල්ලක් කරමින් සිටින අතරතුර ත‍්‍රිකුණාමලයේ මානව හිමිකම් කොමිසම තුළ දී ය.

අප කතාබහ කළ චාවාකච්චේරි ජනයා පැවසුවේ අත් අඩංගුවට ගත් අයට අමතරව 2016 අපේ‍්‍රල් හා ජූනි අතරතුර දී තරුණ තරුණියන් 10-12 දෙනෙකු පමණ යාපනය දිස්ත‍්‍රික්කයේ විවිධ ස්ථානවලට ප‍්‍රශ්න කිරීම සඳහා නැවත නැවතත් කැඳවා ඇති බව යි. මේ ගම තුළ ද අත් අඩංගුවට ගත් අයගේ පවුල් අතර ද භීතිය මුසු හැඟීමක් රජ කරයි. තරමක් නිදහසේ එහා මෙහා යමින් සිටි ජනතාව දැන් එකිනෙකා දෙස බලන්නේ අවිශ්වාසයෙන් හා සැකයෙනි.

මානව හිමිකම් නීතිඥයෙකු ප‍්‍රකාශ කරන්නේ අත් අඩංගුවට ගැනීම්වලින් බොහොමයක් පුපුරන ද්‍රව්‍ය සොයා ගත් නිවස ආසන්නයේ දී සොයා ගත්තේ යැයි කියන යතුරුපැදි 5-6කට සම්බන්ධ බව යි. ත‍්‍රස්ත විමර්ශන ඒකකය මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අය සමග සම්බන්ධකම් පවත්වා ඇති අයගේ දුරකථන අංක හඹා යාමේ, ඔවුන් තව දුර විමර්ශන සඳහා කැඳවීමේ සහ ඒ අතරවාරයේ ඔවුන්ගෙන් සමහරෙකු අත් අඩංගුවට ගැනීමේ ප‍්‍රවණතාවක් පවතින බව ද පෙනී යයි. මෙය ජනතාව තම දුරකථන අන් කිසිවෙකුට තාවකාලිකව පරිහරණය කිරීමට දීමෙන් වැළකීමට තුඩු දී තිබිණ.

2016 ජූනි 23 දින වන විට,

[su_list icon=”icon: circle”]

  • යටත් පිරිසෙයින් සිදුවීම් 5ක දී වත් පැය 48කට වැඩි කාලයක් ගත වී ද රඳවා ගෙන සිටින ස්ථානය පවුල්වලට දැනුම් නොදෙන ලදි.
  • අත් අඩංගුවට ගත් අයගෙන් යටත් පිරිසෙයින් 15 දෙනෙකු වත් හිටපු එල්ටීටීඊ සටන්කරුවන් වන අතර යටත් පිරිසෙයින් 7 දෙනෙක් වත් පුනරුත්ථාපනය කොට නිදහස් කරන ලද අය වෙති.
  • අත්අඩංගුවට ගත් අයගෙන් යටත් පිරිසෙයින් 15 දෙනෙකු වත් හිටපු එල්ටීටීඊ සටන්කරුවන් වන අතර යටත් පිරිසෙයින් 7 දෙනෙක් වත් පුනරුත්ථාපනය කොට නිදහස් කරන ලද අය වෙති.
  • යටත් පිරිසෙයින් සිදුවීම් 23ක දී වත් පැය 48කට වැඩි කාලයක් ගත වී ද රැඳවියන්ට නීතිඥයන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව ලබා නොදුන් අතර ඉන් පසුව පවා නීතිඥයන්ට තිබුණේ සීමිත ප‍්‍රවේශයකි. බොහෝ විට නීතිඥයන් සමග සම්බන්ධකම් පවත්වන්නේ පවුල්වල සාමාජිකයන් ය.
  • අත්අඩංගුවට ගත් 28 දෙනාගෙන් 4 දෙනෙකු කොන්දේසි විරහිතව නිදහස් කළ බව අපට දැන ගන්නට ලැබී ඇති අතර ඉන් දෙදෙනෙකු පුද්ගල ඇප මත නිදහස් කර එක් අයෙකු වසරක පුනරුත්ථාපනයක් සඳහා යවා ඇත.
  • රඳවා ගෙන සිටින තම පවුල්වල සාමාජිකයන් බැලීමට යාමෙන් පසුව කිහිප දෙනෙකු වාර්තා කර ඇත්තේ රැඳවියන්ට වධහිංසා පමුණුවා ඇතැයි පෙනී ගිය බව යි.
  • යටත් පිරිසෙයින් සිදුවීම් 5ක දී වත් රැඳවියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික දේපළ අත් කර ගෙන කුවිතාන්සි නිකුත් නොකර රඳවා ගැනිණ. මෙම දේපළවලට ජංගම දුරකථන, රථවාහන සහ යටත් පිරිසෙයින් මුදලින් රු. 100,000ක් ඇතුළත් වේ.
  • ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් (HRCSL) පණතේ[1] 28 වගන්තිය යටතේ ත‍්‍රස්ත විමර්ශන ඒකකය දැන් අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම්වලින් බොහොමයක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන නමුත් රැඳවියන් මාරු කිරීම හා රඳවා ගැනීම ආශ‍්‍රිත පහසුකම් වෙනස් කිරීම පිළිබඳව තවමත් කොමිසමට දැනුම් දෙනු නො ලැබේ[2].
  • පවුල්වල සාමාජිකයන් හා නීතිඥයන් වාර්තා කළේ තමන් රැඳවියන් වෙත ප‍්‍රවේශ වීම සීමා කර තිබූ බව යි.
  • රඳවා ගෙන සිටින බව, බරපතළ ප‍්‍රශ්න කිරීම්වලට ලක් කෙරෙන බව, අඩන්තේට්ටම් කෙරෙන බව සහ/හෝ බිය ගැන්වෙන බව ද පවුල්වල සාමාජිකයන්ට වාර්තා වී ඇත.

[/su_list]

පහත දැක්වෙන්නේ අත් අඩංගුවට ගත් බවට වාර්තා වූ 28 දෙනාගේ සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ප‍්‍රශ්න කර නිදහස් කරන ලදැයි වාර්තා වූ දෙදෙනාගේ නම් සහ කෙටි විස්තර ය. අනෙක් දිනයක් ප‍්‍රකාශ කර නැත් නම් එම තොරතුරු වලංගු වන්නේ ජූනි 23 දිනට ය.

1. ගේබි‍්‍රයෙල් එඞ්වඞ් ජූලියන් (නොහොත් රමේෂ්) – ජූලියන්ගේ නීතිඥයන් පවසන්නේ මාර්තු 29 දින ප.ව. 7.30ට පමණ පොලීසියේ, විශේෂ කාර්ය බලකායේ, යුද හමුදාවේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් 20 දෙනෙකු පමණ යුද හමුදා රථ 4කින් පැමිණ චාවාකච්චේරියේ පිහිටි ජූලියන්ගේ නිවස වැටලූ බව යි. ජූලියන් නිවසේ නොසිටි නිසා අවසානයේ ප.ව. 9ට පමණ ජූලියන්ගේ බිරිඳ වන ගේබි‍්‍රයල් දුෂ්‍යන්ති අත්අඩංගුවට ගත් නිලධාරීහු ඇය සමග ඇයගේ 6 හැවිරිදි සුළු දියණිය ද කැටුව ගියහ. පසු දින (30) උදෑසන ජූලියන්ගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හා මරා ගෙන මැරෙන බැනියම බහා තිබූ ගබඩාව සොයා ගැනිණ[3]. 2016 මාර්තු 30 දින ජූලියන් අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුගේ නීතිඥයන් පවසන්නේ අපේ‍්‍රල් 31 දින පොලීසියේ, යුද හමුදාවේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෑන් රථයකින් ජූලියන් ආපසු නිවසට රැගෙන ආ නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහු හමු වීමට ඉඩ නොදෙන ලද බව යි. ජූලියන් 30 දින අත්අඩංගුවට ගත් බව ඔවුන් ඔහුගේ පවුලට දැනුම් දී තිබිණ. ජූලියන් හිටපු එල්ටීටීඊ සටන්කරුවෙක් විය. ඔහුගේ නීතිඥයන් දන්නා තරමින් නම් කිසිදු රඳවා ගැනීමේ නියෝගයක් භාර දී නොමැති අතර ජූනි 23 දින වන විට මහේස්ත‍්‍රාත්වරයා හෝ JMO හමුවට ඉදිරිපත් කර නො තිබිණ. ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් ජූලියන්ට, ඔහුගේ පියාට හා බිරිඳට අයත් ජංගම දුරකථන, ජූලියන්ගේ යතුරුපැදිය හා ටාටා බට්ටා වෑන් රථය, ඔවුන්ගේ රථවාහන ලියකියවිලි සහ ගිණුම් පොත් යන මේ සියල්ල ම අත්පත් කර ගන්නා ලදි. මෙම දේපළ අත්පත් කර ගැනීමෙන් පසුව කිසිදු කුවිතාන්සියක් නිකුත් නොකරන ලද අතර මේ දක්වා ඉන් එකක් වත් ආපසු ලබා දී නැත.

2. රාසතුරෙයි ජෙයන්දන් හිටපු එල්ටීටීඊ සටන්කරුවෙකු වන අතර සිවිල් ඇඳුමින් සැරසී සිටි නමුත් තමන් පොලීසියෙන් බව ප‍්‍රකාශ කළ පුද්ගලයන් විසින් 2016 අපේ‍්‍රල් 10 දින චාවාකච්චේරියේ නුනාවිල්හි පිහිටි නිවසේ සිටිය දී පැහැර ගෙන යන ලදි[5] [6]. ඔවුහු ඔහුගෙන් ප‍්‍රශ්න කොට ඔහුට මාංචු දැමූහ, තමන් කවුරුන් දැයි හඳුන්වා දීම ප‍්‍රතික්ෂේප කළහ, අත් අඩංගුවට ගැනීමට හේතුව සහ තමන් ඔහු රැගෙන යන ස්ථානය පවුලේ සාමාජිකයන්ට පැවසීම ප‍්‍රතික්ෂේප කළහ, කිසිදු සලකුණක් නොතිබූ සුදු වෑන් රථයකින් ඔහු රැගෙන ගියහ. පවුලේ සාමාජිකයන් නොදන්නා ස්ථානවල දින දෙකක් තිස්සේ ඔහු රඳවා ගෙන සිටියහ. ජෙයන්දන්ගේ සොහොයුරාගේ නමට ලියාපදිංචි කර තිබූ යතුරුපැදි දෙකක් සහ ඔහුට, ඔහුගේ බිරිඳට හා මවට අයත් ජංගම දුරකථන 3ක් අත්පත් කර ගත්හ. ඔහු අත්අඩංගුවට ගෙන මාස 2කට වැඩි කාලයක් ගත වුවත් ඔවුන්ගේ පෞද්ගලික දේපළ කිසිවක් ආපසු පවුලේ සාමාජිකයන් වෙත ලබා දී නැත. අත්පත් කර ගත් දේපළ සඳහා කුවිතාන්සියක් වත් ඔවුන්ට ලැබී නැත. අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිවේදනය ඔහුගේ පවුල වෙත යවන ලද්දේ ඔහු සැබවින් අත් අඩංගුවට ගෙන සතියක් පමණ ගත වූ පසුව ය. කෙසේ වුව ද, ඔහු අත්අඩංගුවට ගත් බව 1996 මානව හිමිකම් කොමිසම් පණතේ 28(1) වගන්තියෙන් පැවරෙන පරිදි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දෙමින් එම කොමිසම වෙත සුපුරුදු පරිදි ෆැක්ස් පණිවුඩයක් ලැබී තිබිණ. දින 2ක් තිස්සේ කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයේ රඳවා තබා ගැනීමෙන් පසුව 2016 අපේ‍්‍රල් 12 දින ඔහු බූස්සට මාරු කර යැවූ අතර, 23 දින වන විටත් ඔහු එහි රඳවනු ලැබ සිටියේ ය.

3. ගනේෂපිල්ලේ අරිවලහන් (නොහොත් කාලයියාරාසන්) හිටපු එල්ටීටීඊ බුද්ධි අංශ ප‍්‍රධානියෙකු වන අතර ත‍්‍රිකුණාමලයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් කාර්යාලයට පැමිණිල්ලක් කරමින් සිටිය දී 2016 අපේ‍්‍රල් 26 දින අත් අඩංගුවට ගන්නා ලදි[7]. අපේ‍්‍රල් 25 දින සිවිල් ඇඳුමින් සැරසී ගත් පුද්ගලයන් 3 දෙනෙකු අරිවලහන් රැකියාවට ගොස් සිටින අතරතුර ඔහුගේ නිවසට පැමිණ ඔහු කොහි ද, ඔහු රැකියාව කරන්නේ කොහි ද, ඔහු ආපසු නිවසට පැමිණෙන්නේ කුමන මගකින් ද යනාදි තොරතුරු ඔහුගේ බිරිඳගෙන් විමසා තිබිණ. ඒ වන විට හිටපු එල්ටීටීඊ සටන්කරුවන් විශාල සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන තිබූ නිසා ඔවුහු පසු දින (26) උදෑසන ම ත‍්‍රිකුණාමලයේ පිහිටි නීති ආධාර සංවිධානයක් වෙත ගොස් තිබිණ. ත‍්‍රිකුණාමලයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි පැමිණිල්ලක් ගොනු කරන ලෙස එහි දී ඔවුන්ට උපදෙස් ලැබිණ. නීති ආධාර කාර්යාලයේ සිට ත‍්‍රිරෝද රථයට ගොඩ වෙද්දී නිල ඇඳුමින් සැරසී ගත් පොලිස් භටයන් 3 දෙනෙකු කාර්යාලයට විරුද්ධ පැත්තේ (මුහුද පැත්තේ) සිට ගෙන සිටිනු අරිවලහන්ගේ බිරිඳ දැක තිබූ නමුත් ඇය ඒ ගැන එතරම් ම සැලකිල්ලක් දක්වා නොතිබිණ. කෙසේ වුව ද, ඔවුන් කාර්යාලයේ සිට පිටත් වූ වහා ම කවුළු ටින්ට් කළ සුදු හා අළු පැහැ වෑන් රථයක් තමන් ලූහුබඳින බව ඔවුහු දුටුවහ. එක් තැනක දී එය ත‍්‍රිරෝද රථය පසු කර යාමට පවා උත්සාහ කර තිබිණ. ත‍්‍රිරෝද රථය ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් කාර්යාලය වෙත ළඟා වනවාත් සමගම වෑන් රථය ද එහි ළඟා වූ නිසා බියට පත් අරිවලහන් කොමිසම් කාර්යාලය තුළට දිව ගොස් තිබිණ. වෑන් රථයෙන් බැස ගත් සිවිල් ඇඳුමින් සැරසුණු එක් පුද්ගලයෙකු අරිවලහන් පසුපසින් කාර්යාලය තුළට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය කරන කාන්තාවක් වෑන් රථයෙන් බැස පැමිණි පුද්ගලයාගෙන් ඔහු කවුදැයි ඇසුවේ ඒ මොහොතේ දී ය. තමන් පැමිණියේ කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් බව ඔහු පවසා තිබිණ. මේ අතර, සිවිල් ඇඳුමින් ම සැරසුණු තවත් පුද්ගලයන් 4 දෙනෙකු වෑන් රථයෙන් බැස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඇතුළු වී තිබිණ. නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 3 දෙනෙකු සහිත පොලිස් ජීප් රථයක් ද කොමිසම වෙත ළඟා වූ අතර ඔවුහු ද කොමිසම තුළට ගියහ. ඉහත කී කාන්තාව ඔවුන් කවුරුන් දැයි විමසූ විට ඔවුන් පවසා තිබුණේ තමන් පැමිණියේ ත‍්‍රිකුණාමලය පොලීසියෙන් බව යි. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කාන්තාව අරිවලහන් අත්අඩංගුවට ගත් පළමු ත‍්‍රස්ත විමර්ශන ඒකක නිලධාරියා ලවා ඔහුගේ (එම නිලධාරියාගේ) තොරතුරු කොමිසමේ පොතක සටහන් කර ගෙන තිබිණ. මේ මොහොත වෙද්දී පොලීසිය ඔහු අත් අඩංගුවට ගන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් යළි පණ ගැන්වීම සම්බන්ධයෙන් සැක පිට බව සඳහන් කරමින් අරිවලහන්ගේ බිරිඳ වෙත අත්අඩංගුවට ගැනීම පිළිබඳ කුවිතාන්සියක් නිකුත් කර තිබිණ. ජූනි 23 දින වන විට, ඔහු කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයේ රඳවනු ලැබ සිටියේ ය. ඔහුගේ බිරිඳ සතිපතා ඔහු බැලීමට යන නමුත් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හැම විට ම අසල සිටින නිසා තමන්ට නිදහසේ කතාබහ කළ නොහැකි බව පවසයි. බිරිඳ එහි ගිය එක් අවස්ථාවක දී ඔවුන් ඇයට ඇගේ සැමියා මාස දෙකකින් නිදහස් කෙරෙනු ඇතැයි පවා ප‍්‍රකාශ කර ඇත.

4. මුතුලිංගම් විජෙයකුමාර් කේතීස්වරන් 10 දින කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ කිලිනොච්චිය නගරයේ දී අත්අඩංගුවට ගැනිණ. 2014 මැයි මාසයේ දී 18 වියැත්තෙකු ලෙස තම අපොස උසස් පෙළ විභාගයට ලියමින් සිටිය දී ඔහු කලින් වතාවක් අත්අඩංගුවට ගෙන 2015 නොවැම්බර් මාසයේ දී ඇප පිට නිදහස් කර තිබිණ. ඔහුට ආපසු පාසල් යා නොහැකි වූ නිසා තමන්ට ත‍්‍රිරෝද රථයක් මිල දී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට උත්සාහ කරන්නැයි ඔහු තම පියාගෙන් ඉල්ලා සිටියේ ය. ඔහුගේ පියා තම ගව පට්ටිය විකුණා තම පුතාගේ ගිණුමට මුදල් බැර කර තිබිණැයි කියනු ලැබේ. කේතීස්වරන් දැන් රඳවා ගෙන සිටින්නේ ඔහුට මුදල් ලැබුණේ චාවාකච්චේරියේ දී සොයා ගත් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ය යන සැකය මත ය. ඔහුගේ පියා ඔහු බැලීමට බූස්සට ගිය විට වව්නියාවේ හා බූස්සේ රඳවා ගෙන සිටිය දී තම පුතාට දරුණු ලෙස පහර දී ඇති බව ඔහුට පෙනී ගොස් තිබිණ. පවුලේ සාමාජිකයන් අපේ‍්‍රල් 11 දින කිලිනොච්චියේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් කාර්යාලයෙහි පැමිණිල්ලක් (HRC/KI/056/2016) ගොනු කර ඇත.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුවියක වන කේතීස්වරන්ගේ සොහොයුරියට ඇයගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් බව ප‍්‍රකාශ කරමින් අංක 021-2283707 දුරකථනයෙන් අපවාදාත්මක දුරකථන ඇමතුම් ගණනාවක් ම ලැබී තිබිණ. විශ්වවිද්‍යාලය ඇය උදෙසා ආරක්ෂක පියවරයන් කිහිපයක් ගෙන ඇති අතර ඇය මඩකලපුවේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි පැමිණිල්ලක් (HRC/BCO/99/2016) ගොනු කර ඇත. කේතීස්වරන් රඳවා ගැනීමෙන් පසුව ඔහුගේ පියා සහ පාසල් සිසුවෙකු වන තවත් සොහොයුරෙකු ද කිලිනොච්චියේ පිහිටි සලකුණු නොකරන ලද ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයක් වෙත නැවත නැවතත් කැඳවනු ලැබ ඇත[8]. ජූනි 23 දින වන විට ඔහු රඳවා ගනු ලැබ සිටියේ ය[9].

5. මුතුලිංගම් ජෙයකාන්තන් මුලතිව්හි පදිංචි හිටපු එල්ටීටීඊ සටන්කරුවෙකු වන අතර යුද්ධයෙන් පසුව විදේශ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළ අතර 2016 අපේ‍්‍රල් 12 දින ඔහු ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණි විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගනු ලැබ පැය 7ක පමණ කාලයක් තිස්සේ ප‍්‍රශ්න කර තිබිණ. අනතුරුව ඔහු නිදහස් කරන ලද අතර තව දුර ප‍්‍රශ්න කිරීම සඳහා අපේ‍්‍රල් 19 දින කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ 2 වන මහලට වාර්තා කරන ලෙස ඔහුට පවසනු ලැබිණ [10]. ඔහුගේ සොහොයුරිය පවසන්නේ[11] ඔවුන් පෙ.ව. 11.15ට පමණ ජෙයකාන්තන් කාර්යාලය තුළට රැගෙන ගොස් ඔහු අත් අඩංගුවට ගත් බව ප.ව. 2.15ට පමණ ඇයට දැනුම් දුන් නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලට කිසිදු ලියවිල්ලක් ලබා දී නොතිබූ බව යි. ත‍්‍රස්ත විමර්ශන ඒකකය ඔහු බැලීමට ඔහුගේ සොහොයුරියට ඉඩ දීම ප‍්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට ඉරිදා (අපේ‍්‍රල් 24 දින) පැමිණ ඔහු හමු වන ලෙස ඇයට පවසා තිබිණ. ජෙයකාන්තන් දෙදරු පියෙකු වන අතර තම පවුලට උපකාර කිරීම සඳහා විදේශගත විය. ඔහු අන්තිමට නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටි අතර 2016 ජූනි 22 දින වව්නියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි වසරක් පුනරුත්ථාපනය කරන ලෙස නියෝග කෙරිණ.

6. හිටපු එල්ටීටීඊ අණ දෙන නිලධාරි ඉදිමලසංගම් අරිචන්ද්‍රන් (නොහොත් රාම්) 2016 අපේ‍්‍රල් 23 දින අම්පාරේ තම්බුලූවිල්හි පිහිටි ඔහුගේ නිවසේ සිටිය දී පැහැර ගෙන යන ලද බව වාර්තා විය. දින දෙකකට පසුව 25 දින පොලිස් ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍යය සඳහන් කළේ රාම් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවෙහි පසු වන බවත් තව දුර ප‍්‍රශ්න කිරීම සඳහා කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයෙහි රඳවා ගෙන සිටින බවත් පොලිස් ප‍්‍රකාශකයා පිළිගත් බවයි[12]. රාම් ද 2009 දී යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය කරන ලදුව 2013 දී මුදා හැර තිබූ අතර එතැන් සිට කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටින බව වාර්තා වී ඇත.

7. තවත් හිටපු එල්ටීටීඊ කර්නල්වරයෙකු වන ක‍්‍රිෂ්ණපිල්ලේ කාලයිනේසන් (නොහොත් ලූතිනන් කර්නල් ප‍්‍රභා) 2016 මැයි 2 දින මඩකලපුවේ පිහිටි ඔහුගේ නිවසේ සිටිය දී අත් අඩංගුවට ගත් බවත් තව දුර ප‍්‍රශ්න කිරීම සඳහා කල්මුණේ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලය වෙත රැගෙන ගිය බවත් වාර්තා විය. දෙදරු පියෙකු වන ඔහු අත් අඩංගුවට ගන්නා විට තම බිරිඳ සමග කැන්ටිමක වැඩ කරමින් සිටියේ ය[13] [14]. මුල දී යුද්ධයෙන් පසුව අතුරුදන් වී ඇති බවට ලියාපදිංචි කළ නමුත් ඔහු හමුදා අත්අඩංගුවේ පසු වන බව සොයා ගත් අතර අනතුරුව 2009 සිට 2013 දී ඔහු නිදහස් කෙරෙන තෙක් පුනරුත්ථාපනයට ලක් විය. ජූනි 23 දින වන විට ඔහු කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයෙහි රඳවා ගනු ලැබ සිටියේ ය.

8. කනපතිපිල්ලේ සිවමූර්ති (නොහොත් නකුලන්) හිටපු එල්ටීටීඊ අණ දෙන නිලධාරියෙකු වන අතර අපේ‍්‍රල් 26 දින යාපනයේ දී පැහැර ගෙන යන ලදුව[15] පසුව කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයේ අත්අඩංගුවෙහි පසු වන බව සොයා ගැනිණ. සිවමූර්ති උතුරේ දී සොයා ගත් අවි ගබඩාවක් සම්බන්ධයෙන් අපේ‍්‍රල් මාසයේ දී අත් අඩංගුවට ගන්නා ලදුව පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සටන්කරුවන් බොහෝ දෙනාගෙන් කෙනෙකු බව කැබිනට් සමප‍්‍රකාශක රාජිත සේනාරත්න පිළිගත් බව[16] මාධ්‍යයෙහි වාර්තා විය. 28 දින වන විට ඔහු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගනු ලැබ සිටින බව වාර්තා විය.

9. දමෝදරම්පිල්ලේ ජෙයකාන්ත් කිලිනොච්චියේ මුරුකන්ඩිහි දී 2016 අපේ‍්‍රල් 20 දින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගන්නා ලද බවත් 23 දින වන විට කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක මූලස්ථානයෙහි රඳවා ගනු ලැබ සිටින බවත් වාර්තා විය[17].

10. මහදේවන් ප‍්‍රසන්න සහ ජේසුරත්නම් ජෙගාසැම්සන් (වව්නියා දිස්ත‍්‍රික්කයේ) පුවරසම්කුලම්හි දී 2016 අපේ‍්‍රල් 06 දින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගනු ලැබ 23 දින වන විට කොළඹ පිහිටි නව මැගසින් බන්ධනාගාරයෙහි රඳවා ගනු ලැබ සිටියේ ය[18]. මෙම සිදුවීමට ම සම්බන්ධිතව නගුලන් මහතා නමැති අයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මානව හිමිකම් නීතිඥයෙකු අපට පැවසුවේ ඔහු අවසන් වරට රඳවා ගෙන සිටි ස්ථානය ලෙස දැන සිටින්නේ නාරාහේන්පිට පොලිස් ස්ථානය බව යි. කෙසේ වුව ද, ඔහු දැනට සිටින ස්ථානය අප‍්‍රකට ය. මෙම සැකකරුවන් 3 දෙනා ම අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින්නේ එල්ටීටීඊයේ හිටපු බුද්ධි අංශ ප‍්‍රධානි පොට්ටු අම්මාන්ට අයත් හමුදා තොප්පියක් ළඟ තබා ගෙන සිටි බවට කෙරෙන චෝදනාව සම්බන්ධයෙනි[19].

11. සත්‍යසීලන් ජෙයන්දන් ප‍්‍රනාන්දු කිලිනොච්චියේ දී 2016 අපේ‍්‍රල් 01 දින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත් බවත් 23 දින වන විට බූස්සෙහි රඳවා ගනු ලැබ සිටින බවත් වාර්තා විය[20].

12. සීතගෝපාල් ආරුමුගම් (වව්නියාව දිස්ත‍්‍රික්කයේ) නැදුන්කර්නිහි දී අපේ‍්‍රල් 29 දින අත්අඩංගුවට ගැනිණ. ඔහු අත්අඩංගුවට ගැනීම මත ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඔහුට අයත් ට‍්‍රැක්ටරයක් හා යතුරුපැදියක් සහ මුදලින් රු. 100,000ක් අත්පත් කර ගන්නා ලද අතර ඉන් කිසිවක් පවුලේ සාමාජිකයන් වෙත ආපසු ලබා දී නැත. 23 දින වන විට ඔහු කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයෙහි රඳවා ගනු ලැබ සිටියේ ය[21].

13. සංකරලිංගම් සසිකරන් දෙදරු පියෙකු හා ප‍්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන සේවකයෙකු වන අතර කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ භාරතීපුරම්හි දී 2016 මැයි 30 දින අත් අඩංගුවට ගත් බව වාර්තා විය[22]. ඔහු දැනට සිටින ස්ථානය අප‍්‍රකට ය.

14. මගලිංගම් වසන්තරාසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී 2016 මැයි 31 දින අත් අඩංගුවට ගත් අතර 23 දින වන විට කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයෙහි රඳවා ගනු ලැබ සිටියේ ය.[24]

15. කනකලිංගම් කමලකන්නන් යාපනයෙහි මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන අතර චාවාකච්චේරියේ දී සොයා ගත් ආයුධ සම්බන්ධයෙන් අපේ‍්‍රල්-මැයි අතරතුර යාපනයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා විය. 23 දින වන විට ඔහු බූස්සෙහි රඳවා ගනු ලැබ සිටියේ ය[25].

16. සුප‍්‍රමනියම් ජනකරාජ් සහ සුප‍්‍රමනියම් චන්ද්‍රකුමාර් සොහොයුරන් දෙදෙනෙකු වන අතර 2016 අපේ‍්‍රල් 06 දින අම්පාර දිස්ත‍්‍රික්කයේ අක්කරපත්තුවෙහි පිහිටි ඔවුන්ගේ නිවසේ සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදහ. ඔවුහු දෙදෙනා ම 08 දින ඇප පිට නිදහස් කෙරුණු අතර 2016 අපේ‍්‍රල් 12 දින කොන්දේසි විරහිතව නිදහස් කරන ලදහ. මෙම සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරා වන සුප‍්‍රමනියම් දේවදාස් අත්අඩංගුවට ගැනීම පිණිස යැයි ඔවුන්ගේ නීතිඥයන් විශ්වාස කරන අතර අපේ‍්‍රල් 07 දින ඔහු අත් අඩංගුවට ගන්නා ලදුව 23 දින වන විට බූස්සෙහි රඳවා ගනු ලැබ සිටියේ ය[26].

17. සුබ‍්‍රමනියම් සිවකරන් ඉලංකෙයි තමිල් අරසු කච්චි(ITAK) උතුරු පළාත් තරුණ සංවිධානයේ ලේකම්වරයා වන අතර 2016 අපේ‍්‍රල් 27 දින මන්නාරමේ දී ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගැනිණ. පසු දින (28) ඔහු ඇප මත, රු. 100,000ක පෞද්ගලික ඇප දෙකක් සහිතව නිදහස් කරන ලදි[27]. ඔහු මුදා හළ දින සිට වසරක් දක්වා ඔහු රටෙන් බැහැර වීම ද වළක්වන ලදි[28].

18. පද්මනාදන් රමේෂ්කාන්තන් සහ සුබ‍්‍රමනියම් කෝකිලන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගැනුණු අතර චෝදනා ගොනු කිරීමකින් තොරව මාස 2ක පමණ කාලයක් රැඳවුමෙහි ගත කරන ලදුව ජූනි 02 දින කොන්දේසි විරහිතව නිදහස් කරන ලදි[29].

19. කිරෙනියර් සෙබදාසන් තමන් රැකියාවේ නියැලි කටාර්හි සිට ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් සිටි අතර 2016 අපේ‍්‍රල් 18 දින පෙ.ව. 10ට කොළඹ-01හි පිහිටි ත‍්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයේ 2 වන මහලෙහි පෙනී සිටින ලෙස අණ කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ඔහුට තුණ්ඩුවක් දෙනු ලැබිණ. තුණ්ඩුවට අත්සන් තබා තිබුණේ III වන ඒකකයේ කාර්ය භාර නිලධාරියා ය. සෙබදාසන්ගෙන් ප‍්‍රශ්න කරන ලදුව 18 දින නිදහස් කෙරිණ[30].

20. ගුණසේකරම් විජේකුමාර් අපේ‍්‍රල් 27 දින (ඔහු පදිංචි) කිලිනොච්චියේ සිටිය දී ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් කොළඹ පිහිටි ත‍්‍රස්ත විමර්ශන ඒකක මූලස්ථානයට පැමිණෙන ලෙස කැඳවන ලදි. ඔහුගෙන් ප‍්‍රශ්න කරනු ලැබ පසුව එදින ම නිදහස් කෙරිණ[31].

සැක සහිත ස්වභාවයක් ඇති වෙනත් අත් අඩංගුවට ගැනීම්

රාමචන්ද්‍රන් ගනේෂ්, නවරත්නරාජා රන්ජිත් සහ මුත්තුලිංගම් යෝගරාසා යන පුද්ගලයෝ තිදෙනා සිර දඬුවමක් සම්පූර්ණ කිරීමෙන් පසුව මාලදිවයිනේ සිට ශ‍්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගන්නා ලදුව දැනට වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවනු ලැබ සිටිති. ඔවුන්ට වත් මෙම ලිපියේ කතුවරුන් කතාබහ කළ එක ද බන්ධානාගාර නිලධාරියෙකුට වත් ඔවුන් දිගට ම රඳවා ගෙන සිටීමට හේතුව සහ ඔවුන් රඳවා ගෙන සිටින්නේ කිනම් නීති යටතේ ද යන්න ගැන කිසිදු අදහසක් නො තිබිණ.

2007 මැයි මාසයෙහි මාලදිවයිනට අයත් මුහුදු සීමාවේ දී මාලදිවයින් බලධාරීන් විසින් ඔවුන් සොයා ගැනුණු අතර ගිනි අවි ළඟා තබා ගැනීම සම්බන්ධයෙන් ඔවුහු අත් අඩංගුවට ගන්නා ලදහ. රැඳවියන් ප‍්‍රකාශ කළේ තමන් අත්අඩංගුවෙහි තබා ගෙන මාලදිවයින් බලධාරීන්, ශ‍්‍රී ලාංකික බලධාරීන් හා ඉන්දියානු බලධාරීන් විසින් ප‍්‍රශ්න කරන ලද බව යි. නඩු විභාගය හා තීන්දුව ලබා දීම එක් දිනක් තුළ නිම කෙරී තිබිණ. රැඳවියන් කියා සිටියේ තමන්ට සපයා තිබුණේ මලයාලම් භාෂාවෙහි නිපුණ නමුත් රැඳවියන්ට වැටහෙන එක ම භාෂාව වූ දෙමළ කතා නොකළ එක් භාෂා පරිවර්තකයෙකු පමණක් හෙයින් උසාවියේ කටයුතු අවසන් වන තෙක් ම තමන්ට එරෙහි චෝදනාව හෝ තමන්ට එරෙහිව දුන් තීන්දුව දැන නොසිටි බව යි. ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කොට වරදකරුවන් කරන ලද්දේ ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් බව ඔවුන් උසාවියෙන් ඉවතට රැගෙන යද්දී නිලධාරියෙකු ඔවුන්ට පවසා තිබිණ. මාලදිවයිනේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා බන්ධනාගාරයේ දී ඔවුන් මුණ ගැසී ශ‍්‍රී ලංකාවට මාරු වීමට කැමති දැයි ඔවුන්ගෙන් විමසන විට ඔවුන් නිදහස් කර ගැනීම සඳහා අභියාචන ක‍්‍රියාවලියක් සිදු වෙමින් පැවතිණ. ශ‍්‍රී ලංකාවට ගිය විට 2016 අපේ‍්‍රල් මාසයෙහි පැවැත්වෙන ශ‍්‍රී ලාංකික අලූත් අවුරුදු උත්සවයත් සමග ඔවුන් නිදහස් කෙරෙනු ඇති බවට ද තානාපතිවරයා ඔවුන්ට පොරොන්දු විය. අභියාචන ක‍්‍රියාවලිය 2016 සැප්තැම්බර් මාසය දක්වා ඇදී යනු ඇති හෙයින් සිරකරුවෝ තිදෙනා තානාපතිවරයාගේ උපදෙස පිළිපැදීමට තීරණය කළහ.

සිරකරුවෝ නාවික හමුදාවේ නැවකින් අපේ‍්‍රල් මාසයේ දී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදහ. ඔවුන් පැවසුවේ තමන් දින දෙකක් තිස්සේ ගමන් කළ බව යි. කොළඹ වරායට ගොඩ බට විට ඔවුහු කෙළින් ම වැලිකඩ බන්ධනාගාරයට යැවුණහ. දින කිහිපයකට පසුව ඔවුහු දැන් ඔවුන් සිටින මැගසින් බන්ධනාගාරයට මාරු කෙරුණහ. නීතිඥයන් කිහිප දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැරුණු විට කිසිවෙකු ඔවුන් මුණ ගැසී නැත.

තිදෙනා ම එල්ටීටීඊයේ කොටස්කරුවන්ව සිටි බව පිළිගත්හ. කෙසේ වුව ද, ඔවුන් සමග ස්වේච්ඡාවෙන් එක් වූ බව පිළිගත්තේ එක් අයෙකු පමණකි. එක් රැඳවියෙකු එල්ටීටීඊය විසින් බඳවා ගැනුණේ ඔහුට වයස 16 දී ය. ඔවුන් පවසන්නේ තමන් 2007 දී නැවකින් ශ‍්‍රී ලංකාවට ආයුධ ප‍්‍රවාහනය කිරීමේ මෙහෙයුමකට යවන ලද බව යි. මාලදිවයින් බලධාරීන් ඔවුන් අල්ලා ගත්තේ එවිට ය. ඔවුන් පවසන්නේ තමන් අල්ලා ගන්නා විට තමන් සන්තකයේ කිසිදු ආයුධයක් නොවූ බව යි. කෙසේ වුව ද, මාලදිවයින් බලධාරීන් තමන්ට වෙඩි තැබීම අරඹන විට තවත් බෝට්ටුකරුවෙකු සමග තමන් තිදෙනෙකු බෝට්ටුවේ සිටි බව ද ඔවුහු පැවසූහ. බෝට්ටුකරුවා මුහුදේ දී මිය ගොස් තිබිණ[32].

වේලායුදපිල්ලේ රේණුකරූබන්ගේ පවුලේ සාමාජිකයන් ප‍්‍රකාශ කරන්නේ ජූනි 02 දින යාපනයෙහි පිහිටි තම නිවසට යතුරුපැදිවලින් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මව හා වැඩිමහල් සොහොයුරිය ඉදිරියේ රේණුකරූබන්ට පහර දී අනතුරුව බලාත්කාරයෙන් වෑන් රියකින් ඔහු රැගෙන ගිය බව යි. පවුලේ සාමාජිකයන් කියා සිටින්නේ තමන් ඔහු සිටින තැන සොයා ගත්තේ ඔහු අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ගත වූ පසු බව යි[33]. ඔහු රඳවා ගෙන සිටින්නේ යාපනය රක්ෂිත බන්ධනාගාරයේ බව ඔවුහු සොයා ගත්හ. ජූනි 15 දින ඇප ඉල්ලා මෝසමක් ගොනු කිරීමෙන් පසුව ජූනි 16 දින ඔහු චාවාකච්චේරියේ මහේස්ත‍්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කරන ලද අතර පුද්ගල ඇප මත නිදහස් කරන ලදි. උසාවිය ඔහුගේ නඩුව අවසන් වන තෙක් ඔහුට ගමන් තහනමක් නිකුත් කළ අතර තම විදේශ ගමන් බලපත‍්‍රය උසාවිය වෙත භාර දීමට ද ඔහුට සිදු විය.

ඔහුගේ නීතිඥයා පවසන්නේ ජූනි 22 දින රේණුකරූබන්ට එරෙහිව අනවසරයෙන් ඇතුළු වීම හා පහර දීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කෙරුණු බවත් ඔහු තමන් වරදකරු නොවන බව කියා සිටි අතර නඩු විභාගය ජුලි 01 දිනට කල් තැබුණු බවත් ය. මීට කලින් 2016 ජනවාරියේ දී ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක රේණුකරූබන්, ඔහුගේ මාමා සහ තවත් තිදෙනෙකු පැමිණිලිකරුගේ පරිශ‍්‍රයට අනවසරයෙන් ඇතුළු වී ඔහුට පහර දී තිබිණැයි කියනු ලැබේ. පෙනෙන හැටියට නම් රේණුකරූබන් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුව ගැන දැන නොසිටි අතර එබැවින් රට හැර ගොස් තිබිණ. කෙසේ වුව ද, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබූ බැවින් පොලීසිය ඔහු ආපසු යාපනයට පැමිණි වහා ම අත්අඩංගුවට ගෙන තිබිණ. ඔහු බි‍්‍රතාන්‍ය පුරවැසියෙකි.
යාපනය රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගෙන සිටිය දී සිරකරුවන් අතර ඝට්ටනයක් හට ගෙන ඇති අතර රේණුකරූබන් සරම පමණක් හැඳ තම සිර කුටියෙන් පිටතට දිව ගොස් තිබිණ. තමන්ගේ පපුවෙහි කොටියෙකුගේ පච්චයක් කොටා තිබෙනු දුටු විට සිංහල බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහර දුන්නේ යැයි ඔහු ප‍්‍රකාශ කරන බව පුනේදනායගම් මහතා පැහැදිලි කළේ ය. දැන් බන්ධනාගාරය තුළ CCTV කැමරා සවි කර ඇති බැවින් සිදු වූයේ කුමක් දැයි සොයා ගැනීම එතරම් අසීරු නොවන බව ද නීතිඥයා සඳහන් කළේ ය. පහර දීම නිසා රේණුකරූබන් තුවාල ලබා සිටි හෙයින් දින කිහිපයක් ඔහු රෝහල්ගත කර තිබිණ.
පොලිස් නිලධාරීන් රේණුකරූබන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයා යාපනය පොලීසියෙහි පැමිණිල්ලක් ගොනු කර තිබිණ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ හදිසි නීති රෙගුලාසි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ හදිසි නීති රෙගුලාසි ත‍්‍රස්ත විමර්ශන ඒකකයට, පොලීසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට අත් අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, ප‍්‍රශ්න කිරීම හා පාපෝච්චාරණ ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් අධිකාරයක් ලබා දෙයි. අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ඇති වන සැකයක් මත පමණක් වුව ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ හැකි ය. ප‍්‍රශ්න කිරීම සඳහා පුද්ගලයෙකු තැනින් තැනට ගෙන යන ඕනෑ ම අවස්ථාවක දී අධිකරණයේ අධීක්ෂණයෙන් තොරව දේපළ තහනම් කළ හැකි ය. අමාත්‍යවරයාට රඳවා ගැනීමේ නියෝගයක් මාස දහඅටක් දක්වා දීර්ඝ කළ හැකි ය. එහෙත් සැබවින් ම නම් සිදු වී ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා ගැනෙන පුද්ගලයන් නඩු විභාගය අවසන් වන තෙක් දින නියමයක් නැතිව ම පාහේ රඳවා තබා ගැනීම යි. පසු ගිය වසරෙහි දමිළ කාන්තාවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලද්දේ අනුපිළිවෙළින් වසර 15කට හා 7කට වැඩි කාලයක් රඳවා ගෙන සිටීමෙන් පසුව ය. අත්අඩංගුවේ සිටිය දී වධහිංසා පැමිණවීම නිතර සිදු වන්නක් නමුත් උසාවිවල දී ප‍්‍රශ්නයට බඳුන් කෙරෙන්නේ කලාතුරකිනි. මහේස්ත‍්‍රාත්වරුන්ට ඒ බව දැනුම් දුන් විට පවා මහේස්ත‍්‍රාත්වරුන් රැඳවියාගේ අයිතිවාසිකම් හා සුභසාධනය ආරක්ෂා කිරීමට ප‍්‍රායෝගික පියවර ගෙන ඇත්තේ කලාතුරකිනි. මන්ද යත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ මහේස්ත‍්‍රාත්වරයාට මැදිහත් වීමට බලතල නැති බැවිනි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත එම පණත යටතේ අධිකරණය ආරක්ෂක අමාත්‍යවරයාට යටත් සේ සලකයි[34].

මේ අවුරුද්දේ මැයි මාසයේ දී, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගැනීම් කරන විට බලධාරීන් අනුගමනය කළ යුතු විධිනියමයන්[35] කවරේ දැයි මානව හිමිකම් කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මේවා අතරට, අත් අඩංගුවට ගත් විට රැඳවියාගේ භාෂාවෙන් රැඳවුම් නියෝගය නිකුත් කිරීම, අත්අඩංගුවට ගැනෙන තැනැත්තාට අත්අඩංගුවට ගැනීම සිදු කරන පුද්ගලයා හඳුන්වා දීම සහ තහනම් කළ දේපළ සඳහා කුවිතාන්සි නිකුත් කිරීම ඇතුළත් වේ. කෙසේ වුව ද, මෙම නිර්දේශ තව මත් ක‍්‍රියාත්මක කර නැත. ජනාධිපතිවරයා ද ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කරන ලද විධිනියමයන් නැවත නැවතත් ප‍්‍රකාශයට පත් කරමින් පොලීසිය හා ආරක්ෂක හමුදා වෙත නිර්දේශ නිකුත් කර ඇත.

2016 ජූනි 13 දින මාධ්‍යය වාර්තා කළේ ආණ්ඩුව නුදුරේ දී ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත වෙනුවට නව පණතක් – ජාතික ආරක්ෂක පණත – හඳුන්වා දෙනු ඇති බව යි[36]. මීට අමතරව ආණ්ඩුව තවත් ත‍්‍රස්ත විරෝධී පණත් දෙකක් – සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පණත සහ බුද්ධි අංශ පණත – නීතිගත කිරීමට ද බලාපොරොත්තු වේ.

කෙසේ වුව ද, ආණ්ඩුව 2015 ඔක්තෝබර් 01 දින සමඅනුග‍්‍රහය දැක්වූ එක්සත් ජාතීන්ගේ යෝජනාවේ කොටසක් ලෙස මහජන ආරක්ෂක පණත සමාලෝචනය කිරීමට ආණ්ඩුවට ඇති බැඳීම ගැන කිසිදු සඳහනක් නැත. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත තරමට ම අතිදරුණු විධිවිධාන සහිතව හදිසි නීති රෙගුලාසි බලාත්මක කර තිබුණේ මහජන ආරක්ෂක පණත යටතේ ය.

මෙම ලිපියේ කතුවරුන්ගේ ස්ථාවරය නම් නිසි සංකලනය කිරීම් හා තුලනය කිරීම් (checks and balances) සහ අධිකරණ අභිමතය හා අභියාචනයන් සහිතව සියලූ අපරාධ සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතු බව යි. සංකලනය කිරීම් හා තුලනය කිරීම් ඉවත් කිරීමට නැඹුරු වන හෙයින්, අධිකරණ අභිමතයට හා රැකවරණයට හානි කරන හෙයින්, පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට හා නිදහසවලට දැඩි ලෙස හානි කරන හෙයින් සහ සාමකාමී හා නීත්‍යනුකූල විරුද්ධ මත ඉදිරිපත් කිරීම මර්දනය කිරීමට යොදා ගත හැකි හෙයින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කළ යුතු බවත් නව ත‍්‍රස්ත විරෝධී නීති හඳුන්වා නො දිය යුතු බවත් අපට දැඩිව හැගේ. හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත් කිරීම විශේෂිත අවස්ථාවල දී පමණක් බව, නිශ්චිතව නියම කරන ලද කෙටි කාල පරිච්ෙඡ්දයක් සඳහා බව සහ අභියාචන කිරීමේ අයිතිය ඇතුළු නිසි සංකලනය කිරීම් හා තුලනය කිරීම් සහිතව දැඩි පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්ෂණයට යටත් කෙරෙන බව සහතික කිරීම සඳහා සහ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකෙරෙන බව සහතික කිරීම සඳහා මහජන ආරක්ෂක පණත සමාලෝචනය කොට සංශෝධනය කළ යුතු බව ද අපට හැගේ.

________________________________________
[1] Parliament of the Democratic Socialist Republic of Sri Lanka, Human Rights Commission of Sri Lanka Act, No.21 of 1996 (ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, 1996 අංක 21 දරණ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් පණත) – http://www.hrcsl.lk/PFF/HRC%20Act.pdf

[2] Preliminary observations and recommendations of the Special Rapporteur on torture and other cruel, inhuman and degrading treatment or punishment (වධහිංසාව සහ වෙනත් ක‍්‍රෑර, අමානුෂික හා අවමන්කාරී සැලකීම හෝ දණ්ඩනය පිළිබඳ විශේෂ සබැඳියාකරුගේ ප‍්‍රාරම්භක නිරීක්ෂණ හා නිර්දේශ), Juan E. Mendez මහතා, 2016 අපේ‍්‍රල් 29 සිට මැයි 7 දක්වා ශ‍්‍රී ලංකාවෙහි කළ නිල ඒකාබද්ධ චාරිකාව ගැන – http://www.ohchr.org/en/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=19943&LangID=E

[3] News First, Suicide vest and explosives found in Chavakachcheri not a threat to national security says Secretary of Defense (නිව්ස් ෆස්ට්, චාවාකච්චේරියේ දී සොයා ගත් මරා ගෙන මැරෙන බැනියම හා පුපුරන ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම්වරයා කියයි), http://newsfirst.lk/english/2016/03/suicide-vest-and-explosives-found-in-chavakachcheri/132191

[4] මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (Centre for Human Rights Development – CHRD) විසින් සම්පාදනය කරන ලද තොරතුරු.

[5] WATCHDOG, White Vans and unlawful detention under the PTA – http://groundviews.org/2016/06/01/white-vans-and-unlawful-detention-under-the-pta/

[6] පවුලේ සාමාජිකයන් සමග මුරබල්ලා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව.

[7] පවුලේ සාමාජිකයන් සමග WATCHDOG පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මත ද රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය[CHRD} විසින් සහ ත‍්‍රිකුණාමලයේ පිහිටි මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානය (Centre for the Promotion and Protection of Human Rights – CPPHR) විසින් සපයන ලද තොරතුරු මත ද පදනම් වේ.

[8] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[9] එම.

[10] එම.

[11] ] CeyloNews, TID arrests another Tamil man on return from abroad (සිලෝනිව්ස්, ත‍්‍රස්ත විමර්ශන ඒකකය විදේශයෙහි සිට ආපසු පැමිණෙමින් සිටි තවත් දමිළයෙකු අත් අඩංගුවට ගනී) – වීඩියෝව http://www.ceylonews.com/2016/04/tid-arrests-another-tamil-man-on-return-from-abroad-video/

[12] Hiru News, A former LTTE leader Ram arrested by TID (හිරු ප‍්‍රවෘත්ති, හිටපු එල්ටීටීඊ නායක රාම් ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගැනේ) – http://www.hirunews.lk/131732/former-ltte-leader-ram-arrested-by-tid

[13] Tamil Guardian, ‘Is this right of the ‘good governance’ government’ asks wife of arrested LTTE member(ටැමිල් ගාඩියන්, ‘‘යහපාලන ආණ්ඩුව’ මෙසේ ක‍්‍රියා කිරීම හරි ද’ අත් අඩංගුවට ගත් එල්ටීටීඊ සාමාජිකයාගේ බිරිඳ අසයි) – http://tamilguardian.com/article.asp?articleid=17846

[14] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[15] Tamil Guardian, Former LTTE commander Nagulan abducted by TID (ටැමිල් ගාඩියන්, හිටපු එල්ටීටීඊ අණ දෙන නිලධාරි නගුලන් ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් පැහැර ගැනේ)http://www.tamilguardian.com/article.asp?articleid=17786

[16] Rathindra Kuruwita, Ceylon Today, Ex-LTTE leaders Ram and Nagulan arrested (රතින්ද්‍ර කුරුවිට, සිලෝන් ටුඬේ, හිටපු එල්ටීටීඊ නායකයන් වන රාම් සහ නගුලන් අත් අඩංගුවට ගැනෙති) –http://www.ceylontoday.lk/print20160321CT20160630.php?id=1258

[17] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය(CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[18] එම.

[19] IBC News (CID ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි) – – http://ibctamil.com/news/index/23112

[20] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[21] එම.

[22] Tamil Guardian, Tamil NGO worker arrested by TID in Kilinochchi (ටැමිල් ගාඩියන්, දමිළ රාජ්‍ය නොවන සංවිධාන සේවකයා ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් කිලිනොච්චියේ දී අත් අඩංගුවට ගැනේ)http://www.tamilguardian.com/article.asp?articleid=20039

[23] ඔහු අත් අඩංගුවට ගැනීම යාපනයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් තහවුරු කරනු ලැබ ඇත.

[24] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[25] කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියේ දී මානව හිමිකම් නීතිඥයෙකු මුණ ගැසුණු විට රැඳවියා විසින් එම නීතිඥයාට ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[26] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[27] LankaSri News, Sivakaran Released (ලංකාශ‍්‍රී ප‍්‍රවෘත්ති, සිවකරන් මුදා හැරේ), https://www.youtube.com/watch?v=E9GRBrTt7P4

[28] Daily News, I was arrested to cripple our democratic struggle: Sivakaran (ඬේලි නිව්ස්, මා අත් අඩංගුවට ගත්තේ අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය දුර්වල කිරීමට යි: සිවකරන්) – http://www.dailynews.lk/?q=2016/04/30/law-order/80314

[29] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) විසින් සම්පාදනය කරන ලද තොරතුරු.

[30] රැඳවියන් සඳහා නීතිමය නියෝජනය සම්පාදනය කරන මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) වෙත පවුල්වල සාමාජිකයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම් වේ.

[31] එම.

[32] රැඳවියන් තිදෙනා, රැඳවියෙකුගේ පවුලක් සහ බන්ධනාගාර නිලධාරීන් සමග wachdog පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව.

[33] The Guardian, British Tamil ‘tortured and detained’ during Sri Lanka wedding trip (ද ගාඩියන්, විවාහ මංගල චාරිකාවක නිරතව සිටිය දී බි‍්‍රතාන්‍ය දමිළයාට ‘වධහිංසා පමුණුවා රඳවා ගැනේ’) –http://www.theguardian.com/law/2016/jun/11/sri-lanka-british-tamil-velauthapillai-renukaruban-tortured-wedding

[34] Parliament of the Democratic Socialist Republic of Sri Lanka, Human Rights Commission of Sri Lanka Act, No.21 of 1996 (ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, 1996 අංක 21 දරණ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් පණත) – http://www.hrcsl.lk/PFF/HRC%20Act.pdf

[35] Directives issued by the Human Rights Commission of Sri Lanka on arrest and detention under the Prevention of Terrorism Act (ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කරන ලද විධිනියම) – Directives issued by the Human Rights Commission of Sri Lanka on arrest and detention under the Prevention of Terrorism Act

[36] Daily Mirror, National Security Act to replace PTA (ඬේලි මිරර්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත වෙනුවට ජාතික ආරක්ෂක පණත) – http://www.dailymirror.lk/110900/National-Security-Act-to-replace-PTA?fbrefresh=refresh

##

*ග්‍රව්න්ඩ්වීව්ස් හී පළවු Continuing abuse under PTA: Abductions, Arbitrary Arrests, Unlawful Detentions and Torture ලිපියේ සිංහල පරිවර්තනයකි