ඒ සිහිල් දියෙන් පිරුණෙන් හීල්ඔය යැයි නම්ලද පිරිපුන් ජලකඳය. හපුතල කඳුවැටියේ එක්පසෙකින් ඉපිද ගල්ඇක්ක මහ රේල්පාලම යටින් ගලා එන හීල්ඔයෙන් පවස නිවෙන ගොවිබිම් අක්කර දහස් ගණනකි. දිවයිනේ අර්තාපල් හා අවශේෂ උඩරට එළවලූ අවශ්‍යතාවයෙන් සැළකිය යුතු ප‍්‍රමාණයක් උපදන බදුල්ල දිස්ත‍්‍රික්කයේ බෝංචි වගාව ජාතික අවශ්‍යතාවයෙන් වැඩිමනත් ප‍්‍රමාණයක් සම්පාදනය කරන්නේ මේ සාරවත් ගොවිබිම් වල දායකත්වයද ඇතිවය. වසර පුරා එළවලූ වගාවද එක් කන්නයක් වී ගොවිතැනද සිදුකරන්නට මේ ගොවියන්ට දියවර සැපයු හීල්ඔය ඔවුන් දන්නා ඉතිහාසයේ මුල්ම වරට සම්පූර්ණයෙන් සිඳී වියැලී ගොස් ඇත. එහෙත් ඒ නියඟය නිසා වියැලී මියයාමක් නොව උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනුහසින් කළ කුරිරු මරාදැමීමකි. උමාඔය උමං මග ඉදිකිරීම ආරම්භ කළ පසු නිවෙස් ගේ දොර ගිලාබැස උල්පත්, දියකඳුරු, ළිං සිඳී පෙදෙස විශාලාවක් වෙද්දීත් ඉතිරිව තිබූ හීල්ඔය දිග ඇවිදයන්නට දැන් පුලූවන. සුප‍්‍රකට හීල්ඔය දුම්රිය නැවතුම අසළින් කවර හෝ කෙනෙකුට මේ අලූත් බොරලූ පාරට පිවිසෙන්නට වරම උමා ඔය ව්‍යාපෘතියෙන් ලබා දී ඇත.
මාලූ බේරන මිනිස්සුන්ගේ ජීවිත
හීල්ඔය හන්දියේ කෝප්සිටිය ඉදිරිපිට ඇත්තේ මාලූ ලෑල්ලකි. ඒ ලෑල්ලෙන් මාලූ මිලදී ගෙන කන මිනිස්සු තමන් කෙටි පාලම මත්තේ සිට කරණම් ගසා පැන දිය නෑ ඔයෙහි දිය වළවල වෙසෙන මාලූන්ගේ ඉරණම විසඳෙන අන්දම බලා සිටියේ විස්සෝපයෙනි. උන් පණකෙන්ද රැක ගන්නට ගන්නා මහන්සිය බලා ඉන්නට දුකය. අන්තිමේදී මේ මිනිස්සු තීරණය කළෝ මාලූන් අල්ලා ඈත වෙනත් උල්පතකට ගෙන ගොස් දමා උන්ගේ දිවි රැක දෙන්නටය.
”මහත්තයෝ ලොකු පොඩි මාලූ දහස් ගාණක් ලක්ෂ ගාණක් පණ බේරගන්න දඟලනවා. අපි මිනිස්සු කොහොමද බලා ඉන්නෙ. සරම් රෙදි හිටන් අරගෙන මාලූ අල්ලලා දැම්මා ඉස්සරහ මාලූකඩෙන් ඉල්ලගත්ත බාස්කට් වලට. උන්ව ගිහින් දැම්මෙ හීල්ඔය ඉස්කෝලෙ ළඟ ලොකු උල්පතකට. ඒ උල්පත හිඳුනේ නැත්නම් අහිංසක මාලූන්ගෙ ජීවිත බේරෙයි. මුන් උමාඔයක් ගැන දන්නෙ නෑනෙ මහත්තයෝ.” යුධ හමුදාවේ සේවය කළ තිලක් කුමාර, හන්දියේ බන්දු මල්ලි, චූටි මල්ලි අධිකාරි ආදීන් සමග එක්ව තමන් කළ මෙහෙයුම විස්තර කරයි. ”පේන මානෙ මාලූ විතරයි අපි අල්ලලා උල්පතට ගිහින් දැම්මෙ. ඔය දිගට අනිත් මාලූ දහස් ගණන් මැරුණා.”
තිලක් කුමාරගේ නිවෙස උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිසා ආපදාවට පත්ව වාසයට නුසුදුසු වූවකැයි නම් කෙරී ඇත. එහෙයින් ඔහුට උපදෙස් ලැබී ඇත්තේ නිවෙසින් ඉවත්ව කුලී නිවසක පදිංචියට යන ලෙසයි. ඒ කෙදිනක හෝ පදිංචියට සුදුසු ස්ථානයක් ලබාදෙන තුරුය. ඒ දිනය දන්නේ බලධාරීන් පමණි. පොරොන්දුව එතෙක් නිවෙස් කුලී ව්‍යාපෘතියෙන් ගෙවීම වුවත් ගම්වැසියන් වෙනුවෙන් අදහස් දැක්වූ උමාඔයට එරෙහි අරගලයේ පෙරමුණු හඬක් වූ බෝධිපාල පවසන්නේ කුලී ගෙවීම අක‍්‍රමවත් නිසා තිලක්කුමාර වැනි පිරිස් යළි පැමිණ අවදානම නොතකා පුරුදු තැන්වල රැුඳී සිටින බවයි. තිලක්කුමාරට අනුව ගෙදරින් ගියොත් දරුවා පාසල් යවන්නටද නොහැක. අනුන්ගේ උමාඔයක් නිසා තමන් මහන්සියෙන් හැ¥ නිවෙස හැරදමා යන්නටද අසීරුය. මේ සමාජ විද්‍යාත්මකව විමසා විසඳිය යුතු ප‍්‍රශ්න වන නමුත් ඒ පිළිබඳව ව්‍යාපෘතිය හෝ බලධාරීන් අවධානය යොමුකොට ඇති වග නොපෙනේ.
පාලූවට ගිය කඩමණ්ඩිය
දැන් හීල්ඔය කඩමණ්ඩියේ සාරසුබාව වියැකී ගොසිනි. නිදහසේ බඩුමුට්ටු මිලට ගන්නට හැන්දෑවට එන පිරිස හිඟය. ගොවිතැන් වියැලී ගියෙන් අතමිට හිඟව සුසුම් ලන ගොවීන් මිස කෝප්සිටිය ඉදිරිපිට පාරිභෝගිකයන් නොමැත. කෝප්සිටියේ පේ‍්‍රමසිරි පවසන්නේ හවස පැය දෙක තුනේ විසිතිස් දහසක බඩු වික්ක අලෙවිසැළ ඉදිරිපිට දැන් ගැවසෙන්නේ වගාවට මුදල් යටකොට ඔය සිඳීගියෙන් හිඟන්නන් වන්නට වේදැයි ලතැවෙන ගොවීන් බවයි. ”මේකට තමයි දුක කියන්නෙ මගෙ වයස අවුරුදු පණස්හතරයි. මේ ඔය හිඳුණා දැක්කමයි. කවදා ආයෙ වතුර එයිද දන්නෙ නෑ. තවම නියං කාලෙ ආවෙත් නෑනෙ. බවුසර් වලින් බොන්න වතුර දෙනවා කවදාහරි බට දාලාත් වතුර දෙයි. ඒත් ගොවිතැන් කරන්න පුලුවන්ද ඒ වතුරෙන්. මේ මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටවත් නෑ”. පේ‍්‍රමසිරි අත දිගුකොට පෙන්වන්නේ වියැලෙන බෝංචි වගාවන් පිළිබඳව කම්පා වන ගොවීන් කිහිප දෙනෙකි. බෝංචි වගාවේ ප‍්‍රමාණය සඳහන් කරන්නේ සිටුවන බීජ ප‍්‍රමාණයෙනි. බෝංචි ඇට සේරු දහයක් පහළොවක් සිටුවීම යනු මහා පරිමාණ වගාවකි. ඒ සඳහා බිම් සැකසීමට, පොහොර යෙදීමට හා ශ‍්‍රමය ලෙස දහස් ගණනක මුදලක් යට කරන්නට සිදුවන හෙයින් ගොවීන් ණයටද මුදල් ලබාගනී. එවිට අප ඉදිරියේ සිටියේ බෝංචි සේරු දහය, පහළොව පොළවේ යටකොට ඇතැම්විට වගා ඉඩම් වලට බදු ද ගෙවා ඇති ගොවීන්ය. ඞී. ඇම් අතුල ඉඩම් බදු ගෙන වගාකරන ගොවියෙක් වන අතර තුන්දහස් දෙසිය ගණනේ ගෙනවිත් පොහොර දමා සකස් කළ බිමෙහි බෝංචි සේරු දහතුනක් යටකොට ඇත. අඟල් දෙක තුනක් ඉහළට පැළ එසවී තිබූ ඒ වගාව අප දකින විට මැලවෙමින් තිබුණි. ඔහුගේ තවත් වගාවක් වියැලී ගොස් තිබුණේ එක්වරක් පමණක් අස්වැන්න නෙලා තිබියදීය.
”බොංචි හත්අට පාරක් කරල් කඩන්න පුලූවන්. දැන් මේ ලපටි කරල් මැලවිලා වැටෙනවා. දැක්කම දුකයි. කොටුවට යන්න හිතෙන් නෑ. මුන්ට හෙණ ගහන්න ඕන මහත්තයා. වණේ ඇති එකාටනෙ දුක”. අප කැටුව සිය වගාවන් පෙන්වන්නට ගිය පියදාස ගම්බිම් හැර යන්නට සිදුවෙතැයි සිතා සිටින ගොවියෙකි. තිලකරත්නට සිදුව ඇත්තේද තම වගාවන් දෙස නොබලා සිටින්නටය. ඒ දරාගන්නට බැරි දුක නිසාවෙනි. ඔහුගේ ඇස් වල කඳුලූය. ”ලපටි කරල්, මල් මැලවිලා වැටෙනවා. දරුවො මැරෙනවා ගාණයි. කොහොමද මේවා දරාගන්නෙ. මේ වෙන රස්සාවක් ඉගෙනගෙන කරන්න පුලූවන් වයසක්ද. ආයෙ මේ පළාතෙ වගාවක් කළොත් වැස්ස කාලෙක විතරයි.”
පොරොන්දු කඩව ඇත
හීල්ඔය වියැලෙන්නට පටන්ගත් සමයේ ජන විරෝධය සමහන් කරන්නට බලධාරීන් පොරොන්දු දුන්නේ කඳු පිටිනි. අවසන හීල්ඔය මිනිස්සු නිර්ලෝභීව යහපාලනය දිනවන්නට ඡන්දයද දුන්හ. මේ පොරොන්දු අතර වගා හානි සඳහා ගෙවීම් කරන බවටද පොරොන්දු ලැබුණි. එහෙත් මෙතෙක් කිසිම වගා හානියක් කිසිවෙකුට ගෙවා නැත. ”පහුගිය දවස් වල වැස්ස නිසා වගාව බේරුණා. නිළධාරී ඇවිල්ලා බලලා කිව්වා හානිය සීයෙට විසිපහයි කියලා. අපි කිව්වා ඒවටවත් වන්දි දෙන්න කියලා. සතපහක් දුන්නෙ නෑ. ඔන්න දැන් දෙනවානම් අවස්ථාව ඇවිල්ලා”. එසේ පවසන්නේ බෝධිපාලය. ඔහු හා හූමිටි තියන්නට එක්වූයේ ඉන්දරේය. ”අපි වැඳලා කිව්වා. උද්ඝෝසන කළා, නඩු දැම්මා මොනවද නොකළේ. කෝ දැන් වෙච්ච දෙයක්”. එසේ අසන්නේ ඉන්දරේය.
ඔහු පවසන්නේ උමා ඔය උමඟ බණ්ඩාරවෙල නගරය ගිලගන්නේ නම් තමා සතුටු වන බවයි. ඒ විපත සැමට දැනෙන්නේ එවැන්නක් සිදුවුවහොත් වන නිසාය. ජනතාව පවසන අන්දමට දැන් ගමන් මග වෙනස්ව ඇති උමං මාර්ගය බණ්ඩාරවෙල නගරයට ඉතා සමීපයෙන් ඉදිවෙමින් තිබේ. ඊට හේතුව ජනතාව උමඟ පොළව මට්ටමේ සිට දිවෙන ගැඹුර පිළිබඳව ප‍්‍රශ්න කිරීමයි. අඩුම තරමේ මීටර් තුන්සියයක්වත් ගැඹුරෙන් ඉදිවිය යුතු උමඟ මුල් සැළැස්මේ අන්දමට ඇතැම් තැන්වල මීටර් අසූවක් තරම් මතුපිට ආසන්නයේ ඉදිවීමට නියමිතව තිබුණි. මේ තත්වය පෙන්වාදීමෙන් අනතුරුව සිදුව ඇත්තේ ගමන් මගේ සියුම් වෙනස්කම් ඇතිකිරීමයි. කෙසේවෙතත් ජනතාව පවසන මෙවැනි කරුණු තහවුරු කරගැනීමට ක‍්‍රමයක් නොමැත්තේය. ඒ උමාඔය ඉදිකිරීම් දේවරහස් මෙන් සුරකින්නට ක‍්‍රියාකරන බලධාරීන් වැඩබිම පැත්ත පළාතක යන්නට කිසිවෙකුට ඉඩ නොදෙන හෙයිනි. අවාසනාව සියල්ල සිදුවන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව සංවාදයක් රට තුළ ඇති පසුබිමක වීමය.
යහපාලන ආණ්ඩුව පත්වූ අලූත උමාඔය නිරීක්ෂණ චාරිකාවකට ඇරයුම් ලැබූ මාධ්‍යවේදීන් අතර මෙම ලියුම්කරුද විය. අමාත්‍යංශයෙන් විමසීම් කොට අපගේ පැමිණීම තහවුරු කරගත් නමුත් පසුව දැනුම්දුන්නේ චාරිකාව කල්දැමීමට සිදුව ඇති බවයි. කල්දැමූ එම චාරිකාව මේ දක්වා සංවිධානය කරගන්නට බලධාරීන් අපොහොසත් වූයේ මාධ්‍යයට වසං කළ යුතු දෑ ආණ්ඩු මාරුවුවද වසං කළ යුතු නිසාය.
උමාඔය ව්‍යාපෘතියට එරෙහි අරගලයේ ක‍්‍රියාකාරී චරිතයක් වන බෝධිපාලට අනුව බලධාරීන්ට දැන් පොරොන්දු අමතකව ඇත. පොරොන්දු නිසාවෙන් හා තාවකාලිකව උමං මග ඉදිකිරීම් නැවතූ හෙයින් ජනයා වීදි බැසීම අඩපන වූවත් දැන් නැවතත් විරෝධතා උද්ගත විය හැකිය. හේතුව උමඟ යළි ඉදිකිරීම් අරඹා තිබියදී එහි ගමන් මගට සමගාමීව නැවතත් නිවෙස් ඉරිතලන්නට හා ළිං සිඳී යන්නට පටන් ගෙන ඇති හෙයිනි.
”මේ වෙනකොට උඩපේරුව පැත්තට විනාශෙ පැතිරෙන්න පටන් අරන් තියෙන්නෙ. ඊළඟට කිනිගම, ඊටපස්සෙ බණ්ඩාරවෙල. කාටද මේවා කියන්නෙ. කන්දෙඅරාව පැත්තෙ උල්පත් හිදිලා දැන් ඔයත් ඉවරයිනෙ. අපා දෙපා සිවුපා සත්තු දහස්ගාණක ජීවිත වලට අපි සංවේදී වෙලාද. දැන් ස්ථීර වශයෙන් කුඹුරු අක්කර සියගණනක් ඉවරයි.”
බලධාරීන් පවසන පරිදි උමඟ ඇතුළතින් කොන්ක‍්‍රීට් ආස්තරණයක් යෙදීමෙන් කවදාක හෝ නැවත ජලය ලැබෙනු ඇතැයි යන්න සිහිනයක් බව බෝධිපාලගේ අදහසයි. ඒ නිශ්චිතව ජලය උල්පත් වලින් මතුවන දිනයක් කීමට දන්නා ජගතෙකු නොමැති හෙයිනි.
”සිද්ධ වෙන්නෙ වසංගතයක් වගේ මේක පැතිරෙන එක. තවම නියඟය ආවෙත් නෑනෙ. අගෝස්තුව වෙනකොට මේ පළාත ජලශූන්‍ය කලාපයක් වෙයි. අපි සිතියම් දැක්කනෙ. ඉස්සරහට තියෙන්නෙ දුර්වල පාෂාණ ස්ථර. ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාත් ඒ ගැන ඇහුවම පිළිගත්ත හානියක් වෙන්න පුලූවන් කියලා.”
තමන්ගේම ළිඳක දිය සිත්සේ පරිහරණය කළ මේ ජනයා දැන් ආණ්ඩුව බවුසර මගින් සපයන ජලය ස්වල්පය මත යැපෙති. ඒ නිසාම සබන් මිශ‍්‍ර වතුරවත් අපතේ යවන්නේද නැත. නමුත් එය අරපිරිමැස්ම පිළිබඳ පාඩමක් නොවේ. අලූතෙන් උල්පත් සිඳී යන ස්ථාන වලට බවුසර් යවන්නට සිදුවෙද්දී ලැබෙන ප‍්‍රමාණය මද වීමට ඉඩ තිබේ. ඔවුන්ට අනුව බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම්වරයා උපරිම කැපවීමෙන් ජලය සපයා දෙන්නට වෑයම් කළද ගැටලූවේ බැරෑරුම්කම අනුව ඔහුටද කරන්නට දෙයක් නොමැත. හානියට පත් ප‍්‍රදේශවලට ස්ථාවර ජල සැපයුමක් ලබාදෙන්නට යෝජනා වූ ව්‍යාපෘතිද මේ දක්වා සැළසුම් වලට සීමා වී තිබේ.
”මෙහෙමයි වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල, පල්ලෙපේරුව එගොඩගම ගම්වලට හානි සිද්ධ වෙනකොට ජලය සපයන්න ව්‍යාපෘති තුනක් පටන්ගත්තා. කෝ ඒවා භාගෙට වැඩ කරලා නවත්තලා දාලා. ඔය වෙහෙරගලතැන්න ව්‍යාපෘතිය පටන්ගත්තේ දෙසැම්බර් අන්තිමේ දවස් හැත්තෑවකින් වතුර දෙනවා කියලා. දැන් මාස හයකුත් ඉවරයි. වතුර කඳුළක් නෑ. පාරවල් ටික හෑරුවා විතරයි. 2015 මාර්තු 20 වෙනිදා අපිත් ජනාධිපතිතුමත් අතරේ තිබුණු සාකච්ඡාවෙ ප‍්‍රථිඵලයක් හැටියට මාර්තු 23 වෙනිදා කැබිනට් එක සල්ලි වෙන්කරපු ජලව්‍යාපෘති වලට දැන් සල්ලි නෑලූ. අපි කිව්වා අඩුම ගාණේ එක ව්‍යාපෘතියක්වත් ඉවර කරන්න කියලා. එතකොට බවුසර අනෙක් ගම්වලට යවන්න පුලූවන්නෙ.”
බෝධිපාල පෙන්වා දෙන්නේ සැළසුම් වල අඩුලූහුඩුකම්ය. මාස හයෙන් දෙන්නට පොරොන්දු වූ නල ජලය මාස දහඅටක් ගතවීත් නොලැබෙන්නේ කාගේ වරදින්දැයි ඔහු ප‍්‍රශ්න කරයි. තමන්ට බොහෝ දේ අහිමි වූයේ තම උවමනාවට නොවන බව පවසන ඔහු පෙන්වා දෙන්නේ අවදානමට ලක්වූ නිසා දරුවන් පන්සලට හා ප‍්‍රජා ශාලාවට ගාල්කොට පවත්වාගෙන ගිය මකුල්ඇල්ල විද්‍යාලයද කළහැකි අන්යමක් නොමැති හෙයින් අවදානම නොතකා හානි වූ ගොඩනැගිලිවලම පවත්වාගෙන යන බවයි. දැන් සිදුව ඇත්තේ නැවත පාරට බසින්නට බවද ඔහු පෙන්වාදෙයි.
බෝධිපාලගේ කතාවට රුකුල්දුන් ඉන්දරේ අපෙන් ඉල්ලා සිටියේ ”අපට හරියට පස්ස හෝදාගන්නවත් වතුරටිකක් නැති කළේ කවුද” යන්න විමසන ලෙස නමුත් සිඳුනු හීල්ඔය අබියස සිට ඔවුන්ගෙන් අසන්නට සිදුවන්නේ ඔයේ මාලූන් අල්ලා වෙන උල්පතක ලා බේරාගත් මේ ගම්මුන් බේරාගන්නේ කවුද කවදාද යන්නයි.
*සබැදි සටහන්- ‘උමාඔයේ’ ගිලෙමින් ඇති ජීවිත..!
ලසන්ත ද සිල්වා | Lasantha de Silva