Image Credit: Respectable Theatre
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එකවර වේදනාව, උදහස, අපේක්ෂා භංගත්වය, කලකිරීම, ලැජ්ජාව, වැනි අහිතකර හැගීම් කන්දරාවක් එක්කම පෙර නොවූ විරූ ආකාරයේ අසිරිමත් හැගීමක් ද නාට්‍ය කරුවන්ගේ සිත් තුළ ඇති කළේය. කලකිරීම, අපේක්ෂා භංගත්වය, ලැජ්ජාව, සහ වේදනාව ඇති වුණේ අලුත් ආණ්ඩුව නාට්‍ය කලාවට සහ නාට්‍ය කරුවන්ට දක්වපු, අදහාගත නොහැකි මට්ටෙම් අවමන් සහගත සැලකිල්ල නිසයි. අසිරිය දැනවූයේ ඊට විරුද්ධව තරුණ නාට්‍ය කරුවන් එක්ව නිර්මාණශීලීව පළ කළ ප්‍රබල විරෝධයයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම වෙනුවෙන් වේදිකාවට නැගි තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුම මේ විරෝධයේ මූලික සංවිධායකයින් වී සිටිනු දැකිය හැකි විය.
කුණුහරුපයෙන් බැණ අඩගසා ගැනීම්, පුටු පෙරළීම්, බෙල්ලේ වැල ලා ගැනීමට ලණු ගැට ගැසීම්, පෙට්‍රල් හලා ගැනීම් වැනි බොරු සංදර්ශනකාරී උද්ඝෝෂණ වලින් පිරුණු විගඩම් මඩුවක් වැනි රටක සම්මාන වේදිකාව යොදා ගෙන නිර්ප්රචණ්ඩව නාට්‍යකරුවන් පළ කළ විරෝධය ආදර්ශමත්ය. ඒ විරෝධය එසේ සංවිධානය කළ ‘ගෞරවනීය වේදිකාව‘ ට සියලුම කලාකරුවන්ගේ ප්‍රණාමය හිමි විය යුතුයි.
රාජ්‍ය නාට්‍ය උළෙලට මෙහෙම වුණේ ඇයි? කියා අසන විට හේතු ලෙස ඉදිරිපත් කෙරනේනේ අමාත්‍යාංශ දෙකක් අතර විෂය හුවමාරු කිරීමේදී ඇතිවුණැයි කියන විකාර රූපි පරිපාලන අවුලකි. එදින නාට්‍ය කරුවන් හමුවේ කතා කරමින් කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කියා සිටියේත්, එයයි. නමුත් සැබවින්ම රාජ්‍ය නාට්‍ය උළෙල සම්බන්ධයෙන් මාස ගණනක් තිස්සේ ඇදුණු අර්බුදය සහ අවසානයේ එය විසදාගැනීමට අසමත් වීම හරහා හෙළිදරවු වන්නේ වෙන කිසිවක් නොව, මේ අලුත් ආණ්ඩුව සහ රාජ්‍ය නායකයින් කලාව සහ සංස්කෘතිය කෙරෙහි දක්වන ආකල්පයයි. ඔවුන් ඒ කෙරෙහි පළ කරන සැලකිල්ලේ තරමයි. පෙර පැවති ආණ්ඩු විසින් කළ පරිදිම මේ ආණ්ඩුවත් රටේ කලාව සහ සංස්කෘතිය අතිශයින් නොවැදගත් කොට සලකමින්, කලා කරුවන්ගේ අභිලාශයන් කෙරහි ඉතා අසංවේදී ලෙස හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ, අලුත් රටක්- යහ පාලනයක් ගැන හුදු හිස් වාග් සංලාප ගොඩක් මිස ගැඹුරු සමාජ විපරිවර්තනයක් ඇති කිරීමට උත්සහ දැරීමේ කිසිදු බරපතල උවමනාවක් ඊට නැති බව නොවේද?
දීර්ඝ කාලීන ගැටුමකට මැදි වී, දශක ගණනාවක් තිස්සේ දූෂිත අශිෂ්ට දේශපාලන භාවිතාවන් විසින් පරිහානිය කරා ඇදගෙන ගොස් තිබුණු අප වැනි සමාජයක් සාධනීය විපරිවර්තනයකට බදුන් කිරීමේ අරමුණ කරා පියවරක් හෝ තැබිය හැක්කේ රාජ්‍යය කලාව සහ සංස්කෘතිය කෙරෙහි විශාල බරක් තැබීමෙන් පමණි. මන්ද, සමාජයක අධ්‍යාත්මයට බලපෑම් කළ හැක්කේ කලාව සහ සංස්කෘතියට පමණක්ම වන හෙයිනි. ඒ අනුව ගඹුරු සමාජ වෙනසක් අපේක්ෂාවෙන් ඒ සදහා සැලසුම් සකස් කරන්නේ නම්, ආණ්ඩුවක් කළ යුත්තේ රටක කලාව සහ සංස්කෘතියේ ප්‍රධාන වාහකයින් වන අධ්‍යාපනය, ජනමාධ්‍ය, සහ කලා නිර්මාණ කෙරෙහි විශාල අවධාරණයක් දැරීමයි. කලාකරුවන් යනු සමාජ පරිවර්තනයක ප්‍රධාන පෙළේ නියමුවන්ය. එබැවින් කලාකරුවන් දිරිමත් කිරීම, ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් ආයෝජනය කිරීම, කලා නිර්මාණ බිහි වීමට සහ පවත්වාගෙන යාමට අවැසි යටිතල පහසුකම් ඉදිකිරීම, ඒ නිර්මාණ කෙරෙහි පොදු ජන සමාජයේ ඉල්ලුමක් ඇති කිරීම, කලාව ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම වනාහි, යහජීවන සමාජයක් උදා කිරීමේ අරමුණු දරන යහපාලන රාජ්‍යයක ප්‍රමුඛතාවක් විය යුතුමය.
නමුත් අවාසනාවට, මෙවැනි පුළුල් අරමුණු ආණ්ඩුවට තිබිය යුතුයැයි සිතන්නේ අප මිස ආණ්ඩුව නොවේ නේද? එවැනි අරමුණු තිබෙන ආණ්ඩුවක් අපට ඇත්නම් යන්න අපගේ හුදු ප්‍රාර්ථනයක් පමණක් නේද? රටේ කලාකරුවන්ගේ ප්‍රධානතම උත්සවයක් වන රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්නට අවශ්‍ය මුදල් ස්වල්පයක් සම්පාදනය කරගන්නට මාස ගාණක් තිස්සේ අදාළ අමාත්‍යාංශයට සහ ඇමතිවරයාට නොහැකි වූවේය, යන්නෙන් කලාකරුවන් මහත් අපේක්ෂා භංගත්වයටත්, උදහසටත් පත් වන්නේ තමන් බලාපොරොත්තු වූ මට්ටමෙන් තබා, ඉතාම අවම ප්‍රමාණයේ සැලකිල්ලක්වත් ආණ්ඩුව කලාව කෙරෙහි පළ නොකරන්නේය යන යථාර්ථය ඒ මගින් ඔවුන්ට වැටහුණු නිසයි. අඝාදයේ පතුලටම ගිලී යමින් පැවති සමාජය අදුරින් බේරාගෙන, මානව ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි රටක් ගොඩනගා ගැනීමේ බලවත් අපේක්ෂාවෙන් යුතුව, පැවති දුර්දාන්ත පාලනය පෙරළා දැමීම වෙනුවෙන් අවදානම් නොතකා සටන් කළ කලාකරුවන් එසේ උදහසට පත්ව තම විරෝධය පළ කිරීම අතිශයින් සාධාරණය.
මේ ආණ්ඩුව කලාව සහ සංස්කෘතිය මායිම් කරන්නේ කොතනටද යන්න පෙන්වූයේ කැබිනට් මණ්ඩලය පත් කරන අවස්ථාවේදීමය. කලාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අගිස්සේවත් තිබුණේ නැති බව පෙනෙනේනේ සංස්කෘතිය වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක්වත් වෙන් නොකිරීමෙනි. අපට ඇත්තේ ‘අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික‘ අමාත්‍යාංශයකි. වයඹ සංවර්ධනයක් සමග කලා සංස්කෘතික ප්‍රවර්ධනය ගලපා ඇත්තේ කෙසේදැයි ඒ වෙනුවෙන් පත් කර ඇති ඇමතිවරයාටවත් වැටහෙන්නේද යන්න සැක සහිතය. පසුගිය අප්‍රේල් මාසයේදී පාලිත තෙවරප්පෙරුම සංස්කෘතික නියෝජ්‍ය ඇමති ලෙස පත් කරමින් ආණ්ඩුව රටට අමු අමුවේම පෙන්වා සිටියේ, සංස්කෘතිය යනු ඕනෑම ආකාරයේ ජෝකර් කෙනෙකුට, චණ්ඩියෙකුට බාර දිය හැකි වැඩකටම නැති විෂයක් හැටියට තමන් සලකන බව ද? ඒ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා පසුගිය සතියේ නටපු විගඩම් දෙස බලන විට මට සිතුණේ ‘මේ අපේ රටේ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයායි‘ කියා විදේශිකයෙකුට කියන්නට සිදුවුවොත්, ඒ තැනැත්තා අපේ රට ගැන කුමක් සිතා ගනීවිද කියායි. අවාසනාවට අපේ රටේ කලාකරුවෝ මේ පත්කිරීම් ගැන විරෝධය ප්‍රකාශ කරන්නට උත්සුක වූයේ නැත.
රාජ්‍ය නාට්‍ය උළෙලේ පළවෙනි සහ දෙවෙනි වට පවත්වත්දී කලා මණ්ඩලය පැවතියේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍යාංශය යටතේය. රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීමේ වගකීම තිබුණේද ඒ අමාත්‍යාංශයටයි. නමුත් නාට්‍ය උළෙලේ තෙවෙනි වටය වන විට කලා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කෙරී ඇත. (මේ හදිසි වෙනස කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත) එසේම රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීමේ වගකීම ද අධ්‍යාපනය අමාත්‍යාංශය වෙතට පවරා ඇත. නමුත් නාට්‍ය උළෙල පැවැත්වීමට මුදල් වෙන් කර තිබුණේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍යාංශයටයි. මේ අමාත්‍යාංශය ඒ මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු නොකිරීම රාජ්‍ය නාට්‍ය උළෙල හරිහැටි පවත්වන්නට බැරි වූ හේතුව හැටියට දැක්වේ. මේ විකල් පරිපාලන අර්බුදය විසදීමට මැදිහත්වන්නැයි නාට්‍ය කරුවෝ අගමැති සහ ජනාධිපතිගෙනුත් විවෘතව ඉල්ලා සිටියෝය. නමුත් මාස ගාණක් ප්‍රමාද වී තිබූ උළෙල පවත්වන්නට අවසානයේ යොදා ගත් දිනය එනතුරුම ඒ අර්බුදය විසදාගැනීමට කිසිවෙකුටත් හැකි වී නැත. නැතිනම් අවංක උනන්දුවක් තිබී නැත. මේ සිදුවූ බරපතල අතපසු වීම සහ අමාත්‍යාංශ අතර අමනෝඥ වැඩ බෙදීම නිවැරදි කරගැනීමට බුද්ධිමත් පියවර ගැනීම ආණ්ඩුවේ විශාල වගකීමකි.
නාට්‍ය උළෙල පවත්වන්නට අමාත්‍යාංශයට මුදල් නැති වූයේ නම්, එයට අනුග්‍රහය දක්වන්නැයි පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරන්නට ඇමතිට නොහැකි වුණිද? (රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්නට කෝටි ගණන් වැය නොවන බව අපි දනිමු) එසේ ඉල්ලිමක් කරේ නම් උළෙල උත්කර්ෂවත්ව පැවැත්වීමටත් නාට්‍ය කරුවන්ට සුදුසු ත්‍යාග ප්රදානය කිරීමටත් පහසුවෙන්ම හැකියාව තිබුණි. මෙවැනි පියවරවත් ගන්නට ඇමතිවරුන්ට බැරි වූයේ, කලාව වෙනුවෙන් මහන්සි වීම හෝ කලා වැඩකට සල්ලි ඉල්ලීම අනවශ්‍ය නාස්තියක් යැයි සිතූ නිසාද?
චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඉතා විශ්වාසවන්තව නාට්‍ය කරුවන්ගෙන් පිරුණු ශාලාවට කියා සිටියේ, තමන්ගේ අදහසට අනුව ඊළග අවුරුද්දේ නාට්‍ය උළෙල ඉතාම උත්කර්ෂවත්ව පවත්වන්නට අධ්‍යාපන ඇමති සිය පූර්ණ සහයෝගය පළ කර ඇති බවයි. ලබන වසරේ නාට්‍ය උළෙල හුදෙක් සම්මාන ප්‍රදානෝත්සවයකට එහා ගිය මින් පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත සංස්කෘතික අත්දැකීමක් බවට පත් කරන බවට තේනුවර මහතා ඉතා විශ්වාසයෙන් කියා සිටියේය. ඇත්තෙන්ම මෙවර නාට්‍ය උළෙල එසේ පැවැත්වීමට ඔහු තුළ විශාල බලාපෙරොත්තුවක් තිබූ බවත්, ඒ වෙනුවෙන් ඔහු ඉතා ප්රගතිශීලි සැලසුමක් සකස් කර තිබූ බවත් අපි දනිමු. නමුත් සමාජයක සංවර්ධනය උදෙසා කලාව සහ සංස්කෘතිය කෙතරම් වැදගත්ද යන්න පිළිබද සාධනීය ආකල්පයක් නූසුලන රාජ්‍යයක අසංවේදී ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හමුවේ ඔහුගේ ඒ ප්රයත්නයන් සාර්ථක වූයේ නැත. ලබන වසරේ නාට්‍ය උළෙල ඉතා සාර්ථකව පවත්වන බව කලා මණ්ඩල සභාපති තුමා පවසන නමුත්, වත්මන් ආණ්ඩුව කලාව සහ සංස්කෘතියේ අත්‍යවශ්‍ය සමාජ මෙහෙවර පිළිබදව නිවැරදි ආකල්පයක් ඇති කර ගන්නා තුරු අනාගතය පිළිබද යහපත් අපේක්ෂාවන් තබා ගත නොහැකි වනු ඇත. කලාව සහ සංස්කෘතියට අදාළව නිසි පරිපාලන තීන්දු ගන්නටත්, ප්‍රමණවත් ප්‍රතිපාදන ඒ වෙනුවෙන් වෙන් කරන්නටත් රාජ්‍යයක් යොමු වන්නේ එවැනි යහපත් ආකල්පයක් උසුලන්නේ නම් පමණි.
ආණ්ඩුවේ වර්තමාන හැසිරීමේ හැටියට තව අවුරුද්දක් ගත වෙද්දී සංස්කෘතිය සහ කලාව වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන මොන මොන කෑලි වලට කැඩී තියේවිද ඒවා කවුරු කවුරු අතට පත් කර තියේවිද කියා කියන්නට බැරිය. එසේ නොවී, සමාජයක ප්රගමනයට කලාව සහ සංස්කෘතියේ වටිනාකම කොතෙක්ද යන්න පිළිබදවත්, අපට ශක්තිමක් සංස්කෘතික අමාත්‍යාංශයක්, සබුද්ධික සංස්කෘතික අමාත්‍යවරුන් සහ කලාව වෙනුවෙන් වෙන්කෙරෙන ගෞරවනීය අරමුදලක් අත්‍යවශ්‍යය යන්නත් රාජ්‍ය නායකයන්ට අවබෝධ කරවීමට ඔවුන්ට ප්‍රෙව්ශ විය හැකි කලාකරුවන්ට සහ විද්වතුන්ට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු. (මේ සියලුම ගැටළු හමුවේ වුවත්, එළඹෙන වසරේදී කලා මණ්ඩල සභාපතිතුමාගේ ඒ සුබවාදී අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්නට ලැබේවායි ද ප්‍රාර්ථනා කරමු. එතුමා අපේක්ෂා කරන පරදි රාජ්‍ය නාට්‍ය උළෙල සමාජයේ සංස්කෘතික ප්‍රෙබා්ධයක් ඇති කිරීමේ නිමිත්තක් හැටියට පාවිච්චි කිරීමට හැකි වනු ඇතැයි ද විශ්වාස කරමු. ඊළග වසරේ පැවැත්වෙන ඒ උළෙල වෙනුවෙන් කලාකරුවන්ට යැවෙන ඇරයුම් පතේ, ප්‍රධාන අමුත්තා හැටියට ඇමතිවරයෙක් නොව කලා සංස්කෘතික ක්ෂේත්රය වෙනුවෙන් ගෞරවනීය මෙහෙවරක් කළ දේශීය හෝ විදේශීය කලාකරුවෙකු සහභාගි වන බව සදහන් වෙනු ඇතැයි අපේක්ෂා කරමු. (මෙවර ඇරයුමේ ඇමති සම්ප්‍රාප්ත වන බව ලොකු බෝල්ඩ් අකුරෙන් කියා තිබුණත් සම්ප්‍රාප්ත වූයේ නැත!)
මේ ලිපිය අවසන් කිරීමට පෙර එක් වැදගත් කරුණක් සිහිපත් කළ යුතු යැයි සිතේ. එදා නාට්‍ය කරුවන්ට වේදිකාවට ගොඩ වී නිවේදකයින්ගෙන් මයික් ඉල්ලාගෙන තමන්ගේ කතාවක් කරන්නට ඉඩ ලැබුණේත්, සටන් පාඨ ලියූ පුවරු රැගෙන වේදිකාවට නගින්නට හැකි වූයේත්, මරණ බියකින් තොරව විරෝධතාව දැක්වීමට ධෛර්යය ලැබුණේත් කලින් පැවති ඒකාධිපති මර්දනකාරී ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසු උදා වූ නිදහස්කාමී වාතාවරණය නිසයි. වත්මන් ආණ්ඩුවට නිශ්චිත දැක්මක් හෝ ඉලක්කයක් ඇති බවක් පෙනේනේ නැති වුවද, සුදු වෑන් භීතිකාවකින් තොරව අදහස් පළ කිරීමේ නිදහස, විරුද්ධ මත දැරීමේ නිදහස, රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වල නිරත වීමේ නිදහස අද අපි බුක්ති විදිමු. පුරවැසි සමාජය අද අත්විදින මේ නිදහස තමන් අගය කරන බව එදා නාට්‍ය උළෙලේ විරෝධය දැක්වූ කලාකරුවෝද ව්‍යංගයෙන් කියා සිටියහ. නිලංක දහනායක නැමැති නළුවා ඉදිරිපත් කළ රංගන අයිතමයේදී ‘හොරි කස කසා කෙදිරි ගගා පන්සලේ වැටිලා ඉද්දි මංම නාවල කරලා ගෙට ගත්ත ටොමියා දැං මටම බිරුවත්, මටම කෙළෙව්වත් මං තාම ඌට ආදරෙයි‘ කියා කියුවේ ඒ නිසයි. ‘හැබැයි පුතෝ ඌ මගේ ආදරේ වැරදියට තේරුං ගත්තොත් බලාගත්තෑකි ‘ කියා ද පසුව එකතුවක් කළේය.
තමන්ව බලයට ගෙන ඒමට වෙහෙස වුණු පුරවැසි සමාජය විරෝධය පළ කරන විට, ඒ සංඥා නිවැරදිව තේරුම් ගන්නට ආණ්ඩුව සබුද්ධික වෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමු. රාජ්‍ය නාට්‍ය උළෙල හරහා උද්ගත වූ තත්ත්වය තුළින් ගම්‍ය කෙරෙන අත්‍යවශ්‍ය පණිවුඩය කුමක්දැයි අපේ අගමැති සහ ජනාධිපති දෙපළ නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ මේ අවුරුද්දේ නාට්‍ය උළෙල හරිහැටි තියාගන්නට බැරි වීම වැනි චූල ගැටළුවක් නොවේ. සිදුවූ අලකලංචිය කුමක්දැයි විමසා බලන්නට නාට්‍ය කරුවන්ව රැස්වීමකට කැදවීම හෝ ඔවුන් ආ විට, නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ දුර්වලකම් නිසා මෙසේ වූ බව කියා සිටීම හෝ ඊළග වසරේ හොදටම උළෙල පවත්වමුයි සන්තෝසම් දීමෙන් හෝ කලාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් ඇති මේ ගැඹුරු අර්බුදය විසදෙන්නේ නැති බව ඔවුන් හොදින් තේරුම් ගත යුතුය. කළ යුත්තේ කලාව සහ සංස්කෘතිය නොසලකා හැරීමෙන් සමාජයකට අත්වන දීර්ඝ කාලීන ආදීනව පිළිබදව වටහාගෙන, ඒ වෙනුවෙන් වහ වහා සක්‍රියව ක්‍රියා කිරීමයි. රටේ ප්රගතිශීලි කලාකරුවන් සහ බුද්ධිමතුන් කැදවා ඔවුන්ගේ අදහස් විමසමින්, මේ දක්වා කර ඇති විපරීත අමාත්‍යාංශ/ඇමති පත්කිරීම් සම්බන්ධයෙන් සහ සංස්කෘතියට අදාළ විෂයන් බෙදීමේදී ඇති වී ඇති පරිපාලන වියවුල් විසදීමට පියවර ගැනීමෙන් ඒ ක්‍රියාවලිය ආරම්භ කළ හැකියි.
එදා නාට්‍ය කරුවන් වේදිකාව මත ප්‍රදර්ශනය කළ විරෝධතා පුවරු අතර තිබූ වැකි කිහිපයක් යළි සිහිපත් කරමින් ලිපිය අවසන් කරමි.
කලාව පුරවැසි අයිතියකි
ජනාධිපතිතුමනි, සංස්කෘතික ජීවිතය කියලා දේකුත් තියෙනවා. දන්නවද?
අගමැතිතුමනි, කලාව කන්නද නේද?
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි ඔබගේ යහපාලනයට කලාව අදාළ නැද්ද?
අධ්‍යාපන ඇමතිතුමනි, නාට්‍ය කලාව අදාළ නැද්ද?
වැය ශීර්ෂයෙන් කලාවට 0.3% . බලධාරීන්ට කන්නත් මදිනේ?
ඇමතිවරුනි, ඕගොල්ලන්ගෙ එක වාහනයක් අපේ ෆෙස්ටිවල් කීයක්ද නේද?
නදී කම්මැල්ලවීර | Nadie Kammalaweera