Image Credit: independent.co.uk
සවන් දෙන්න සියවරක්. සිතන්න දහස් වරක්. කතා කරන්න එක් වරක්– තුර්කි ප්‍රස්ථාපිරුළකි
තුර්කිය සහ යුරෝපය යා කෙරන බෝශ්ෆොරස් පාලම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව වසා දැමුණි. ඉන් මොහොතකට පසු හමුදා යුධ ටැංකි මෙන්ම බට පිරිස් ස්ථාන ගත කිරීම ආරම්භ විය. එසේම, තුර්කි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් යානා ගුවන් ගත විය. ඉන් සමහරක් ඉතාම පරෙස්සමින් තෝරා බේරාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීය. හමුදාවේ මූලික අරමුණ වූයේ සිවිල් ජනතාවට සිදුවන හානී අවම කිරීම බව බොහෝමයක් ස්වාධීන පුවත් වාර්තා සඳහන් කරනු ලබයි.
ඉන් මොහොතකට පසු තුර්කි රාජ්‍යය මාධ්‍යය තමන්ගේ පාලනයට නතු කරගත් බව පවසමින් කුමන්ත්‍රණකරුවන්, ඒ ඔස්සේ නිවේදනයක් නිකුත් කරනු ලැබීය. අදාළ පුවත් නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා, නිවේදකයෙකු හෝ නිවේදිකාවක සොයා ගැනීම පවා ඔවුන්ට අසීරු කටයුත්තක් විය. අවසානයේ ඔවුහු සිදුකළ තර්ජන හමුවේ එක්තරා නිවේදිකාවක් අදාළ නිවේදනය රට හමුවේ තැබුවාය.
ඉන් පසු, හෝටලයක නවාතැන් ගෙන සිටි තුර්කි ජනාධිපති එඩ්ගාන් තම දුරකතනය ඔස්සේ සී. එන්. එන්. තුර්කි සේවය අමතමින්, අදාළ කුමන්ත්‍රණය අසමත් එකක් බවත් තමන් මේ මොහොතේ සිට වීදියට පැමිණ සටන් කරන බවත් සඳහන් කරනු ලැබීය. එසේ කියමින් හෙතම, රටේ සෑම කොනකම සිටින ජනතාවට වීදි බසින ලෙස සඳහන් කළේය.
තම පණිවිඩයෙන් මොහොතකට පසු, හෙතම, කුමන්ත්‍රණය සඳහා හවුල් වූ සෙබලුන් දඩයම් කිරීම සඳහා අණ ලබා දෙනු ලැබීය. එය ඔහු ඉතාම සුක්ෂම ලෙස සිදු කරනු ලැබුවේ, මීට පෙර ඔහු ඒ සඳහා සූදානමින් සිටි ආකාරයෙනි.
පළමුව, තමන්ට හිතවත් හමුදා කාණ්ඩායම් යොදා කුමන්ත්‍රණය මෙහෙවනු ලැබූ සහ ඊට අනුග්‍රහය දක්වනු ලැබූ සෙබළුන් අත්අඩංගුවට ගනු ලැබීය. දෙවනුව ඒ සඳහා තම පාක්ෂිකයින් යොදා ගනු ලැබීය. තම නිවේදනයට ගරු කරමින්, වීදියට පැමිණි බොහෝ පිරිස් හමුදා සාමාජිකයින් අල්ලා ගැනීමට උත්සුක වූ අතර, හමුදා සෙබළුන් නිරායුධ ජනතාවට ප්‍රහාර එල්ල කිරීම බොහෝ දුරට අවම කොට තිබුණි. මෙවැනි තත්වයක් සැබෑ කුමන්ත්‍රණයක සිදු විය හැකිද, යන ගැටලුව නිසැක වශයෙන්ම මතුවන තරමට මෙහි තත්වය එතරම් හාස්‍යය ජනක විය.
වඩාත් වැදගත් කාරණය වූ කලී, අදාල සිදුවීමට දින කිහිපයකට පෙර, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා හමු වූ තුර්කි ජනාධිපතිවරයා, රටේ සිදු වීමට නියමිත කුමන්ත්‍රණය ගැන සඳහන් කිරීමයි. ජනාධිපති එඩ්ගාන් සඳහන් කළ පරිදි, තමන් මේ බව ඔබාමාට සඳහන් කළ නමුත් ඔබාමා එය එතරම් විශ්වාස නොකොට ඇත.
එහිදී, හෙතම මේ වන විට ඇමෙරිකාවේ ජීවත්වන, ප්‍රකට තුර්කි දේශපාලනඥයෙකු වන ෆෙතුල්ලාහ් ගුලාන් වෙත ඇඟිල්ල දිගු කොට හෙතම අදාළ කුමන්ත්‍රණය සැලසුම් කළ බවත්, රටේ ප්‍රචණ්ඩත්වය ඇතිකොට බලය ලබා ගැනීමට උත්සහ කරන බවත් සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින්, ගුලාන්, ජනාධිපතිවරයාගේ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, අදාළ “කුමන්ත්‍රණය” ජනාධිපතිවරයාගේම කෛරාටක උපායක් විය හැකි බව උපකල්පනය කළේය.
කුමන්ත්‍රණය වටා ගෙතී ඇති දේශපාලන මගඩිය අපූරුය.
එසේම ජනාධිපති එඩ්ගාන් අදාළ කුමන්ත්‍රණයෙන් පැය කිහිපයකට පසු ගන්නා තීන්දු කදිමය. එක අතකින් ජනතාව මාර්ගයෙන් හමුදා කණ්ඩායම් වල ශක්තිය අඩුකරන හෙතම, ඉන්පසු, රටේ විනිසුරුවරුන්, අභිචෝදකයින් ඇතුළු තුන්දාහකට අදික පිරිසක් සිරභාරයට ගනු ලැබීය. තවත් විශාල පිරිසක් පසුපස හඹා යමින් සිටිති.
මේ අතර, ඔහු ඇතුළු ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් මාධ්‍යය ඉදිරියට පැමිණ සඳහන් කරන මූලික කාරණය වූ කලී, අදාළ කාරණයට සම්බන්ධ අයවලුන්ට හැකි උපරිම දඬුවම් ලබා දෙන බවයි. එසේම, මරණ දඬුවම යලි පැනවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
කුමන්ත්‍රණයට මුවා වී, ජනාධිපති එඩ්ගාන් ඇතුලු සගයින් සඳහන් කරන මෙම කාරණා කුමන්ත්‍රණයක් නොමැති වටපිටාවක් තුළ සිදු වූයේනම්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බලපෑම කෙබඳු ස්වභාවයක් ගනු ඇතිද? හාස්‍යජනක ලෙස ජනාධිපති බැරක් ඔබාමා මෙන්ම අනෙකුත් නායකයින් ජනාධිපති එඩ්ගාන්ට සුභ පැතුම් එවමින් කුමන්ත්‍රණය පරාජය කිරීම ගැන සතුටුවන බව සඳහන් කරන මුලාව ඇතුලතින් දිවෙන ඇත්ත මෙයයි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කිරීමක් යැයි කීම අමූලික බොරුවකි. හමුදා කුමන්ත්‍රණය කිසිඳු දේශපාලන විඥානයකින් මෙන්ම, බලය ලබා ගැනීමේ සැබෑ අරමුණකින් නොකළ එකක් බව ඒ ගැන මේ වන විට හෙළිදරව් වන සියලුම තොරතුරු මඟින් මනාව පැහැදිලි කරනු ලබයි. එසේම, කුමන්ත්‍රණකරුවන්, රාජ්‍යය මාධ්‍යය සහ අනෙකුත් ස්ථාන පාලනය කිරීමට උත්සහ කළ නමුත්, ජනාධිපති එඩ්ගාන් නැවතී සිටි හෝටලයට කිසිඳු බලපෑමක් සිදු නොකළේය. සම්පූරණ සිදුවීම හමුවේ ජනාධිපති එඩ්ගාන් නිරුපද්‍රිතව පැය කිහිපයකින් පසු ජනතාවගේ ප්‍රීති ඝෝෂා මැද එළියට එන්නේය.
තුර්කිය තුළ ගෙවී ගියවසර කිහිපය පුරා පවතින දේශපාලන විධික්‍රමය, බොහෝ විචාරකයින් හඳුන්වන්නේ, තරගකාරී ඒකාධිපති පරිපාලනයක්(කොම්පැටටිව් ඔතොරොටෙරියනිස්ම් රෙජීම්) ලෙසය. එවැනි පාලන තන්ත්‍රයක හඳුනාගත හැකි මූලික ගති ලක්ෂණ වූ කලී, මැතිවරණ පැවැත්වීම, මූලික අයිතිවාසිකම් තම පාක්ෂිකයින්ට පමණක් සීමා කිරීම, මාධ්‍ය පන්තික කේන්ද්‍රීය සහන ක්‍රමයක් පවත්වාගෙන යෑම, සහ අතිශය දුර්වල විපක්ෂයක් පවත්වා ගෙන යෑමය. එවැනි වටපිටාවක, සාමන්‍යය ජනතාවගේ ප්‍රතිරෝධය ප්‍රභලව වර්ධනය වීමට අවශ්‍යය පසුබිම සකස් කරනු ලබයි.
විශේෂයෙන්ම, ගේසි ප්‍රතිරෝධය (ගේසි රෙසිස්ටන්ස්) නමින් හැඳින් වූ 2013 දී හටගත් ජනතාවගේ විරෝධය සහ එය මර්ධනය කළ ආකාරය සම්බන්ධයෙන් තුර්කි පාලනාධිකාරියට බරපතල විවේචන එල්ල විය. ඉස්තාන්බුල් නගරයෙන් ආරම්භ වූ විරෝධය නගර 80 ක් පුරා ව්‍යාප්ත විය. ඊට, මිලියන 3.5 ක පමණ ජනතාවගේ සහාභාගීත්වයක් තිබුණි. නමුත්, එය ක්‍රමානුකූලව යටපත් කරනු ලැබීය. 5000 කට අධික පිරිසක් අත්අඩංගුවට පත් වූ අතර, නිරායුධ සිවිල් වැසියන් විශාල පිරිසක් පොලිස් වෙඩි ප්‍රහාරවලින් මරුමුවට පත්වූහ.
තුර්කි පරිපාලන ක්‍රමවේදය, සැබවින්ම සමාන වන්නේ, මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ පරිපාලන විධික්‍රමයටය. එමඟින්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට සහ මාධ්‍යය නිදහසට එල්ල කළ බරපතල හානිය ගැන සියල්ලෝම දනිති. ජනාධිපති එඩ්ගාන් සිදු කරමින් සිටින්නේ වඩාත් ක්‍රමෝපායික අන්දමින් විපක්ෂ දේශපාලන බලය නෂ්ඨ කිරීමය. මේ වන විට සිර ගත කොට සිටින තුර්කි මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 50 කට ආසන්නය. එසේම, ස්වාධීන මතධාරී බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, සහ අනෙකුත් සිවිල් ක්‍රියාදරයින් ක්‍රමෝපායික ලෙස යටපත් කොට තිබේ.
එම මර්ධනය විසින්, රට තුළ ඉතාම සෙමින් නමුත් ශක්තිමත්ව වැඩෙන විරෝධයක් තිබේ. එම විරෝධය, මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඉලක්ක කරගත් ව්‍යාපාරයකි.
හමුදා කුමන්ත්‍රණයට මුවා වී ජනාධිපති එඩ්ගාන් යටපත් කරමින් සිටින්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයයි. එනයින් බලන කළ, හමුදා කුමන්ත්‍රණය වූ කලී, ඔහුගේ දේශපාලන ජීවිතයේ ඔහුට ලැබුණු විශාලම නිධානය වේ. මෙය නිවැරදිව නොකියවා, මිනීමරු දේශපාලනඥයකු වන එඩ්ගාන්ට, අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා හිතේ හැටියට සුභපැතීම විහිළුවකි. දේශපාලන වෘකයකු වන එඩ්ගාන් පොරවාගත් බැටළු හමට බොහෝ නායකයින් රැවටී ඇති ආකාරය සහ එය උපයෝගී කරගෙන තම දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන ස්වභාවය තවත් දින කිහිපයකින් බොහෝ දෙනෙකුට හැකි වනු ඇත. කුමන්ත්‍රණයේ සැබෑ දේශපාලනය එහිදී වඩාත් හොඳින් දක්නට ලැබෙනු ඇත.
මෙවැනි සිදුවීම් මඟින්, ශ්‍රී ලංකාව වැනි රටක දේශපාලන ව්‍යාපාරවලට ඉගෙන ගැනීමට ඇති පාඩම් බොහෝය.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa