එක් සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටි, ඩෙල්රුක්ෂාන් පවුලේ වැඩිමල් පුතාය. මුහුදු රස්සාව කරන කි‍්‍රිස්ටෝපර් මරියදාස් නේරිස්, ඩෙල්රුක්ෂාන්ගේ පියා ය. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ, කලා විෂයන් හැදැරූ ඩෙල්රුක්ෂාන්ට විශ්ව විද්‍යාලයට පිවිසීමට අඩු වූයේ ලකුණු 3ක් පමණි. පසුව 2009 ඔක්තෝබර් මස 29 වනදා ආරක්ෂක අංශ විසින් වව්නියාවේදී අත්අඩංගුවට පත් වූ ඩෙල්රුක්ෂාන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පසුව වව්නියාව බන්ධනාගාරයෙත් රදවා තබා සිටි බව ඔහුගේ පවුලේ ඥාතීන් පැවසී ය. ඉන්පසු නේරිස් මරියදාස් ඩෙල්රුක්ෂාන් ඝාතනයට ලක් වුයේ පසුගිය අගෝස්තු 8වනදා ය. ඒ ජූනි 29වනදා වව්නියාව බන්ධනාගාරයේ අතිවූ නොසන්සුන්තාවයේදී බන්ධනාගාර නිළධාරීන් එල්ලකරන ලද මාරාන්තික ප‍්‍රහාරයෙන් පසුව දින ගණනාවක් සිහිමුර්ජා(කෝමා) ත්ත්ත්වයෙන් සිට රාගම රෝහලේ දී ය.
මේ වන විට ඩෙල්රුක්ෂාන් ආණ්ඩුවේ බන්ධනාගාරයක් තුළ ඝාතනය කර වසර 4ක් ගතවේ. නමුත් ඩෙල්රුක්ෂාන්ට තවමත් යුක්තිය ඉටු වී නැත. යුක්තිය ඉටුවන බවට කිසිදු ලකුණක් වත් පෙනෙන්නට නැත. නමුත් ඩෙල්රුක්ෂාන්ගේ දෙමාපියන් අදද ඔහු සම්බන්ධයෙන් වන සියලු ලියකියවිලි සුරක්ෂිතව තබා ගෙන ඇත්තේ ඉක්මනින් යුක්තිය ඉටු වේයැයි වන බලාපොරොත්තුවෙනි.
‘අපට දැන ගන්න ඕන අපේ පුතාට මොකද උනේ කියලා‘ පසුගිය අප්‍රේල් මාසයේදී ඩෙල්රුක්ෂාන්ගේ පිය අප සමග පැවසුවේ ය. ‘අලුත් ආණ්ඩුව පත් උනාම වත් අපි විශ්වාස කලා අපේ පුතාට මොකද උනේ, කවුද ඒ අපරාදේ කලේ කියලා හොයයි කියලා, ඒත් තවම එහෙම දෙයක් වෙනවා කියලා අපිට පේන්න නැහැ‘ ඒ ශෝකී ස්වරය යහපාලනයට අසෙන්නේ නැති සේයකි.
මේ ඒ පිළිබදව ‘විකල්ප‘ තබන රෑපමය සටහනක්[with adobespark]
2012 අගෝස්තු 13 එනම් ඩෙල්රුක්ෂානගේ අවසන් කටයුතු දා පාර්ලිමේන්තු මංත්‍රී එස්. ශ්‍රී දරන් මෙසේ කීවේය.
‘‘රාජ්‍ය ත‍්‍රස්තවාදීන් පිරිසක් විසින් අතපය කඩා දමා නිමලරූබන් හා ඩෙල්රුක්ෂාන් මරණයට පත් කරලා තියෙනවා. මෙවන් තත්ත්වයක් ලෝකේ කොහේවත් දැකිය නොහැකියි. ඉතින් අප තව තවත් බලා සිටින්නට, අපව ඉතා පහත් විදිහට සලකන තත්ත්වය තව තවත් වැඩි වෙනවා. මෙම අසාධාරණයට විරුද්ධව අපි පෙලගැසී අරගල නොකරන තාක් අපිට නිදහස නැහැ. අපගේ දෙමළ ජනතාව තලා පෙලා පාලනය කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය විසදුම් නොදීමටත් මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියන ශ‍්‍රී ලංකා රජය, තමන්ගේ බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණ පෙන්වමින් ලෝකයම රවටමින් සිටිනවා. අප බලවත්ව සිටින විට අප පිළිබඳ ලෝකය කතා කරන බව, අප වෙනුවෙන් කතා කළ ලෝකය අද වෙනස් වී සිටින ආකාරයෙන් පැහැදිලි වෙනවා. අප ගැන ලෝකය කතා කරන්නේ, අප බලවත්ව අරගල කරමින් ඒකරාශී වී සිටින විටයි . එම තත්ත්වය අප ඇතිකළ යුතුයි. ඒ සඳහා ආරම්භය නිමලරූබන්ගේ හා දිල්රුක්ෂාන්ගේ මරණ වලින් අප ආරම්භ කරමු.‘‘
ශ්‍රීධරන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ඒසේ කිවේ රාජපක්ෂ පාලන සමයේය.
දැන් මේ ඝාතනවලට යුක්තිය ඉෂ්ඨ නොවුන හොත් මෙයට වඩා දේවල් කියන්නටත්, ලියන්නටත් සිදුවීම යහපාලනයට කිසි කලක වලක්වන්නට නොහැකි වේවි. එබැවින් සත්‍ය සේවීමේ වකවානුුවේ මේ ඝාතනවලටත් යුක්තිය ඉටුවන බවට ආණ්ඩුව පෙන්විය යුතුය. ක්‍රියාවෙන් පෙන්විය යුතුය.
2012 දී ඩෙල්රුක්ෂාන් ගේ ඝාතනය පිළිබද සටහනේ අවසන අප මෙසේ ලීවේය. ලංකාවේ ඕනෑම ඝාතනයක්, පහරදීමක් හෝ අතුරුදහන් කිරීමක් කළ වහාම තමන් සිටිනා ජාතිවාදී හෝ යුදකාමී තත්ත්වයන් මත සිට එයට අර්ථයන් නිශ්පාදනය කිරීම ඊනියා ජනමාධ්‍ය මෙන්ම දකුණේ ජාතිවාදී දේශපාලන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ උත්සහ දැරීම තුළම අදාල ඝාතකයින් පහසුවෙන් සගවා තබන දේශපාලන පරිසරයක් පෙර පරිදිම පශ්චාත් යුද ලංකාව තුළ මේ වනවිටත් මතුවෙමින් පවතී. එසේ කළ පමණින් වසර ගණනාවක් ලෙයින් සහ යකඩින් තලා දැමූ සමාජක් එය අමතක කරනු ඇතැයි යමෙකු සිතනවා වන්නට පුලූවන. නමුත් නිමලරූබන්ගේ මෙන්ම ඩෙල්රුක්ෂාන්ගේ අම්මාවරුන් සමග දහසක් අම්මාරුන් ව්ව්නියාවේත්, යාපනයේදී විලාප දෙමින් කියා සිටියේ ‘එය එසේ නොවේ’ කියා නොවේද?
*2012 අගෝස්තු 13වන දින ඩෙල්රුක්ෂාන්ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු ‘විකල්ප‘ වෙබ් අඩවිය ඒ වෙනුවෙන් තැබූ සටහනට පිවිසෙන්න.