Image by: Suhada Koka/ www.elakiri.com
විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ සිදුවුන නිසාදෝ ඔහුගේ මරණය ද මේ බුකියද ඇතුලු ශ්‍රී ලංකාවේ කතාකරමින් තිබූ බැරෑරුම් ප්‍රශ්ණ රැසක් අතරමග නතර කර දමා ඇත. එහෙත් ඔහුගේ කතාව තුළ මනරංජිත ප්‍රේමයට සිදුවූ පොදු කතාවක් සැඟව ඇත.
කිසිවෙකුට පේන කියන්නට බැරි ලෙස විශේෂයෙන් 77 පසු සීග්‍රයෙන් වෙනස් වුන ශ්‍රී ලංකා සමාජය තුළ වෙනත් වැඩක් නොකර ‘හොඳ නළුකම‘ පූර්ණකාලීනව තෝරාගෙන ‘සම්භාවනීයත්වය‘ පවත්වා ගන්න උත්සහ කළ අපේ බොහෝ නළුවන්ට 90 දශකය වනවිට ඒ අදහස ඇත්හැරදමා ‘ඕනෑ මගුලක‘ රඟපෑමට අමුඩය ගසා ගැනීමට සිදුවිය. ‘ගොන්පාට්‘ ලෙස සමහරු නම් කළ ඔවුන්ට කිරීමට සිදුවූ මේ ‘උසස්‘ නොවුන කලාව මොකක්ද? ඒ වූ කලි කිසිඳු පිළිගත් හෝ ‘උසස් කලා න්‍යායන්ට‘ පිටින් මොනවා හරි කර මිනිසුන් හිනස්සවීමයි.
මොනවාහරි කර එසේ මිනිසුන් හිනස්සවීම වරදක් හෝ පහත් දෙයක් නොවේ. හුදු සිනාව අපට අවශ්‍ය දෙයක් වන අතර එබැවින් එය නිර්මාණය කරන්නන් ද අවශ්‍ය වන අතර එම කලාවේ අරමුණ හුදු සිනහව බිහි කිරීම නම් ඒ තුළ වෙනත් කලාවක න්‍යායන් සෙවීම සාධාරණ නැත. එහෙත් හුදු හිනාවද නිර්මාණය කිරීම පහසු නැත. ඒ නිසාදෝ ඔවුන් හිනස්සවන්න ගිය බොහෝ දේවල් වලින් හිනා ගියේ බොහෝ විට අඩුවෙන්ම වේදිකා නාට්‍ය නරඹන වේදිකාව උඩ ‘හුක්‘ කීවත් මහා දෙයක් බවට පත්ව කොක්හඬලන ප්‍රේක්ෂක කොටස් වලටයි. නමුත් එම උවමනාව ද පහත් අවශ්‍යතාවයක් සැපිරීමක් ලෙස අපට කිව නොහැක.
විජය නන්දසිරි වූ කලි වේදිකාවේ සරච්චන්ද්‍ර වැනි සම්භාවනීය අය ලෙස පිලිගත් අයගේ අසුරේ පවා ඉඳ පැමිණ සම්භාවනීයත්වයට කුද ගහගන්න යැයි කියා ජෝක් කරන්න ගිය අර පළමු නඩයට අයිති එකෙක් විය යුතුයි. හැබැයි වේදිකාවේ මේ ප්‍රවණතාවයට පාර කැපුවේ නිහාල් සිල්වායි. නිහාල් උසස් උන් ඇසුරු කල හොඳ නළුවෙකු ලෙස සාජන්ට් නල්ලතම්බි නම් එදා ‘සම්භාවනීය කලාවේ’ අනෙකා නිර්මාණය කරමින් විජය නන්දසිරිලාට පාර කපා දෙන ලදි.
කලාවට ඇත්තේ උසස් පහත් රස නොව වෙනස් වෙනස් රසනම් විජය නන්දසිරිලා අවසාන කාලයේ කළේ වෙනස් රසයක් වෙනස් පිරිසකට අරගෙන යාමක් පමණි. එය පහත් හෝ වරදක් නොවේ. ඔවුන් රඟ පෑ සමහර කලා කෘතිද සෞන්දර්යාත්මක දෝෂ ගහණ වුවද එයද වරදක් හෝ පහත් දෙයක් නොවේ. හැබැයි ඉන් කියන්නේ නෑ සුහද කොකා, මනමේ, මරා-සාද් තුලින් ජනිත කරන්නාවූ අර්ථ, රස හා බලපෑම එක සමානයි කියලා. ඒක වෙනම කතාවක්. කෙසේ හෝ දැණුවත්ව හෝ නොදැණුවත්ව මෙවැනි නළුවන් අතින් සිදුවූ වැදගත් දෙයක් නම් මනමේ කල එකාට සුහද කොකාද විය හැකි බව අපට පෙන්වමින් සම්මත උසස් පහත් බේදයට අභියෝග කිරීමයි. එම උසස් පහත් බේදය දෙස අපට බැරෑරුම්ව බැලීමට සිදුවන්නේ එය හුදෙක් න්‍යායික තළයේ පවතින දෙයක් නොව මිනිසුන් හා ඔවුන්ගේ සේවාවන් උසස් පහත් ලෙස දැකීමේ පංති හා කුල දෘෂ්ඨිය ඒ තුළ සැඟව ඇති නිසාය. අවාසනාවට යටි හිතින් තමාට සිදුවූ දේ ගැන කණගාටුවෙමින් විජය නන්දසිරිලාත් වරක උසස් කලාව කළ තමන් දැන් පහත් කලාවක් කරනවා යන අදහසේ සිටි අතර ඒ ගැන අපට කලහැකි දෙයක් නැත.
අර මුලින් කී ලෙස මේ සමාජය චාරයක් නැති වාණිජකරණයකට ලක්වෙත්ම කලාකරුවෙක්, විද්වතෙක් ලෙසට හෝ වාමාංශිකයෙක් ලෙසට තත්වය හා සම්භාවනීයත්වය පවත්වාගන්නේ කෙසේදැයි අභිනව උභතෝකෝටිකයකට සම්භාවනීය ලෙස ඉන්නට හැදූ පිරිසක් මැදිවුණි. ඇත්තටම ඊට තාර්කික පිළිතුරක් ඔවුන්ට හොයා ගැනීමට නොහැකි විය. ඔවුන් කළේ හැකි තරම් පුද්ගලික ජීවිතය එළියට එන්න නොදී වසා දමමින් තමන් විනෝදවෙන තැන් සඟවමින් සමහරුන්ව රහසින් ඇසුරු කරමින්, කැනක සැඟවෙමින්, තැනක පලා යමින්, සම්මාන වලට බණිමින් සම්මාන ගනිමින් විකිණෙන් නැති බව පෙනවමින් විකුණන්න හදමින් මොකක්දෝ හැංගිමුත්තන් හොරා පොලිස් වැනි දෙබිඩි තෙබිඩි විකාර රංගනයක් ගෙනයාමයි. යථාර්තයනම්, වෙමින් පවතින සමාජ විපර්යාසය (හෝ මේකට කැමති නමක් ඔබ දමාගන්න) විසින් මේ නරුම ක්‍රමය තුල සියළුම දෙනාට නොමැරී ඉන්නට සලසා තිබුණේ එකම විණිණීමේ හෝ අවස්ථාවාදී වීමේ උපක්‍රම පමණි. කිසිවකුට චරිත තෝරාගෙන රඟපාන්නට හැකියාව තිබුණේනම් බොහෝවිට ඒ වෙනත් රැකියාවක් ඇති කෙනෙකුට පමණි. එහෙත් ඒ අයගේද ඒ වෙනත් රැකියා තුළ පැවත්ම උදෙසා හැමවිටම සම්භාවනීය දේවල් පමණක් සිදුවෙනවායි අපට සිතිය නොහැකිය.
කවරම තලයකින් වේවා සම්භාවනීය නමින් උසස් මිනිසුන් කොටසක් සිටිය නොහැකියි. කලා කරුවෙකු හෝ කිසියම් පුද්ගලයකු එසේ සිටින බව ඔබට පෙනෙනවානම් ඉන් කියන්නේ ඔහු/ඇය එවැනි පිළිගැනීමක් අැති වැඩ වලින් ප්‍රසිද්ධියේ ඉන්නට උත්සහ කරන අතර ඔහු හෝ ඇගේ අනිත් පැත්ත ඔබට නොපෙනෙන බවයි. ඔය විජය නන්දසිරිලා කරන, සමහරු පහත් යැයි කියන අකට විකට අනිත් හොඳ නළුවන් කියන නළුවන් ෂූටින් වලදී හා රිහර්සල්වල විවේකයේදී එකිනෙකාව හිනස්සවා ගැනීමට තිරයෙන් පිටිපස කරන දේවල්මයි. සමහරවිට සිංහභාහු හෝ මනමේම කරන නළුවෙකු ඒ චරිතය රඟන ගමන්ම චරිතයේ වස්ත්‍ර පිටින්ම ඉන්ටවල් එකේදී සිගරට් එකක් බිබී කරන කොලොප්පන්ය. නළුවන් පමණක් නොව සියලුම මිනිසුන්ගේ අප්‍රකට පැත්ත ගැනද කීමට ඇත්තේ එයයි. විජය නන්දසරිලා කලේ ඒ දෙබිඩි ජීවිතය අත්හැර දමමින් තිරයෙන් පිටුපස කරන විකාරද ඒවා ප්‍රසිද්ධියේ රසවිඳිමට කැමති ප්‍රේක්ෂකයින් ඇත්නම් ඔවුන් උදෙසා කරලියට ගෙන ඒ මයි.
ජීවිතය යනු අකට විකට නාටකයකි. සමහරවිට ජීවිතයේ උපතට පසු සිදුවන වැදගත්ම දේ මරණය පමණයි. උපත සහ විපත අතර වඩා පුලුල් කැන්වසයක් තුලට ජීවිතය තබා බලන විට, කුඩා අවකාශයන් තුල අප බැරෑරුම් ලෙස ගෙන කරනා කසාද, රැකියා, මානව සම්බන්ධතා වලට අත්තේ සම්භාවනීය අර්ථයකට වඩා විකාර අර්තයක් බව පසක් වනු ඇත. ජීවිතයේ හිස්බව හා කෘෘරත්වය ඇත්තේ එහි විකාර විකට බව සමඟයි. ගෝඩෝ එනකං යනු එය කැටිකර පෙන්වූ නාටකයකි. ඒ හිස්බව හා කෘරත්වය මිනිසුන් වසාගන්න හදන්නේ ‘සම්භාවනීය’ හෝ ‘උසස්’ නම් පුහු චාරයන් වලින්ය. විජය නන්දසිරිලා කල අකට විකට කොමඩි තුලින් ජීවිතයේ සිට කලාව දක්වා කොලොප්පමට ලක්වූයේ ඒ පුහු චාරයන්ය. ජීවිතයේ අප කාගේත් ඇති නොමේරු මෝඩ පැත්ත මුදවා හරින්නට රඟමඩල හා සබෑව නමින් තැන් දෙකක් අවශ්‍ය නැත. ඇත්තට ලැජ්ජා විය යුතු නැත, සඟවන්නට දෙයක්ද නැත. සමහරවිට විජය නන්දසිරි යනු මේ දෙක එක විට මුදවාහල මිනිසකු පමණි.
ඔහුගේ කතාවේ වඩා වැදගත් වන්නේ හරි හෝ වැරදි, උස් හෝ පහත් තැන් මොනවාද යන්න නොව සිදුවූයේ කුමක්ද යන්නයි. අවසානයේ විජය නන්දසිරි යනු සම්භාවනීය නළුවාගේම සැඟවුන අවිඥ්ඥානයයි, අප සියලුම දෙනාගේ මතුපිට හා අතුළත එකවිට පෙනෙන මොහොතයි. මුතුපිටින් ‘සම්භාවනීය’ බව පෙන්වන අතුලතින් පෙන්වනතරම් නොවැඩුන ලාමක මිනිසා අද දවසේ මිනිසායි. වෙනත් විදියකට කියන්නේනම් අපි ඔක්කොම මනමේ හා සුහද කොකාගේ මිශ්‍රණයකි. පුලුවන්නම් එය ප්‍රසිද්ධියේ පිළිගන්න.[][]
ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne