Image credit: gattyimage
අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා වන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රාජපක්ෂවාදී මංත්‍රීවරුන් කලු පටි බැද විරෝධතාවයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මද වේලාවකට පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වුනු අතර මේ වන විටත් එම විවාදය පැවැත්වෙමින් තිබේ.
එපමණක් ද නොවේ, අද උදෑසන වන විට මෙම පණත් කෙටුම්පතට විරුද්ධව කොළඹ නගරයේ විරෝධතා පෝස්ටර් අලවා තිබෙනු ද දක්නට ලැබිණි.
කෙසේ නමුත්, පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය පවසා සිටින්නේ ‘‘කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස කරුණු දක්වමින් විවාදයට සහභාගිවීමට අවස්ථාව උදාකළ යුතු බවත්, මෙහි අහිතකර කරුණු අන්තර්ගතව පවතින බැවින් ඒවා පිළිබඳව දීර්ඝව සාකච්ඡාවක් සිදුවිය යුතුව ඇති බවත් ය.‘‘ බැලූ බැල්මට මෙම ප්‍රකාශය අසාධාරණ නැති වන්නට පුලුවන.
නමුත් සැලකිය යුතු වන්නේ අද දවස දක්වා මේ සම්බන්ධයෙන් වූ කතිකාවේදී ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිටත ඒ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරයි.
එහි කෑපී පෙනෙනම ප්‍රතිචාරය වූවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී හෙවත් 88/89 වකවානුවේ අතුරුදහන්වූවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ජීනීවා දක්වා ගිය මහින්ද රාජපක්ෂ ගේ ප්රතිචාරයයි.
මහින්ද රාජපක්ෂගේ එම ප්‍රකාශය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම පවසා සිටයේ ‘මහින්ද රාජපක්ෂ කරන ලද ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එරෙහිව එල්ල කරන ලද නග්න ප්රහාරයකි’ බවයි.
ආසියානු මානව හිමිකම් කොමිසම එම වාර්තාවෙන් වැඩිදුරටත් පවසා සිටියේ,
‘‘කෙසේ වෙතත්, වඩාත් නිහීන දෙවැනි ආකාරය වන්නේ, එවැනි අපරාධ කිරීමට රාජ්‍ය නායකයා විසින්ම අනුමැතිය දී තිබීමයි. එවැනි අවස්ථාවකදී, ජාත්‍යන්තර නීතිය යටතේ ඉතා බරපතල අපරාධයක් සේ සැළකෙන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීමේ විභවයත් තිබේ. රාජපක්ෂගේ හිතේ වැඩ කරන්නේ එවැනි තත්වයක් නම්, එවැනි අපරාධයකට සන්නද්ධ හමුදාවන් පටලවන්නේ නැතිව තමාම ඉදිරිපත් විය යුතුව තිබේ. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ අපේ අවධානය යොමු කෙරෙන කාරණය වන්නේ, කවුරු කළත්, කිසි අපරාධයක් විභාග කළ යුතු නැතැයි කීමට කිසි ඉඩක් රටේ කිසිවෙකුට නොතිබිය යුතු බවයි. රටක් වශයෙන් එම ස්ථාවරයට අප නොපැමිණෙන්නේ නම්, සංවිධිත සමාජයක් වශයෙන් නොනැසී පැවතීමට අපට නොහැකි වන්නේය.
සංවිධිත සමාජයක ආරක්ෂාව සඳහා තිබෙන ප්‍රධාන මුලෝපාය වන්නේ, අපරාධවලට එරෙහිව නඩු පැවරීමයි. යහපාලනය සහතික කරවමින් නීතියේ ආධිපත්‍යය නැමැති පදනම යටතේ සමාජයක් ප්‍රතිව්‍යුහගත කිරීමට නම්, එකී මූලික ආස්ථානයට සමාජයක් වශයෙන් යළි ළගා විය යුතුව තිබේ. රාජපක්ෂ විසින් කරන ලද එම ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයටත්, යහපාලනයටත් එල්ල කරන ලද මරු පහරක් වන නිසා එය තරයේ හෙළාදැකිය යුතුව තිබේ.‘‘(එම සම්පූර්ණ ප්‍රකාශය – here
එසේම මේ අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලය පිළිබද සාකච්ඡාව පැමිණි දින සිට භූමිතෙල් ගෑවුනු ගැරඩින් මෙන් දගලන්නේ රාජපක්ෂලා සහ ඔවුන්ගෙන් යැපුනු පිරිසය.
ඔවුන්ගේ සියලු ක්රියාකාරීත්වයන් දෙස විමසිල්ලෙන් බලා සිටියහොත් හෑගී යන්නේ අපරාධ කරුවන් සෙවීමට ඔවුන් කැමති නැති බවය. අපරාධ කරුවන් හෙළි වෙනවාට ඔවුන් ගේ බිය රාජපක්ෂගේ ප්‍රකාශය තුළත්, අද පාර්ලිමේන්තුව සිදුකර විකාරරෑපී විරෝධය තුළත් ගැබී වී තිබේ.
එබැවින් දැන් කාරණය පැහැදිලි වෙමින් තිබේ. පසුගිය කාලය පුරාම උතුරේ සහ දකුණේ සිද කරන ලද අතුරුදහන් වීම් වලට එක්කෝ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සහචරයින් සෘජුවම සම්බන්ධය. නැතහොත් ඔවුන් දැනගෙන, ඔවුන්ගේ මග පෙන්වීම යටතේ ඒ සියලු අපරාධයන් සිදු වී ඇති බවය.
ඒ නිසා ඔවුන් මෙම පනතට බිය වී ඇත.
එබැවින් පනත ගෙන එන්නටත්, කාර්යාලය පිහිටුවා ක්‍රියාත්මක වන්නටත් පෙර, අපරාධ කරුවන්ගේ ඡායාවන් දැක බලා ගැනීමට අවශ්‍ය නම් අද පාර්ලිමේන්තුව තුළ සිදුවන විරෝධතාවයේ ‘එකාබද්ධ විපක්ෂය‘ දෙස බලන්න..
හොරාට පෙර කෙහෙල් කැන වැට පනිමින් තිබේ.
මේ ජවනිකා නරඹන කල කියන්නට ඇත්තේ ‘උස්සපු උන් බයයි‘
පසු සටහන– අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පිහිටුවීමට යන කාර්යාලයත්, ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාකාරීත්වය පිළිබදවත් මේ වන විට ප්‍රකාශිත තොරතුරු අනුව වින්දිතයාගේ පැත්තේ සිට ඒ පිළිබදව විමසීමේදී යම් අඩුපාඩු, නොගැලපීම් සහ යුක්තිය පිළිබද වන කරුණේදී අවුල් සහගත තත්ත්වයන් දක්නට ලැබේ. නමුත් එ් තත්ත්වයත් රාජපක්ෂලා මෙයට දක්වන විරෝධයත් දෙකක් බව ද තේරුම් ගත යුතුය.
හොරා, හොරාගේ පැත්තේ සිට කරනු ලබන ප්‍රකාශත්, අහිමි වූවන් ‘යුක්තිය‘ පැත්තේ සිට කරන ප්‍රකාශයත් ඉතාමත් පරිස්සමින් ලංකීය ජනයා තේරුම් ගත යුතුය.
UPDATE: 02.55PM | කෙසේ නමුත් මේ සටහන අවසන් කර මොහොත වන විට අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පිහිටුවීමට යන කාර්යාලය සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.