end of the War, Featured Articles, Features

උතුරු වසන්තය දකින්නට ගියෙමි.


දීර්ඝ කාලයක් උතුරේ විශාල භූමි ප්‍රදේශයක් අල්ලාගෙන සිටි එල්ටීටීය මුළුමනින්ම පරාජය කොට එම ප්‍රදේශවල ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි අහිංසක දෙමළ ජනතාව මානුෂික මෙහෙයුමක් මගින් මුදවා ගත් බව ප්‍රකාශයට පත්වී මාස දොළහක් ගතවී ඇත. යුද්ධයේ ජයග්‍රහණය සමරමින් ජනාධිපති තුමා කියා සිටියේ මින් ඉදිරියට සුළුජාතියක් නැති බවයි. ‛එකම රටක් එකම ජාතියක්’ එතුමාගේ සටන් පාඨය විය. මානුෂික මෙහෙයුම මගින් මුදවා ගත් අපේම සහෝදර ජනතාවට මානුෂිකව සැලකීම අපේ යුතු කම බව අවධාරණය කෙරිණ.

යුද්ධයෙන් විනාශයට පත් උතුරේ ජන ජීවිතය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ‛උතුරට වසන්තය’ නමින් මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් වී ඇති බව අසා අපි සතුටු වීමු. යුද අනාථයන් බවට පත්වූ දෙමළ ජනයාට ආත්ම ගෞරවයෙන් යුතුව, යහපත් අනාගතයක් කෙරෙහි බලාපොරොත්තු ඇතිව ජීවත්වීමට අවශ්‍ය භෞතික සහ ආධ්‍යාත්මික පරිසරය ගොඩනගා දීමට ආණ්ඩුව සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා විදේශාධාර විශාල වශයෙන් ලැබුණු බවත් අපි රූපවාහිනීවලින් ඇසුවෙමු, දුටුවෙමු.

යුද්ධය නිසා උන්හිටි තැන් අහිමි වූ ලක්ෂ ගණනක් වූ දෙමළ ජනයා ඔවුන් ජීවත්වූ ගම්බිම්වල නැවත පදිංචි කිරීම සාර්ථකව සිදුවන බව ද ඇසුවෙමු. එම කටයුත්ත අවසන් කරන්නට ආණ්ඩුව මුලදී ලෝකයට ප්‍රකාශ කළ කාලය මාස හයකි. දැන් මාස දොළහක් ගතවී ඇති බැවින් යළි පදිංචි කිරීම සාර්ථකව අවසන් වෙමින් තිබෙනු ඇතැයි අපි සිතුවෙමු. මෙවන් තත්වයක් තුළ A9 පාර දිගේ යාපනයට ගොස් ඒ දර්ශන දෑසින් දැක බලා ගැනීමේ දොළක් මා තුළ ද ඉපදිණ. සාම ගිවිසුම කාලයේ මේ මාර්ගයේ යාපනයට ගොස් දින දෙකතුනක් එහි ගතකොට පැමිණි මට ඒ ගමනේදී දුටු සෝචනීය දසුන් තාමත් මතකය.

එදා මා දුටු බෝම්බ ප්‍රහාරයන්ගෙන් නටබුන් බවට පත්වූ පාසල්, නිවාස, හිස්සුන් තල්ගස්, රජයේ හමුදා පිරිස් සේම කොටි සෙබල සෙබලියන් වෙනුවට මෙවර මා දකින්නට බලාපොරොත්තු වූ දර්ශන මෙබඳු විය:

මාස කිහිපයකින් දකුණේ ගුවන් පාළම් ඉදිකරන ආණ්ඩුව උතුරට යන පාරවල් ද ඒ වේගයෙන් ම පිළිසකර කර ඇති බැවින් ගමන ඉක්මන්ය. සුවපහසුය. වහල දොර-ජනෙල් නැතිව බිත්ති දෙදරා ගොස් තිබුණු නිවාස වෙනුවට විදේශාධාර සහිත ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සෑම තැනකම නව නිවාස ගොඩ නැගෙයි. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ යළි ගොඩනැගීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල නිලධාරීහු එසේ ඉදිවන නිවාස සහ වෙනත් ගොඩනැගිලිවල ප්‍රමිතිය පිරික්සමින් ද යළි පදිංචි කෙරෙන ජනයාගේ අවශ්‍යතා සොයා බලමින් ද කඩියන් මෙන් යුහුසුළුව එම කටයුතු මෙහෙයවති. අධීක්ෂණය කෙරෙති.

පවුලේ දෙතුන් දෙනා අහිමිව ඇතත් අලුත් නිවාසවල පදිංචියට පැමිණ සිටින අහිංසක දෙමළ වැසියන්ගේ මුහුණුවල සැනසුම් සහගත සිනාය. ආණ්ඩුවෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබුණු ගෘහභාණ්ඩ ඇතුළු බඩු බාහිරාදිය පටවාගෙන හමුදා ට්‍රක් රථවලින්, ට්‍රුක්ටර්වලින් යළි පදිංචියට එමින් සිටින ගැහැනුන් මිනිසුන්ගේ මුහුණුවල ඇත්තේ තම බිම්වල නිදහස්ව, නිවහල්ව වසන්නට ලැබීමේ සතුටය. පාසල් දරුවෝ අලුතින් ඉදිවුණු තම පාසල් දැක ප්‍රිතියෙන් පිනා ගොසිනි. ඒ දෙමළ ජනයා අප දැක දෑත් ඔසවා ආචාර කරන්නේ ‛ඔරේ නාඩු-ඔරේ ඉනම්’ යයි කියමිනි. ඉඳහිට එහා මෙහා යන හමුදා ට්‍රක් රථයක සිටින සෙබලුන් ද හෙළන්නේ තමන්ගේ උදව්වක් උපකාරයක් පතන දෙමළ මිනිහෙක් ගැහැනියක් ළමයෙක් වෙත්දැයි විමසන කාරුණික විමසුම් බැලුම්ය. යාපනයේ සාම්ප්‍රදායික ජන ජීවිතය යළි ප්‍රකෘතිමත්ය. එහි වගා බිම්වල නිදහසේ සුළඟ විඳිමින් වැවෙන ලූණු, මිරිස්, තල, මෙනේරි එළවළුවලින් ද, තහංචිවලින් මිදුණු අවට මුහුදෙන් අල්ලා ගත් අලුත්ම මාළුවලින් ද මාරකැට්ටුව පිරිලාය.

වවුනියාව පසුකර කිලෝමීටර හතර පහක් යන විට මම මගේ ඒ බොළඳ සිහිනයෙන් අවදිකරවනු ලැබීමි. A9 පාර දෙපැත්තෙන් කැඩී හෝදා පාලු වී ගොස්ය. පැයකට කිලෝමීටර 15කට වැඩි වේගයකින් වාහනයක් ධාවනය කළ නොහැකි තරමට පාර මැද එක දිගට ම වලවල්ය. මාර්ගය ගැටිති සහිත බව කියන දැන්වීම් එක දිගට සිටුවා ඇති අතර ඒ අනුව අලිමංකඩින් පසු ඒ වේගය පැයට කිලෝමීටර පහහයක් බවට යාපනයට කෝච්චියෙන් යාමේ සිහිනය තව අවුරුදු විස්සක් වත් කල්දමා ගත යුතු බව පෙනේ. දුම්රිය මාර්ගය පිළිසකර වී ඇත්තේ වවුනියාවේ සිට කිලෝමීටර පහ හයක් පමණි.

පසුගිය දිනවල වැසි ලැබීම නිසාදෝ මග දෙපස නිල්ලකි. ඒ නිල්ල මත කිලෝමීටරයට හතඅට බැගින් එකම හැඩයකට වර්ණ ගල්වා ඉදිකෙරුණු අලුත් හමුදා බංකරවල රටඋළු වහල ඈතට නම් පියකරු දර්ශනයකි. හමුදා භටයන් ඒ බංකර අසළම නවාතැන් ඉදිකරගෙන පදිංචිව සිටිනු පෙනේ. සමහරු එළවළු බෝග ද වගා කරති. යුද හමුදා සුභසාධක සංගම් මගින් පවත්වාගෙන යන ‛ජන අවන් හල්’ හැම තැනකම හමුවන බැවින් වන්දනා නඩවලට ආහාරපාන ගැන කරදර වන්නට වුවමනා නැත. ඒ ජන අවන්හලකින් ගවමස් සමඟ ආහාර වේලක් වුවද ලබාගත හැකිවීම සිංහල බෞද්ධ වන්දනාකරුවන්ගේ භාග්‍යයකි. ජන අවන්හලකින් එසේ සප්පායම් වී ‛බුදුසසුන බැබලේවා’ යනුවෙන් වැකි ලියා පාර හරහා ඉඳිකළ තොරණ ද දැකබලා ගනිමින් සාදුකාර දෙමින් නාගදීපය වඳින්නට යන බෞද්ධයාට හින්දු භක්තික දෙමළාගේ සංස්කෘතියට ගරුකළ යුතු යයි කියා දෙන්නට කිසිවකු නොමැති වීම ලොකු අඩුවක් නොවේ.

සිමෙන්ති කොට්ට තුනක්, ඇතැම් තැනක හතරක් පහක් සමඟ මද සුළඟට ද ගසාගෙන යන ටකරන් තහඩු පහහයක් ලබාගෙන තමන් කලින් සිටි බිම්වල පදිංචියට යන පවුල් යැපෙන්නේ කොහොමදැයි සොයා බලන්නෙකු ඇති බවක් නොපෙනේ. එසේ ‛යළි පදිංචිකරවූවන්’ ගේ පවුල්වල පිරිමියෙකු ඇත්තේ එහෙමත් තැනකය. සිමෙන්ති කොට්ට තුනහතරකින් සහ ටකරන් තහඩු හයකින් දරුපවුලකට ඉන්නට ගෙයක් හදා ගන්නේ හෝ බිදවැටුණු ගෙයක් පිළිසකර කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය සේම පිරිමි නැති පවුල් ගෙවල් හදා ගන්නේ කොහොමද යන ප්‍රශ්නය ද ඒ බිමට නොවැදගත්ය. කෙසේ හෝ අටවා ගත් පැල්පතට පිටුපසින් අඩි විසිපහකට එහායින් බිම් බෝම්බ ඇති බවට දැන්වීමකි. එක එක වයසේ ගැහැණු හතර දෙනෙක් සහ කුඩා දරු දෙදෙනෙකුගෙන් සමන්විත එක් පවුලක් තමා සන්තක එකම වස්තුව වන ඇඳුම් කෑලි ටික දමාගෙන සිටින්නේ හමුදාවට පතරොම් ගෙනා හිස් පෙට්ටියකය. මෙසේ යළි පදිංචිකරවූවන් අතර පිරිමියෙකු වෙතෙත් එදා වේල පිරිමසා ගන්නට ඔහුට ඇති රැකියාව වන්නේ වනාන්තරයට රිංගා දර කපා යාපනයට දර අදින ලොරිවලට විකිණීමය. පාර දෙපස තැනක දෙතැනක පතේල හෝ වැටකෙලු මැස්සක්, බටු හෝ මිරිස් පාත්තියක් දැක ගන්නට හැකි වුවද ඒවායින් බොහොමයක් හමුදා භටයන්ගේ වගාවන් බව පෙනේ. වව්නියාවේ සිට යාපනය දක්වාම එක දිගටම ‛ඩයලොග්’ ‛එයාටෙල්’ සමාගම්වල දැවැන්ත දැන්වීම් සිටුවා ඇත්තේ අලුතින් ඉදිකර ඇති හමුදා බංකර ගණන පරද්දන්නට මෙනි.

වහළ සහ දෙර ජනෙල් උළුවහු නැති බිත්ති දෙදරා ගිය පාසල් තවමත් එහෙම මය. තැනක දෙතැනක ඒ නටඹුන් මැද ඇටවූ කුඩා පොල් අතු මඩුවක දරුවෝ අකුරු කරති.

වස විස නැති එළවළු පළතුරු තිබුණු යාපනය දැන් එහි නැත. යාපනය මාරකැට්ටුවේ විකිණෙන්නේ දඹුල්ලෙන් යන අඹ සහ එළවළුය. ආනයනය කළ ඇපල් මිදිය. යාපන ගොවියා ලූණු අස්වැන්න නෙළන විට ඉන්දියාවෙන් ගෙන්වූ ලූණුවලින් කඩලෑලි පිරෙන බව යාපනයේ වෙසෙන්නෝ කියති. පැරණි ක්‍රමවලටම අල්ලන මාලු ටිකත් දකුණට පැටවෙන නිසා යාපන වැසියන්ට අලුත් මාලු කෑල්ලක් කන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ප්‍රවාහන සේවා සහ සියලුම බරපතල වෙළෙඳ ව්‍යාපාර ආණුඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ගේ නෑ හිතවතුන් විසින් අල්ලා ගනු ලැබ ඇති බව අසන්නට ලැබිණ. ඒ අයට නම් වසන්තය උදාවී ඇත.

ජයතිලක කම්මැල්ලවීර