Image Credit: Shehan Gunasekara/FB
ජන සටන පාද යාත්‍රාවට පක්ෂව සහ විපක්ෂව කියූ දේවල් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විසින් නුවර සිට කොළඹ දක්වා කරන්ට යෙදුනු පා ගමන ගැන කළ කී පම්පෝරි ඉතා සිත් ගන්නා සුළු ය. එම අදහස්වලට අනුව බලන විට, ඇතැම් අය කියන පරිදි මෙය දෙපැත්තම ජයග්‍රහණය කළ සිද්ධියක්දෝ යන සැකය මතු වෙයි. හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම එහි අන්තයටම ගොස්, පේරාදෙණියේ සිට කොළඹට පැමිණි මේ පාද යාත්‍රාව එතෙක් මෙතෙක් පැවැති විශාලතම ජන ගංගාව බවත්, එතරම් බලවත් ජන වේගයක් ලෝකයේ කොතැනකවත් ඇති වී නැති බවත් කියා සිටියේය. එසේ කියමින් ඔහු, මේ සිද්ධිය සමාන කෙළේ චීනයේ ‘දීර්ඝ පා ගමනටයි’. 1934 ඔක්තෝබර් මාසයේ සිට 1935 ඔක්තෝබර් මාසය දක්වා පැවති ඒ චීන දීර්ඝ පා ගමනට නායකත්වය දුන්නේ චීනයේ ශ්‍රේෂ්ඨ නායක මා ඕ සේතුං ය. එය චීන විප්ලවය තුළ ප්‍රධාන සන්ධිස්ථානයක් විය. ඩලස් අලහප්පෙරුම කියා සිටියේ පේරාදෙණිය-කොළඹ පාද යාත්‍රාව මා ඕ සේතුං ගේ ඒ ‘දීර්ඝ පා ගමනත්’ පරාජය කළ බවයි.
චීනයේ ‘දීර්ඝ පා ගමන’ ගැන ඩලස්ට වැඩි අවබෝධයක් ඇති බවක් නොපෙනේ. මහින්දවාදීන් හඳුන්වන ‘ඒකාබද්ධ විපක්ෂය’ සංවිධානය කළ පා ගමනේ මුළු දුර සැතපුම් 70 කි. පේරාදෙණියේ සිට කොළඹ දක්වා පැමිණි ඒ ‘දීර්ඝ පා ගමනේදී’ බොහෝ නායකයන් ගමන් කෙළේ මාරුවෙන් මාරුවටයි. වැඩි කරන ලද වැට් බද්ද, තමන්ගේ නායකයන්ට, විශේෂයෙන් මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව දියත් කොට ඇතැයි ඔවුන් කියන දඩයම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම වැනි කරුණු මේ විරෝධතාවේදී හඬ නැගුණි.
‘චීන දීර්ඝ පා ගමන’ වූ කලී, චියැංකායි ෂෙක් විසින් වට කරනු ලැබීමෙන් වළකිනු වස් උපක්රමිකව පසුබැසීම සඳහා කොමියුනිස්ට්වාදීන් යොදා ගත් ගමනකි. චීනයේ ෂියැංෂී පළාතේ සිට සැතපුම් 6000 ක ඈතින් පිහිටි චීනයේ ෂාන්ක්සි පෙදෙසට ඔවුන් ගමන් කෙළේ රුදුරු වන දුර්ග හරහා ය. මේ කොමියුනිස්ට් රතු හමුදාව එම ගමනේදී ගංගා 24 ක් තරණය කළහ. අන්ත නිරාහාරව, දීර්ඝ කඳු යායවල් 18 ක් පසු කළහ. ඒ සියල්ල මධ්‍යයේ, අහසින් වැටෙන බෝම්බ ප්රහාරයන්ගෙන් වැළකීමටත්, දෛනික මට්ටමකින් සිදු වූ මග රැක සිට කරන පහරදීම්වලට මුහුණදීමටත් ඔවුන්ට සිදු විය. මේ දුෂ්කර ගමන මොන තරම් විනාශකාරී විණිද යත්, 86,000 ක සේනාවකින් පටන් ගත් දීර්ඝ පා ගමන අවසානයේ ජීවිත ගැටගසාගෙන සිටියේ 10,000 ක් තරම් වන ඉතා සුළු සටන්කාමීන් පිරිසකි. කෙසේ වෙතත් අන්තිමේදී ඔවුන් ෂාන්ක්සි පෙදෙසට ළඟා වූ විට, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම ගැන ගැන මහත් සේ පැහැදුණු දසදහස් ගණන් තරුණයෝ රටේ විවිධ පළාත්වලින් පැමිණ මා ඕ සේතුංගේ රතු හමුදාව සමග ස්වේච්ඡාවෙන් එක් වූහ.
පාද යාත්‍රාව ගැන ආණ්ඩුව ඇවිස්සුණු ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ ගැන ආණ්ඩුව හෙල්ලූණු බව යැයි හිටපු ජනාධිපතිවරයාගේ තවත් ගමන් සගයෙකු වන ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ කියා සිටියේය. පුවත්පත් සාකච්ඡාවකදී මේ ගැන පැනයක් මතු කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක් එය අවඥාවෙන් බැහැර කෙළේය. මිනිසුන් වැඩියෙන් ඒ ගැන කතා කෙළේ තමන්ගේ නොම්මර එකේ හතුරා ගැන උපහාසයෙන් මිස ඔවුන් ගැන ඇති බයකට නොවේ යැයි ඔහු කීය. ජනතා විමුක්ති පෙරමුණේ සෑම සුළු දෙයක් සම්බන්ධයෙන්මත් විමල් වීරවංශ බුරන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ගැන ඔහු තුළ ඇති බයක් නිසාදැයි අනුර කුමාර පෙරලා ප්‍රශ්න කෙළේ නම් විමල් වීරවංශට කටඋත්තර නැති වනු ඇත.
මේ පාද යාත්‍රාවට මිලියන දෙකකට අධික ජනතාවක් සහභාගී වූ බව ඩලස් අලහප්පෙරුම සහ හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ කීහ. අවසාන දිනයේ පමණක් දස ලක්ෂයකට අධික ජනතාවක් ඊට සහභාගී වූ බව ඩලස්ගේ මතයයි. දින පහක් තිස්සේ ගමන් ගත් මේ විරෝධතාවට සහභාගී වූ පිරිස ගණන් කළ කෙනෙකු නැති නිසා ඔවුන්ගේ මේ සංඛ්‍යා ලේඛන ප්‍රශ්න කිරීමට පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, අවසාන රැලියේදී එක වර්ග අඩියක් තුළ මිනිසුන් පස් දෙනෙකුවත් සිටියේ නම් දස ලක්ෂයක් මිනිසුන්ට සිටීමට වර්ග කිලෝ මීටරයකින් පහෙන් පංගුවක්වත් අවශ්‍ය කරනු ඇත. එයද, කිසි ගොඩනැගිල්ලක් නැති හිස් බිමක නම් ය. විසි ලක්ෂයක ජනතාවක් ඊට සහභාගී විණැයි කීම යනු, ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම විසි දෙනෙකුටම එක් අයෙකු මේ අවසාන දිනයේ රැළියට සහභාගී වී ඇති බව කීමකි.
ඒකාබද්ධ විපක්ෂයේ ‘දීර්ඝ පා ගමනේ’ ප්‍රතිඵල කවරේද? කාටුන් චිත්‍ර ශිල්පියෙකු ඒ පැනයට පිළිතුරක් සැපයීමට උත්සාහයක් ගෙන තිබේ. ‘සර් ඉතිං ආණ්ඩුව පෙරලූවාද?’ යනුවෙන් පාද යාත්‍රාවේ එක් සාමාජිකයෙකු ඇසූ පැනයට හිටපු ජනාධිපතිවරයා දෙන පිළිතුර වන්නේ, ‘අපි පාද යාත්‍රාව සාර්ථකව අවසන් කළා’ යනුවෙනි. කාලයක් වැඩි සද්දක් නැතිව සිටි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කියා ඇති පරිදි, මේ පාද යාත්‍රාවෙන් පසුවත්, මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති බවත්, රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති බවත්, මහින්ද රාජපක්ෂ නිකංම කුරුණෑගල මන්ත්‍රීවරයාම වන බවත් පෙන්වා දුන්නාය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාලත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව මේ පාද යාත්‍රාවේ තරම දැක ගත හැකි වනු ඇතැයි ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.
කෙසේ වෙතත්, බොහෝ දෙනා කියන පරිදි, ඒකබද්ධ විපක්ෂයේ ‘පා ගමන’ මුළුමණින් නිරර්ථක යැයි කිව නොහැක. නීතිමය සහ ව්‍යවස්ථාමය ආකාරයෙන් කතානායකවරයා විසින්ද පිළිගනු ලැබ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වශයෙන් ආර්. සම්බන්ධන් සහ ඔහුගේ පක්ෂය සළකනු ලැබුවත්, මේ විරෝධතාව හරහා, රටේ ප්‍රධාන විපක්ෂය වන්නේ තමන් බව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස රටට පෙන්නුම් කළ අතර එම පණිවිඩය ඔවුහූ රටට පැහැදිළිව ඉදිරිපත් කළෝය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ නායකයාට හිමි නිල නිවාසය නොගෙන, වෙනත් වරප්‍රසාද ගැනත් නොතකන්නා සේම, රටේ බහුතර ජනතාවක් මුහුණදෙන ප්‍රශ්න වෙනුවෙන් විපක්ෂයකින් ඉටු කළ යුතුව ඇති කාර්ය භාරයද අමතක කරන සෙයක් පෙනේ. මහබැංකු බැදුම්කර ප්රශ්නය, ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩර් ප්රශ්නය සහ සුළු ජාතික ප්‍රජාවන් පවා පීඩාවට පත්වූ ජල ගැලීම් සහ නායයාම් වැනි ඉතා වැදගත් ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් පවා ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුව තුළදීවත් ඉන් පිටතදීවත් වැඩි හඬක් නගා නැත. එසේ වුවද, සාලාව මහ පිපිරීම ගැන නම් ඔහු බෙහෙවින් කතා කෙළේය. ඒ මන්ද යත්, උතුරේ හමුදා ඉවත් කර ගැනීම සඳහා වන ඉල්ලීම ඒ හරහා ඉදිරියට දමා ගැනීමට ඔහුට අවශ්‍ය කළ නිසා ය.
අනිත් අතට, ජනතා විමුක්ති පෙරමුණ හැරුණු කොට, සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට බලපාන ප්‍රශ්න ගැන නිතර කතා කරන්නේ, මහින්ද රාජපක්ෂට පක්ෂපාතී විපක්ෂයයි. තමන්ට එරෙහිව දුෂණ චෝදනා තිබියදි පවා, නාස්තිය සහ අවභාවිතය පිළිබඳ චෝදනා තිබියදී පවා, ඉතා ප්‍රසිද්ධියට පත් මිනිස් ඝාතන සහ සුදු වෑන් සිදුවීම් ගැන චෝදනා නැගෙද්දී පවා, ඔවුන් ස්වකීය විරෝධතාවන්හි නිමග්න වෙති. මහබැංකු බැදුම්කර ප්‍රශ්නයත් මුලින්ම කරලියට ගෙනාවේ ඔවුන් ය. මෑතකදී පනවන ලද වැට් බද්ද අධිකරණය ඉදිරියට ගොස් නතර කර ගත්තේ විමල් වීරවංශගේ කණ්ඩායමයි.
එක්සත් ජාතික පක්ෂය සමග දීග යාමෙන් මෛත්‍රිපාල සිරිසේන විසින් විපක්ෂය දුර්වල කරනු ලැබ ඇතැයි චෝදනා කරන මේ පිරිස්, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක්ව පිහිටුවා ඇති එක්සත් ආණ්ඩුවේ සදාචාරවත් භාවය සහ නෛතික භාවය ප්‍රශ්න කරති. මේ චෝදනාව, පාද යාත්‍රාව තුළදී, ජනාධිපතිවරයාට එරෙහි පහත් පෙළේ අපහාසවලට ද නිමිති කර ගත්තේය. පාලක පක්ෂය සහ විපක්ෂය අතර බෙදුම් රේඛාව වර්තමාන පෙළ ගැසීම් තුළ බොඳ වී ගොස් ඇති නිසා දීර්ඝ කාලීන වශයෙන් ඒ තත්වය තුළ රටට යම් අගතියක් වීමට ඉඩ තිබේ. එසේම විපක්ෂය දුර්වල වීමටත් ඉඩ තිබේ. ඒ තත්වය තරමක්වත් වසං කර ගත හැකි වන්නේ, මෑත අතීතයේදි මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචරයන් විසින් රට පාලනය කළ ආකාරය පිළිබඳ නීරස අත්දැකීම් මතක් කර දීමෙනි. ඇත්ත වශයෙන්ම, විපක්ෂය දුර්වල කිරීම ගැන චෝදනා කිරීමේ සදාචාරමය අයිතියක් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ඇත්තේ නැත. විපක්ෂයක් කඩා ඉහරවන්නේ කෙසේද යන්න ඉතා අගේට රටට කියා දුන්නේද මහින්ද රාජපක්ෂමයි. කෙසේ වෙතත්, එවැනි ප්‍රශ්න මතු කිරීමට මහින්ද රාජපක්ෂ පිළට ඇති සදාචාරමය අයිතිය කෙසේ වෙතත්, රටේ යහපත වෙනුවෙන් අනාගතයට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය කරන බව නම් පැහැදිළි ය.
එම්. එස්. එම්. අයුබ්
*2016 අගෝස්තු 5 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Stroll to become the Main Opposition නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි