තොරතුරු අයිතිය පිළිබද ඉතිහාසය දැක්වෙන පුවරුවක් - ෆින්ලන්තය
තොරතුරු අයිතිය පිළිබද ඉතිහාසය දැක්වෙන පුවරුවක් – ෆින්ලන්තය
ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම තිබෙන රට ෆින්ලන්තය කියලා පසුගියදා වාර්තා වීමත් සමග බීබීසියේ මා හිතවත් සරෝජ් ඒ පිළිබද වාර්තා වැඩසටහනක් කරලා තිබුණා. ඒ වැඩසටහන අහන් හිටපු මට එය තව දුරටත් කෙතරම් සත්‍යදැයි කියලා දැණුනා. Digital Age යන තේමාවෙන් යුතු මාධ්‍ය වැඩමුලුවකට මා ෆින්ලන්තයේ, හෙල්සිංකි වලට ගියේ පසුගිය මැයි මාසයේ. ෆින්ලන්තය ඔවුන් ඒ සදහා තෝරාගෙන තිබුණේ මේ වන විට මාධ්‍ය නිදහස අතිනුත් ඉදිරියෙන්ම ඉන්න රට ෆින්ලන්තය නිසා වෙන්න ඇති. එහි මාධ්‍ය සාක්ෂරතාවයත් ඉතාමත් ඉහළයි. ඒ විතරක් නෙවෙයි ඒ රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ තියන අපූර්වත්වය නිසා අධ්‍යාපනය ලැබීම, ජීවත්වීමට අධ්‍යාපනය, අධ්‍යාපනය දෙනු ලබන ක්‍රමවේද වැනි අධ්‍යාපන, පුස්තකාල පහසුකම් වැනි බොහෝ දේ හරිම අපූරුයි. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ අයිතිය අපි 2016 දී සම්මත කරනකොට, ෆින්ලන්තය එය සම්මත කරලා අවුරුදු 250ක් සමරන්න සූදානම් වෙනවා. ‘අපි මාධ්‍ය නිදහස, අධ්‍යාපනය වගේම ලෝකයේ වේගවත් අන්තර්ජාල පහසුකම් අපේ ජනතාවට දෙන්න හැම දෙයක්ම කරනවා, අපිට ඒක සතුටක්‘ එක් විශේෂ අවස්ථාවකට සහභාගී වූ හෙල්සිංකිවල ප්‍රධාන ආණ්ඩුකාරවරයා පැවසුවා.

දින කිහිපයක් විවිද සාකච්ඡාවලටත්, තැන තැන රස්තියාදු වූ මට තවත් විශේෂ දෙයක් කියා දුන්නේ ෆින්ලන්තයේ, හෙල්සිංකි හි අවහන්හලක්..

‘ඇයි මේක ඇතුලේ කවුරුත් දුම්බොන්නේ නැත්තේ‘ දිනක් අවන්හලකදී, ඒ අවන්හලේ කළමනාකරුගෙන් මා ඇසුවා. ‘මේ දවස්වල එළියේ දේශගුණය හරිම හොදයි. හොද උණුසුමක් වගේම, හොද වාතාශ්‍රයක් තියනවා. ඒ නිසා ම මේක ඇතුළෙත් වාතය හරිම පිරිසිදුයි. හරිම හිතකරයි, ඒ නිසා කවුරුත් ඒක වෙනස් කරන්නේ නෑ. හොද වතාස්‍රයක් තියන තැනක, හොද වයින් එකක් බොන්න කවුරුත් කැමතියි, දුම්බොන අයත් තවත් හොද වාතාශ්‍රයක් එක්ක අන්න අර විදිහට එළියට ගිහින් බොනවා. ඒක හොදයිනේ. මාත් එහෙමයි..!‘ එළියේ දුම්බොන පිරිස පෙන්වමින් හිනා මුසු මුවින් ඔහු, මට පැවසූවේය.

එතකොට මේක ඇතුළේ දුම්බොන්න තහණම්ද? මම ඇසුවෙමි. ‘‘හම්…හම්….නෑ කිසිම තහණමක් නෑ.. ඒක අපි හිතන හැටි, අපි පුරුදුවෙලා ඉන්නේ එහෙමයි‘‘ එහි තවත් විශේෂයක් තිබුණා. මා හේතු විමසූ විට ඔහු හේතුව පවසනවා හැර මාගේ අනන්‍යතාවයවත්, මා කවුද?, කොහෙන්ද?, මොකටද? අහන්නේ?… ආදී ලංකාවේදී අපේ සල්ලිවලින් පඩි අරං ජීවත්වන පොලීසියේ හෝ පරිපාලන කාර්යාලවල නිළධාරීන් මෙන් මගෙන් විමසුවේ නැත. දින කිහිපයක් එම අවන්හලට ගිය මම අවසාන දවසට පෙර ඔහු මගෙන් විමසුවේ ‘ඔබේ රට කුමක්ද? කියා ය. කාට හෝ තොරතුරක් දැන ගන්න ‘හේතුවක්‘ අවශ්‍ය නොවන බවට තොරතුරු අයිතියේ ඇති වැදගත්ම කොටසක් ප්‍රායෝගිකව මට මුණගැසුනේ එළෙසිනි.(විශේෂයි..ඒ ෆින්තලන්තයේ මහජන මුදල්වලින් සේවා සපයන අායතනයක නොව පෞද්ගලික ආයතනයකය)

Restaurant - Helsinki, Finland
Restaurant – Helsinki, Finland

මට හිතුනේ දියුණු අධ්‍යාපනය ක්‍රමවේදවලින් ශික්ෂණය කරපු, ශිෂ්ඨ සමාජයකට ‘තහණම්‘ කියන බෝඩ් කිසිවක් අවශ්‍ය නෑ කියලා.

ඒ වගේම මා එහි සිටි සති කිහිපය තුළ කිසිදු පොළිස් නිළධාරියෙක් හෝ ආයුධ සන්නද්ධ කිසිදු අයෙක් නොදැක සිටීමට ද මා පිංකර තිබුණි. ඒ ලංකාවෙන් කිලෝමීටර සියගණනක් එපිට ෆින්ලන්තයේ ය..!

ෆින්තලන්තය ඒ තරම් දුරගොස් ය. ෆිනී මිනිසුන් ඒතරම් දුරගොස් ය..

අපි….

sampath-fineසම්පත් සමරකෝන් | Sampath Samarakoon

##

##

පහත පළවන්නේ බීබිසීයේ සරෝජ් පතිරණ විසින් ඉදිරිපත් කළ ෆින්ලන්තයේ අධ්‍යාපනය පිළිබද සටහනයි.

ඇමෙරිකාවේ නිව් බ්‍රිට්න්හි සෙන්ට්‍රල් කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ජෝන් මිලර් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රට ෆින්ලන්තයයි.

අධ්‍යාපනය, පුස්තකාල පහසුකම් මෙන්ම රටේ පුවත්පත්වල ගුණාත්මකභාවය මේ සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන ප්‍රධාන නිර්ණායක.

අධ්‍යාපනය ක්‍රමයේ පවතින අපූරු විශේෂතා හේතුවෙන් ෆින්ලන්තය ලොව සාක්ෂරතාවය අතින් ඉදිරියටම පැමිණ සිටින බවයි, කලක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ, දැනට හෙල්සින්කි අගනුවර වෙසෙනශකිලා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ.

1990 දී සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ෆින්ලන්තයට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එය සම්පූර්ණ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක්.

බීබීසී සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න..