යුද්ධය අවසන් වී වසරක් ගතවීම මැයි මාසය සනිටුහන් කළේ ය. ශ්‍රි ලංකාව පශ්චාත් යුද්ධ අවදියකට එළඹ ඇතත් පශ්චාත් ගැටුම් අවධියකට එළඹ නැති බව ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් පෙන්නුම් කරයි. සන්නද්ධ යුද්ධය අවසන් ය. ඉදිරි වසර කිහිපය තුළ එල්ටීටීඊය යළි සංවිධානය වී නැවත සන්නද්ධ අරගලය අරඹනු ඇතැයි සිතීම දුෂ්කරය. දෙමළ ජනයා අතර යළි සන්නද්ධ අරගලයකට පදනමක් සොයා ගැනීම බොහෝ දුරටම දුෂ්කර වීමට ඉඩ තිබේ.
සන්නද්ධ අරගලය අවසන් වූ නමුත් ඊට පාදක වූ ගැටුම ඉබේම අවසන් වන්නේ නැත. ගැටුමට හේතු පාදක වූ සාධක මොනවාදැයි හඳුනා ගැනීමත් ඊට පිළියම් යෙදීමත් ඒ සඳහා අවශ්‍ය ය. ඒ අරමුණින් යුද්ධය අවසන්වීමෙන් වසරක් ගතවීම දෙස ශ්‍රී ලංකාණ්ඩුව, දෙමළ ජනයා සහ අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව එකිනෙකට වෙනස් කෝණයන්ගෙන් බැලුහ.
ශ්‍රී ලංකාණ්ඩුව එල්ටීටීඊ ය පරාජය කළ යුද්ධයේ ජය සැමරුම් අවස්ථාවක් ලෙස මැයි මාසයේ තෙවැනි සතිය යොදා ගත්තාය. දේශීය මෙන්ම විදේශගත දෙමළ ප්‍රජාව එම කාලය යොදා ගත්තේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා අනුස්මරණය කිරීමට ය. ඒ අතර පාර ජාතික දෙමළ ඊළාමයක් ගොඩ නැගීම අරමුනු කරගත් විදේශගත දෙමළ ප්‍රජාවේ පිරිස් ද මෙම අවස්ථාව සිය වැඩ සටහන දියත් කිරීමට යොදා ගත්තා ය. අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව යුද්ධයේ අවසන් අදියරෙහි දෙපාර්ශවයෙන් ම මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කෙරුණූ අපරාධ සම්බන්ධයෙන් යළි විධිමත් සහ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ අවස්ථාවක් බවට මෙම අවස්ථාව යොදා ගත්හ. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ පිරිස් මෙම අවස්ථාව නිහඩවම පසුවන්නට හැරියේ ය.
රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් 1971 දී සහ 1989 දී මෙරට සිංහල තරුණ පිරිස් විසින් නායකත්වය දෙන ලද සන්නද්ධ කැරලි දෙකක් ඇති විය. ඒ අවස්ථා දෙකෙහිදී ම වසරක් ගතවන විට අත් අඩංගුවට ගැනුනු ඝාතනය වූ, අතුරුදහන් වූ සහ මරා දැමුනු තරුණ පිරිස් අරභයා මහජන ව්‍යාපාර ඇති වී තිබුණි. 1988-90 සමයෙහි අතුරුදහන් කළ තරුණ පිරිස් අරභයා මව් පෙරමුණ ගොඩ නගා දැවැන්ත උද්ඝෝෂන සංවිධානය කිරීමට මූලිකත්වය ගත් එක් දේශපාලනඥයකු වූයේ අද ජනාධිපතිවන මහින්ද රාජපක්ෂ ය. සමූහ මිනීවලවල් හෑරීමේ මූලිකත්වය ගත්තේ එවකට බස්නාහිර මහ ඇමැතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ය. 1971 දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ද දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය ද බිහි විය. එකළ ප්‍රින්ස් ගුණසේකර සහ වාසුදේව නානායක්කාර වැනි දේශපාලනඥයෝ ද ඊට සහාය වූහ. එමෙන්ම මෙම කැරලි දෙකම අවසන් වී වසරක් ගතවන විට ජනමාධ්‍යයෙහි එකී කැරලිකාරී ව්‍යාපාර පිළිබද බොහෝ සාකච්ජා ඇතිව තිබුණි.
නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අද ප්‍රධාන ධාරවේ ජනමාධ්‍යයෙහි සිදුවුයේ කුමක් ද ඒ කුමක් නිසාද යන්න පිළිබඳ වාද විවාද නැත. ඇත්තේ එකම මතයක් පමණි. නිදසුනක් ගන්නේ නම් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන යුද්ධයට වසරක් පිරීම නිමිත්තෙන් ආණ්ඩුව විවේචනය කරමින් වාර්තා නිකුත් කර ඇති බව ජනයා දැන ගන්නේ එම වාර්තාවන්ට ආණ්ඩුව පිළිතුරු දෙන විට පමණය. මෙම භාවිතය ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව ගෙන එන ලද දෝශාභියෝගය අවස්ථාවෙහි ආණ්ඩුවේ රූපවාහිනී ය හැසුරුනු අන්දම සිහිපත් කරවයි. දෝශාභියෝග විවාදය වාර්තා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටි ආණ්ඩුවේ රූපවාහිනිය එය වාර්තා කළේ එය පරාජය වූ දවසේ ය.
අප එකඟවුවත් නැතත් ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව කවර පාර්ශවයකින් හෝ නැගෙන චෝදනා මහා ජනයා දැන ගත යුතු ද නැත්ද? ඒ පිළිබඳ දැනුවත් විවාදයක් ජනමාධ්‍යයෙහි පැවැතිය යුතු ද නැත් ද? ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණය වන්නේ එවැනි විවෘත සාකච්ජා මගින් මහජන මතය සකස්වීමට ඉඩ හැරීම ය. ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන සහ පක්ෂ දරන මතවාදයන් පවා සිංහල සහ ඉංග්‍රිසි ජනමාධ්‍යයෙහි පළ වන්නේ නැති තරම් ය. මෙවැනි සාකච්ජාවක් නැතිවීම විසින් ම පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ අද දේශපාලනයේ ඇති මර්දනකාරී සහ එනිසාම ඇති වී තිබෙන ස්වයං වාරණයේ ස්වභාවය යි.
යුද්ධයේ සමයෙහි එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් දකුණෙහි කරන ලද මිනිස් ඝාතන එල්ටීටීඊ පාලන ප්‍රදේශයන්හි සිටි දෙමළ ජනයාට දැන ගන්නට ලැබුණේ නැත. එමෙන්ම යුද්ධයේ විපාකයක් ලෙස යුදප්‍රහාරයන්ට ලක්ව දෙමළ ජනයා මිය ගිය බව දකුණේ සිංහල ජනයාට දැන ගන්නට ලැබුණේ නැත. ඒ ජනමාධ්‍ය මත පැණවී තිබූ වාරණයන් නිසා ය. අද එම වාරණය නිසා සිදු වන්නේ තවදුරටත් අපේ ජනප්‍රජාවන් අතර වන පරතරය එන්න එන්නම වැඩි වීම යි. අද සිදුවෙමින් තිබෙන්නේ දෙමළ සහ සිංහල ප්‍රජාවන්හි බහුතරධාරාවන් වෙනස් මානසිකත්වයන් සහිත ප්‍රජාවන් ලෙස දිගින් දිගටම පැවැතීම ය.
මෙම තත්ත්වයට අපේ එනම් සාම ලැදි, බහු වාර්ගික, බහු සංස්කෘතික සමාජයක් අපේක්ෂා කරන සිවිල් සමාජ පිරිස්හි ප්‍රතිචාරය කුමක් විය යුතු ද? සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සිටින සමාන අදහස් දරන පිරිස් අතර අලුත් සංවාදයක් සඳහා පියවර තැබීමට අවස්ථාව එළඹ නැත් ද? ශ්‍රී ලංකාවේ පවත්නා මර්දනකාරී දේශපාලන තත්ත්වය සැළකිල්ලට ගනිමින්ම කළ ජනවාර්ගික යුක්තිය සහ සාමය සඳහා ගත හැකි පියවර කිසිවක් තිබේ ද?
1970 ගණන් අවසානයේ සිට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුක්තිය සහ සමගිය උදෙසා මහත් උනන්දුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කළ පිරිස් එක් තැන් කළ සංවිධාන රටාවක් වූයේ මර්ජ් යනුවෙන් හැදින්වුනු ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය යි. එහි මූලිකත්වය ගත් බාලා තම්පෝ, පොල් කැස්පර්ස් , සේවක යොහාන් දේවානන්ද, කුමී සැමුවෙල්, ජෝ සෙනවිරත්න. එස්. බාලක්‍රිෂ්නන්, නිමල්කා ප්‍රනාන්දු, ලලිත් අබේසිංහ, ලක්ෂ්මන් ගුණසේකර, ජෝෂප් ඇතුළු බොහෝ පිරිස් තවමත් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාරයන්හි විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු කරති. එහි ප්‍රාදේශීය ක්‍රියාකාරීහුද බොහෝ දෙනෙකු සිය කැපවීම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පවත්වා ගෙන යමින් සිටිති. ඊට අමතරව මර්ජ් ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරීන් වූ පිරිස් අද දේශපාලන ලෝකයේ විවිධ පක්ෂ සමඟ එක්ව මහජන නියෝජිතයින් බවට ද පත්ව සිටිති. ඊටත් අමතරව ජනවාර්ගික යුක්තිය සහ සාමය අපේක්ෂා කරන තරුණ පිරිස් ද දැන් සිවිල් සමාජ දේශපාලනයට අවතීර්ණ වී සිටිති.
වත්මන් තත්ත්වයේ සුවිශේෂතා සැළැකිල්ලට ගනිමින් යළි එවැනි අන්තර් වාර්ගික සංවිධාන ජාලයක් ගොඩ නැගීමට දැන් අවස්ථාව එළඹ තිබේ ද? එවැනි මූලිකත්වයකට දෙමළ සහ මුස්ලිම් සමාජයන්හි සමාන අදහස් දරන පිරිස් වෙතින් මහත් සහායක් ලැබෙනු ඇති බව නිසැක ය. ප්‍රශ්නය අප ඊට සූදානම් ද යන්න යි. අඩුම වශයෙන් ජනවාර්ගික යුක්තිය සහ සමානත්වය කරා වූ අන්තර් වාර්ගික සිවිල් සමාජීය සාකච්ජාවක් අපේ සමාජය තුළ ගොඩනගා ගැනීමට අපට හැකියාවක් තිබේ ද?
යුද්ධාවසානයෙන් වසරක් ගෙවෙන මේ අවස්ථාවෙහි සාධනීය සිතීමක් කරා යාමට අප උත්සාහ දැරිය යුතු ය. මන්ද යත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ශ්‍රී ලංකාවක් අපේක්ෂා කිරීමට නම් අඳුරට සාපකරමින් නොසිට එක් පහනක් හෝ දැල්වීමට අප සමත්විය යුතු නිසා ය.
සුනන්ද දේශප්‍රිය