සිරකරුවන්ද සමාජයේ අනෙකුත් මිනිසුන් මෙන්ම සහජ දක්ෂතාවලින් පරිපුර්ණ ආත්ම ගරුවයක් ඇති මිනිසුන් කොට්ඨාශයක් බව මතක්කරලීමේ අරමුණින් මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ලද ‘මැන්ඩෙලා පළිහ’ සඳහා වන සිරකරු -නීති සිසු විවාදය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ විවාද කණ්ඩායම සහ පල්ලෙකැලේ බන්ධනාගාර රැඳවියන්ගේ විවාද කණ්ඩායම අතර 2016 සැප්තැම්බර් මස 08 වන දින ‘සිරකරු සතිය’ මුල්කර ගෙන පල්ලෙකැලේ බෝගම්බර බන්ධනාගාරය තුළ දී පැවැත්විනි.
මෙහිදී මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ඇරයුම පිළිගනිමින් බෝගම්බර බන්ධනාගාරයට පැමිණ අනාගත නීති වෘත්තියේ රළු සීමාවන්ට කොටු නොවී නිහතමානීව සිරකරු-නීති සිසු විවාදයට සහභාගීවී බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ආත්ම ගරුත්වයක් ඇති අපගේ මිනිස් සමාජයේම කොටසක් බව සමාජගත කිරීිමට පේරාදෙණිය නීති අධ්‍යන අංශයේ සිසු සිසුවියන් හා එම කථීකාචාර්යවරියන් දරණ ලද වෑයම පැසසීමට ලක් කළ යුතු කරුණකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ විවාද කණ්ඩායම ”ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය (පොලීසිය, අධිකරණ සහ බන්ධනාගාර ක්‍රියාවලිය) තුළ රටට ප්‍රමානවත් කාර්යභාරයක් සිදුවන බව” යෝජනා කරන ලද අතර ප්‍රතියෝජක පිල ලෙස බෝගම්බර බන්ධනාගාරයේ විවාද කණ්ඩායම ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය තුළ රටට ප්‍රමානවත් කාර්යභාරයක් සිදුනොවේය යන්නට පක්ෂව කරුණු ඉදිරිපත් කළෝය.
කණ්ඩායම් දෙකම මනා සුදානමකින් යුතුව විවාදය සඳහා සහභාගි වු අතර රැඳවියන් ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳළීමේ පද්ධතියේ ඇති දුර්වලතා පිළිබඳ ආසියානු මානව හිමිකම් කොමිසම විසින් ලියා පලකරන ලද පොත්පත් රැසක් පරිීශීලනය කොට ඒවායේ කරුනු සිංහල බසින් මෙන්ම ඉංග්‍රීසි බසින් ද විවාදයේදී ගෙනහැර දක්වනු ලැබීය. නීති ශිෂ්‍යයන් මුලාශ්‍ර ලෙස දණ්ඩ නීති සංග්‍රහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි නීති ග්රන්ථ ආශ්‍රිතව කරුනු ඉදිරිපත් කරන ලදී.
මෙහිදී රැඳවියන් විසින් ඔවුන්ගේ හා ඔවුන්ගේ සහෝදර රැඳවියන්ගේ ජීවන අත්දැකිම් යොදා ගනිමින් ඉතාමත් ප්‍රායෝගිකව හදවතට දැනෙන උදාහරණ තුළින් අපරාධ යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය තුළ ඇති දුර්වලතා හේතුවෙන් සිදු වී ඇති සමාජ අසාධාරණයන් ගෙන හැර පෑම විශේෂයෙන් දක්නට ලැබුනි.
නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නීතියේ සඳහන් වන සහන හා ප්‍රතිකර්ම සහ ඒවා ලබා ගැනීමට පිහිටුවා ඇති ආයතන පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලද අතර රැඳවියන් එම ප්‍රතිකර්ම ලබා ගැනීමේ යාන්ත්රණයන්ට යොමුවීමේ දී පවතින දුෂ්කරතා හා එම යාන්ත්‍රණ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ආදී ප්‍රායෝගික තත්වයන් පිළිබඳව කරුණු ගෙනහැර දක්වනු ලැබීය.
මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් වලට අදාල පෙත්සම් සහ නඩුවල අභියාචනා පෙත්සම් ඉදිරිපත් කිරිමේදී මතුවන ගැටළු පිළිබඳවද කරුණු ඉදිරිපත් වු අතර ප්‍රමාණවත් පළපුරුද්දක් සහිත නීතිඥවරයකුගේ සහය ලබා ගැනීීම සඳහා ගාස්තු ගෙවීමට සාමාන්‍ය ජනතාවට ඇති දුෂ්කරතාවද ඉදිරිපත් වු කරුණු අතර විය.
තවද මෙහිදී රැඳවියන්ගේ විවාද කණ්ඩායම විසින් සිරකරුවන් අඩු බුද්ධි මට්ටමක සිටින පිරිසක් බවට සමාජයේ බහුතරයක් මිනිසුන් දරනු ලබන මතවාදය පුස්සක් බවට පත් කරමින් ඉතාමත් නව්‍ය උදාහරණ වන වසීම් තාජුඞීන් ඝාතන නඩුවේ CCTV දර්ශන විකෘති කිරිම, විවාදය පැවති දිනම තීන්දුව ලබා දුන් භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව ආදිය ගෙන හැර දක්වමින් නීති සිසු සිසුවියන් මෙන්ම කරුනු ඉතා හොදින් විග්රහ කර ගැනිමේ හැකියාවක් ඇති බුද්ධිමත් පිරිසක් බව ප්‍රකට කරනු ලැබීය.
විවාදය නැරඹීමට පැමිණ සිටි නීති සිසු සිසුවියන්ට විවාදය ඉතාමත් සංවේදී සහ සජීවී එකක් වු අතර ඔවුන් රැඳවියන්ගේ හදවතින්ම ප්‍රකාශ වු අත්දැකිම් තුළින් රැඳවියන්ගේ ජීවන තත්වය මෙන්ම ඔවුන්ගේ නඩු තීන්දු වල ඇති ගැටළු හා අපරාධ යුක්තිය පසිඳළීමේ පද්ධතියේ ඇති ගැටළුද මනාව ග්‍රහණය කර ගනු ලැබීය.
සිරගතව සිටින සිරකරුවන්ව සහ පුනරුත්ථාපනය වී නිදහස ලබා සිටින සිරකරුවන්ව සමාජය තුළ වෙනස්කොට සැලකීම පිළිබඳවද විවාදයේදි කරුනු ඉදිරිපත් වු අතර එක් රැඳවියකු පවසා සිටියේ තමා බන්ධනාගාර ගතව ඇති බැවින් තමාගේ දරුවෙකුට ග්‍රාම සේවා සහතිකයක්වත් ලබා ගැනිමට නොහැකි වී ඇති බවයි. කෙසේවූවත් විවාදය අවසානයේදී විවාදය නැරඹු නීති සිසුවියක් ඉතාමත් සංවේදී වෙමින් පවසා සිටියේ ඇය රැඳවියන්ට ”සිරකරුවන්” යන වචනය භාවිතා කිරිමට පවා අකමැති බවත් රැඳවියන්ද තමන්ගේ පවුලේම අය ලෙසින් තමාගේ හදවතට දැනෙන බවත්ය.
මානව හිමිකම් කේෂ්ත්‍රයේ ඉතා වැදගත් කරුණුද විවාදයේදී ඉදිරිපත් වු අතර නීති සිසුන් වධහිංසනය සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිය පිළිබඳ සඳහන් කරමින් රැඳවියන් එලෙස වධහිංසනයට ලක් වුවානම් අදාල නීතිය ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව තිබු බව පැවසීමේදී රැඳවියන් විවාදයේ අර්ථාන්විත බව තීව්ර කරමින් කරුණු දක්වා සිටියේ එලෙස වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි කර විමර්ෂනයක් කරවා ගැනීමට පොලීසියෙන් පරිභාහිර ස්වාධීන ආයතනයක් නොමැති බවයි. මෙම කරුනෙහි ඇති වැදගත්කම 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතෙහිද ඊට ආදාළ ජාතික අධිකාරිය සමග කටයුතු කිරිමට පොලීසියට පරිභාහිරව ස්වාධීන ආයතනයක් නොමැති වීමෙන් මනාව පිළිඹිබු වේ.
විවාදය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් සංවිධායක මඩුල්ල විසින් විවාදය ජය පරාජයක් නොමැති සුහද විවාදයක් බවට ප්‍රකාශයට පත් කරන ලද අතර විනිශ්චය මණ්ඩලය කණ්ඩායම් දෙකෙහිම කථිකයන් විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා තර්ක ඉදිරිපත් කිරිමට ඔවුන් දැක්වු දක්ෂතාවයන් පිළිබඳව කරන ලද ඇගයීම විවාදය අවසානයේදී ඔවුන් වෙත ලැබීමට සලස්වන ලදී.
විවාදය අවසානයේදී රැඳවියන්ගෙන් හා නීති සිසු සිසුවියන්ගෙන් ඉදිරිපත්වු ඉල්ලීම් අනුව ඉදිරියේදී නීති සිසු සිසුවියන් සහ රැඳවියන් අතර සුහද සාකච්ඡා වට පැවැත්වීමට ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යන අංශයෙන් පැමිණ සිටි කථීකාචාර්යවරිය පොරොන්දු වුවාය. මෙයට අමතරව විනිශ්චය මණ්ඩලයේ සභාපති ලෙස පැමිණ සිටි නීතිඥ මහතා බන්ධනාගාර විවාද කණ්ඩායම නැවත හමුවී රැඳවියන්ට ඇති පොදු ගැටළු පිළිබඳ තොරතුරු ලබාගෙන ඒවා අධිකරණයට සහ අනෙකුත් අදාල ආයතන වලට යොමු කිරිමට කටයුතු කරන බව දන්වා සිටියේය.
විවාදයක් අවසන දක්නට ලැබෙන වාග් සංග්රාමයකින් පසු කර්කශ වු විවාද ශාලාවක් වෙනුවට ‘මැන්ඩෙලා පළිහ’ සඳහා රැඳවියන් සහ නීති සිසු සිසුවියන් අතර වු විවාදය අවසානයේ දක්නට ලැබුනේ දෙනෙත් අතර සැඟවුනු කඳුලූ බිඳු පිරිමදින ඉතාමත් සංවේදී වු මිනිසුන් කොටසක් සිටින ශාලාවකි.
සිරකරුවන් ද සමාජයේ අනෙකුත් මිනිසුන් මෙන්ම දක්ෂතා වලින් පරිපුර්ණ ආත්ම ගරුත්වයක් ඇති මිනිසුන් කොටසක් බව සමාජගත කරලීම සඳහා මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් දරන ලද ප්‍රථම ප්රයත්නය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ හා පල්ලෙකැලේ බෝගම්බර බන්ධනාගාරයේ නිළධාරින්ගේ සහය ඇතිව නිවා වූයේ ‘සිරකරුවන් ද මනුෂ්‍යයෝ‘ යන්න බිත්තියකට පමණක් වූ සිමාවූ දෙය යතාර්තයක් බවට පත්කල හැකි යැයි වු උදාර මිනිස් හැගීමෙන් යුක්තවය.
සුරේන් ඩී. පෙරේරා | Suren D. Perera