දිවයිනේ බොහෝ ප්‍රදේශවලටසේම, උතුරු ප්‍රදේශයේ ද තැනින් තැන සිදු වූ ස්වාභාවික විපත් නිසාවෙන් ජන ජීවිතයට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනු ලැබුහ. වර්ෂාව නිසා දකුනේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම ‛ලයිලා’ සුළි කුණාටුව නිසා යාපනයට එල්ලකරන ලද බලපෑම ද විශාලය.
මෙම කුණාටුව සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ හා මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ‛‛විකල්ප’’ වෙත මෙසේ අදහස් දැක්වූහ.
‛‛මීට දවස් හතරකට පෙර එනම් මැයි 22 අලුයම තමයි මේ කුණාටුව යාපනයෙන් හමා ගියේ. මේ කුණාටුවෙන් යාපනය දිස්ත්‍රික්කයට අයත් පවුල් 613ක පුද්ගලයින් 2216ක් පීඩාවය පත්වෙලා තිබෙනවා. මෙයින් පූර්ණ වශයෙන් නිවාස 27කටත්, අර්ධ වශයෙන් නිවාස 524කටත් හානි සිදුවෙලා තිබෙනවා. මෙයින් වැඩිම හානිය සිදුවෙලා තිබෙන්නේ යාපනය ප්‍රාදේශීය කොට්ඨාසයටයි. එහි පවුල් 559ක පුද්ගලයින් 2011ක් පීඩාවට පත්ව තිබෙනවා. ඊට අමතරව නල්ලූර් වල පවුල් 9ක පුද්ගලයින් 45කුත්, චෙන්කනායි වල පවුල් 36ක පුද්ගලයින් 128කුත්, තෙලිප්පලෙයි වල පවුල් 4ක පුද්ගලයින් 16කුත්, කරෙයිනගර්වල පවුල් 5ක පුද්ගලයින් 16 කුත්, යනාදි වශයෙන් පීඩාවට පත්වෙලා තියෙනවා. පූර්ණ වශයෙන් නිවාස විනාශ වූ පවුල තම ඥාතීන්ගේ පවුල් වල සහ තමන්ගේ ගෙවත්තේම විකල්ප නිවසක් සකස්කරගෙන දැනට පදිංචී වී සිටිනවා’’
මේ සිදුවීම සම්බන්ධයෙන් සිංහල මාධ්‍ය පුවත්පත් වාර්තාකරණය පිළිබඳව විමර්ශනය කිරීමේදී පෙනී යන සුවිශේෂීතම කරුණ වන්නේ මෙය සිදු වී දින තුනකට පසුවත් (23,24,25) එක් ප්‍රවෘත්තියක් පමණක් වාර්තාකර තිබීමයි. එය දිනපතා ‛‛ලංකාදීප’’ පුවත්පතේ මැයි 24 වැනි දින පලමු පිටුවේ ‛‛යාපනය හරහා ගිය ‛‛ලයිලා’’ සුළි කුණාටුවෙන් නිවාස 28ක් වැනසෙයි : පවුල් 613 ක් පීඩාවට’’ යන හිසින් වාර්තාකර ඇත. මෙම ප්‍රවෘත්තිය සඳහා ද මූලාශ්‍රය ලෙස භාවිතා කර ඇත්තේ ප්‍රදීප් කොඩිප්පිලි මහතාවමය. දෛනිකව පළවන අනෙකුත් පුවත්පත් වන දිණමිණ, ලක්බිම හා දිවයින යන පුවත්පත් මෙම ප්‍රවාත්තිය වාර්තාකර තිබුණේ නැත. නමුත් දකුණේ නන් දෙසින් සිදු වූ සෑම ජල ගැලීමක්ම සෑම පුවත්පතකම පුවත් සිය ගනණක් පළ වූ බව නිරීක්‍ෂණයට ලක් විය. යාපනයේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් අවාසනාවන්ත ලෙස ලබපෑ මෙම සිදුවීම දකුණේ සිංහල පුවත්පත්වලට විෂය වූයේ නැත. මෙසේ සිංහල පවත්පත් මෙම සිදුවීම වාර්තා නොකිරීම පිළිබඳවද අප කොඩිප්පිලි මහතාගෙන් ද කෙටි විමසිමක් කළෙමු. ඔහුගේ අදහසට අනුව,
‛‛දකුනේ ධාරානිපාත වැසි නිසා ඇති වූ ගංවතුර තත්වයන් වාර්තා කිරීමට ජනමාධ්‍ය ආයතන තුළ තරඟයක් තිබුණා. මේ නිසා යාපනයේ සුළි කුණාටුව පිළිබඳව වාර්තා කිරිමට එතරම් ඕනෑකමක් සිංහල පුවත්පත්වලට තිබුනේ නැහැ. නමුත් යාපනයේ සිදුවීමත් විශාල එකක්. කාලගුණ දෙපාර්තමේන්තුව ආයෙත් ප්‍රකාශ කරලා තිබුණා ඉදිරි දින දෙක තුළත් දකුණේ ඇතැම් ප්‍රදේශ වලට තද වැසි ඇද හැලෙන බව. මේ නිසා වැඩි අවධානය මේ පැත්තට යොමු කරලා තිබුනා’’
උතුරේ සිදුවන දේවල් දකුනේ ජනතාව දැනගත යුතුය. දකුණේ සිදුවන දේවල් උතුරේ ජනතාව දැනගත යුතුය. මේ දෙක අතර නිවැරදි සම්බන්ධීකරණයක් ජනමාධ්‍ය විසින් සිදු කල යුතු ය. නිවැරදි තොරතුරු වාර්තාකරණය ජනමාධ්‍යයේ වගකීමකි. සමාජයට බලපාන සත්‍යය තොරතුරු සන්නිවේදනය කිරීමට ජනමාධ්‍යන්ට වගකීමක් තිබේ. ඒ අනුව ඔවුන් ක්‍රියා කළ යුතුය. නමුත් මේ ප්‍රවෘත්තිය වාර්තා කිරීමේ දී බොහෝ සිංහල පුවත්පත් තුළින් එම සමාජ කාර්යභාරය සිදු වී නොමැති බව පෙනේ.
මෙම කුණාටුව සම්බන්ධයෙන් ‛‛විකල්ප’’ යාපනය අතිරේක දිසාපති රූබිණී වර්ධලිංගම් මහතාගෙන්ද විමසීමක් කළෙමු. ඔහුගේ ප්‍රකාශයට අනුව මෙම සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 618කි. එහි පුද්ගලයින් 2236ක් විපතට පත්ව ඇත. පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇති නිවාස ගනන 28ක් වන අතර අර්ධ වශයෙන් නිවාස 528ක් විනාශ වී ඇත. එමෙන්ම රුපියල් ලක්‍ෂ 43,000ක් පමණ වටිනා කෙසෙල් වගාවන්ද විනාශ වී ඇති බව ඒ මහතා අප සමග ප්‍රකාශ කර සිටියහ. මෙම ස්වාභාවික විපතින් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා අද (25) දින ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා රුපියල් ලක්‍ෂ තුනක මුදලක් යාපනය දිසාපති කාර්යාලය වෙත එවා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මීට දින කීපයකට පෙර ත්‍රිකුණාමළය, මොරවැව ප්‍රදේශයට ද මෙවැනි කුණාටුවක් හමා ගිය බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ හා මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ‛‛විකල්ප’’ වෙත අදහස් දැක්වමින් වැඩිදුරටත් පවසන ලදී. මෙම සිදුවීමෙදී පවුල් 212ක පුද්ගලයින් 837ක් පීඩාවට පත්වූ බවත් පූර්ණ වශයෙන් නිවාස 17ක් විනාශ වී අර්ධ වශයෙන් නිවාස 195ක් විනාශ වූ බවත් කොඩිප්පිලි මහතා අප සමග පවසනු ලැබූහ. මෙම ස්වාභාවික විපතෙන් පීඩාවට පත් වූවන් සඳහා ආපදා කළමනාකරණ අමත්‍යාංශය හරහා රුපියල් ලක්‍ෂ හයක් එම ප්‍රදේශයට යැවූ බවද ඒ මහතා ‛‛විකල්ප’’ වෙත පවසන ලදී.