”බෝගහපට්ටිය රක්ෂිතයේ අලි ඇත්තු ලූණු පස් කන්න එන්නේ ඉලූක් පැලැස්සට මහත්තයා. එතැන අමුතු තැනක්. මගේ මේ දෑහින් දැකලා තියෙනවා ඒ පසේ සමනල්ලූ වහනවා. දළ ඇත්තු, අලි ලූණු පස් කාලා වතුර බොන්න වළවේ ගඟට බහින්නේ ඔය විදුලි බලාගාරයක් හදන්න සළකුණු කරලා තියෙන තැනින්”.

ඒ හල්දුම්මුල්ල ඉලූක්පැලැස්සේ වයි. ඒ වික‍්‍රමරත්නය. ඔහු වන නදී නම් පුද්ගලික සමාගම විදුලි බලාගාරයක් තනන්නට සැළසුම් කොට ඇති ඉසව්වේ ආසන්නම පදිංචිකරුවාය. සිය පොල් ගස් දෙසීයක වගාවෙන් ගස් විස්සක්වත් මේ වනවිට කන්දේ ලවණ පස් කා පල්ලම් බසින අලින් භුක්ති විඳ ඇති නමුත් බලාගාරයකට අලි මංකඩවල් බිලි වෙනවාට අකැමති පිරිස අතර ඔහු ද ප‍්‍රමුඛයෙකි.

සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ උල්පත් වලින් උපදින වළවේ නදිය මේ සාවියේ ගලන්නේ ඌවත් සබරගමුවත් වෙන් කෙරෙන මායිම වෙමිනි. ඉහළින් සමනල වැව පුරවන නමුත් කල්තොට ජනයාට අනුව සමන් දෙවියන්ගේ බැල්මෙන් වැව් බැම්මේ මහා කාන්දුවක් ඇති කරමින් මිනිස්සුන්ගේ කුඹුරු වතුපිටි තෙමන්නට දිය කඳුලූ රැගෙන එන ගඟ සුන්දර දූවිලි ඇල්ලද නිමවයි. දූවිලි ඇල්ල පාමුලෙන් ගංගාවේ වතුර හරවා නල හා ඇළ මං ඔස්සේ ගෙනවිත් කල්තොට දකුණු ඉවුරු ඇළ ආරම්භ වන තැනට මදක් ඉහළින් විදුලි ජනකයන් පණ ගන්වා මුදාහරින්නට නියමිතය. විදුලිය කලින් කල අර්බුදයක් වන රටක මෙවැනි සැළසුමක වරදක් නොපෙනෙන නමුත් අවසන අහිමි වන්නේ අලි මං, වනබිම් හා ගං දියය. දූවිලි ඇල්ල පාමුලින් හැරවෙන ගං දිය අඩුම තරමෙන් කිලෝමීටරයක්වත් වෙන පාරක නල, ඇළ මං දිගේ එද්දී ඇල්ලත්, බලාගාරයත් අතර ගඟ වියැලෙන බව බලාගාර විරෝධීන්ගේ මතයයි. ඉන් අනන්තයක් ජල වාසීන්ගේ ජීවිත අයිතිය උදුරා ගැනෙන අතරම අලින් කල්තොට බලංගොඩ දෙසට පලවා හරිමින් තණමල්විල පැත්තේ මිනිසුන්ගේ පරිසර රස සරණියද අහවර කරන්නේ ඔවුන්ට දාහය නිවන කෙම්බිමක් වූ පින්බිම අහිමි වන නිසාය.

img_1776

සිරිබර පරිසරය මියෙනු ඇත.

වන නදී සමාගම බලාගාරය නිමවන්නට සැළසුම් කර ඇති ස්ථානය ආසන්න වශයෙන් මුහුදු මට්ටමෙන් මීටර් එකසිය හතළිහක් පමණ උසය. දූවිලි ඇල්ල අසළ උස මීටර් දෙසියකි. මේ ජලයේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරමින් විදුලිය මෙගවොට් එකයි දශම පහක් නිපදවන්නට කදිම භූ පිහිටුමකි. එහෙත් මේ කලාපය පාරිසරික වශයෙන් අතිශය සංවේදී ඌවේ බිම් දාරයක් වන්නේ ආවේණික ශාඛ හා සත්ව ප‍්‍රජාවන්ටද නිවහනක් වෙමිනි. කොස්ලන්දේ සිට කල්තොට දක්වා හා වැල්ලවාය කුඩාඔය සීමිත ප‍්‍රදේශයක් දක්වා ව්‍යාප්තව ඇති ආවේණික ඌව මැන්ඩෝරා වෘක්ෂයන්ද මෙහි වන නමුත් සළකුණු කළ බිමෙහි ඇති ඒවා කපා දැමෙනු ඇත. බලාගාරයට ජලය හැරවූවද තත්පරයකට ලීටර් පන්සියය බැගින් මුදාහරින්නට නියමිත බව පැවසෙන නමුත් මහා වළවේ ගංගාව පණ ගහන්නට එය ප‍්‍රමාණවත් නොවන බව කල්තොට ගොවියන්ගේ අදහසයි. එසේම මේ සමාගම බදුලූදෙන පිහිටුවා ඇති බලාගාරයෙන්ද නියමිත ලීටර් දෙසියක ජල ධාරිතාව මුදාලන්නේ කවුරුන් හෝ ආසන්නයට පැමිණෙන බව සී.සී.ටී.වී කැමරා දර්ශන වලින් දුටුවිට පමණකැයි පවසන ගම්මු ඒ ඉරණම වළවේ ගඟටද අත්වන බව සහතික කොට පවසති. මෙහි නිපදවෙන විදුලිය ජාතික පද්ධතියට මුසු කරන්නට රැුහැන් ඇදෙන විට වන ගහණයද හෙලි කෙරෙනු ඇත.

වික‍්‍රමරත්න පවසන අන්දමට මීටර් තුන්සිය පණහක් කොන්ක‍්‍රීට් ඇළකින්ද මීටර් නමසියයක් වානේ නළ මගින්ද ගං දිය උදුරා ගත්විට කල්තොට රාජා ඇතුලූ හස්තීන්ට හැවන් කන්නට නොහැකි වනු ඇත. වියළෙන ගෙඟහි වසන ආවේණික මත්ස්‍ය විශේෂ හතරක්ද ගලන දියෙහි බිජුලන මසුන්ද ඇතුලූ සොබාදම් දිනිතියගේ දරුවන්ට අතරමංවීමට ද සිදුවනු ඇත. වනනදී සමාගම හිමිකරුවන් බදුලූදෙන බලාගාරය ඉදිකරන්නේ වෙනත් නමකින් පෙනී සිටිමින් බව වළවේ උරුමය සුරැුකීමට හඬ නගන පිරිස සඳහන් කරන අතර පූර්ණ පරිසර තත්ව වාර්තාවක් වෙනුවට මූලික පරිසර අධ්‍යයනයක් පමණක් සිදුකරමින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවද පෙන්වා දෙති. ජනගහණය අඩු මෙවැනි කලාපයක සිදුවන පරිසර හානි පිළිබඳ පැමිණිලි කරන්නට කිසිවෙකු නොමැති හා රජයේ නිළධාරීන්ද විමර්ශන සඳහා යොමු නොකෙරෙන පසුබිමක අනාගතය අවිනිශ්චිත බව පමණක් පැහැදිලිය.

වික්‍රමරත්න මහතා
වික්‍රමරත්න මහතා
දැන් මේ සමාගමේ අය අපිව සල්ලි වලට ගන්න හදනවා. මටත් කිව්වා රස්සාවක් දෙන්නම් කියලා. බලාගාරය හදනකම් ගමේ අයටත් කුලී වැඩ කරන්න ලැබෙයි. ඒත් අන්තිමට අපේ දරුවන්ගෙ සම්පතක් එයාලා කොටුකරගන්නවා.” වික‍්‍රමරත්න පවසන්නේ දැන් දැන් ව්‍යාපෘතියට විරෝධය පල කරන ගම්වැසියන්ට දුරකතන මගින් තර්ජනය කරන්නටද පටන් ගෙන ඇති බවයි. එවැනි දුරකතන අංක ගණනාවක ලැයිස්තු ඔවුන් සතුව ඇත.

ඌවේ පව් සබරගමුවට

මේ යෝජිත බලාගාරයේ ඉදිකිරීම් බහුතරය සිදුවන්නේ ඌව පළාතට අයත් භූමියේය. එහිදී ඌවේ වනය, අලි මං අහිමි වනු ඇත. එහෙත් ගඟ පහළ කල්තොට පැත්තේ මිනිස්සු සබරගමුවේ වැසියෝය. බදුල්ලේදී අනුමත කෙරෙන සැළසුම් වලින් පසුව සබරගමුවට පලවා හැරෙන අලින් බලංගොඩ බලා යද්දී හා කල්තොට කුඹුරු වලට ජලය හිඟ වෙද්දී යම් පියවරක් ගන්නට සිදුවන්නේ රත්නපුරයේ බලධාරීන්ට හා බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම්වරයාටය. වළවේ ගඟ සුරැකීමේ සංවේදී පරපුරේ සභාපතිවරයා වැලිපත සුමනරතන හිමියෝය. කල්තොට පොඩි හාමුදුරුවෝ නමින් පරසිදු සෝමරතන හිමියන්ද, පරිසර පේ‍්‍රමී සුදුවැල්ල පන්සලේ නෙල්ලිවල සුමේධාලංකාර හිමියන්ද ලිපිගොනු අතැතිව කරුණු දක්වන්නට සැදී පැහැදී සිටියදී සුමනරතන හිමියෝ කරුණු පැහැදිලි කරති.

සුමනරතන හිමි
සුමනරතන හිමි
”යල මහ දෙකන්නෙ කුඹුරු අක්කර දෙදහකට වැඩිය කල්තොට දකුණු ඉවුර ව්‍යාපාරෙන් අස්වැද්දෙනවා. ගොවි පවුල් එක්දහස් පන්සියයක්වත් ඒවයින් යැපෙනවා. මේ උදුරගන්න හදන්නේ පාරම්පරික උරුමයක්. ඔය ඇල තැනෙව්වා කියන්නේ නීල මහා යෝධයා. මේ පුරාණ උග්ගල් කල්තොටනෙ. බලාගාරෙ හදන තැනට ආසන්නෙ තියෙන්නේ කණවැන්දුම් අමුණ. බලධාරින් මේව දන්නෙ නැතිව ඇති.”

හාමුදුරුවෝ හැඟුම්බරය.

”දැන් මේ සමාගම් කියන්නේ ලාභ හොයන වෙළෙන්දොනේ. නියං සාය තියෙන කාලෙත් ඒ අය විදුලිය නිපදවාවි. අපේ මිනිස්සුන්ගේ කුඹුරු වේලෙයි. වන්දි ගෙවන්න කවුරුවත් බැඳිලා නෑ.”වැලිපත සුමනරතන හිමියන් පෙන්වා දෙන අන්දමට මේ සම්බන්ධව පැවති සාකච්ඡා වට කිහිපයකදීම රාජ්‍ය නිළධාරීන් සඳහන් කර ඇත්තේ තමන්ගේ අනුදැනුමකින් තොරව බලාගාරය තැනීමේ කාර්යයන් සිදුවන බවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මායිම් සළකූනු සහිත භූමියක බලාගාරය තැනීමට සමාගමේ සළකුණු යොදා තිබුණද වන නිළධාරීන් සඳහන් කරන්නේ සිය අනුමැතිය ලබාගැනීමට වන නදී සමාගම කටයුතු කර නොමැති බවයි. ප‍්‍රදේශයේ වනජීවී නිළධාරීන් අප සමග සහතික කොට කියා සිටියේද මේ ව්‍යාපෘතිය අලූත් අලිමිනිස් ගැටුමකට නිමිත්තක් වන බවයි. සුමනරත්න හිමියන් ප‍්‍රකාශ කරන්නේ බලාගාරය ඉදිකළ පසුව අර්බුද නිර්මාණය වුවහොත් හා ගම්මුන් පැමිණිලි කලහොත් ඒ පිළිබඳව සොයා බලන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසූ බවයි. එසේම ඉදිකිරීම් වලට වනබිම යොදාගතහොත් සිදුවන හානි පිළිබඳ පූර්ව තක්සේරුවක්ද බලධාරින්ට නොමැති බවයි. එවැනි පසුබිමක උන්වහන්සේ නියෝජනය කරන සංවිධානය හමුවේ ඇත්තේ ප‍්‍රශ්නාර්ථයක් පමණි.

”මෙන්ඩිස් වික‍්‍රමසිංහ, සෙව්වන්දි ජයකොඩි වගේ විශ්වවිද්‍යාල වල විද්වත්තු කියන්නේ මේ අධිසංවේදී පරිසර පද්ධතියක් කියලා”. හාමුදුරුවෝ පාරිසරික පර්යේෂණ වාර්තා පෙන්වති.

වනනදී සමාගමේ විජේසිංහ මහත්තයා කියනවා ගල් අඟුරු බලාගාර වලින් වගේ හානියක් ජලවිදුලිය නිපදවද්දී වෙන්නෙ නෑ කියලා. කතාව ඇත්ත. ඒත් ප‍්‍රශ්නෙ හදන්න යන තැන. අනෙක් අතට. ඝර්ම කලාපෙ රටක සූර්ය බලය, සුළං බලය ඕන තරම් තියෙද්දී මේ වනන්තරේ වනසන්න ඕනමද.”

සෝමරතන හිමියෝත්, සුමේධාලංකාර හිමියෝත් කතාවට එක්වෙති. වළවේ ගඟ සුරැකීමේ සංවේදී පරපුරේ සාමාජික බණ්ඩාර පවසන අන්දමට යෝජිත බලාගාරය ආසන්නයට අඩි අටක් පළල හා කිලෝමීටර් දෙකක් දිග ප‍්‍රවේශ මාර්ගයක් නිර්මාණය කෙරෙනු ඇත. එහිදි වටිනා තුරුලතා මහපොළවෙන් උදුරා දැමෙනු ඇත. මේ වනවිටද මාර්ගය සළකුණු කෙරී ඇති අතර ඇතැම් තැන්වල එහි පළල අඩි අටකට වඩා වැඩිය. ගම්මු හා පරිසර සංවිධාන ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය ඇතුලූව රාජ්‍ය ආයතන ගණනාවකට යොමුකර ඇති ලිපිවලට පිළිතුර වී ඇත්තේ තවම මේ ව්‍යාපෘතිය සඳහා අවසර දී නොමැති බවයි. එහෙත් ගැටලූව අවසරයක් නොමැති විටෙක මැනුම් හා සීමාවන් සළකුණු කිරීමේ කාර්යයට අවශ්‍ය බලය වනනදී සමාගමට ලැබී ඇත්තේ කෙසේද යන්නයි. සැබවින්ම මේ භූමිය සුරම්‍ය පාරාදීසයකි. ඔබ එහි යතොත් නෙත් අදහා ගන්නට නොහැකි වනු ඇත. එහෙත් එවැනි බිමක් සූරාදැමීමට පරිසර ඇගයීම් වාර්තාවක් කැඳවීම වෙනුවට මූලික පරිසර විමර්ශනයක් සිදුකිරීම සෑහෙන බවට නිර්දේශ වී තිබීමද පුදුමයකි. සමාගම අහළ පහළ පන්සල් වෙත සල්ලි බෙදන්නට ඉදිරිපත්ව සිටින අන්දමටම තවත් තැන්වලට සල්ලි බෙදා ඇතිද යන්න සැක සහිත බව ගම්මු පවසන්නේ එහෙයිනි.

img_1779

වනනදී කතා.

වනනදී සමාගමේ විධායක දූල්වලදේවගේ විජේසිංහ පවසන්නේ බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගත්තද රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් පිරිස් පෙත්සම් ලියා ඇති හෙයින් ඉදිකිරීම් පමාවන බව හා නැවතත් ව්‍යාපෘතිය විවිධ කම්ටු වල අවධානයට යොමුකර ඇති බවය. ඉදිකිරීම් සිදුවන්නට නියමිත ප‍්‍රදේශයේ අලි ඇතුන් ගැවසෙන්නේය යන්න ප‍්‍රතික්ෂේප කරන ඔහු සඳහන් කරන්නේ ”වන අලින් සරන බැවින් ප‍්‍රවේශම් වන්න” යැයි සඳහන් දැන්වීම් බලාගාර විරෝධීන් අලවා ඇති ඒවා බවයි. එහෙත්, ප‍්‍රදේශයේ වනජීවී බලධාරීන් අප හා ප‍්‍රකාශ කළේ මේ ප‍්‍රදේශය නියත වශයෙන්ම අලින්ගේ සංචරන බිමක් වන නිසා දැනටත් උන් පිවිසෙන බදුල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල ප‍්‍රදේශයට හා බලංගොඩ තන්ජන්තැන්නටද අනාගතයේ ගැටලූ වලට මුහුණදීමට සිදුවන බවයි. මේ ලියුම්කරුද ඉලූක්පැලැස්ස ප‍්‍රදේශයේ සිදුකළ සංචාර වලදී වන අලින් සියැසින් දැක ඡුායාරූප ගත කොට අත්දැකීම් ලබා ඇත. කල්තොට රාජා ඇතා පිළිබඳව ගම්වාසීන් සමග බොහෝවර කතාබහ කොට ඇත. ඔහුට අනුව බලාගාරය ඉදිකිරීමේදි කුලීකරුවන් වන්නට ලැබෙන නිසා ඉලූක්පැලැස්සේ ජනයා ව්‍යාපෘතියට මනාපය පලකරද්දී විරුද්ධ වන්නේ කල්තොට ගොවීන්ය. එහෙත්, නියමිත පරිදි ගඟට ජලය මුදාහරින නිසා ගොවීන්ටද ඉන් බලපෑමක් නොවේ. ”ආණ්ඩු වෙනසත් සමග ටික දෙනෙක් මේ ව්‍යාපෘතිය නවත්තන්න උත්සාහ ගන්නවා. තව සමහරු අපෙන් කප්පම් ගන්න බලපෑම් කරනවා.” වනනදී හී විජේසිංහ එසේද පවසයි. එහෙත්, කප්පම් ගන්නට යොමුව ඇත්තේ කවුදැයි අප විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ එය හෙළි නොකළ හැකි බවයි.

වනනදී හී විජේසිංහට අනුව මේ ව්‍යාපෘතියට මූලික පරිසර විමර්ශනයක් සෑහෙන නිසා එය සිදුකොට විදුලි බල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කොට මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි උත්පාදක යන්ත‍්‍ර ගෙන්විමේ අවසරයද ලබාගෙන තිබියදී පෙත්සම්කරුවන් ආණ්ඩු මාරුව සමග සියල්ල කඩාකප්පල් කරන්නට ඉදිරිපත් වූ බවයි. ඔහුට අනුව රුපියල් මිලියන පන්සිය පණහක් වැයවෙන මේ බලාගාරය මෙගවොට් එකයි දශම පහක් ජනනය කරයි. ඒ විදුලි බල ධාරිතාව ගල් අඟුරු දහනය කොට ජනනය කෙරෙන විට සිදුවන වායු දූෂණය මඩින්නට අක්කර එක්දහස් පන්සියයක් වනය වගා කළ යුතුය. එය සැබෑවක් විය හැකිය. එහෙත් මේ ඉදිකිරීම් සමග අහිමි වන්නේ ජෛව විවිධත්වයෙන් අනූන බිමක් හා නදී ප‍්‍රවාහයක් වග අමතක කළ නොහැකි වේ. එහි වටිනාකම තක්සේරු කළ නොහැක්කේ, මිලියන පන්සිය පණහට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකිය. තවත් අක්කර දහස් ගණනක් වගා කොට හෝ අහිමි වන ඒ සම්පත කැඳවාගත නොහැකි බව දන්නේ සමන් දෙවියන් පමණක්ද විය හැකිය.

”දැන් ඔය බලාගාරය හදන්න බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබුණා. විරෝධය ආවම වන සංරක්ෂණ, වනජීවී දෙපාර්තමේන්තුව වගේ ආයතන එක්ක අපි ගිහින් බැලූවා. බදුල්ල දිස්ත‍්‍රික්කෙ ඉලූක්පැලැස්සට බලපෑමක් නැති නිසා එහේ මිනිස්සු විරුද්ධ නෑ. විරුද්ධ වෙන්නෙ කල්තොට මිනිස්සු එයාලා බයයි වතුර නැති වෙයි කියලා.”

ශිරෝමි ජීවමාලා
ප‍්‍රාදේශීය ලේකම් හල්දුම්මුල්ල.

##

”සමස්ත ඉදිකිරීම් කෙරෙන්නෙ බදුල්ල දිස්ත‍්‍රික්කෙ. අපේ මිනිස්සු බයයි වතුර අහිමි වෙයි කියලා. මං සමාගමෙන් ලිඛිතව තහවුරු කිරීමක් ගත්තා වතුර අහිමි කරන්නේ නෑ කියලා. ඒත් ඔය කලාපයේ ගඟ පොඩි ජලාශ හදමින් ගලා බහින්නේ. තණමල්විල පැත්තේ මිනිස්සුත් විනෝද වෙන්න එනවා. ඒ අසිරිය නැතිවෙයිද කියලා බලන්න ඕන. අනෙක මේක අලි ගැවසෙන ප‍්‍රදේශයක්. ඉස්සර අලින්ගෙන් කරදරයක් තිබ්බේ නෑ. ඒත් දැනටම බලංගොඩට කිලෝමීටර් දහයක් වෙනකං අලි එනවා. මුල්ගම මනුස්සයෙකුත් ළඟදී මැරුවනේ. ළඟදී කරපු මෙහෙයුමේදී අලි 29ක් අඳුනගත්තා.”

චම්පික නිරෝෂ් ධර්මපාල
ප‍්‍රාදේශීය ලේකම් බලංගොඩ

lasantha-de-silvaලසන්ත ද සිල්වා | Lasanthya de Silva