පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සුළුපටු ව්‍යාපාරයක් නොවේ. එහිදී දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් සෑම දහංගැටයක්ම ගසති. එහිදී සිදුවන කූඨ ලේඛන ජාවාරම් සහ වෙනත් අක‍්‍රමිකතා ගැන සොයා බැලීම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමටත් සිදු විය. මේ ආකාරයෙන්, ළමයා පාසලකට ඇතුළත් කර ගැනීම අතිශය වෙහෙසකර කි‍්‍රයාවලියක තත්වයට පත්ව තිබේ. එය සෑම කෙනෙකුගේම කායික මෙන්ම ආර්ථික සෞඛ්‍යයටත් අහිතකර ක‍්‍රියාවලියකි. දැන් රජයේ වෛද්‍යවරුන්ද මේ සෙල්ලමට අත ගසා තිබේ. ඒ අනුව, තම සාමාජිකයන්ගේ දරුවන්ට රටේ සුපිරි පාසල්වල ඉඩකඩ ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුව එය ප‍්‍රතික්ෂේප කොට ඇත. ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් ආණ්ඩුවේ රෝහල් කිහිපයක වෛද්‍යවරු වැඩ වැරූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමට අවනත වුවහොත්, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ස්ථාපිත ක‍්‍රමය අවුලක් වනු ඇති බවට අධ්‍යාපන ඇමතිවරයා තර්ක කොට තිබේ. ඔහුගේ කණස්සල්ලට හේතු වන තවත් කාරණයක් තිබේ: වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමට යට වීම යනු, තවත් එවැනි වෘත්තීය අංශවල ඊට සමාන ඉල්ලීම් භාර ගැනීමට සිදුවන තත්වයක් නිර්මාණය කර ගැනීමකි.

එය තුඩුදෙනු ඇත්තේ, සාමාන්‍ය දරුවා පසෙක ලා, සමාජයේ ධනවත් සහ බලවත් පිරිසකගේ දරුවන්ට අධ්‍යාපන ක‍්‍රමය තුළ විශේෂ ස්ථානයක් සපයා දීමටයි. මේ රටේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ මූලික ප‍්‍රමිතියට එය පටහැනි ය. මන්ද යත්, එම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය පිහිටුවීමෙන් බලාපොරොත්තු වුණේ, යමෙකුගේ සමාජ සහ ආර්ථීක තරාතිරම නොබලා සියල්ලන්ට සමාන අධ්‍යාපනික අවස්ථා නිර්මාණය කර දීම වන බැවිනි.

මේ අධ්‍යාපන ක‍්‍රමයෙන් ප‍්‍රතිලාභ ලැබූ දස ලක්ෂ ගණනක් අතර වෛද්‍යවරුද වෙත්. එවැනි පිරිසක්, ඉහත කී සමාජ සමානතා ප‍්‍රතිපත්තිය පසෙක ලා, පවතින ක‍්‍රමය තුළ තමන්ගේ දරුවන්ට විශේෂ වරප‍්‍රසාදිත ස්ථානයක් ඉල්ලා සිටීම කුහකත්වයේ හෙලූව මහ දවල් ප‍්‍රදර්ශනය කිරීමකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් ඉල්ලීම පසුපස ඔවුන්ගේ ලොකු කම පිළිබඳ මොන තරම් තකතිරු උඩඟුවක් ඇත්දැ යි දැන ගැනීමට කෙනෙකු මනෝ විශ්ලේෂකයෙකු විය යුතු නැත. ඒ දක්වා තත්වය මෝරා ගියේ ඇයි?

ඊට හේතු ගණනාවක් තිබිය හැක. එහෙත් ඒ අතරින් එක හේතුවක් කැපී පෙනේ. එනම්, රටේ බලයට පත් සෑම ආණ්ඩුවක් විසින්ම පෝෂණය කොට නඩත්තු කරන ලද විවිධ ඒකාධිකාරී තත්වයන් තුළ, සෙස්සන්ට වඩා තමන් සමානයන් යැයි සලකන වරප‍්‍රසාදිත කණ්ඩායම් බෝ වෙන අසමාන සමාජ තත්වයන් නිර්මාණය කොට තිබීමයි.

ඔවුන්ගේ වෘත්තීය භාවයේ විශේෂත්වය සහ ඒ වෘත්තීය සේවය තුළ පවතින හිඟය හේතු කොටගෙන, පවතින වෙළඳපොළ බලවේග ඔවුන්ගේ වාසියට සිටින බව ඇත්ත. එසේ වෙතත්, මේ හිඟය දෙස විපරම්ව බැලූවොත් අපට පෙනී යන කාරණයක් වන්නේ, එය උවමනාවෙන් පවත්වාගෙන යන හිඟයක් බවයි. ඒ අනුව, තරගයට ඉඩ නොදෙන නියාමන යාන්ත‍්‍රණ පිහිටුවාගෙන ඇති අතර, එම ක්ෂේත‍්‍රයට අලූතෙන් ඇතුළු වන ප‍්‍රමාණය සීමා කිරීමටත් වගබලාගනු ලැබේ. ඒ අනුව, හෙදියන්ට උපාධි පාඨමාලා පිරිනැමීමට එරෙහිව වෛද්‍යවරු වැඩ වරති. අනිත් අතට, වින්නඹුවන්ට අධ්‍යාපනික පාඨමාලා පිරිනමන විට, ස්වකීය වෘත්තීය උසස් භාවය පිළිබඳ හැඟීමට එය අභියෝගයක් විය හැකි යැයි සිතා, හෙදියෝ වැඩ වරති.

එපමණක් නොවේ. එන්.ඞී.ටී. (ජාතික තාක්ෂණ ඩිප්ලෝමා) ශිෂ්‍යයන් සමග විශ්ව විද්‍යාල ඉංජිනේරු ශිෂ්‍යයෝ තම තමන්ගේ අධ්‍යාපනික පිළිගැනීම් සම්බන්ධයෙන් එකිනෙකා හා සටන් කර ගනිති. පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් කෙනෙකු අධ්‍යාපනය ලබනවාට එරෙහිව රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වීදි බසිති.

මිනිස් සත්වයා තාර්කික ය. ඒ අනුව, ස්වයංකාමී ය. කෙසේ වෙතත්, මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ දක්නට ලැබෙන, එකිනෙකාගේ බෙලි කපා ගන්නා අන්තවාදි ආත්මාර්ථකාමීත්වයට පාර කපා ඇත්තේ, පවුරු බැඳ ගත් ඒකාධිකාරී අවකාශයන් මගිනි.

මුලින්ම, තරගකාරීත්වය නැති තත්වය තුළ, තර්ජනයෙන් ගර්ජනයෙන් ආණ්ඩුව බිය වැද්දීමේ හැකියාව මොවුන්ට ලැබේ. දෙවැනුව, ස්වකීය ප‍්‍රභූ කුලකයේ අසීමිත සීමාව තුළ, තමන් පිළිබඳ විශේෂ වරප‍්‍රසාදිත හැඟීමක් සහ අයිතියක් පිළිබඳ හැඟීමක් ඔවුන් තුළ ඇති කෙරේ. ඒ අනුව, විලි ලැජ්ජාවකික් තොරව ඕනෑම නින්දිත ඉල්ලීමක් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට ඔවුන්ට හයිය ලැබේ.

තෙවැනුව, තරගය නැති තැන ලැබෙන්නේ, සමස්තයක් වශයෙන් ගත් විට, අව-ප‍්‍රමිතියේ දක්ෂතාවක් සහ සේවාවක් බව මතක තබා ගත යුතුය. තවත් විදිහකින් කිවහොත්, ඒකාධිකාරය, අකාර්යක්ෂමතාවට තුඩුදෙයි. නව අවස්ථා සම්පාදනයට අකුල් හෙලයි. අවස්ථා හිඟවීමේ තත්වය තුළ, ඉන්න ටික දෙනා වැඩි බලයක් තමන් වෙත කේන්ද්‍ර කර ගැනීමට පෙළඹෙයි. යම් ආකාරයකින් එවැනි විශේෂිත තත්වයක් හිමිකර ගන්නා තැනැත්තා ස්වභාවයෙන්ම බලන්නේ, එකී තත්වය එක දිගටම ආරක්ෂා කර ගැනීමටයි. ඒ අනුව, තරගයට ඇති මාර්ග සහ ක‍්‍රම ඇහිරිය යුතුව තිබේ. ඒ අනුව ගත් විට මෙය, විෂම චක‍්‍රයකි.

මෙය අළුත් ප‍්‍රශ්නයක් නොවේ. උදාහරණයක් වශයෙන්, අපේ ඓතිහාසික අත්දැකීම සැලකිල්ලට ගන්න. නිදහසින් පසු ගත වු ප‍්‍රථම දශක තුන, අගාධ ආර්ථික වර්ධනයක මෙන්ම, නිදහසේදී දායාද වූ සාපේක්ෂ වාසි සියල්ල නාස්ති කර ගත් කාලයකි. (එය අපේ ස්වර්ණමය යුගය (බොහෝ දෙනා සම්බන්ධයෙන් 70 දශකය හැරුණු කොට) වශයෙන් දකින අය මෙය අමතක කරති).

නිදහසේදී අපේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 80 කි. 1978 දී අප ආර්ථිකය විවෘත කරන විට පවා එය පැවතියේ ඩොලර් 193 ක් වශයෙනි. අවුරුදු තිහක් තිස්සේ පැවති රාජ්‍යවාදී ආර්ථික ප‍්‍රතිපත්ති සහ අයාලේ ගිය ඊනියා මැද මාවත හේතුවෙන් බිහි කෙරුණේ අකාර්යක්ෂමතාව, අවවර්ධනය සහ නන්නත්තාර භාවයයි. මේ කියන කාලය තුළම, නැගෙනහිර ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල් නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කොට, මහා ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගනිමින්, ධනය සම්පාදනය කොට ස්වකීය ආර්ථිකයන් නවීකරණය කර ගත්තේය. රටවල් කරන්නේ, වෙනත් රටවල සාර්ථකත්වයන් වෙතින් පාඩම් උගෙන ඒවා අනුගමනය කිරීමයි. ලෝකයේ වෙනත් තැන්වල සිදු වෙමින් පැවති ආර්ථික ආශ්චර්යයන් අපේ පාලකයන් නොදැක සිටියේ යැයි සිතිය නොහැක. තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිවල පැවති අසාර්ථකත්වයන් ඒ අනුසාරයෙන් ඔවුන් වටහා ගත යුතුව තිබුණි.

ඔවුන්ගෙන් බොහෝ දෙනාට, අවසානයේදී මෙය ආපස්සට හැරවූ ජේ. ආර්. ජයවර්ධනට තිබූ ආකාරයේ ආර්ථික දැක්මක් හෝ හයියක් නොතිබුණු බව ඇත්ත. ඊටත් වඩා ඔවුහූ එදා පැවති ඒකාධිකාරී තත්වයන් තුළ සරුවට වැඩෙමින් වරප‍්‍රසාද ලත් ස්වල්පයකගේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටියහ.

ඒ තත්වය තුළ සිදු වෙමින් පැවතියේ, තරගය බැහැර කොට, දේශීය කර්මාන්ත ව්‍යාපාරිකයාට ලබා දී තිබූ අවකාශය තුළ ලාභ ලබමින් සිටි ව්‍යපාරිකයා නිපදවන භූමිතෙල් ගඳ ගහන රෙදිපිළි ලබා ගැනීමට අසරණ පාරිභෝගිකයාව පෝලිම් ගානේ රස්තියාදු කැරැුවීමයි. වෙනත් විකල්පයක් එහිදී පාරිභෝගිකයාට ඉතිරි නොවුණි. මේ කියන 1970-77 කාලය තුළ ලංකාවේ ආර්ථිකය වාර්ෂිකව වර්ධනය වුණේ, සියයට 2.5 ක් වැනි සොච්චම් වේගයකිනි. ඒකාධිකාරය විසින් කාලකණ්ණි දුක්ඛිත භාවය වපුරා තිබුණි. අකාර්යක්ෂම කර්මාන්තකරුවෝ බොහොමයක්, ජේ. ආර්. ආර්ථිකය විවෘත කළ විට බංකොලොත් වූහ. එහෙත් අවුරුදු කිහිපයක් යන විට, තරගකාරීත්වය සහ ලිබරල් ප‍්‍රතිසංස්කරණ ඔස්සේ අපේ ඇඟළුම් බටහිර ලෝකයේ වෙළඳ පොළට යැවීමට අපට හැකි විය.

ඒ නිෂ්පාදන හිණිමගේ දිගටම ඉහළ යාමට අපට නොහැකි වුණේ මන්ද යන්න වෙනම කතාවකි. එහෙත්, අද අප භුක්ති විඳින ආර්ථික සහ සමාජ අවස්ථාවන් වනාහී, එතෙක් පැවති අකාර්යක්ෂම සහ ආවෘත ක‍්‍රමය ඉවරයක් කර දැමීමේ ප‍්‍රතිඵලයක් බව මතක තබා ගත යුතුය.

පසුගිය 17 වැනි දාට ජන්ම සංවත්සරය යෙදුණු ජේ. ආර්. ජයවර්ධන එදා ඒකාධිකාරය පසෙක ලා, නිලධාරී තන්ත‍්‍රයේ රාජකීය අවසර පත‍්‍රය අවලංගු කොට ජනතා ජීවය එතෙක් පැවති බැමිවලින් මුදවා ලූවා සේ, බහුතර ජනතාවකගේ වියදමින් අධිකතර ආත්මාර්ථකාමීත්වයක් නඩත්තු කිරීමට අද කැසකවන වරප‍්‍රසාදිත සුළුතරයකගේ අසාධාරණ බලය, වර්තමාන පාලකයන් විසින් බිඳ හෙලිය යුතුව තිබේ.

එය කළ හැක්කේ, සෙස්සන්ටත් දොරටු විවර කර දීමෙනි. ඒකාධිකාරී තත්වයන් නඩත්තු කිරීමට සකසා ගත් රෙගුලාසි අහෝසි කිරීමෙනි. එහිදී, 70 දශකයේ පැරැුන්නන් කළා සේ, වර්තමාන ප‍්‍රභු පැලැන්තියත් තම වරප‍්‍රසාද රැුක ගැනීමට කෑකෝ ගසනවා නොඅනුමානයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරෝව පැන නගින්නේ එතැනිනි. එබැවින්, කිරීමට ඇති කටයුත්ත පහසු එකක් නොවන බව පැහැදිළියි. එහෙත්, මීට වසර 38 ට පෙර ජේ. ආර්. කළා සේ, යමෙකු යම් තැනකින් පටන් ගත යුතුව තිබේ.


රංග ජයසූරිය
| Ranga Jayasooriya

*2016 සැප්තැම්බර්20 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ වූ GMOA: Doctors Are More Equal Than Others නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි