වලවල් කිව්වාම ලංකාවේ කෙරවලක් නැති ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි වලවල් කපන්න ගත්තේ පුංචිම කාලේ. ඒ බිං කුන්ඩෝ නටවන්න. එහෙම පටන් ගන්න ගැනිල්ල හාරනවා තවම හාරමින් ඉන්නවා. ඊට පස්සේ අපි කරන්නේ බොරු වලවල් කපනවා. පොල් අතු උඩින් දාලා පස් දාලා යාලුවෝ අපේ හුරතල්ල වැටෙනවා දැකලා සංතෝෂවෙන්න. පස්සෙ කාලෙක අම්මා කිව්වාම කුණුවලවල් කපනවා. ඒ කපන්නේ අනිත් අයගේ වත්තට කිට්ටුව අපේ ගෙදරට ටිකක් ඈතින් මොකද එතකොට අපිට අපේ කුණුවල ගද එහෙම එන්නේ නෑ. ඒක යන්නේ තව කාගෙන් හරි.
ඊට පස්සේ එකම වත්තේ ලිං දෙකක් කපනවා. එහෙම වෙන්නේ කසාදයක් එහෙම බැදලා ෆැමිලි වෙන්න ඕනේ වුනාම එනවා දොළදුකක් ඉඩ කඩං අත්පත්කරගැනීමේ තන්නාහ. ඊට පස්සේ මුලු ජීවිතේම කරන්නේ අපේ ළිද ළගට ගිහින් බලන එක අපේ ලිදේ වතුර අරුන්ගේ ලිදට ඇදලද කියලා.
ඔය අස්සේ කක්කුස්සි වලක් කපන්න වුනොත් බලන්නේ කාගේ හරි වැටක් අයිනට වෙන්න. අපේ ළිද බේරගන්න. අනෙක් ලිදවලට අපේ අසූචිවලින් ආසාදනය වීම අපිට ප්‍රශ්නයක් කර නොගන්න.
ඔන්න ඔය කාලෙදි තමයි අපි පවුල දෙන්නා තුන්දෙනා වෙලා තුන්දෙනා හතරදෙනා වෙන කොට අර පුංචි කාලේ යාලුවෝ වට්ටන්න හදපු බොර වලවල් සමාජයේ ඇතුලේ රස්සාවාල් ඇතුලේ වැඩබිමේ හදන්න පටන් ගන්නේ. ඒක වෙන්නේ මගේ ලෝකය සෙන්ටර් සහ කොන්ෂස් වෙන්නේ මගේ පවුල වටා පමණක් වීම.
ඔය වලවල් කැපීම ඉවරයක් වෙන්නේ නෑ. එකක් ඉවර වෙනකොට එකක් කපනවා. සමහර වෙලාවට තමන් කපපු වලවල් වලම තමන් වැටි වැටී තවත් වලවල් කපනවා. ඔන්න ඔහොම දෙකොටියක් විසින් වලවල් කපමින් ඉන්න රටක් තමයි පෙරාදෙනියේ වළ කියලා දේවාලයක් තියෙන්නෙත්. ඒක වලක් කිව්වාට වලක්ම නෙමෙයි. ඒක දේවාලයක්. සරත්චන්ද්‍ර ලොක්කා බැල්ම දාගෙන ඉන්නේ. එක් වැලිකැටයක් පවා සෙලවෙන කොට සරත්චන්ද්‍රයන්ගේ ආත්මය සෙලවෙනවා. කියලයි ඒ දේවාලයේ අය හිතන් ඉන්නේ.
තවත් දේවාල තියෙනවා. මට මතකයි ඔය කැලණිය දේවාලයේ තේල් බැම්බ උඩ ඉදගෙන ඉන්න කොට වලක් කපමින් පැමිණි සීනියර් වල්කපන්නෙක් මට තගක් දැම්මා.
ඒ බැහැපං ඕකෙන් බිමට. උඹ ඔය කකුල තියන් ඉන්නේ විරු සිසුවෝ ඉදන් හිටපු තැනක. තෝ දන්නේ නැද්ද?
රත්නපුරේ යාර හතරට එරෙන වෙල්වල වලවල් කපපු අපිට සීනියර් වල්කපන්නෝ අදාල නැති නිසා මාත් ඇරියේ නෑ.
මං එයාට එයාගෙම පන්නයේ උත්තරයක් දුන්නා.
ආආහ්. එහෙමද? ඇත්ත තමයි නේ. මේ මූසලයා උඹ ඔය හොරිකඩ කකුල තියන් හිටන් ඉන්නේ විරු ශිෂ්‍යයෝ වැලලිලා ඉන්න උන් ඇවිද ගිය මහ පොලවේ. ඒ හිංදා උඹ කකුල් වලින් ඇවිදින්නේ නැතිව බඩගාගෙන පල.
ඒ සීනියර් වල්කපන්නනාගේ බඩගැම කෙසේ වෙතත් දේවලයෙන් එළවන්නම මිරිස් ගැහුවු අපිට. ඔන්න ඔහොමයි ඒ දේවාලෙ වගතුග…
මේවා කියන්න හේතුව වෙන්නේ එක්සිබිෂන් එකක් තියන්න ගිය බේකරියේ කට්ටියට පේරාදෙනිය දේවාලයේ දේවාරක්ෂකයෝ විසින් පතබෑමේ සිද්ධිය මුල්කරගෙන.
අපි මේ සිදුවීම ගන්නේ හුදකලා සිදුවීමකට වැඩිය ශිෂ්‍ය දේශපාලනයේ තියෙන අගතිගාමී ගතිලක්ෂණ සහ විශ්වවිද්‍යාලය කියන රාජ්‍ය යාන්ත්‍රනය විසින් බිහිකරන කොන්සවේටිව් කියන මිහිහා ප්‍රයෝගිකව දකන්න ලැබෙන අවස්ථාක් ලෙස හා සමස්ථ සමාජයේ අගතිගාමී කමේ ප්රකාශණයක් ලෙස. මොකද ශිෂ්‍යන්ට සමාජ අගතීන්ගේ වෙන්ව පැවතීමට නොහැකි නිසා.
වලවල් කියන ඒවායේ ලාංකීය අර්ථය පැහැදිලි කරන්න ගියාම අපට හම්බවෙන්නේ පුංචි නැපෝලියන්ලා. ඒ කියන්නේ තමන්ගේ කියන ටෙරටොරි හදාගත්ත ඒවාට තමන් විසින් අර්තකථනය කරපු නීති පනවාගෙන තියෙන පුංචි පුංචි කෑලි. මේ පුංචි නැපෝලියන්ලා මහ නැපෝලියන්වගේම විශ්වාස කරන්නේ ලෝකය තමන් වටා කැරකිය යුතු කියන එක. මහා දේශපාලනයේදී අපි රාජපක්ෂලාගෙන් ගුටිකන්නෙත්, හම්බන්තොට ගියාම සෙල්ලම් පිස්තෝල රගන්නෙත් ඒ වගේම අලුත් පරපුරට අර කොහෙදිදි ගහන්නෙත් එකම හේතුවත් තියෙන්නේ. මොකෙද ඔය ඔක්කොම පුංචි නිපෝලියන්ලා තමන්ගේ නොවන මතවාද, තමන්ට කරන්න බැර දේවල් තවකෙනෙකුන් විසින් කිරීම, තමන්ට මේ මොහොතේ ළංකරගන්න බැරි වස්තුවක් අන් අයෙක් වෙත ආශක්ථ වීම ආදී සියල්ල ගන්නේ තමන්ගේ බලයට අභියෝගයක් ලෙස.
බේකරියේ කට්ටිය පෙරාදෙනියට ගිහින් කරන වැඩ සම්බන්ධව සංවාද ඇති නොවී විරාජ් කියන විදිහටම 10,000 ඉන්න දේවාලයක පොටෝ ගැන සංවාද කරන්න 5ක් එනවා කියන්නේම අදාළ ටෙටොරි අභිලාෂයන් විසින් අදාළ කලා නිර්මාණයන් ගන්නේ අභියෝග ලෙස.
මන්ද ඒ කලා නිර්මාණ හරහා තමන්ගේ කුඩා රාජ්‍ය නැත්නම් අධිකාරීත්වයන් අභියෝගයට ලක්වෙයි කියලා.
පේරාදෙනියේ දේවාලයේන් විරාජ්ලා, ලකී.. වාහන කුඩුකරගත්ත ලෙසම සිදුවීම කොච්චර අපිට වෙලා තියෙනවාද ?
රාජ්‍ය පද්ධති ඒ දේවාල ආකෘතිවෙලා තියෙන්නේ, පොලීසිය, ඉස්පිරිතාල, උසාවි මේ ඔක්කොගෙම අධිකාරීත්වය දරණ අය හැසිරෙන විදිහේ වෙනස් නෑ. පොලිසි ඇතුලේ නිරායුධ මිනිස්සුන්ට සලකන විදිහ, රෝහල තුළ රෝගීන්ට සලකන විදිහ අතර සහ පෙරාදෙනියේ දේවාලයේ ආරක්ෂකයෝ බේකරියේ කට්ටියට සලකපු ආකාරය අතර වෙනසක් නෑ.
ඒ නිසා පේරාදෙනියේ වල වෙනස් කරන්න නම් අපිට සමාජයේ තියෙන තවත් බොහෝ වලවල් එක්ක ගැටෙන්න වෙනවා. පේරාදෙනියේ දේවාලයේ වළ කියන්නේ සමාජයේ අනිත් වලවල් සම්බන්ධව මෑතක ඉදන් නිතර නිතර අපිට උදාහරණය සපයන වලක් විතරයි.
පසන් ජයතිලක | Pasan Jayathilake