අපුරූම අපුරූ කතාවකි. රටේ ජනතාව මොළේ නැති අමනයින් ලෙස සලකා මොවුන් මේ අකාරයෙන් හැසිරෙන්නේද? ශ්‍රී ලාංකිකයින් ලෙස සහෝදර ශ්‍රී ලංකිකයෙකු සම්මානයක් දිනු පසු අපි සියල්ලෝම සතුටු විය යුතුය. එය උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුය. ඒ සම්මාන ලද්දෝ ජාතික වීරයින් ලෙස නම් කළ යුත්තේය. එකළ ඒ සම්මාන ලැබූ බොහෝ දෙනෙකුට ඒවා ලැබුණේ නිසි ගරු කිරීමකට සහ සැබෑ කැපකිරීමට අනුවය. නමුත් මේවන විට, ආචාර්යය උපාධියේ සිට ව්‍යාපාර ක්ෂේත්‍රයේ සම්මාන පමණක් නොව බොහෝ ජනමාධ්‍යය සම්මාන පවා ලබා දෙන්නේ දේශපාලන හෝ වෙනත් පෞද්ගලික හේතු අනුවය. මෙහි අලුත්ම නාටකය, යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙකු විසින් මෙහෙයවනු ලැබූ ඇවන්ට් ගාඩ් සමාගමට ලැබුණු සම්මානයය. ඒ සම්බන්ධයෙන් මෙරට පුවත්පවත් සේම අනෙකුත් ජනමාධ්‍යය ආයතන විශාල ප්‍රචාරයක් ලබා දී තිබේ.
කිසිඳු සොයා බැලීමක් නොකර රටේ ජනතාව මුලා කිරීම ඉතාම පහසු රටවල් වලින් කැපීපෙනෙන රටක් බවට අපි පත් වී ඇත්තේද? අදාළ සමාගමේ සම්මානලාභී පුවත සම්බන්ධයෙන්ද ඊයේ සිට රට තුළ මතුවී ඇත්තේ එම කණගාටුදායක තත්වය ඇත්තක් බව ඔප්පු කරන සිදුවීමකි. මෙම මුලාව කෙතරම් සංකීරණ ලෙස වර්ණ ගැන්විය හැකිද කිවහොත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ ආණ්ඩුවේ වෙනත් ඉහළ පෙළේ නිලධාරියෙකු යොදා සම්මානය සමරනු වස් රාත්‍රීභෝජන සංග්‍රයක් පැවැත්විය හැකිය. එසේ සිදු කොට මනෝමූලික සංග්‍රාම (සයිකොලිජිකල් වොර්ෆෙයාර්) මඟින් අදාළ සමාගමට එරෙහිව සිදු කරන අධිකරණ ක්‍රියාමාර්ගයට පුලුල් සමාජ විරෝධයක් නිර්මාණය කරගත හැකිය.
මේ නිසා මෙම සම්මානයේ ඇති සැබෑ යටගියාව සම්බන්ධයෙන් සටහන් කළ යුතුය. ඊට පෙර සිදු වූ කාරණා දෙකක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කළ යුතුව ඇත. ඒ හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ තම ආලවන්ත බිරිඳ සමඟ ගොස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වීමයි. ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිරූපය ඔහු විසින්ම විනාශ මුඛයට ඇද දමා ගත් කතාව සිදු කරනු ලබන්නේ ඉන් දින දෙකකට පසුවය.
අදාළ කතාව සඳහා බලපෑ දේශපාලන කාරණයක් තිබෙන බව පැහැදිලිය. එනම් ආණ්ඩුවේ ඇතැමුන් විසින් ගන්නා ඇතැම් තීන්දු සහ කටයුතු ජනාධිපතිවරයාට දැනුම් නොදීම සහ ඔවුහු ජනාධිපතිවරයා ගණන් නොගැනීම ඔහුගේ මූලික කේන්තියට හේතු වී තිබේ. නමුත්, එවැන්නක් තිබේනම්, තම බලය භාවිතා කොට ඕනෑම ආයතනයක සිදුවන කටයුතු ගැන විමසීම ඔහුට කළ හැකිය. ඒ වෙනුවට සිදු වූයේ තමන් විසින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයට හානි කරගන්නා කතාවකට ඇද වැටීමය. කොළඹගේ මහතා ජනාධිපතිවරයා හමුවී දින කිහිපයකට පසු ඔහුගේ ආචාර්යය නිබන්ධනය කෘතියක් ලෙස නාවික හමුදා මූලස්ථානයේදී දොරට වැඩියේය. එය ඉතාම අභිමානයෙන් සංවිධානය කර තිබු උත්සවයක් වූ අතර ඊට නාවික හමුදාවේ මෙන්ම අනෙකුත් අදාළ පාර්ශවයන් රැසකගේ සහභාගීත්වය දක්නට ලැබුණි.
මෙහිදී කොළඹගේ මහතා මෙම මූලික වැඩපිළිවෙල සඳහා යොදා ගැනීම ඉතාම වැදගත් කාරණයකි. ඇතැම් වාර්තා සඳහන් කරන අන්දමට විශ්‍රාමික අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා මෙන්ම විශ්‍රාමික අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා පවතින තත්වය සහ ඔවුන්ට මුහුණදීමට සිදු වූ තත්වයන් ගැන මහත් කළ කිරීමට පත් වී සිටිති. පෙරදා උසාවි ගෙන ගිය විට දිසානායක මහතා පදක්කම් පැළඳීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ. එපමණක් නොව, දෙවනියට ඇප අත්සන්කොට මුදල් ගෙවා ජනතාව අතරින් හෙමීන් සීරුවේ මාරු වී මාධ්‍යයේ කැමරා වලින් වසන් වූයේය. එසේම, ජයන්ත පෙරේරා මහතා අදාළ සිදුවීම සිදු වූ වටපිටාව හමුවේ දැඩි දුකට පත්වූ බව සැළයි. ඒ ආණ්ඩුව හෝ වෙනත් ආයතනයක් විසින් සිදුකරන පරියේෂණ නිසා නොව, තමන් ආරක්ෂා කිරීම සඳහා වචනයෙන් පොරොන්දු වූ අයවලුන් හෙමින් සීරුවේ මාරු වීම නිසාය. මෙම වටපිටාව තුළ කොළඹගේ මහතාගේ මැදිහත්වීම අදාළ සමාගමට සුදුහුණු ගෑම සඳහා තීරණාත්මක වී තිබේ. යහපාලන ආණ්ඩුවේ බෙල්ලට තොණ්ඩුව වැටෙන්නේ ඒ ඔස්සේය.
මෙම මූලික වටපිටාව තුළ ඇවන්ට්ගාඩ් සමාගමට ලැබුණේ යැයි කියන “සොක්‍රටීස් සම්මානය” ගැන කෙටි හෙළිදරව් කිරීමක් කිරීම වැදගත් වේ. හොර සම්මාන දීම සඳහා සුප්‍රසිද්ධ ආයතන රාශියක් ලෝකයේ ඇති බව අපි දනිමු. පෙර සඳහන් කළ ආකාරයට සෑම ක්ෂේත්‍රයකම මෙවැනි සම්මාන දී විශාල වශයෙන් මුදල් උපාය ගැනීමේ වැඩපිළිවෙලක් තිබේ. එය ඇතැම් දුෂිත සහ අපකීර්තිමත් ආණ්ඩුවල ප්‍රතිරූපය ඉහල දැමීම සඳහා ක්‍රියාත්මක වන සමාගම් විසින් සිදුකරන ඉහළ වටිනාකමකින් යුතු ප්‍රචාරණ ව්‍යාපෘතිය හා සමානය. මෙම උගුලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැටලුණි. රටක විදේශ දූත සේවාව විසින් කළ යුතු කටයුතු විවිධ ප්‍රෝඩාකාරී කල්ලි වලට පැවරීමේ පාපය සහ විදේශ දූත සේවය දේශපාලන ආවතේවකරුවන්ගෙන් සහ විවිධාකාර මෝස්‌තර ශිල්පිනියන්ගෙන් පිරවීමේ වන්දියය මෙයයි.
ඇවන්ට් ගාඩ් සමාගමට ලැබුණේ යැයි කියන සම්මානය පිටුපස ඇති කතාවද මෙයයි. අදාළ පුවත්පත් සහ වෙළඳ දැන්වීම වලට අනුව සම්මානය ලබා දී ඇත්තේ යුරෝපීය ව්‍යාපාරික සම්මේලනය නමැති 2000 වසරේදී ආරම්භ කළ ආයතනයක් විසිනි. එය ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ පිහිටා තිබෙන බව සඳහන් කළ ද ඊට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝ වෙනත් වගකිවයුතු ආයතනයක කිසිම සම්බන්ධයක් නැත. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවිය පවා නිර්මාණය කොට ඇත්තේ අනෙකාව මුලාවේ හෙලීම සඳහාය. පුවත්පත් වාර්තා වලට අනුව අදාළ ආයතනය “වංචනික” සමාගමක් වුවත් එය නීතිමය කාරණා ප්‍රකාරව නීතියානුකූලව ලියාපදිංචි කරනු ලැබූ සමාගමකි. පිරමීඩ වංචාව මෙන්ම විවිධ සූදු සිදුකරන ආයතන මෙන් මෙම ආයතනයේ සම්මාන ප්‍රෝඩාවද බොහෝ දෙනෙකුගේ බරපතළ විවේචනයට බඳුන් වූවකි.
මෙම සම්මේලනය විසින් පසුගිය වසරේ ලෝකයේ ආකර්ශනීය සහ දැකුම්කලුම නගරය ලෙස තෝරා ගෙන සම්මානයෙන් පුදනු ලැබුවේ ඉන්දුනීසියාවේ බටම් නගරයයි. බටම් යනු බොහෝ සිංගප්පුරු ජාතිකයින් අතර ලිංගික සේවා ලබා ගැනීම ඉතා ප්‍රචලිත මෙන්ම වංචා-දූෂණ අතින් ප්‍රමුඛ නගරයකි. නමුත් යුරෝපීය ව්‍යාපාරික සම්මේලනයට අනුව ලෝකයේ ඇති ප්‍රියකරුම නගරයය බටම්ය. එම නගරයේ නගරාධිපති වන අහමඩ් දහලන් ඔහුගේ සම්මානය ලබා ගනු ලැබුවේ, යුරෝපීය ව්‍යාපාරික සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පෙනී සිටින ජෝන් ඩබ්. ඒ. නෙටින්ග් සහ යුරෝපීය වෛද්‍යය සංගමය යයි හඳුන්වනු ලබන ආයතනයක ප්‍රධානියෙක් වන වින්සේන්සෝ කොස්ටිග්ලියෝලා අතිනි. ඒ සඳහා ඔහු රජයට අයත් මුදලින් විශාල ප්‍රමාණයක් එම සම්මේලනයට ගෙවීය.
සම්මාන ලබාදීමේදී සිදුකරණ මූලික ක්‍රමවේදයක් තිබේ. අදාළ ආයතනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල ආයතන, ව්‍යාපාර සහ දේශපාලනඥයින්ට ලිපි හෝ ඊමේල් යවනු ලබයි. තම ඊමේල් වල අදාළ ආයතන හෝ පුද්ගලයින් ගෞරවාන්විත ජාත්‍යන්තර සම්මානයක් දිනා ඇතිබව සඳහන් කරනු ලබයි. ඊට වශී වී අදාළ සම්මානය සඳහා කැමත්ත පල කරනු ලැබූ සැණින් එම සම්මානයේ ස්වභාවය ගැන සඳහන් කරනු ලබයි. ඉන් පසු සම්මානය ප්‍රධානය කිරීම සඳහා පැවැත්වෙන උත්සවයට තම වියදමින් පැමිණීම සඳහා අදාළ සම්මාන ලාභියාට දැනුම් දෙනු ලැබේ.
අදාළ සම්මාන ලබා ගැනීම සඳහා කිසිවෙකු හෝ කැමැත්තක් දක්වන්නේ නම් www.ebaoxford.co.uk නමැති වෙබ් අඩවියට පිවිස තම ආශාව ගැන දැනුම් දිය හැකිය. සම්මේලනය විසින් ලබාදෙන ප්‍රධාන සම්මාන රාශියකි. ඒ අතර වික්ටෝරියා රැජිණ අනුස්මරණ පදක්කම සහ සොක්‍රටීස් සම්මානය මෙන්ම හොඳම ව්‍යාපාරය, වසරේ කළමනාකරු, යුරෝපීය ගුණාත්මක සම්මානය ආදිය වේ. ඇවන්ට්ගාඩ් දිනා ඇත්තේ මෙම ජාත්‍යන්තර සොක්‍රටීස් සම්මානයයි. ඒ ගැන කියමින් රටේ මාධ්‍යය වෙළඳ දැන්වීම් වලින් පුරවා තිබේ. රටේ මාධ්‍යය ආයතනද කිසිම වග විභාගයක් නැතුව කදිම ප්‍රසිද්ධියක් ඊට ලබා දී තිබේ.
අදාළ සම්මේලනයේ ජාත්‍යන්තර සම්බන්ධතා කළමණාකාරිය ලෙස කටයුතු කරන්නේ යැයි කියන මරියානා ලියෝන්යෙවා සම්බන්ධකර ගත්තද, ඇය අදාළ කාරණය ගැන කතා කිරීම ප්‍රතික්‍ෂේප කළාය. එසේම ඇයට සැඟවීමට බොහෝ දෑ ඇති ආකාරයෙන් හැසිරුණාය. යළිත් මෙරට ජනතාව මුලාවේ හෙළීමට තම උපරිම උත්සාහය ගන්නා කෛරටකයාගේ උපායේ තිරය පිටුපස කතාවේ සරල සත්‍යය මෙයයි.
ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් ගැන අපි බොහෝ දෙනෙකු දන්නෙමු. සත්‍යය කතා කිරීමට දඬුවම ලෙස වහ බීමට සිදුවූ හෙතම ජීවිතක්ෂයට පත් වන්නේ පැවති මංමුලාකාරී, දුෂිත සහ වංචාකාරී පරිපාලනයට එරෙහිව කළ දැවැන්ත සේවයකින් පසුවය. එම සොක්‍රටීස් යළි යළිත් මංමුලාවේ හෙළා ඇති අයුරු මෙවැනි දෑ මඟින් දක්නට ලැබේ. ඔහු මෙවැනි දෑ අසා එළොව සිට පැමිණ යළිත් මුළු ලෝකයම ඉදිරියේ වස බී මියැදුනොත් පුදුම විය යුතු නැත. සිදුවන අකටයුතුකම් එතරමට අප්‍රසන්නය.
මෙම කෙටි සටහන අවසන් කිරීම සඳහා සොක්‍රටීස් වරක් කීවේ යැයි කියන ප්ලේටෝ විසින් සඳහන් කළ කාරණයක් සටහන් කිරීම වැදගත් යැයි සිතේ. “මට කිසි දෙයක් කිසිවෙකුට ඉගැන්වීමට නොහැකිය. නමුත් මට ඔවුන් සිතීමට හුරු කළ හැකිය”.
මුලා වූ ලෝකයේ මෙතරම් රැවටීම් වලින් පසු යළි යළිත් රැවටී ඒ වලේම ලගිමින් ජීවත් වන්නේද, නොඑසේනම් මෙම කතා සහ අප්‍රසන්න රඟපෑම් අතුගා දැමීම සඳහා අවංකව කටයුතු කරන්නේද? අප හමුවේ පවතින මූලික අභියෝගය එයයි. ප්‍රායෝගික ජීවිතයේ වෙස්වලාගෙන අනෙකාව මුලාවේ හෙළන අයවලුන් සිතනවාට වඩා අතිශය බියකරුය.
වංචාවක් නොකළේ නම් මෙතරම් රැවටිලි මන්ද සහෝදරයා?
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa