ඉහතින් දැක්වෙන්ෙන් මැයි 25දා ලංකාදීප පත්තරේ මුල් පිටුවේ පළ වී තිබූ ප්‍රවෘත්තියකි. ආරක්ෂක මූලස්ථානය විසින් යාපනය නගරයේ යාපනය කොටුව, දුරේඅප්පා ක්‍රීඩාංගනය සහ පුස්තකාලය ඇතුළත් වන පරිදි කිලෝමීටර් 8 – 10 ක ප්‍රදේශයක් ආවරණය වන ලෙස ‛වෙසක් කලාපයක්‛ ප්‍රකාශයට පත් කර ඇති බවත්, මෙම වෙසක් කලාපය තුළ හමුදාව විසින් වෙසක් පහන් කූඩු තරඟ, භක්ති ගීත සංදර්ශන සහ දන්සැල් පැවැත්වෙන බවත් ඒ ප්‍රවෘත්තිය මගින් කියවේ.
මේ පුවත දැකීමෙන් මා තුළ විශාල පුදුමයකුත් ඒ සමගම දරා ගත නොහැකි කලකිරීමකුත්, ඒ සියල්ලටම වැඩියෙන් අත්‍යන්ත භීතියකුත් පැන නැගුණි. මා තුළ ඇති වූ පුදුමය වූයේ, අවුරුදු 30ක් පුරා යුද්ධ කරලත් දකුණේ ආණ්ඩුව ලංකාවේ ජනවාර්ගික ගැටලුව ගැන අබමල් රේණුවක තරම් දෙයක් වත් ඉගෙනගෙන නැත්තේ අැයි යන්නයි. කළකිරීම වූයේ ජීවිත දහස් ගණනක් බිලි දී මේ සා විනාශකාරී යුද්ධයක් අවසාන කොට ලබාගත් ජයග්‍රහණයේ බර ආණ්ඩුව විසින් මේ තරම් හෑල්ලු කර ගැනීමයි. භීතිය උපන්නේ, දෙමළ ප්‍රජාව විසින් සිංහල ජාතිය තමා පිට පටවන මේ සියලු බලහත්කාරකම් වෙනුවෙන් කවරාකාරයේ විනිශ්චයක් අනාගතයේදී දෙනු ඇතිද යන්නයි.
යාපනයේ බෞද්ධයන් කී දෙනෙක් සිටිනවා ද? මේ දිනවල දකුණෙන් යාපනය බලන්නට යන සිංහලයන් ඇරුණු විට යාපනයේ බෞද්ධ ජන ප්‍රජාවක් නැත. සිටින්නේ සිංහල බෞද්ධ හමුදාවයි. මේ වෙසක් කලාපය මේජර් ජනරාල් කෙනෙකුගේ උපදෙස් මත ඉදි කෙරෙන්නක් බව පුවතේ සඳහන් වේ. එසේ නම් මේ පැහැදිලිවම සිංහල බෞද්ධ රාජ්‍යයේ, සිංහල බෞද්ධ හමුදාවේ ඕනෑ කමට කෙරෙන්නකි. හින්දු සහ කතෝලික ආගමිකයක් අති බහුතරයක් සිටින යාපනය නගරයේ වෙසක් කලාපයක් ඉදි කිරීමෙන් අප මේ දෙමළුන්ට ඇණ පෙන්වන්නේ ‛‛ මේක සිංහල බෞද්ධයන්ගේ රාජ්‍යයය’’ බව නොවෙද?
දකුණේ සිංහල බහුතරය ජීවත් වන පළාතක හින්දු ආගමික උත්සවයක් හෝ වෙනත් ආගමික උත්සවයක් නිමිත්තෙන් කිලෝමීටර් ගණනක ප්‍රදේශයක් ‛‛කලාපයක්’’ ලෙස වෙන් කළ හැකිද?
මේ වෙසක් කලාපය සම්බන්ධයෙන් විමසූ විට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් කියා ඇත්තේ ‘යුද්ධය නිමා වීමත් සමග යාපනයේ ජතික සමගිය හා ආගමික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මේ වෙසක් කලාපය ඉදි කරන බවයි.’ මෙවැනි අමනෝඥ වැඩ වලින් සිදු වන්නේ ජාතීන් අතර සමගිය ඇති වීම නොව සිංහල ජාතියේ ආධිපත්‍ය කෙරෙහි, අනෙක් ජාතින් තුළ විශාල අප්‍රසාදයක් සහ ආතතියක් ඇති වීම පමණක් බව තේරුම් ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නොවේ.
හමුදාවට මේවා කරන්නට අණ දෙන්නේ ආණ්ඩුව දැයි අපි නොදනිමු. නමුත් ජාතික ගැටළුව විසඳීමට උවමනාවක් සහ අනාගත දැක්මක් ඇති ආණ්ඩුවක් නම් හමුදාවට නිවැරදි උපදෙස් සහ දේශපාලන නායකත්වයක් ලබා දිය යුතුය.
යාපනයට ගිය පසුගිය වතාවක මට වැටහුණු දේ නම්, යුද්ධය නිමා වීම ගැන සහනයක් ජනතාවගේ සිත් තුළ පැවතියත්, හමුදාව සෑම අස්සක මුල්ලකම අණසක පතුරුවාගෙන සිටීම යාපනයේ වැසියන්ට විශාල ආතතියක් වී ඇති බවයි. හමුදාව විසින් තමන්ගේ ආගම, ජනවාර්ගිතක්වය උලුප්පා දක්වමින් කරන මෙවැනි අමනෝඥ වැඩ වලින් මේ ආතතිය කිහිප ගුණයකින් වැඩි වෙනවා නොඅනුමානය. බොහෝ විට හමුදාව වෙසක් කලාපය බලන්නට එන ලෙස යාපනයේ වැසියන්ට අණ දීමත් සිදු විය හැකියි. මේ සියල්ල ආණ්ඩුව ඉතා දැනුවත්ව කරන කියන දේ මිස වෙන මොනවාදැයි සිතන්නේ කෙසේද?
බුදුරාජාණන් වහන්සේ දෙසූ උත්තරීතර දහම අංශූ මාත්‍රයක්වක් නොඅදහන මේ ඇත්තෝ, උන්වහන්සේගේ ජීවිතය සමරන වෙසක් දිනය තමන්ගේ ‘බලය’ උලුප්පා දැක්වීමට යොදා ගැනීම කොතරම් අභාග්‍යයක් ද…