සමරිසි සම්බන්ධතා නීතිගත කිරීම හුදු ‘හෝමෝසෙක්ස්කාරයින්’ට ‘බුදියගන්න නීතිමය අවසරය’ දීමට එහා ගිය සමාජ දේශපාලන පෙරලියකි. දැනට ප්‍රේම කිරීමේ සිට ලිංගිකව හැසිරීම දක්වා පුද්ගල හා සදාචාරමය සාර්ථකත්වය මනින්නේ හස්බන්ඩ් හා ඔහුට වඩා පොඩ්ඩක් කොට, උස මහතින් පවා ගැලපෙන වයිෆ් සමඟ දරුවන් සිටිනා පවුලට අනුවයි. සෑම කෙනෙකුම පන්සල්- පල්ලි ගිහිං, දෙවියන් හමුවී හෝ ජිම් ගිහින් ඉල්ලා සිටින්නේ අර පිළිගත් පරමාදර්ශයට – ඒ සෞන්දර්යයට සමීප කර දෙන ලෙසයි! ඒ අනූව දරුවන් නැති කසාදය, දරුවන් ඇතිව ඩිවෝස්වුන අය, උස මහත- වයස ආදිය නොගැලපෙන කසාද, සමරිසි සම්බන්ධතා, කසාදයක් නොමැති පෙම් සම්බන්ධතා, ‘කැත මිනිසුන්’ හා වයසක මිනිසුන්ගේ පෙම් සම්බන්ධතා, ආබාධිතයින්ගේ පෙම් සම්බන්ධතා, කැෂුවල්, තාවකාලික ලිංගික සම්බන්ධතා ආදී තවත් සමාජයේ පවතින විශාල ප්‍රමාණයක් මනුෂ්‍ය සම්බන්ධතා අර පරමාදර්ශී පවුලේ ඊනියා සදාචාරයට අනුව පහත්, අසභ්‍ය, අසාර්ථක, අනුකම්පා කළ යුතු, ප්‍රසිද්ධියේ නොකළ යුතු, තහනම් කළ යුතු සම්බන්ධතාය. මේ බොහෝ ‘අතුරු සමාජ කොටස්’ අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සමාජාන්තික කණ්ඩායම්(Marginalized People) හෙවත් ප්‍රධාන ධරාව විසින් පිළිනොගන්නා, ගෞරව නොකරනා හා ඔවුන්ගේ පීඩනයට යටත්ව ජිවත්වන මිනිසුන් ලෙසයි.
නමුත් සමාජයක් යනු මේ වන විට මනුෂ්‍යයින්ගේ ස්වාභාවික පිහිටීමේ සිට අනපේක්ෂිත ලෙස ජීවිතය පෙරලී යන අකාරය දක්වා පාලනය කළ නොහැකි තත්වයන් හා වියුක්ත රුචි අරුචිකම්- උවමනා එපාකම් වලින් නිර්මාණය වූ නිරන්තරයෙන් වෙනස්වන අති සංකීර්ණ අවකාශයකි. මේ වනවිටත් අපේ සමාජය එසේ සංකීර්ණ වී ඇතිමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ තවමත් සමාජය නමින් හිසේ තිබෙන්නේ ඊට වඩා ඒක රේඛීය, සරල, ගමක් වැනි සියලුම දෙනා එකම සදාචාරයකට යටත්ව ජීවත් විය යුතු යම් අපහැදිලි අවකාශයකි. මෙම සංකිර්ණත්වය නිසා ඇතිවුන තත්වයකට එක් උදාහරණයක් නම්, ඉහත පින්තූරයේ ඇති පරිදි තනි දෙමාපිය(Single Parent) පවුල දික්කසාදයේ ප්‍රතිඵලයක් ලෙසට හෝ යුවල ක්‍රමයට අකමැති නිසා හෝ අද අසරණවූ පවුලක් ලෙසට නොව ආකෘතියෙන් වෙනස් පවුල් ඒකකයක් ලෙසට ගෞරවයෙන් පිළිගන්නා පවුලකි. එවන් පවුලක මවට හෝ පියාට ප්‍රසිද්ධියේ පෙනී සිටින ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ද සිටිය හැකිය. එය ද කසාදයෙන් අවසන් විය යුතු හෝ සදාකාලික විය යුතුම නැත.
සමරිසි සම්බන්ධතා වලට එරෙහි අය තම මතය සාධාරණය කිරීම සඳහා ගෙන එනු ලබන ප්‍රධානම තර්කය නම් එය ස්වභාවධර්මයෙන් ලබා දී ඇති ක්‍රමය නොවන බවයි. සංසර්ගයෙන් තොරව දරු උපත් ඇති කිරීමේ සිට මිනිසාට එන්නට සිදුවූ ගමනේදී ස්වභාවධර්මය පිලිබඳ අර්ථකතනය වෙනස්වී ඇතිමුත් සමරිසි අයිතිවාසිකම් පිළිගැනීමට ජීව විද්‍යාව, ආදම්- ඒවා හෝ පරිණාමවාදය තරම් සංකීර්ණ තැන් කරා යා යුතු නැත. එය ඊට වඩා අතිශය සරලය. එනම් ඊට අවශ්‍ය වන්නේ පුද්ගලයකුගේ අතිශය පුද්ගල රුචියක් ලෙසට එය පිළිගත හැකිද නොහැකිද කියන කාරණයයි. එම රුචිය ඇති වී ඇතිතේ කෙසේද කියන කාරණය පවා මේ සඳහා සාකච්ඡාවට ගැනීමට අවශ්‍ය නැත! එය හරියට මෙරට ජීවත්වන මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ලබාදීමට විජය රජු, එළාර – දුටුගැමුණු යුද්ධය හෝ බලංගොඩ මානවයා සොයා යනවා වැනිය: අවශ්‍ය වන්නේ කවර හෝ විදියකින් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නීතියානුකූල අවසරය ඇත්ද යන්න පමණි.
සමාජාන්තික කොටස් විසින් දැන් කල්පනා කළ යුත්තේ අර පරමාදර්ශි පවුල කේන්ද්‍රිත අධිපති සදාචාරයේ විනිශ්චයට, හිංසාවට, පීඩාවට යටත්ව ජීවත්වනවා වෙනුවට හෝ ඒ තුළටම රිංගීමට උත්සහ කරමින් මානසිකව වැටෙනවා වෙනුවට තම තමන්ගේ ස්වභාවයට හා රුචි අරුචිකම්වලට අනුව ප්‍රසිද්ධියේ අභිමානයෙන් ජීවත්විය හැකි, විවිද සදාචාරයන්ට හා ඒ හා බැඳි සෞන්දර්ය ආකෘතීන්ට ගරු කරන වඩා ශිෂ්ඨ සුන්දර සමාජයක් ගොඩනගා ගැනීමයි.
ඉහත අප පැහැදිලි කරගත් යථාර්තයට අනුව අතිශය කුහක, ආත්මාර්තකාමී, පීඩාකාරී පුද්ගලයකුට හැර ශිෂ්ඨ මිනිසෙකුට සමරිසියන්ට විරද්ධ විය නොහැකිය. සමරිසි අයිතීන් පිළිගැනීමෙන් අර ඉහත කී සමාජාන්තික කොටස්වල පැවැත්ම ප්‍රසිද්ධියේ පිළිගැන්නා මුහුකුරා ගිය සමාජයක් දෙසට අප ප්‍රවේශ කරයි. සමහරු හිතන පරිදි එහිදී පවතින කිසිඳු සදාචාරයක් සම්ප්‍රදායක් වෙනස් වෙනවට වඩා සිදුවන්නේ තවත් සදාචාරයක් හා සම්ප්‍රදායක් පිළිගැනීමක් පමණි. සමරිසි අයිතීන් වෙනුවෙන් කතා කිරීමට ඔබ ද සමරිසියකු වන්නට අවශ්‍ය නැති අතර ඔබ එසේ කතා කිරීමෙන් මේ සමාජය මීට වඩා මුහුකුරා යන්නටත් සුන්දර වන්නටත් සලස්වයි.
අනිකා තමාට කැමති ලෙස ජීවත්වීම ඔබට කැමති ලෙස ජීවත්වීමට බාධාවක් නෙමේ!
ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne