Image: Vikalpa File
ව්‍යවස්ථානුකූලව මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 දීය. දෝශාභියෝගයකින් පවතින ආණ්ඩුව පරාජය කිරීම ඊට පෙර මැතිවරණයක් ලබා ගැනීමේ එක් මූලික දේශපාලනික උපයාක් වේ. එය සාර්ථක වීම සඳහා වටපිටාවක් නිර්මාණය කරගත හොත් දැනට “ඒකාබද්ධ විපක්ෂය” නියෝජනය කරන පිරිසට අවශ්‍යය කාරණයක් ඉටු වනු ඇත. අන්ත දූෂිත සහ මුදල් වලට විකිණෙන දේශපාලනික අවභාවිතයක් ඇති මෙවැනි රටක එවැනි කාරණා ඔස්සේ රටේ දේශපාලනික පරිසරය සෑම විටම ව්‍යාකූල කර තබා ගැනීම වාර්තා ගත ඉතිහාසය වේ.
මෙම තත්වය මෙසේ පවත්වා ගැනීම සඳහා පුද්ගල කේන්ද්‍රීය පරිපාලනයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ අපට ලැබුණු මූලික නෛතික රාමුව විය. මොන වැදි බණ දෙසුවද එමඟින් සිදු වූ සුගතියක් නොමැති අතර, තාවකාලික දේශපාලන ප්‍රමෝදය ඇති කරමින් දීර්ඝ කාලීන විනාශයක් පරිපාලන ක්‍රමවේදයට ආදේශ විය. එමඟින්, ප්‍රජාතන්ත්‍රවාදය නෛතික රාමුවක් ඔස්සේ දූෂණය කරන කෛරාටක ක්‍රමවේදය ගැන අත්දැකීමක් ලෝකයට ලබා දෙනු ලැබීය.
අදාළ ක්‍රමවේදයේ නිර්මාතෘ වන ජේ. ආර්. ජයවර්ධන මහතා මියගොස් අදට වසර විස්සක් සම්පූරණ (නොවැම්බර් 1) වේ. රටේ බොහෝමයක් මුද්‍රිත මාධ්‍යය ඔහුගේ විසිවන ගුණසමරුව සම්බන්ධයෙන් නිහඬය. නිහඬ වීමට හේතුව අන් කිසිවක් නොව ජයවර්ධන මහතා ඇති කරනු ලැබූ පරිපාලන ක්‍රමවේදය මුළු රටටම අගතියක් ඇත කර දුන් බැවිනි. නමුත් ඒ ගැන දේශපාලනික සංවාදයක් අත්‍යවශ්‍යය වේ.
සැබවින්ම දෙවියන් මරා උත්තම පුරුෂයා බිහිවීමේ (බිහි කිරීමේ) නීට්ෂයානු දර්ශනය විසින් ඇති කරනු ලැබූ දේශපාලන සංවාදය ඔස්සේ එක පැත්තකින් පරම ආඥ්දායකයින් බිහි කරනු ලැබූ අතර අනෙක් පසින් මැතිවරණ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මුහුණක් පැළඳගත් ආඥාදායකයින් බිහි විය. මෙම විශාල සංවාදයේ මූලික කාරණය අන් කිසිවක් නොව, සම්මත කරගත් විශ්වීය මූලධර්ම මත පිහිටා මහජන කැමැත්තෙන් ක්‍රියාවට නංවනු ලැබූ නීතියට ඉහළින් කිසිවෙකු හෝ සිටින්නේනම් එය ආඥාදායකත්වයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ තැන් වල කතා කරනු ලැබුවේ මෙම මූලික ක්‍රමවේදය ප්‍රකාරවය.
කෙසේ වෙතත් මෙහි අරමුණ ජයවර්ධන මහතාගේ දේශපාලනය ගැන කතා කිරීම හෝ ඔහු අනුස්මරණය කිරීම නොවේ. එනම්, වත්මන් දේශපාලන ප්‍රවණතාවය හමුවේ, පොදු විපක්ෂය සහ ඊට සම්බන්ධ වී සිටින ආරක්‍ෂක අංශ වල සේවය කළ තෝරාගත් නිලධාරීන් ගැන විමසීමය.
මේ අවස්ථාවේදී සාර්ථක උපායන් ලෙස පොදු විපක්ෂය හඳුනා ගෙන ඇති විවෘත උපයාන් තුනක් තිබේ. පළමුවැන්න, ආබාධිත රණවිරුවන් ඔස්සේ සිදු කරන උද්ඝෝෂණ ව්‍යාපාරය. දෙවැන්න, සන්නද්ධ සේවා වල සේවය කළ නිලධාරීන් විසින් ලියනු ලබන කෘතී සඳහා පුළුල් අනුග්‍රහයක් ලබා දී ඒවායේ ලකුණු දමා ගැනීම. තෙවැන්න, විද්වත් මග ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් රාජපක්ෂ මහතා ඇතුළු කුඩා කණඩායමක් සිංහල සමාජය තුළ සිටින වැදගත් සමාජ තලයකට ආමන්ත්‍රණය කරමින් සිටීම. මෙම උපයාන් තුන ප්‍රසිද්ධියේ පෙනීමට ඇති සහ ක්‍රමයෙන් තියුණු වෙමින් පවතින උපයාන් තුනකි. ඊට අමතරව, මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව දිනා ගැනීමේ සංවෘත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
මෙම මූලික කාරණා අනුව එළඹෙන මැතිවරණයේදී අනුමාන කළ හැකි මූලික සිදුවීම විය හැක්කේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලන පෙරමුණකට ගමන් කිරීම විය හැකිය. නමුත් එය මතුපිට තලයේ ඇති සිහිනයක් පමණි.
එය කෙතරම් දුරට සාර්ථක වන්නේද යන්න තීරණය වන්නේ, මෛත්‍රී- රනිල් දේශපාලන සහවාසයේ ශක්තිය මත පමණි. එය හීන වීම යනු, විපක්ෂයේ දේශපාලන උපායන් ශක්තිමත් වීමය.
තම දේශපාලනය ශක්තිමත් වීම සඳහා විපක්ෂය විසින් සිදු කරන අනෙක් වැදගත් කාරණය වන්නේ, මෛත්‍රීට රණවිරු ලේබලය දේශපාලනික වශයෙන් විකිණීම සඳහා ඉඩ නොදීමය. මෛත්‍රී මෙම කාරණය මනා ලෙස කියවා ඇති නමුත් එය අතට ගැනීමේ ප්‍රවේශය තුළ එතරම් සාර්ථක වී නොමැත. සේවයේ සිටි බොහෝමයක් ආරක්ෂක අංශ නිලධාරීන් යොදා සිදු කරන පොත් අච්චු ගැසීම සහ එළි දැක්වීමේ මංගල්‍යයන් සැලසුම් කර ඇත්තේ මෛත්‍රීට එය අතට ගැනීමට හැකි මාවත් අහුරුවාලමිනි. මෙම පොත් ලියන සහ එම එළිදැක්වීම් සඳහා ගොස් වීර උදාන වාක්‍යයන් කියන මහත්වරුන් ඉදිරි මහමැතිවරණයකට ඉදිරිපත් වුවහොත් එය පුදුම විය යුතු කාරණයක් නොවේ. දිනීමට නොහැකිද? හැකිද? යන්න තීරණය වන්නේ එම අවස්ථාවේදී සිදුකරන නිවැරදි ගණිතයෙන් මිස ඒ සඳහා දැන් අනාවැකි කිරීමෙන් පලක් නොවේ. අනාගත මැතිවරණය මෙම මූලික යාන්ත්‍රණය මත හැඩ ගැසීම සඳහා ඉඩ ඇති බව පමණක් කිව හැකිය.
තම ආණ්ඩුව ශක්තිමත්ව පවත්වා ගැනීමට සැබෑ වුවමණාවක් වත්මන් ආණ්ඩුවට තිබේනම්, පිලිපීනයේ ජනාධිපති ලෙස සේවය කළ ජෝශප් එස්ට්‍රාඩා සම්බන්ධයෙන් වූ නඩු විභාගය යළි කියවීමට සමත් වුවහොත් යමක් ඉගෙන ගැනීමට හැකිවනු ඇත. එස්ට්‍රාඩා පොදු දේපළ මංකොල්ල කෑම යටතේ වරදකරු බවට පත්වීම, එරට ඉතිහාසයේ දේශපාලනික වශයෙන් වැදගත් සිදුවීම් වලින් එකකි.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa
සබැදි සටහන්
යහපාලන වීරාඛ්‍යානය: දීර්ඝ ආරම්භයක අවසානය
ජනාධිපති පාගා ගත් අසූචි ඩිලාන් හත්පොලේ තවරයි!