Image: Vikalpa File

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ. (මේ වාරණය අධිකරණය මගින් පසුව ඉවත් කරන ලදි- පරිවර්තක)

චිත්‍රපටිය පදනම් වන්නේ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියෙකු නිදහස් කිරීම සඳහා අනුග්‍රහයක් වශයෙන් ඔහුගේ බිරිඳව ලිංගික අපයෝජනයට යොදා ගැනීම ගැන චෝදනා ලැබූ මහේස්ත්‍රාත්වරයෙකු පිළිබඳ සැබෑ සිද්ධියකි. වාරණය වීමත් සමගම, මේ සිද්ධිය ගැන විශාල ප්‍රචාරයක්, චිත්‍රපටිය ප්‍රදර්ශනය වීමටත් කලින්ම රටේ ඇති වුණි.

මේ අළලා ඇති වූ විවේචනාත්මක සංවාදය බොහෝ කොට පදනම් වුණේ චිත්‍රපටියක් වාරණය වීමේ ප්‍රශ්නය සම්බන්ධයෙනි. එය, මේ ආශ්‍රයෙන් සාකච්ඡාවට ගත යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් වුවද, අප මෙහිදී අවධානය යොමු කරන්නේ, ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටිය නිහඬ කිරීමේ ප්‍රශ්නය ඔස්සේ, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියකාරීත්වය නැමැති වඩාත් පුළුල් මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමේ ඉඩක් සපයා ගැනීමේ අවශ්‍යතාව ගැනයි. එබැවින් තමන්ගේ දුක්ගැනවිලි ගැන අධිකරණය ප්‍රතිචාරයක් නොදක්වන විට මේ රටේ ජනතාව යුක්තිය පතා ගනු ලබන වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීම අපේ අරමුණයි.

මාධ්‍යයේ භූමිකාව

‘උසාවිය නිහඬයි’ පිළිබඳ විවාදයත් සමග උද්ගතව ඇති සාකච්ඡාව තුළ, යුක්තිය සොයා යාමේ විකල්ප ක්‍රමයක් වශයෙන් මාධ්‍යය රඟපාන වැදගත් භූමිකාව සාකච්ඡාවට ගැනේ. ප්‍රධාන පෙළේ සෑම රූපවාහිනී නාලිකාවකම, තමන්ට මුහුණදීමට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳ මහජනතාවට පැමිණිලි කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ යම් අවස්ථාවක් සලසා දෙනු ලබන වැඩ සටහන් ඇත්තේය.

පොදු මිනිසා මුහුණදෙන දෛනික අසාධාරණකම් පිළිබඳ හඬ නැගීමේ ඉඩක් මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේද වැඩි වැඩියෙන් ලැබී තිබේ. සමාජ මාධ්‍ය කෙරෙහි මිනිසුන් මෙතරම් පරායත්ත වන්නේ, ‘නියමිත’ යාන්ත්‍රණ ඔස්සේ තම ප්‍රශ්න විසඳා ගැනීමට ඇති අනේක විධ අනවශ්‍ය බාධක සහ දුෂ්කරතා මගහැර යා හැකි අවස්ථාවක් සමාජ මාධ්‍ය හරහා සැපයෙන බැවිනි.

වෙනත් වචනවලින් කිවහොත්, අධිකරණය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය දුර්වල වන විට, පොලීසිය සහ පුරවැසියා අතර බේරුම්කරුවෙකු වශයෙන් මාධ්‍ය කෙරෙහි පරායත්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති වන බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත්, යුක්තිය හඹා යාමේ එම ප්‍රයත්නය මාධ්‍ය හරහා ඉෂ්ටසිද්ධ වන්නේද යන්න වෙනම සළකා බැලිය යුතු විවෘත ප්‍රශ්නයකි.

ආධ්‍යාත්මික සහ සම්ප්‍රදායික ක්‍රමවේදවල භූමිකාව

පොල් ගැසීම, මිරිස් ඇඹරීම සහ දෙහි කැපීම වැනි දේවල් අනාදිමත් කාලයක සිට පැවත එන ජනප්‍රිය සංස්කෘතික භාවිතාවන් ය. ඇත්ත වශයෙන්ම, නිසියාකාරයෙන් සහ විධිමත්ව ක්‍රියාත්මක වන නීති පද්ධතියක් තිබුණත්, මේ සම්ප්‍රදායික භාවිතාවන් තවමත් පෘථුලව පාවිච්චියට ගැනේ. ඒවා සඳහා ජනතාව විශාල කාලයක් සහ ධනයක්ද වැය කරති.

මෙහි පවතින සිත්ගන්නා සුළු කාරණය වන්නේ, මේ භාවිතාවන් වෙත ජනතාව යොමු වන්නේ, පවතින යුක්ති විනිශ්චය ක්‍රියාවලියට අනුපූරකයක් වශයෙන් මිස විකල්පයක් වශයෙන් නොවීමයි. උදාහරණයක් වශයෙන්, මෑතකදී පළ වූ වාර්තාවකට අනුව, මාවතගම ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා පොලීසිය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආගමික සහාය පතා තිබීම දැක්විය හැකිය. මෙයින් පෙනී යන්නේ, පොලීසිය පවා තමන්ගේ පොලිස් කාර්යක්ෂමතාවට වඩා අධ්‍යාත්මික පිළිසරණක් කෙරෙහි විශ්වාසය තබන බවයි.

මෙයාකාරයෙන්, සම්ප්‍රදායික/ආධ්‍යාත්මික භාවිතාවන් සමග නූතන/ලෞකික නෛතික යාන්ත්‍රණයන් එකට ගමන් කිරීම, ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය දුර්වල වීමේ තවත් නිරූපණයක් වශයෙන් ගත හැකිය. මෙවැනි භාවිතාවන් කෙරෙහි පොලීසිය ඇතුළු සාමාන්‍ය ජනතාවත් එක දිගටම එල්බ සිටීම මගින් කියාපාන්නේ, පවතින අධිකරණ පද්ධතීන් ප්‍රයෝජනවත් වෙතත්, මුළුමණින් ඒවා කෙරෙහි විශ්වාසය තැබීමට බැරි තත්වයක් ඇති බවකි. එබැවින්, අධිකරණ පද්ධතිය අසාර්ථක වෙතොත් යා හැකි විකල්ප මාර්ගයක් වශයෙන් ආධ්‍යාත්මික/සම්ප්‍රදායික විසඳුම් මාර්ගයක් ආරක්ෂා කර තබා ගැනීම යෙහෙකැයි බොහෝ දෙනා සිතති.

නීතිය තමන්ගේ අතට ගැනීම

යුක්තිය ඉල්ලා අනුගමනය කරන තවත් ක්‍රමයක් වන්නේ, ප්‍රජා නායකයෙකුගේ මැදිහත් වීම ලබා ගැනීමයි. පුළුල්ව ගත් විට, ප්‍රජා නායකයන් දෙවර්ගයක් හඳුනා ගත හැක. එක කොටසක් වන්නේ, සම්ප්‍රදායික නීතිගරුක ප්‍රභූන් වන, භික්ෂූන් වහන්සේලා, විදුහල්පතිවරුන් සහ ගමක වෙසෙන වෙනත් වැදගත් පුද්ගලයන් ය. ගම් මට්ටමේ යුක්ති විනිශ්චය ක්‍රියාවලියේදී මේ සම්ප්‍රදායික නායකයන් වැදගත් කටයුත්තක් ඉටු කරන පිරිසක් වශයෙන් සැළකේ. මේ නායකයන්ගේ මැදිහත් වීම නිසා, යුක්තිය වඩාත් කාර්යක්ෂමව සහ අර්ථවත් ආකාරයකින් ස්ථාපිත කළ හැකැයි විශ්වාස කෙරේ.

වෙනස් වන සමාජ, සංස්කෘතික සහ ආර්ථික ගතිකත්වයන් තුළ, ඉහත කී සම්ප්‍රදායික නායකත්වයේ සංකේතමය ශක්තිය, එම ප්‍රජාව තුළින්ම මතු වන වෙනත් වර්ගයක නායකත්වයක් අතට පත්වෙමින් ඇති බවක් පෙනෙන්නට ඇත. මේ අළුතෙන් මතු වන ප්‍රජා නායකත්වය, ව්‍යාපාරික පංතියට අයත් වන අතර, එම පිරිස බොහෝ කොට එම පළාත්වල වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කසිප්පු මුදලාලිලා සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වෙයි.

මේ නව ව්‍යාපාරික පංතිය හරහා වඩාත් කාර්යක්ෂමව යුක්තිය පසිඳලීමේ අළුත් ක්‍රම සහ විධි සැපයෙයි. මේ පුද්ගලයන් තමන්ගේ ව්‍යාපාරික සම්බන්ධතා හරහා බෙහෙවින් පොලීසිය සහ නීති පද්ධතිය සමග ගනුදෙනු කොට ලබා ගත් දැනුම සහ අත්දැකීම් අනුසාරයෙන් තමන්ගේ පළාත්වාසීන්ට උදව් උපකාර කරති.

බොහෝ තැන්වල, නීතිය කඩන්නේද මොවුන් ය. එය, යුක්තියට අවතීර්ණ වීමේ වඩාත් ක්ෂණික මාවතක් වශයෙන් හඳුනා ගැනේ. තමන්ගේ ප්‍රජාවට එසේ උදව් උපකාර කරන මේ කණ්ඩායම ඊළඟට එකී ජනතාව අතරේ පිළිගැනීමක් ලබා ගනී. ඔවුන්ට ඒ ඒ පළාත්වල ආරක්ෂාව සලසන්නේ එසේ ලබා ගන්නා මහජන පිළිගැනීමයි. මේ ආකාරයට, එක්තරා විකෘති ආකාරයකින්, යුක්තිය පසිඳලීමේ අවසරයක් නීති කඩන්නන්ට ලබා දෙන්නේද, නීති පද්ධතියේ පවතින අකර්මණ්‍යතාව විසිනි.

යුක්තිය සඳහා වන ජනතා අභිලාෂයන්

මේ රචනාවේ පෙන්වා දෙන ලද පරිදි, යුක්තිය සඳහා වන ජනතා අභිලාෂය විවිධ මුහුණුවර ගනී. සමහරු පැය ගණන්, උසාවියක බංකුවක වාඩි වී කල් මරති. තවත් අය, තමන්ට වු අසාධාරණයක් ගැන දෙවියන්ට කන්නලව් කරමින් දේවාලයක රැයක් ගත කරති. මෙසේ විවිධාකාරයෙන් සහනයක් සොයන අතරේ, පවතින රාජ්‍ය ක්‍රමය තුළ පවතින පමා වීම් සහ අසාර්ථකත්වයන්ට මුහුණදීමෙන් ලද අත්දැකීම් මත එම රාජ්‍ය ආයතනවල හැකියාවන් ගැන සැක උපදවා ගනී.

රාජ්‍ය ආයතන හරහා තමන්ට සාධාරණයක් ඉටු කර ගැනීමට අසමත් වන විට සාමාන්‍ය පුද්ගලයා කරන්නේ, විකල්ප මාර්ග සහ අනුපූරක මාර්ග කෙරෙහි විශ්වාසය තැබීම ය. මේ නිසා, ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටිය වාරණය කිරීමේ ප්‍රශ්නය, ප්‍රකාශනයේ නිදහස හෝ වාරණය පිළිබඳ ප්‍රශ්නයක් වශයෙන් පමණක් නොගත යුතුය. ඒ වෙනුවට, යුක්තිය පසිඳලිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වඩාත් පුළුල් සංවාදයකට එය නිමිත්තක් කර ගත යුතුව තිබේ. එම පුළුල් සංවාදයට අප නොයන්නේ නම්, වික්ටර් අයිවන්ගේ සහ ප්‍රසන්න විතානගේගේ කෘතිය හරහා ඉදිරිපත් කෙරෙන අභියෝගයට විසඳුම් සොයාගත නොහැකිව තවදුරටත් එම ප්‍රශ්නය ඉදිරියට ඇදෙන්නේය.

ෂෂ්නික් ධනුෂ්ක සහ ඇන්ඩි ෂුබෙර්ට්


*2016 ඔක්තෝබර් 14 වැනි දා ‘ඬේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ When the Courts are Silent නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි