Image: Vikalpa File

තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම් දෙකක් විය. එනම් කුඩා කාලයේ දී මහණ වීම හෝ තරුණ අවධියේදී හමුදා ශ‍්‍රමිකයෙකු විම ය. ඇයගේ කෘතියේ සඳහන් වු එක් ප‍්‍රත්‍යක අධ්‍යනයක් මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමි. හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායකගේ යෝජනාවක් මත වු කුල දරුවන් දහසක් පැවිදි කිරිමේ රාජ්‍ය උත්සවය දිඹුලාගල දී පැවතිණි. තම කුඩාදරුවා මහණ කිරීමට පැමිණි මව සතු වු කුඩාබැගය තුළ දරුවා වෙනුවෙන් ලබාදිය යුතු තුටු පඩුරු ලෙස වුයේ සිග්නල් දන්තාලේපයක් සහ දත් බුරුසුව ක් පමණි. තමාගේ දරුවා මහණ කරමින් ඇය ප‍්‍රර්ථනා කරණු ලබන්නේ නිවන් දකින්නට ප‍්‍රථම මේ ආත්මයේ දී, දරුවාට දෙවේලක් හෝ කෑම බීම ලැබී නිරාහාරයට ගොදුරුනොවී නිදුකින් ජිවත්වීමය. සුබ‍්‍රමනියන් තවදුරටත් පවසන්නේ දරිද්‍රරතාව ය ප‍්‍රධාන ගැටළුවක් වීම හේතුවෙන් දකුණේ තරුණයන් හමුදා ශ‍්‍රමිකයන් බවට පත් ව, සත්ජය, රිවිරැස ආදී මෙහෙයුම් අවස්ථාන්හි දී උතුරේ දී මියයන අතර, එයින් ජයරත්න වැනි මල්ශාලා බොරැල්ල නගර මධ්‍යයේ ප‍්‍රතාපවත් ව වැජබීමට ද හේතුවු බව ය. Island of Blood හි කතුවරිය වන අනීතා ප‍්‍රතාප් උතුරේ තරුණයන් සඳහා වු තෝරාගැනීම් පිලිබඳ පවසන්නේ මෙලෙසිනි. උතුරේ තරුණයන්ට සිදු වුයේ LTTE සමාජිකයන් වීම හෝ රටින් පලායම යන විකල්ප පමණි. වරක් ඇය වෙත පැමිණි මඩකලපුවේ දෙමළ දෙමාපියන් ඉල්ලා සිටියේ තමාගේ තරුණ පුතා නිරුපද්‍රතිව කොළඹට ගෙනයන මෙනී. පාසල් වියේ පසුවු දරුවා මඩකලපුවෙන් කෙසේ හෝ පිටකර අගනගරය වෙත යවා, ඉන්පසු රටෙන් පිටට යැවීම එම දෙමාපියන්ගේ අපේක්ෂාව විය. තම පාසැල් වියේ වු දරුවා නිවසේ තබාගැනීමට නොහැකි වුයේ LTTE විසින් විමුක්තිදායකයකු ලෙස හො හමුදාව විසින් සැකකරුවෙකු ලෙස හෝ තමදරුවා බලහත්කාරයෙන් රැගෙන යාවී යන පීඩනය හේතුවෙනි.

යුද්ධය උතුරේ මෙන්ම දකුණේ තරුණ, තරුණියන් ශාරිරිකව හෝ මානසිකව අබාධිත කරණ ලදී. එම තරුණ ජිවිත අබාධිත කිරීමේ වගකීම දකුණේ සිංහල බෞද්ධ බහුතරයෙන් පත්වු සියළුම ආණ්ඩු සහ දේශපාලන ව්‍යාපාර විසින් බාරගත යුතුය. නමුත් දකුණේ සමාජය තරුණ, තරුණියන් ශාරීරිකව හෝ මානසිකව අබාධිතවීම බාරගනු ලබන්නේ උතුර හේතුවෙන් සිදුවූවක් ලෙසිනි. උදාහණයක් ලෙස, එක් විශේෂ කොට සැලකිය යුතු හිටපු හමුදාශ‍්‍රමිකයකු කොටුවේ පැවති උද්ගෝෂණයේ දී මාධ්‍ය වෙත පවසන්නේ ඔහුගේ තරුණ ජිවිතයේ වසර ගණනාවක් හමුදාවේ ගෙවු බවත්, අවසානයේ තමාගේ ශරීරාංග යුද්ධයේදී අහිමිවූ බවත් ය. එවැනි විශේෂ කොට සැලකිය යුතු කණ්ඩායමක මෙන්ම අන් සියළුම ශ‍්‍රමිකයන්ගේ ද හිමිවිය යුතු විශ‍්‍රම වැටුප් නිසි ලෙස ගෙවීම රජයේ කාර්යභාරය වේ. ජනතාව අපහසුතාවයට පත්කිරීම සම්මුතිවාදී රජයක වගවීම පැහැර හැරීමකි. විශේෂ කොට සැලකිය යුතු හිටපු හමුදාශ‍්‍රමිකයා මාධ්‍ය වෙත කරණ ලද ප‍්‍රකාශනය 2015 දී වට්ටාහලෙයි දී හමුවු ස්ත‍්‍රීන් ගේ අඛානයන්ගේ මතකයන් වෙත මා රැගෙන යන ගියේ ය.

එකී ස්ත‍්‍රීන් තරුණ වියෙහි වූ අතර බහුතරයක් මුණිස්සම් ශරිරගතව ජිවත් වෙයි. එක් යුවතියකගේ රුව මගේ සිතෙහි දැඩිව ඇදී තිබෙන්නේ ඇයගේ රූපවත් බව සහ පාසල් යෞවනත්වය හේතුවෙනි. මුලතිව් මුහුද අසබඩ කුඔුරෙහි ගොවිතැන් කරමින් සිටි ඇයගේ පියාගේ ජීවිතය සුනාමි රළ විසින් රැගෙන ගොස් තිබුණේ දුක මත තවත් දුක් කන්දරාවක් ගොඩගසමිනි. 2009 යුද්ධයේ දී අවතැන්ව තැනින් තැනට යමින් සිටි නිරායුධ ඇගේ වැන්දඔු මව සහ සහෝදරයන් හමුදාවෙන් එල්ල වූ ප‍්‍රහාරයකට මැදි වූ අතර එම ප‍්‍රහාරයේ දී ඇයගේ හිස සහ මොළය තුවාල විය. හිස තුළ තවමත් රැදී ඇති මූනිස්සම් කැබලි හේතුවෙන් ඇය ඉතා ඉක්මනින් වෙහෙසට ලක්වේ. පාසැලේ දී ඇය පසුගාමී වන අතර කිසිදු විෂය බාහිර ක‍්‍රියාකාරකමක් වෙත ඇය යොමු නොවන්නේ මොළය තුළ වන මුනිස්සම් ක‍්‍රියාකාරිත්වය බලපෑමෙන් ඇය, දැඩි සංවේදී සහ දැඩි ආවේගශීලි ප‍්‍රතිචාර දැක්වීම හේතුවෙනි. ඇය පසුකරමින් සිටින්නේ නව යොවුන් වියයි. ඇගේ මවට පවතින ප‍්‍රධානම ගැටළුව නම් මේ දැරිවි ට අනාගතයක් සදා දෙන්නේ කෙසේද යන්නය. එසේම දෙදරු මවක් වන ඇය සිය අතුරුදන් පුරුෂයා සොයා ඇවිදින්නේ තම හිසෙහි ද ඇති බෝම්බයක කොටස් ද සමගිණි. ඇය මා සමඟ මෙසේ පැවසුවාය ;

”ඔඩිඩුසුඩාන් වල අව්ව සැරයි. පායන කාලේට මට හරියට තරහා එනවා. ඔලුවේ කැක්කුම ඉවසන්න බෑ. එත් දරුවොත් අරගෙන මම හැමතැනම යනවා මගේ මනුස්සයාව හොයන්න”.

තවත් ස්ත‍්‍රියක් ප‍්‍රකාශ කළේ ඇය තම දියණිය සමඟ අවතැන් ව පාසලේ නිදා සිටින විට එක්වරම පුපුරාගිය මෝටාරයක්, උකුලේ නිදා සිටි සිය දියණිය මරාදැමු අතර ඇයගේ පාදය ද අහිමි කෙරූබවය. ඇයට නිවසක් ඉන්දීය ආධාර යටතේ හිමිවුව ද ලැබී තිබෙන පෝච්චි වැසිකිලිය ඇයට භාවිතා කළ නොහැක්කේ ඇයගේ එක් පාදයක් හමුදා මෝටාර් ප‍්‍රහාරයෙන් අහිමි වූ හෙයිනි. සබිබසකලමනාවම යුද්ධයකට බිලිකොට ජිවිතය බේරා ගැනීමට දිවගිය ඔවුන්ට අවශ්‍යතාව අනුව වැසිකිලියක් තනා ගැනීමට මාසික දිමනාවක් හෝ ගෙවීමක් ආණ්ඩුවෙන් නොකරයි.

පසුගිය දිනක මා කරුණාකරන්ගේ ‘මතක වන්නිය‘ කියවීමි. එය යුද්ධයේ ඇති ප‍්‍රචණ්ඩකාරි, මර්ධනීය දේශපාලනය මනාව පැහැදිලි කරයි. යුද්ධය සැමරුමක් නොවන අතර එය පිටු දැකිය යුතු ප‍්‍රපංචයකි. එයින් භුමියක් බේරාගනු ලැබූවා යැයි පැවදුව ද, මිනිසා සහ මිනිසාගේ සියලු පේ‍්‍රමණිය ධාරාවන් සම්පුර්ණයෙන් ම විනාශ කරනු ලැබ තිබේ. යුද්ධයේ දී මිය ගිය මෙන්ම මරාදැමු සියල්ලන්ම මිනිසුන් වන අතර කොටසක් ‘විරුවන්ව‘ හෝ කොටසක් ‘දුෂ්ඨයන්‘ නොවේ. හමුදාව රජයේ සේවාවක් හෙයින් විශ‍්‍රම වැටුප් ලැබීමට සුදුසු වනවා මිස හමුදාශ‍්‍රමිකයන් විරුවන් වීම හෝ එනයින් විශ‍්‍රම වැටුප් වරප‍්‍රසාදයක් ලෙස ලබාදිය යුතුයැයි තර්කණය කළ නොහැකිය.

තිස් අවුරුදු යුද්ධයක් පුරවැසියන් පමණක් නොව ආයතන ද ආබාධිත කර ඇත. කිලිනොච්චි නගරයේ පිවිසුමේ සදහන් වන්නේ, කිලිනොච්චිය යනු සාමයේ සහ අපේක්ෂාවේ නගරය බව ය. සැබැ අරුතින් සාමය මෙන් ම අපේක්ෂාව ද නිශ්චිත නොවන නගරයක් වන කිලිනොච්චියේ සිටි කාලයේ දී මා වන්නිවරු හදුනාගැනීමට උත්සහා කළෙමි. කරුණාකරන්ගේ ‘මතක වන්නිය‘ කියවා මම පහත සටහන ලියා තැබීමි.

‘‘ඔවුහු කඳවුරු තුළ හාමත්ව සහ
පි‍්‍රයයන් අහිමිව දුක් විදින විට
අප කිරිබත් කා (ඊනියා)නිදහස සැමරුවෙමු.
යුද්ධය අවසන්ව වසර හයකට පසුව
මා වන්නියට ගියවිට…
වන්නි කුඔුරේ බත සමඟ බටු සහ මුරුංගා උයා කන්න දී
කර්තකොලොම්බන් ද කන්න යැයි කීවේ
එදා කදවුරේ කොටුකරන ලද
වන්නිවරුන්මය”

අරුණි සමරකෝන් | Aruni Samarakoon

සබැදි සටහන්

‘විරු’ ලේබල් ‘ජාතිවාදය’

යහපාලනය සහ හමුදා වන්දනීකරණය

හෘද සාක්ෂිය නිහඬයි