ස්ත්‍රී දූෂණයකදී හෝ විශේෂයෙන් ලිංගික හිංසනයකදී, එම සිදූවීමෙන් අනතුරුව, ඊට සමාජය මෙසේ ප්‍රතිචාර දක්වන්නේ නම් ඉන් කියවෙන්නේ කුමක්ද?

‘එයා ඉල්ලගෙනනෙ කෑවෙ…’

දූෂණයට හෝ හිංසනයට ලක්වුණේ පහතින් දැක්වෙන ලක්ෂණ සහිත ස්ත්‍රියක් නම් ඉහත ප්‍රතිචාරය අසන්නට ලැබෙන බව මගේ අත්දැකීමයි.

සමහර ගැහැණුන්ට සාපේක්ෂව, සිරුර පෙනෙන ලෙස ඇඳූම් භාවිතය විලාසිතා කිරීම
දූම් පානය හෝ මත් පැන් පානය කිරීම
රාත්‍රී කාලයේ ගමන් බිමන් යාම
පිරිමි මිතුරන් ලෙස ඇසුරු කිරීම
සමාජයේ ආකල්ප පිළිබඳව අවධානය යොමු නොකිරීම

කෙටියෙන් කිවහොත් මේ සියල්ල ගැහැණියකගේ ස්වාධීනත්වයේ ලක්ෂණයි ග්‍රාමීය ප්‍රදේශ වල මේ තත්වය බහුල වන අතර, නාගරික ප්‍රදේශ වල ස්ත්‍රී දූෂණ සාපේක්ෂව අඩු වුවත් මේ හා සමාන ද්වේශ සහගත ප්‍රකාශ නිතර අපට අසන්නට ලැබේ. මෙවැනි ප්‍රතිචාර දකින්නට ලැබෙන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරවය. විවාහය සම්බන්ධව වයස් සීමා ඉවත් කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින් අතර මුස්ලිම් ජාතික ගැහැණුන්ද දකින්නට ලැබීම එයට උදාහරණයකි. දූෂකයා හෝ හිංසකයා එසේ කරන්නේ කුමන හෝ මානසික අසමබරතාවයකින් වුවද, ඉහත සඳහන් කුමන හෝ ලක්ෂණයක් දූෂණයකට ප්‍රමාණවත්, දූෂණයට ලක්වීමට සුදූසු කමකි, ඉල්ලං කෑමකි. දූෂණයකින් හෝ හිංසනයකින් පසුව බාහිර සමාජය එය ඉල්ලං කෑමක් ලෙස අර්ථ දක්වන විට ඉන් දූෂකයාගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමක් පැහැදිලිවම සිදූ වන අතර, දූෂකයා හෝ හිංසකයා පෙළඹවීම යැයි චෝදනාවක් කර ගැහැණිය වරදකාරිය බවට පත් කරයි.

pa4

ඉහත ලක්ෂණ වැඩි වන තරමට වරදේ බර තවත් වැඩිය. එසේ වරදේ බර වැඩි වන්නේ ඇයි? ‘ඉල්ලං කෑම’ යන වචනයට පොදූ ජන විඥානය තුළ ඇති නියම තැන සොයා ගැනීමට මෙය උපකාරී වෙයි. ජනප්‍රවාදයක් ලෙස සැලකෙන මේ ‘ඉල්ලං කෑම’ සමාජය තුළ වරනැඟෙන ආකාරය ගැන කෙටියෙන් සලකා බලමු. බීමත් පුද්ගලයෙකු කළහකාරී ලෙස හැසිරී ගුටි කන අවස්ථාවක් ඉල්ලං කෑමක් ලෙස හැඳින්විය හැකිය.

සාමාන්‍යයෙන් ලංකාවේ නම් සැමියා ‘බිරිඳ අතර ගැටුමකදී බිරිඳගේ, අපි කියන විදිහට කට ගහගෙන යාම නිසා ගුටි කයි නම් එය බිරිඳගේ ඉල්ලං කෑමකි. ලංකාවේ විශ්ව විද්යාකල සිසුවෙකු තමන්ගේ කථිකාචාර්ය වරයා සමඟ වාදයක පැටලී උපාධියේ පන්තිය අහිමි කර ගැනීම ඔහු කරන ඉල්ලං කෑමකි. මේ ආකාරයට මෙම ‘ඉල්ලං කෑම’ එහි උපරිමය දක්වා ගෙන ගියහොත් එය මේ රටේ එක්තරා පාලන යුගයකට සම්බන්ධ කොට පහසුවෙන් වටහා ගත හැකිය. එම පාලන යුගයේදී මාධ්යනවේදීන් ගණනාවක් පවතින පාලනය හෝ පාලකයින් විවේචනය කිරීම හේතුවෙන් අතුරුදහන් කෙරුණි, නැති නම් ඝාතනය කෙරුණි. එහිදී මාධ්ය්වේදීන් කර ඇත්තේ ඉල්ලාගෙන කෑමකි. සරලව කිවහොත් ප්රකදීප් එක්නැලිගොඩ කර ඇත්තේ ඉල්ලං කෑමකි. සමාජ දේශපාලන අර්ථයකින් ‘ඉල්ලං කෑම’ තව ටිකක් ඉදිරියට ගෙන ගියහොත් ප්‍රභාකරන් කර ඇත්තේද ඉල්ලං කෑමකි.

ඉහත විවිධ සන්ධර්භ වලදී, එකිනෙකට වෙනස් ආකාරයේ සිදූවීම් වලදී, ඉල්ලං කෑමේ ස්වරූපය වෙනස් වුවද, ඒ සෑම ආකාරයේ ඉල්ලං කෑමකටම පොදූ ලක්ෂණයක් ඇත. එනම්, ඉල්ලං කන පුද්ගලයා එසේ ඉල්ලං කන්නේ ඔහුගේ හෝ ඇයගේ වරදක්, අඩුපාඩුවක්, දෝශයක්, නොපෑහීමක් වැනි දෙයක් හේතුවෙනි. නොඑසේනම් එය අනෙක් පාර්ශවයේ වරදක්, අඩුපාඩුවක්, දෝශයක් හෝ චණ්ඩි කමක් නොවනු ඇත. නමුත් අප ඉල්ලං කන්නාගේ පාර්ශවයේ සිට ගතහොත් තත්වය අනෙක් පැත්තට අර්ථ ගැන්වෙනු ඇත. එනම්, මෙම සෑම ඉල්ලං කන්නෙක්ම එසේ වී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ ස්වාධීන, නිදහස් චර්යාව හේතුවෙනි. කොටින්ම, අනෙකාගේ චර්යාවට නොගැලපෙන චර්යාවක් හේතුවෙනි. එහිදී අහිමි වී ඇත්තේ ඉල්ලං කන පාර්ශවයේ නිදහසයි. ප්‍රගීත් එක්නැලිගොඩ වැනි ඉල්ලං කෑමකදී නිදහස යනු අතිශය තීරණාත්මක සංකල්පයකි.

අපි මෙම වටහා ගැනීම අප අර මුලින් කී ලක්ෂණ සහිත, දූෂණයට ලක් වන ගැහැණියට ආදේශ කර බලමු. මේ ලිපියේ මුලින් කී චරිත ලක්ෂණ හේතුවෙන් ඇය අනෙකාගෙන්, නැතිනම් සමාජයෙන් වෙනස් චර්යාවක් ඇත්තියකි. මේ හේතුවෙන් සමාජය සහ ඇය අතර ඇත්තේ නොගැලපීමකි. නොපෑහීමකි. නමුත් ඇයගේ පැත්තෙන් එය ඇගේ ස්වාධීනත්වය හෝ නිදහස වේ. රටේ පොදූ නීතියට පටහැණි නොවන ලෙස තමන් කැමති, තෝරාගත් ජීවන ශෛලියක් හෝ විලාසිතාවක් කිරීමට ඇයට අනුව ඇයට නිදහසක් ඇත. කෙනෙකුට නිදහස අවශ්‍ය වන්නේ වෙන කිසිවක් සඳහා නොව ස්වධීනත්වය සඳහාය. නිදහස යනු නූතනවාදී බටහිර සංකල්පයක් යැයි පවසා ඕනෑම කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය. ඇත්ත. එය නූතනවාදී බටහිර සංකල්පයකි. නිදහස, මානව අයිතිවාසිකම්, බටහිර NGO ව්‍යාපෘති යැයි තවත් සමහරු පවසති. මේවා බටහිරද නැගෙනහිරද යන්න අපට නම් ගැටළුවක් නොවේ. මේවා නූතනවාදී හෝ පශ්චාත් නූතනවාදී සංකල්ප වුවත් අපට කිසි ගැටළුවක් නැත. ඒ එක් කාරණයක් හේතුවෙනි. ඒ නිදහස, මානව අයිතිවාසිකම් යනු පෘතග්ජන මිනිසාගේ දියුණු මානුෂික තත්වයක් වන නිසාය. කොටින්ම මිනිස් වර්ගයාගේම මානුෂකරණ ක්‍රියාවලියේ උසස් ප්‍රතිඵයක් හේතුවෙනි.

දැන් මෙය කෙනෙකුට ලිබරල්වාදී චින්තනයක් ලෙස නම් කළ හැකිය. කමක් නැත. තාර්කිකව ගත හැකි වෙනත් මාර්ගයක් අපටනම් දකින්නට නැත. මන්ද, සංස්කෘතිකව හෝ ප්‍රාදේශීයවාදී, ජාතිකවාදී හෝ වේවා සමාජයක් තුළ සිදූ වන අගතීන් හෝ නොදියුණු, පසුගාමී අන්තවාදයන් හෝ සමාජ ආකල්පයන් හෝ සම්මතයන්ට වඩා නිදහස සහ මානව අයිතිවාසිකම් වැදගත් බව අපේ හැඟීමයි. එවිට යමෙක් මෙසේ පවසනු ඇත. ඒ ඒ සංස්කෘතීන්ට තම තමන්ගේ සංස්කෘතික රැක ගැනීමට ඔවුන්ට ඇති බවය. එවැනි අවස්ථා වලදී ඔවුන් කතා කරන්නේ සාමූහික අයිතියක් පිළිබදවය. අපගේ නිදර්ශනයට අයත් ගැහැණිය සම්බන්ධයෙන් අප කථා කරන්නේ අයිතිය හෝ නිදහස පිළිබඳ පුද්ගලික ස්වරූපයෙනි. පුද්ගලයාට එරෙහිව සාමූහිකත්වය තැබීම පිළිබඳ කථාව පසෙක තබා අපට අසන්නට ඇත්තේ වෙනත් ප්‍රශ්ණයකි. සංස්කෘතිය යනු ගලක්, පර්වතයක් වැනි යමක්ද? වඩා මානුෂීය, දියුණු, ඉදිරිගාමී සාමූහික සහ පුද්ගල පැවැත්මක් සඳහා සංස්කෘතික හෝ සම්ප්‍රදායික සීමාවන් වෙනස් කළ යුතු නොවේද? මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ඨකරණ ක්‍රියාවලියේ පැවැත්ම සඳහා එය වඩා සුදූසු වනු ඇත. උදාහරණයක් ලෙස ඉස්ලාමීය ආගමික අන්තවාදයට හෝ ශරියා නීති ක්‍රමයට අප විරුද්ධ විය යුත්තේ සංස්කෘතියේ නාමයෙන් නොව, ජාතියේ නාමයෙන් නොව, එය මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ඨත්වය හෝ ශිෂ්ඨාචාරය ආපස්සට හරවන බැවිනි. මේ හේතුවෙන් කිසියම් සමාජයක සංස්කෘතික සීමාවන් හෝ සමාජ ආකල්පයන් හෝ සම්මතයන් හෝ හේතුවෙන් පීඩාවට පත් වන පාර්ශවයට නැති වන්නේ නිදහස සහ ඔවුන්ගේ ස්වාධීනත්වයයි.

p3

අප මෙතරම් දූර රැගෙන ගිය ‘ඉල්ලං කෑම’ ගැන සංවාදය දැන් මේ ලංකාව නමැති භූගෝලීය භෞතික සීමාවට රැගෙන එමු. මේ ලිපියේ මුලින් කී චරිත ලක්ෂණ නැවත මතක් කර ගැනීම ඒ සඳහා අත්ක‍යවශ්‍ය කරුණක්. මෙහිදී අප, උසස් පෙළ සිසුවෙකු වුවද දන්නා වෙනත් කරුණු කිහිපයක්ද උපකාරී කර ගත යුතුය.

ලංකාව යනු සිංහල ‘බෞද්ධ බහුතරයක්, දෙමළ, මුස්ලිම් සුළුතරයක් වෙසෙන රටක් බව.
ලංකාව යනු ග්‍රාමීය ප්‍රදේශීය බහුල, අඩුවෙන් නාගරීකරණය වූ රටක් බව.
ලංකාව යනු ඉංග්‍රීසි වික්ටෝරියානු සදාචාරයේ ඵෙතිහාසික බලපෑමකට හසු වූ රටක් බව.
ලංකාව යනු සංස්කෘතිකව සහ දේශපාලනිකව නවීකරණය නොවූ ණය බරින් මිරිකෙන ආර්ථිකයක්
සහිත රටක් බව.

අපට සිතෙන්නේ ලංකාව සම්බන්ධයෙන් ඉහත සාධකයන් අපට ප්‍රතික්ෂේප කළ නොහැකි අතර ඉල්ලං කෑම පිළිබඳ අපගේ මේ සාකච්ඡාවේදී අප ලංකාව යනු මෙවැනි රටක් යැයි අමතරව මතක තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. මේ සංවාදයේදී අප නිදර්ශනයට ගන්නා මේ ලිපියේ මුලින් සඳහන් ලක්ෂණ සහිත ගැහැණිය මේ රටේ පොදූ නීතියට අනුව වරදක් කරන්නේ නැත. පුද්ගල නිදහස සහ අයිතිවාසිකම් සම්බන්ධව අප භෞතික සාමූහික සීමාවන් පනවා ගන්නේ නම් එය මේ රටේ පොදූ නීතිය යැයි ගනිමු. දූම් බීම වරදක් වන්නේ පොදූ ස්ථානයකය. එම සිවිල් නීතියේ ගැහැණු පිරිමි භේදයක් නැත. රටේ මූලික නීතියේ තමන් කැමති තැනකට, තමන් කැමති වේලාවක යාමට ඒමට ඇති මූලික මිනිස් අයිතියේ ගැහැණු පිරිමි භේදයක් නැත. නමුත් මේ රටේ රාත්‍රී කාලයේ ගැහැණුන් ගෙදරින් එළියට යාම පිළිබඳ ගැටළු ඇත. මේ රටේ නීතියේ කිසිදූ තැනක පුද්ගලයන් අඳින පළඳින ආකාරය ගැන සීමාවන් පනවා නැත. නමුත් විලාසිතා පිළිබඳව අනෙකා ඉවසන මානසිකත්වයක් බහුතර සිංහල බෞද්ධ ජන සමාජය තුළ නැත. අපට අනුව ඒ කුමන ජාතියක හෝ ආගමක වේවා, ඒ කිසිවෙකුට නැත්තේ විලාසිතා පිළිබඳ සංස්කෘතියයි. කොටින්ම ඔවුන්ට ඒ ගැන සාමූහික අදහසක් නොමැති කමය. නැතහොත්, කුමන හෝ හේතුවක් නිසාවෙන් තමන්ට නොකළ හැකි, තමන් ආශා කරන දෙයක් තවකෙකු කරනු දැකිමට බැරි ද්වේශ සහගත කුහක කමයි.

අපට අනුව නම් ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන සමාජ තුනම ගැහැණිය සම්බන්ධයෙන් විවිධ වූ සංස්කෘතික සීමාවන් පනවාගෙන ඇති අතර, ජන සමාජ වෙනස් වුවද ලංකාවේ ගැහැණිය පිළිබඳ සමාජ ආකල්පය සම්බන්ධයෙන් ඒ සියල්ල පොදූවේ බලපානු ඇත. එනම් ‘මිනිස්’ නමැති පොදූ අවකාශයෙන් ගැහැණිය ගලවා තැබීමකි. ඇය විශේෂය. එබැවින් ඇයට විශේෂ වූ හැසිරීමක් තිබිය යුතුය. මෙය පිරිමියා සහ ගැහැණිය අතර ස්වභාව විද්‍යාත්මක වෙනසක් පිළිබඳ ගැටළුවක් නොවේ. ඒ වෙනුවට එය සමාජීය ස්ත්‍රී – පුරුෂ භාවය මත වෙනස්කොට සැලකීම පිළිබඳව සමාජයක පවතින පසුගාමී සංස්කෘතික සීමාවකි. සමාජ සම්මතයකි. සමාජ ආකල්පයකි. මේ අනුව කිසිදූ ජාති භේදයකින් තොරව ලාංකීය සමාජය ඉහත ගැටළුවෙන් යුතු සමාජයකි.

ලිපියේ මුලින් සඳහන් සියළු ලක්ෂණ,මේ අනුව සත්‍ය වශයෙන් මේ රටේ පවතින නෛතික සීමාවන් නොව සංස්කෘතික සීමාවන්ය. ජාති භේදයකින් තොරව ලංකාවේ ගැහැණිය පිළිබඳ සමාජ සම්මතය සහ ආකල්පය ගොඩනැගෙන්නේ එම සාධක වෙත පොදූ විරෝධයක් සහිතව බව අපට පිළිගැනීමට සිදූ වෙයි. අපට අනුව නම් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු ඇතුළු පිරිස ඉංග්‍රීසි ජාතික කාන්තාවක් සාමූහිකව දූෂණය කිරීම, හුදෙක් ඔවුන්ගේම සුවිශේෂ වූ ලිංගික ආශාවක් සන්තර්පණය සඳහා පමණක් ලඝු කළ නොහැක. එම දූෂණය තුළ ගැහැණිය පිළිබඳ ලාංකීය සමාජ ආකල්පයේ බලපෑම, ඒ සෑම දූෂකයෙකු සම්බන්ධයෙන් ප්‍රබල සාධකයකි. ඊට, ඒ සිදූ විමත්, එය සිදූ වූ ආකාරයත්, ඇය විදේශීය කාන්තාවක වීමත් යන සාධක ඉතා හොඳ සාක්ෂ්‍ය වේ. එසේම වයස අවුරුදූ 35ත් – 50ත් අතර කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙය අදාල වේ. මාධ්‍යයෙන් වාර්තා වන බොහොමයක් ස්ත්‍රී දූෂණ සිදූ වීම් මේ වයස් කාණ්ඩය මගහරියි. එසේම ඒවා නීත්‍යනුකූලව හරි ආකාරව වාර්තා වන්නේද අඩුවෙනි. ලිපියේ මුලින් කී ලක්ෂණ සහිත මෙම වයස් කාණ්ඩයේ කාන්තාවන්, දූෂණයට හෝ හිංසනයට ලක් වන්නේ ලංකාවේ පොදූ සමාජ සම්මතයට නොගැලපෙන ඔවුන්ගේ එම චර්යාවන් හේතුවෙනි. වැලිගමදී විදේශීය කාන්තාවත්, ලංකාවේ ඉහත වයස් කාණ්ඩයට අයත් කාන්තාවත් යන දෙදෙනාම එසේ දූෂණය වන්නේ පොදූ සමාජ සම්මතයට නොගැලපෙන නිසාය. එබැවින් එය ඉල්ලං කෑමකි.

අපට අනුව නම් සිංහල, දෙමළ, මුස්ලිම් වේවා ලංකාවේ පොදූ සමාජ ආකල්පය ගැහැණිය සම්බන්ධයෙන් වෙනසක් නැත. තවමත් මේ ජන සමාජ තුනේම ස්ත්‍රී පුරුෂ භේදය මත පදනම් වූ ගැහැණිය සම්බන්ධ සංස්කෘතික සීමාවන් ඇත. පුද්ගලික නිදහස හා ස්වාධීනත්වය මත පදනම් වූ සමාජ ජීවිතයක් ගත කිරීමට එය බාධාවකි. ලංකාව වැනි රටක එම බාධාව ස්ත්‍රී දූෂණයක් හෝ ලිංගික හිංසනයක් ලෙස ප්‍රකාශයට පත් විය හැකිය. අර නිදහස් සහ ස්වාධීන ජීවිතයක් ගත කරන ගැහැණිය කරන්නේ ඉල්ලං කෑමක් වනු ඇත. මේ නිසා අප කුමන ජාතියක හෝ ජන සමාජයක වුවද, ඇති පසුගාමී සමාජ ‘ සංස්කෘතික තත්වයන් විවේචනය කළ යුතුය. එසේ නොකළහොත් වෙනස්, නිදහස්, ස්වාධීන ගැහැණුන්ට සිදූ වන්නේ සදාතනිකව ඉල්ලං කෑමටය. ශිෂ්ඨ සම්පන්න සමාජයක එය එසේ නොවිය යුතුය.

වසන්ති අල්විස් | Wasanthi Alwis

www.bakamoono.lk