Image: AP Photo/Ramon Espinosa
ලොව අසහාය නායකයෙකුගේ නික්ම යාම මහා බලවත් පාඩුවක් යැයි අතිශයෝක්තියෙන් පැවසිය යුතු නැත. එසේ පැවසිය යුතු නැති වන්නේ ඔහු තම ජීවිත කාලය තුල තම ශ්‍රේෂ්ඨත්වය ක්‍රියාවෙන් පෙන්වා අවසන් කළ ශ්‍රේෂ්ඨයෙකු වීම නිසා වේ. ෆිදෙල් කැස්ත්‍රෝ කී පමණින් ඔහුගේ විප්ලවීය පෞර්ෂය අප මනසේ සටහන් වන්නේ තවත් රූපයක් ද සනිටුහන් කිරමිණි. ඒ අන් කිසිවකු නොව අර්නස්ටෝ චේ ගවේරා ය. මාක්ස් එංග්ලස් මෙන්ම ෆිදෙල්, චේ යනු විප්ලවයේ දැවැන්ත ප්‍රතිරූප දෙකකි. විප්ලවීය ජීවයත් න්‍යාය හා භාවිතාවත් එකසේ ආදර්ශමත් දහමක් කරමින් ලතින් අමෙරිකාව පමණක් නොව සෙසු රටවල්වල සමාජ විප්ලවයන්ට උත්තේජනය සැපයූ යුග පුරුෂයන් ය. චේ ගවෙරා නොමැතිව කස්ත්‍රෝ කෙනෙකු නැත යැයි පැවැසිය නොහැකි වුවත් කස්ත්‍රෝ කෙනෙකු නො මැතිව චේ කෙනෙකු නැත යැයි කිව හැකි ය. ඒ මෙක්සිකෝවේ දී වත්මන් කියුබානු ජනපති රාවුල් කස්ත්‍රෝගේ මැදිහත් වීමෙන් ෆිදෙල්ට චේ මුණගැස්වීම ය. මෙම ඓතිහාසික හමුවීමෙන් අනතුරුව අද ලොවට ඉතිරි කර ඇති මතකය පීඩිත ජනයාගේ ද සමාජවාදය ප්‍රාර්ථනා කරන්නගේ ද හදවත් වලින් මැකිය නො හැකි වනු ඇත.
කස්ත්‍රෝගේ අභාවයත් සමග අමෙරිකානු මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සතුට බුක්ති විඳින දර්ශන වලින් විප්ලවවාදියෙකුගේ ගුණය හා ආදර්ශය වැසිය නො හැකි වන්නා සේම, ඩොනල් ට්‍රම්ප් වැන්නෙකුගෙන් “මිනීමරු ඒකාධිපතියා” යන්නට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. හෙට දින කියුබාවේ සමාජවාදය වෙනස් වුවත් කස්ත්‍රෝගේ කියුබානු පාලනය විසිවෙනි සියවසේ රාජකීය පෙළපතකට හිමිකම් නො කියූ දීර්ඝතම කාලයක් පාලනය ගෙන ගිය එකම නායකයාගේ පාලනය ය. ලිබරල් ධනේශ්වර අර්ථයෙන් අත්තනොමතිකත්වයක්, ඒකාධිපතිත්වයක්, බල ලෝභයක් යැයි යන වදන් වලින් විවේචනයක් ගෙන ආ හැකි වුවත්, තම ජීවිත හා පාලන කාලය තුල ගෙන ගිය අභීත නායකත්වය කියුබාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම හිස් තැනක් පෙන්වීමට නො හැකි ලෙස දේශපාලනික පරිණතභාවය ප්‍රකට කළ ශ්‍රේෂ්ටයෙක් විය.
පරම්පරා ගණනකට විප්ලවයේ සහෝදරයා මෙන්ම විප්ලවයේ පිතෘවරයෙකු ලෙස මිනිස් හදවත් සමාජවාදය වෙනුවෙන් ජීවත් වන්නන්ගේ සිත් තුල අපරාජිත ශක්තියක් ගෙනදුන් මහා මිනිසා ලංකා භූමියේ සමාජවාදයත් විප්ලවයත්, වෙනුවෙන් නැගී සිටින්නන්ට බලා ඇති අන්දම දෙස බැලීමේ දී අපට ලොව අනෙකුත් දේශයන්ට යන්නට ද අවැසි නැත.
මාක්ස්වාදය හා සමාජවාදය දේශපාලනික මතවාදයක් හා රටක් පාලනය කරන ක්‍රමයක් ලෙස යටත් විජිත කාලයේ දී ලංකාවට පැමිණ වර්ධනය වුවත්, ලංකා ඉතිහාසයේ පශ්චාත් යටත් විජිත ගමන් මග වෙනතකට හැර වූ හැත්තෑ එකේ අරගලය පමණක් නොව දෙමළ විමුක්ති අරගලයට ද පණ ගෙන දුන් ආදර්ශය වූයේ කියුබානු විප්ලවය හා ඊට පදනම් වූ මොන්කාඩා ප්‍රහාරය යි. අසාර්ථක වුවත්, විවේචන ගෙන දෙන්නේ උවත්, ඉතිහාසය සිදු වී ඇත්තේ එසේ ය. ට්‍රොට්ස්කිවාදයෙන් පරිභාහිරව තනි රටක සමාජවාදය ගොඩ නැගිය හැකි බවත්, මහ බලවතුනට අභියෝග කරමින්, සම්බාධක පිට සම්බාධක පැමිණිය ද රටක ජනතාවට ජීවිතය ගෙන දිය හැකි බව පෙන්වන්නට ඇති රට කස්ත්‍රෝගේ නායකත්වයෙන් යුතු කියුබාවය. සර්ව සම්පූර්ණ මිනිසුන් නැතිවා මෙන්ම, සර්ව සම්පූර්ණ පාලන ක්‍රම ද නැති තැන, කියුබානු පාලනයේ හිස්තැන් පෙන්විය හැකි වුවත්, රටක ජනයාගේ මූලික ජීවන අවශ්‍යතා සපුරමින් ජීවත් වන්නට අවැසි පරිසරයක් නිර්මාණය කරන ලද්දේ මකර කටක ඉඳගෙන බව ලංකා අපට කියුබාව දෙස බැලීමට සාධාරණ භෞමික හා කාලාපීය සාධක සපයා ඇත. එබැවින් විප්ලවීය ව්‍යාපාරයකට හා විප්ලවීය පෞර්ෂයකට කස්ත්‍රෝ සාධකය බැහැර කළ නො හැකි ය.
අර්නස්ටෝ චේ ගවේරාව විප්ලවවීය ආදර්ශමත් පරමාදර්ශයකට වඩා නූතන සමාජය රොමෑන්තික අනන්‍යතාවක් ගෙන දෙමින් සෑම තරාතිරකම මිනිසුන් වැළඳ ගනු ලැබුවත්, කස්ත්‍රෝ වැනි මිනිසෙකු අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම මගින් විප්ලවය හෝ සමාජවාදය රොමෑන්ටික් කිරීමට මේ ධනේෂ්වර වෙළඳපළට හෝ සමාජවාදී සතුරාට එතරම් පහසු නොවනු ඇත. එසේම සමාජවාදය වෙනුවෙන් ක්‍රියාකරන්නන්ට ද පහසු නොවනු ඇත.
ඒ ඔහුගේ ඇති එක් විශේෂී ලක්ෂණයක් මෙන්ම දේශපාලන ජීවිතයේ අරමුණක ඇති තේජස හා ශක්තිය ඔහු තුලින් සිය මරණය දක්වා ජීවත් කරවීමය. වාර සිය ගණනක CIA ඝාතන තැත්වලින් බේරිමට හැකි වූ මේ අසහාය විප්ලවවාදියා ඉතිහාසයට එක්කළ ඓතිහාසික වදන වූ “ඉතිහාසය මා නිවැරදි කරාවී (Hisrory will obsolve me) “යන්න අපට වෙනස් කරමින් කිව හැකි වන්නේ ලොව පවත්නා සමාජවවාදයක් හෝ කියුබානු සමාජවාදය හෝ ලොවට අහිමි වුවත් ධනවාදයට එරෙහි සටනේ විපකල්පය සමාජවාදී ආත්මය බැවින්, එදිනට මේ ලෝක ගෝලය ඔබ නිවැරදි කරනු ඇත” යන්නය. අප ජීවත් වන මෙම සමාජයේ ඔබ කොතරම් ප්‍රමාණයකින්, කොතරම් වාර ගණනකින් උස්සා පොළවේ ගැසූව ද, කුරුසයේ තබා ඇණ ගැසුව ද කම් නැත. ඔවුන්ට අප සමාව දිය යුතුය. ඒ ඔබගේ විශ්ව දෛර්යය හා අප්‍රහිත විප්ලවීය ගුණය නිසාය. එය කිසිවකුට පරාජය කළ නො හැකි ය. ෆිදේල් කස්ත්‍රෝ එක් අයෙකි. වෙන අන් කිසිවෙකු නොමැත. ඔබෙන් ඉගෙන ගත හැකි පාඩම් අතර විප්ලවීය ගුණය හා පෞර්ෂය සමාජවාදියෙකුට ප්‍රමාණවත් ය. ඔබ ගැන දුක් විය යුතු නැත. ලොවට ඔබ සටනේ ගිනි සිළුව දල්වා ඇත. එය රැගෙන නිරවැදි මාවතේ ගමන් කිරීම සමාජවාදීන්ගේ වගකීමය.
උදය ආර්. තෙන්නකෝන් | Udaya R Thennakoon