වර්තමාන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය තුළ, ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය සහ සමාජ ගිවිසුම යළි සැකසීම සඳහා ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වෙයි. මේ වනාහී, දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමග අපට අත්කර ගත හැකි වූ අවස්ථාවකි. ව්‍යවස්ථා සභා ක‍්‍රියාපරිපාටිය තුළ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවලින් සමන්විත මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ගැනුණි. එම මෙහෙයුම් කමිටුව අනතුරුව තව අතුරු කමිටු හයකට වෙන් කෙරුණු අතර ඒ එක් එක් කමිටුවට, විවිධ විෂය පථයන් අධ්‍යයනය කොට වාර්තා කිරීම පැවරුණි. මේ සතිය මුලදී, ඒ අනුකමිටු හයේ වාර්තා ව්‍යවස්ථා සභාව ඉදිරියේ තැබීය.

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ මේ සුවිශේෂී සංසිද්ධිය, මීට පෙර ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගෙන ඒම අරභයා ගත් ව්‍යායාමයන් ගැන මෙන්ම, සමහර විට, බලය බෙදා හැරීම පිළිබඳ කාරණය ගැනත් අවධානය යොමු කිරීමට මහඟු අවස්ථාවක් කර ගත හැකිය. වර්තමාන ව්‍යවස්ථාව තුළ, පිළිසකර කළ යුතු, බරපතල ඌනතා ඇති බවට පොදු පිළිගැනීමක් ශ‍්‍රී ලංකාවේ පාලක පංතිය තුළ තිබේ. එම ඌනතාවන් වශයෙන් හඳුනා ගැනෙන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය සහ බලය බෙදා හැරීමේ කාරණයයි. පළමු කාරණා දෙක සම්බන්ධයෙන්, ප‍්‍රතිපත්තිමය හෝ දේශපාලනික වශයෙන් බරපතල මතභේද නැතත්, බලය බෙදා හැරීමේ මාතෘකාව, රටේ පවතින වාර්ගික වෙනස්කම් තුළ තරමක සංකීර්ණ ස්වභාවයක් ගනී.

ශ‍්‍රී ලංකාවේ ඒකීය ව්‍යවස්ථාව තුළ ඇති කර ගත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ, බලය බෙදා හැරීමේ ක‍්‍රමය ලංකා සමාජය අත්දැක තිබේ. පළාත් සභා ක‍්‍රමය රෝගී කළ ප‍්‍රමාද දෝෂ බොහොමයක් ගැන රාජපක්ෂ පාලනය යටතේ සහ යුද්ධය අතරතුරේ ‘සර්ව පාක්ෂික නියෝජිත කමිටුව’ සහ ‘සර්ව පාක්ෂික විශේෂඥ කමිටුව’ මගින් සොයා බැලූ අතර, පළාත් මට්ටමේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය වඩාත් අර්ථවත් කළ හැකි සැලසුම් සහ සංශෝධන ඒ මගින් ඉදිරිපත් කෙළේය.

මෑතකදී පැවැත්වූ පළාත් සභා සම්මේලනය සහ එහි පරිපාටිය පිළිබඳ ප‍්‍රකාශනය තුළ, ප‍්‍රාදේශීය දේශපාලඥයන්ගේ, නිලධාරීන්ගේ සහ සිවිල් සමාජ ක‍්‍රියාධරයන්ගේ නියෝජනාත්මක හරස්කඩක් දැක ගත හැකි වූ අතර, බලය බෙදා හැරීමේ අභ්‍යාසය අර්ථවත් කොට ප්‍රමුඛ්‍යත්වයේ ලා සැලකීම කෙරෙහි පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ සහ පළාත් සභා පරිපාලනය පැත්තෙන් ඉමහත් උද්‍යෝගයක් පෙනෙන්ට තිබුණි. එය හුදෙක් තම තමන්ගේ අභිමතාර්ථ සාධනය කෙරෙහි දක්වන උනන්දුවක් වශයෙන් එක්තරා මට්ටමකදී දැක ගත හැකි වෙතත්, බොහෝ පළාත් සභා මන්ත‍්‍රීවරුන් අවසානයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බවට පත්වන තත්වයක් තුළ, ප‍්‍රාදේශීය ප‍්‍රජාව සහ පළාත් පරිපාලනය අතර සමීප බැම්මක් ඇති බව පෙන්නුම් කෙරේ. බලය බෙදා හැරීම පිළිබඳ සාකච්ඡාවලදී නිතර මතු වන ප‍්‍රධාන ප‍්‍රශ්න වන්නේ, කේන්ද්‍රය සහ පළාත අතර සම්බන්ධතාව, ෆිස්කල් සහ මූල්‍ය සංස්ථාපනයන්, රාජ්‍ය සේවය සහ පරිපාලනය, ව්‍යවස්ථා සම්පාදනය සහ පරිපාටිමය සහාය ආදියයි.

පළාත් සභා මන්ත‍්‍රණයන්හිදී නිතර මතුවන ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් තිබේ. එනම්, ඉඩම් බලතල සහ පොලිස් බලතලයි. බලය බෙදා හැරීම පිළිබඳව මීට පෙර පැවති ‘මංගල මුණසිංහ පාර්ලිමේන්තු කාරක සභාව’, 1994 කුමාරතුංග රජය මගින් ඉදිරිපත් කළ බලය බෙදා හැරීමේ යෝජනා, 2000 ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනා සහ සර්ව පාක්ෂික සමුළු වැනි සෑම පර්ෂද විමර්ශනයක් තුළදීම ඉඩම් බලතල මුළුමණින්ම පළාත් සභාවලට පැවරිය යුතු බවට පොදු සම්මතයක් තිබුණි. බොහෝ විට විවාදාපන්න වන පොලිස් බලතල පිළිබඳ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරිපත් වන තාක්ෂණික විසඳුමක් වශයෙන්, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පොලිස් සේවාවන් දෙකක් පවත්වා ගත යුතු බවට යෝජනා වී තිබේ. ඒ අනුව, බරපතල අපරාධ ජාතික මට්ටමේ පොලිස් අංශයට භාර වන අතර, රථවාහන වැරදි ඇතුළු වෙනත් සුළු වැරදි පළාත් පොලීසියට භාර වෙයි. එවැනි යාන්ත‍්‍රණයක් තුළ වඩාත් පුරවැසි-හිතවාදී, ප‍්‍රජාමූල සේවාවක් සැපයිය හැකි වන අතර, රට පුරාම කාටත් පහසුවෙන් සහ කාර්යක්ෂමව පොලිස් සේවාව ලබා ගත හැකි අවස්ථාවක් උදා වන්නේය.

බලය බෙදා හැරීමේ සංවාදයේ දේශපාලනය

දැනට පැවැත්වෙන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට අරමුණු දෙකක් තිබේ. වැඩිමනත් විවාදයට තුඩු නොදෙන ප‍්‍රථම අරමුණ වන්නේ, ශ‍්‍රී ලාංකීය සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් සහ උපලක්ෂණ වැඩි දියුණු කිරීමයි. දෙවැනි අරමුණ වන්නේ, විශේෂයෙන් වාර්ගික සහ සුළුතර ප‍්‍රජාවන්ට අයත්, ශ‍්‍රී ලාංකීය රාජ්‍යයෙන් බැහැර කරනු ලැබ ඇති සහ පරාරෝපණයට ලක්ව ඇති ප‍්‍රජාවන් නැවත රාජ්‍ය සමාජය තුළට ඇතුළත් කර ගැනීමයි. දශක ගණනාවක් තිස්සේ දිග් ගැස්සෙමින් තිබෙන ගැටුම්වල හේතුකාරකයන් පිළිබඳ සොයා බැලීම මීට ඇතුළත් වෙයි. දැනට තමන්ව බැහැර කොට ඇතැයි හඟින පිරිස් තුළ, තමන්ද මේ සමාජයට අයත් යැයි හැෙඟන තත්වයක් නිර්මාණය කළ යුතුව තිබේ. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිඥයෙකු වූ, එල්.ටී.ටී.ඊ, මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ, ආචාර්ය නීලන් තිරුචෙල්වම් ඉතා දක්ෂ ලෙස හැඳින්වූ පරිදි, එය, ‘බහු-වාර්ගික සමාජයක් මත, ඒක-වාර්ගික රාජ්‍යයක් පැටවීමේ විකෘතියකි.’

ශ‍්‍රී ලංකාවේ, වාර්ගික ජාතිකත්වයන් දෙකක් නොව, තුනක්ම තිබේ. එනම්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ය. යුද්ධයේ අවසානයත් සමග, සන්නද්ධ මාර්ගයෙන් රාජ්‍යයෙන් වෙන් වීමේ විභවය, අඩු වී හෝ නැති වී හෝ ගොස් තිබේ. ඒ නිසා, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම පිළිබඳව, මහ ජාතික ප‍්‍රජාව තුළ සෑහෙන එකඟතාවක් ඇති බවට සාමාන්‍ය විශ්වාසයක්, වර්තමාන ආණ්ඩුව කරවන ප‍්‍රධාන පක්ෂ දෙක තුළම තිබේ.

මේ මතය දේශපාලන විපක්ෂය විසින් ප‍්‍රශ්න කිරීමට ලක්විය හැකි බව දේශපාලන ක්ෂේත‍්‍රයේ අභ්‍යන්තරික පිරිස් විශ්වාස කරති. තමන්ගේ දේශපාලන විරෝධය අවුළුවා ගැනීම සඳහා මෙවැනි ප‍්‍රතිසංස්කරණ යෝජනා එන තෙක් එම කොටස් බලා සිටින බව විශ්වාස කෙරේ. මෑතකදී ජී. ඇල්. පීරිස්ගේ නාමික සභාපතිත්වයෙන් පිහිටුවා ගත්, රාජපක්ෂවාදී ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශීලී පෙරමුණ එහිදී මේ විරෝධය වඩාත් මතු කළ හැකි පාර්ශ්වයකි.

එහෙත් බලය බෙදා හැරීමේ සැබෑ තීරකයා වන්නේ, සිරිසේන/වික‍්‍රමසිංහ සන්ධානයට ගිය වසරේ ජනවාරියේදී මෙන්ම අගෝස්තුවේදීත් කෙලින්ම සහාය දැක්වූ, කල්තියා කිව නොහැකි, මුස්ලිම් ප‍්‍රජාවයි. නැගෙනහිර පළාතේ ඉතා විශාල මුස්ලිම් ප‍්‍රජාවක් වෙසෙති. බලය බෙදා හැරීම සම්බන්ධයෙන් සිංහල දකුණේ සමාජයට පිළිගත හැකි විසඳුමක් ඇති කර ගැනීම පමණක් නොව, නැගෙනහිර වෙසෙන මුස්ලිම් ප‍්‍රජාවටත් පිළිගත හැකි විසඳුමක් සකසා ගැනීමට, දෙමළ ජාතික සන්ධානයට සිදු වෙයි. එවැනි පොදු එකඟතාවක් ඇති කර ගැනීම කළ නොහැකි දෙයක් නොවේ. ඇත්තෙන්ම, පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවේ කැපී පෙනෙන අභ්‍යාසය තුළ සියල්ලන් ඇතුළත් කර ගන්නා සහ සියල්ලන් සහභාගී කර ගන්නා අවස්ථාවක් අපට දැක ගත හැකි විය. ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබෙන සහ ව්‍යවස්ථා සභාවේ සැලකිල්ලට ලක්වෙනු ලබන අනුකමිටු වාර්තා ඉදිරියේ, ශ‍්‍රී ලංකාවේ බෙදාහදා ගත යුතු අනාගතය උදෙසා මේ කාරණය සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් ඇති වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


හරීම් පීරිස්

*2016 නොවැම්බර් 23 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Constitutional Reform & Devolution of Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි