ආයුධ බිම තබා යටත් වූ පොලිස් නිලධාරීන් 700 ක් ඝාතනය කිරීම අපරාධයක් සේ නොගැනෙන නීතියක් තුළ, වාහනයක් අවභාවිත කිරීම ‘අපරාධයක්’ වෙයි. කරුණා අම්මාන්ව පෙරේදා (29) අත්අඩංගුවට ගැනුණේ දෙවැනි ‘අපරාධයට’ ය. ජීවිත 700 ක ඝාතනයක් වෙනුවෙන් අත්අඩංගුවට නොගැනුණු කෙනෙකු වාහන අවභාවිතයක් අරභයා අත්අඩංගුවට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ, අප රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ඇති අශෝභනත්වය සහ අමානුෂිකත්වයයි.
රජයේ වාහනයක් අවභාවිත කොට රජයට රුපියල් 146,690 ක් හෙවත් මිලියන අරික්කාලක පාඩුවක් සිදු කළා යැයි කියන වරදට, හිටපු එස්.ටී.එෆ්. ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනුණි. ඉන් දෙදිනකට පසු, මේ පොලිස් නිලධාරියාව ඇප මත නිදහස් කෙරුණි. එවැන්නෙකු එක පැයකටවත් අත්අඩංගුවට ගැනීම නොම්මර එකේ විකාරයක් බව ආණ්ඩුවට අවබෝධ වී ඇති සැටියෙකි. එය විකාරයක් වන්නේ ඇයි? ‘හෙල්පිං හම්බන්තොටින්’ මිලියන 86 ක් වංචා කිරීමට තැත් කළ මහින්ද රාජපක්ෂව එදා නිදහස් කිරීම ගැන දැන් තමන් කණගාටු වන බව කී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා සහ මහින්ද රාජපක්ෂ තවමත් නිරුපද්‍රිත නිසා ය. රුපියල් මිලියන 1500 කට අධික මිග් යානා ගනුදෙනුව සහ මිලියන 3000 කට අධික ‘ඇවන්ගාඞ්’ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ නිරුපද්‍රිත නිසා ය. ‘කාර්ල්ටන් හවුස්’ සහ ‘සිරිලිය ගිණුමට’ අදාළ රුපියල් මිලියන 200 ක මුදල් අවභාවිතය ගැන ශිරන්ති රාජපක්ෂ නිරුපද්‍රිත නිසා ය. රුපියල් මිලියන 800 කට අධික දේපළ සහ මුදල් විශුද්ධකරණය ගැන බැසිල් රාජපක්ෂ නිරුපද්‍රිත නිසා ය. රුපියල් මිලියන 290 ක මුදල් විශුද්ධිකරණය ගැන නාමල් රාජපක්ෂ නිරුපද්‍රිත නිසා ය. මීට අමතරව, යෝෂිත රාජපක්ෂ, මහින්දානන්ද අළුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, විමල් වීරවංශ සහ බිරිඳ, උදය ගම්මන්පිල, සජින් වාස් ගුණවර්ධන, ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත්, ටිරාන් අලස්, නාලක ගොඩහේවා ආදී තවත් විශාල පිරිසක් තවමත් නිරුපද්‍රිත නිසා ය. මෙයින් ඇතැමෙකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ අදියර පසු කොට ඇතත්, අවසානයක සේයාවක්වත් පෙනෙන්ට නැත. යහපාලන ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් තිස්සේ ඉවර කරගෙන ඇති එකම නඩුව දුමින්ද සිල්වාගේ නඩුව පමණි. එයද දූෂණයක් සම්බන්ධයෙන් නොව, මිනීමැරුමක් සම්බන්ධයෙනි.
2015 ජනවාරි 8 වැනි දා සිටම ගොඩනැගුණු නව දේශපාලනික රූප වින්‍යාසය තුළ, දූෂණයට එරෙහි ව්‍යායාමය ප්‍රායෝගික නොවන කර්තව්‍යයක් වී තිබේ. පරාජය වූ බලවේගය විවිධාකාරයෙන් ජයග්‍රාහී කඳවුර මෙහෙයවනු ලැබීම, මගහැර යා නොහැකි යථාර්ථයක් සේ අපට දිනපතා මුණගැසේ. එහි නූතන නිරූපණය අපට හමුවන්නේ, ‘ලංකා ඊ නිව්ස්’ කතුවරයාට එරෙහිව යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ දක්වන අදහස් උදහස් තුළ ය. එම වෙඞ් අඩවිය සහ එහි කතුවරයා, 2015 ජනවාරියේ ජයග්‍රහණය සඳහා ඉත සිතින් කැපවීම, එම වෙබ් අඩවිය හෝ එහි කතුවරයා කළා යැයි කියන යම් වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවී සිටීමට හේතුවක් විය යුතු නැත. එහෙත් මේ සිද්ධියේදී අපට පෙනෙන්නේ, පුද්ගලයෙකු කළා යැයි කියන වරදක් සම්බන්ධයෙන් පෞද්ගලිකව පලිගැනීම සඳහා නීතිය සහ අධිකරණ ක්‍රියාවලිය සීග්‍රගාමී වී ඇති ආකාරයකි. ඔහු සම්බන්ධයෙන් මේ සා කඩිනමින් අධිකරණ වරෙන්තුවක් නිකුත් වීම සමාන වන්නේ, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගේ හිටිවන කෝපය මත ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු අවුරුද්දක් හිරේ ලෑ සිද්ධියටයි.
මේ ආශ්රයෙන් අප ඉදිරියේ බරපතල දේශපාලනික ප්‍රශ්නයක් මතු කරවයි. එනම්, මෙවැනි පීලි පැනීම් සඳහා අධිකරණය සහ වෙනත් රාජ්‍ය ආයතන ජවය ලබන්නේ කොතැනින්ද යන්නයි. ඊ-නිව්ස් කතුවරයාට එරෙහිව අවි අමෝරා ගත් පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. එක් කෙනෙකු වන්නේ, හේමන්ත වර්ණකුලසූරියයි. අනෙකා වන්නේ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂයි. දෙන්නාම නීතිඥයෝ ය. හේමන්ත වර්ණකුලසූරිය යනු, මහින්ද රාජපක්ෂගේ අවපාලනය වෙනුවෙන් දිවා ? කැඹුරූ පුද්ගලයෙකි. එසේ කොට, යහපාලන ජයග්රහණයෙන් ඉතා කෙටි කලක් ඇවෑමෙන් ඔහු ගැසූ කරණම, තනි වචනයකින් හැඳින්නුවොත්, නිහීන ය. පුද්ගල අවස්ථාවාදයකට වඩා එතැන ඇත්තේ, අමු අකෘතඥතාවකි. යහපාලන ජයග්රහණයෙන් පසු, එක් රූපවාහිනී සංවාදයකදී, මොහු තමාට එදා තානාපති තනතුරු පවා පිරිනැමූ හිටපු ජනාධිපතිවරයාව විවේචනය කළ නිර්දය ආකාරය සහ තමාට හැකි ඉහළින්ම එදා පරාජය කිරීමට වෙර දැරූ වර්තමාන ජනාධිපතිවරයාව මුරුංගා අත්තේ තබා වර්ණනා කළ ආකාරය, එම සංවාදයේම පාර්ශ්වකරුවෙකු වූ මා තුළ දැනවූයේ ඔක්කාරයකි. එහෙත් එම වර්ණනාව වෙනුවෙන් ඔහුට ක්ෂණික ප්රතිලාභ ලැබුණි. ඒ, විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ජනාධිපතිවරයා විසින් ඔහුව පත්කරනු ලැබීමෙනි. මේ පත්වීම විකෘතියක් වන්නේ, හුදෙක් ඔහු රාජපක්ෂවාදියෙකු වූ නිසාම නොවේ. නීතිඥයෙකු වශයෙන් ඔහු සිය වෘත්තිය සේවාව සපයන දුමින්ද සිල්වා, රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුගේ සහෝදරයා වීම නිසා ය. විදුලි සංදේශ නියාමන අධිකාරිය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන අතර පවතින නිසග සබඳතාව තුළ, ඒ අංශ දෙකම එක විට නියෝජනය කරන ඕනෑම කෙනෙකු ළබැඳියා අතර ගැටුමකට මැදි වනු ඇත.
දියුණු රටවල ඇමතිකම් පිරිනමන්නේ, බොහෝ විට, අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයන්ට ය. මෙය, ලංකාව වැනි රටවලදී කණපිට හැරවිය යුතුව ඇතැයි මම තරයේ විශ්වාස කරමි. කිසි නීතිඥයෙකු අධිකරණ ඇමති වශයෙන් පත් නොකළ යුතු බව, විජේදාස රාජපක්ෂ ආදර්ශයෙන් පෙන්නා දී තිබීම ඒ විශ්වාසයට පදනම් වෙයි. තමාගේ ප්‍රවීණත්වය අදාළ ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් පිරිනමනවා වෙනුවට, තමාගේ පෞද්ගලික සහ වෘත්තීය අවශ්‍යතා සඳහා අදාළ ඇමති පදවිය අපහරණය කරන බවක්, විවිධ අවස්ථාවල මොහුගෙන් ප්‍රදර්ශනය වී තිබේ. ‘ඇවන්ගාඞ්’ සමාගමේ අයිතිකරුවාව තමන් නොහඳුන්නේ යැයි මුලින්ම ඔහු බොරු කීවේය. ඊළඟට, ඒ අයිතිකරුවා වෙනුවෙන් ඔහු පාර්ලිමේන්තුවේ පෙනී සිටියේය. එම වරදම කළ තිලක් මාරපන ඇමති තනතුරින් ඉල්ලා අස්විය. දියුණු ප්රජාතන්ත්රවාදයක තිබිය යුතු ඒ ශිෂ්ඨත්වය විජේදාස රාජපක්ෂට නොතිබීම යහපාලනයේම අවාසනාවක් මිස අන් කවරක්ද?
කෙනෙකු අත්අඩංගුවට පත්වූ වහාම නීතිඥ සහාය ලබා ගැනීමට කෙනෙකුට ඇති අයිතිය අද ශිෂ්ට ලෝකයා පිළිගන්නා මූලික ප්‍රතිපදාවකි. එහෙත් අපේ අධිකරණ ඇමතිවරයා කැසකැවූයේ, පොලිස් අත්අඩංගුවට පත් කෙනෙකුට මුලින් ‘සබ්බුව’ දීමේ ක්‍රමය රැක ගැනීමටයි. ඊළඟට, තවත් එවැනිම ගොරතර නීතියක් වෙනුවෙන්ද ඔහු පෙනී සිටියේය. ඒ, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි’. මේ නීතිය ලංකාවේ අවභාවිත වී ඇති තරම කෙතෙක්ද යත්, අභාවයට ගිය සඟරාවකට 2006 දී ලියූ ලිපි දෙකක් පාදක කරගෙන, 2009 දී ජේ. එස්. තිස්සනායගම්ව අවුරුදු විස්සකට හිරේට යැවුණි. ත්‍රස්තවාදය අවසන් කොට ඇති තත්වයක් තුළත්, මේ රුදුරු පනත තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි අපේ අධිකරණ ඇමතිවරයා තවමත් විශ්වාස කරයි.
මීට දශකයකට හෝ දෙකකට පමණ ඉහතදී, ඉංග්‍රීසි පත්තරේක ‘කර්තෘට ලියුම්’ තීරුවට පී. අලස් නැමැත්තෙකු අදහස් දක්වා තිබුණි. ඒ දිනවල, සමකාමී කාන්තා සම්මේලනයක් කොළඹදී පැවැත්වෙන්ට නියමිත විය. අර ලියුම්කරු ඊට එරෙහිව මෙසේ ලියා තිබුණි:
‘‘යම් හෙයකින් මේ සමුළුව පැවැත්වුණොත් එදාට, දැනට ස්ත්‍රී දූෂණයට වැරදිකරුවන් වී සිර දඬුවම් විඳින අපරාධකරුවන් පිරිසක් ලිහා හැර, මේ හම්පඩ බැල්ලියන්ට ඇත්ත රසේ රඟ විඳින්ට සැලැස්විය යුතු බවට මම පොලීසියෙන් ඉල්ලා සිටිමි.’’
පුවත්පතක මෙවැනි අශිෂ්ට සහ සාපරාධී ලිපියක් පළ කිරීමට එරෙහිව පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් ලැබුණි. එම මණ්ඩලයේ සභාපති වුණේ, විජේදාස රාජපක්ෂයි. ඔහු විත්තිය නිදහස් කෙළේය. පැමිණිල්ලට තරයේ අවවාද කෙළේය. ඒ සඳහා ඔහු පාදක කර ගත් ප්‍රධාන තර්ක දෙකක් මෙසේ ය:
1. කාන්තා සමලිංගිකත්වය අස්වාභාවික, වනචර ක්‍රියාවකි.
2. නීතියේ පිළිසරණ පතා එන ඕනෑම පැමිණිලිකරුවෙක්, මුලින්ම තමන්ගේ අත් පිරිසුදු කරගෙන පැමිණිය යුතුය.
ඒ සා අශිෂ්ට ලිපියක් සහ මාධ්‍ය භාවිතයක්, ඉහත කී කුතර්ක සේවනයෙන් වික්ටෝරියානු සදාචාරයක් මත පිහිටා එදා ආරක්ෂා කළ විජයදාස රාජපක්ෂ, අද මාධ්‍ය සදාචාරයක් ආරක්ෂා කරන මුවාවෙන් පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට බැලීම වංචනික ය. කුහක ය.
මේ යහපාලන ආණ්ඩුව 2020 වන තෙක් පෙරලා දැමීමේ හැකියාවක් මහින්ද රාජපක්ෂට නැත. එහෙත් යහපාලනය තුළම ලියලන විෂබීජවලින් එම යහපාලනය බරපතල සේ රෝගාතුර විය හැකිය. එයම, යහපාලනයට මාරාන්තික විය හැකිය.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda