Image by: alamy.com
ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ ඕනෙ. නෑ එක්කො එහෙමත් බෑ, බුදු වුණොත් මේ ආත්මෙන් ඔක්කොම වැඩකිඩ සුන් නෙ. එහෙම වුණොත් ඊටපස්සෙ අපිට ඔයි වගේ ආඩම්බරයක් ගෙනැත් දෙන්න කවුද ඉන්නෙ අම්මපා.
රැහේ මහ එකා විදිහට කිසි එකෙක් ඔය වගේ කතාවක් කරලා නෑ. දැං බලන්න ආයිබෝං, එහෙනම් මේ වෙනකොට පුස්තකාල වල වැඩ කරන අය කොයිතරම් ආඩම්බරෙන් ඉන්න ඕනෙ ද. එහෙම වුණාද, නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ පුස්තකාලෙ වැඩ කළා කියලා නිකමට කිව්වද. එහෙම කිව්ව නම් පොතක් කියවන්න වත් පුස්තකාලෙකට ගිහින් හමාරයි. උන්ගෙ කකුල් ලෙව කන්න වෙයි පොතක් ඉල්ලගන්න.
ඊටපස්සෙ බලන්න ආයිබෝං, කොහොම ගත්තත්, කවුරු විභාග ලිව්වත් මහින්ද රාජපක්ෂ මහත්තයා මං නීතීඥයෙක් අපේ හාංදුරුවනේ කියලා නම් හැම තිස්සෙම කිව්වා. ඒකෙන් වුණේ පුස්තකාල වල වැඩ කරන පොඩි මිනිහට දෙන්න තිබුණු ආඩම්බරේ වෙනුවට ඒක උසාවි වල වැඩ කරන නීතීඥයගෙ අතට ගියපු එක.
ඒ අතින් ආයිබෝං කොයිතරං නම් උත්තමයෙක් ද. ඒකයි මං කිව්වෙ බුදු වෙන්ඩ නං එපා මේ කපේ කියලා.
දැං බලන්න, අපේ රැහේ එකෙක් රටේ මුල් පුටුවෙ ඉන්නවා කියලා කියන්නෙ අපි එතැන්ට ගියා වගේ නෙ අම්මපා. ලසන්ත වික‍්‍රමතුංගලට කොයිතරම් ආඩම්බර හිතෙයිද. ඒ ගොල්ලො ජීවිත පූජා කළේ මේ විදිහට රැහේ එකෙක් ව ඔය පුටුවට ගෙනියන්න කියලා පණිවිඩයක් යවාගන්න විදිහක් නැති හැටි දෙයියනේ. ප‍්‍රගීත් එක්නැලිගොඩ බලන්න, අතුරුදන් වුණේ ඇයි. ආයිබෝං ඔය පුටුවට ගේන්න නෙ.
මං කාරණයක් කියන්නං. පහුගිය අවුරුදු දහයට අපේ රැහේ එවුන් 44ක් මරලා දාලා තියෙනවා. සිය ගාණක් ගුටි කාලා තියෙනවා. අපේ රැහේ එවුන්ගෙ ස්පොට්, ඒ කියන්නෙ ඔය පත්තර කන්තෝරු, ටීවී-රේඩියෝ පොට්, වෙබ් පොට් කීයකට බෝම්බ ගැහුවද. ගිනි තිබ්බද. පෝද්දල ජයන්තගෙ රැවුල කපලා, ඒ රැවුල් ගස් කටේ ඔබද්දි, සුදු වෑන් එකේ සීට් දෙක අස්සෙ දාගෙන බූට් සපත්තු වලින් ගහද්දි, කකුල් කඩද්දි දැනුණු වේදනාව දැන් නං කොහෙත්ම දැනෙන්න විදිහක් නෑ. ඒ ඔක්කොම දුක් වින්දෙ මොකටද. ආයිබෝං ඔය පුටුවට ගේන්න. දැන් ඒ ඔක්කොටම මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න පුළුවන්, අපේ රැහේ එකෙක් මහ පුටුවෙ ඉන්නෙ කියලා.
පහුගිය කාලෙ මොකද වුණේ. සුදු වෑන් ආවා. අපේ රැහේ උන්ට කරන්ඩ තියෙන දේවල් ඔක්කොම කළා. අපේ උන්ගෙ නිදහස, ඒ කියන්නෙ ඔය එක එකා කියන විදිහට මාධ්‍ය නිදහස ද මොකක්ද කියන එක වළලලා ම දැම්මා. එහෙම එකක් නැති වුණත්, ඒක අපිට දියන් කියන්න පාරකට බැස්සෙ කී දෙනාද. හමුදා බුද්ධි අංශ වල ඇච්චො අපේ රැහේ උන් ව මරද්දි උන් සතුටු වුණා. ඒ මොකද ආයිබෝං.
මොකද එහෙම වුණේ… දැන් තමයි ඒක තේරෙන්නෙ. එහෙම වුණේ ඒ පුටුවෙ හිටියෙ අපේ රැහේ එකෙක් නෙමෙයි හින්දා. නීතීඥ රැහේ කියලා කියාගත්ත එකෙක් හින්දා.
ඒ කාලේ එහෙම වුණත් දැන් කාලේ එහෙම වෙන්නෙ නෑ
අපේ රැහේ එකෙක් ඇවිත් අපිව හොදට බලාගන්නවා
සන්තෝෂෙන් සාමයෙන් ඉන්න හැකිය ලෝකෙ වටේ රවුම් ගසාලා
විකිලීක්ස්කාරයට-ස්නෝඩන්කාරයට එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
ඔය වගේ එක එක තාලෙ සින්දු කෝටියක් විතර මගේ ඔළුවට එනවා. පිස්සු වගේ ආයිබෝං.
ඇත්තමයි මං කියන්නෙ, නිකං හිතන්න. පොඩි හරි මොළ කෑල්ලක් තියෙන්න ඕනෙ තැන තියෙන එවුන්ට තේරෙන්න ඕනෙ, පත්තරේක මුල් පිටුව කොච්චර ලස්සනට තියෙන්න ඕනෙ ද කියලා. ඔය සතිඅන්ත පත්තර ටික බලන්න. ඒවගෙ හිතේ පිරියෙන් බලන්න කියලා තියෙන්නෙ අර නළු-නිළියන්ගෙ කෑල්ලෙ මුල් පිටුව විතරයිනෙ. ඒකට ලස්සන ගෑනු ළමයෙක් මූණයි, ඇගපතයි ඔක්කොම දාගෙන ඉන්නකොට කොච්චර පිරියක් දැනෙනවද. මං නං කියන්නෙ ඒ කෑල්ල උඩට හිටින්න පත්තර එල්ලන්න කියලා පත්තර තට්ටු වලට නීතියක් දාන්න ඕනෙ. ඓහම නොකරන අයට හොද දඩයක් ගහන්න ඕනෙ. මොකද පත්තර විකුණන එක නවත්තලා ස්ට‍්‍රයික් කරන්ඩද. එහෙම වුණොත් උන්ගෙ කමිෂන් එක නෙ නැතුව යන්නෙ. ඒ විතරක්යැ, අපේ රැහේ එවුනුත් නිකම් ම හැදෙයි.
ඔය වෙබ්කාරයො ටික බලන්ඩ. උන් කරන්නෙ ම ආණ්ඩුවෙ වැරදි හොයන එක. දෙයියනේ හරියට කිසිම හොදක් කරන්නෙ නෑ වගේ. ආයිබෝං ම දවසකට උත්සව කීයකට යනවද. ඒවගෙ කතා කරනවද. එව්වා ටිකක් හොදට පේන්න මුලට දැම්මොත් මුන්ට හෙණ ගහනවද.
අපේ රැහේ එකෙක් නෙ මෙතැන ඉන්නෙ කියලා කිසි ගෞරවයක් තියෙනවද. නෑ නෙ අම්මපා.
මං නං කියන්නෙ අපේ රැහේ උන්ට මීට වඩා නීති දාන්න ඕනෙ. ඒකට ඔය ගේන්ඩ හදන නියාමන මොකක්ද අටමගලෙ තියෙන එව්වා මදි නං ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරි ගේන්ඩ ඕනෙ. ඇයි දෙයියනේ, තමන්ගෙ රැහේ එකෙක් මුල් පුටුවෙ ඉන්නෙ, ඒ රැහේ එකා කියන දේ අහගෙන, ඒ රැහේ එකාගෙ හිත රිද්දන්නෙ නැතුව වැඩ කරන්ඩ ඕනෙ කියලා මුන්ට කිසි වගේ වගක් නැති හැටි.
ඕකුන්ට මඩු වලිගෙන් ම තලන්න ඕනෙ ආයිබෝං.
මං එහෙනං නැවතුණා. මොනවා හරි අවුලක් තිබුණොත් කියනවා හොදා. මගෙ සප් එක බොක්කෙන් ම දෙනවා, දෙනවමයි.
එහෙනම්,
මේ රැහේ පොඩි එකෙක්.
ශාලික විමලසේන