ශ්‍රී ලංකාවේ අප අනාගතය කරා ආපස්සට යමින් සිටින්නේ යැයි කතාවක් තිබේ. ඒ කතාව බොහෝ අංශ සම්බන්ධයෙන් ඇත්තය. ඊට උදාහරණයක් නම් වැසි ලබා දෙන ලෙස යාඥා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක තරමට දැන් නඟා සිටුවා තිබීමය. වැස්ස ලැබෙන්නේ කාලගුණ විපර්යාසයන්ට අනුව නොව බුදුන් පවා නොපිළිගත් අද්භූත බලවේගයන්ගේ සිතැඟි අනුවයැයි සිතන රටක් ඉදිරියට යන්නේ කෙසේද ? ඒ අනුව බලන විට අප ගමන් කරන්නේ බුදුන්ගේ දැක්මටත් පෙර පැවැති මිථ්‍යා විශ්වාස ඇදහීම කරාය.
ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන විට එය සිදුවන්නේ ඛේදවාචකයක් හෝ විගඩමක් ලෙස යැයි කියනු ලැබේ.
2004 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් වන්නේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කිරීම මගින් මහජන ඡන්දයෙන් බලයට පත් පාර්ලිමේන්තුව දෙවසරකින් පසු විසුරුවා හැරීමේ වන්ද්‍රිකා පාපය නිසාය. තමාගේ ආණ්ඩුව විසුරුවා හැරෙනු ඇතැයි එදා අගමැති වික්‍රමසිංහ කල්පනා කළේම නැත. ජනාධිපතිනි කුමාරතුංග සමඟ සහජීවනයෙන් රට කරවනු වෙනුවට ඇයට නින්දා කරමින් ඇයගේ බලතල නොසලකා තමන්ට රට පාලනය කළ හැකිය යන මිථ්‍යාවෙහි වික්‍රමසිංහ ගැලී සිටියේය. ඒ කොතෙක්ද යත් එල්ටීටීඊය සමඟ අත්සන් කළ සටන් විරාම ගිවිසුම ගැන හෝ ජනාධිපතිනිය විමසූවේ හෝ ඇයගේ කැමැත්ත ලබා ගත්තේ හෝ නැත.
අවසානයේදී සිදුවූයේ වික්‍රමසිංහ ආණ්ඩුව විසුරුවා හැරීම කරා ලිස්සා ගිය කුමාරතුංග සිය කොන්දද කඩා ගැනීමය. ඉන් ඇතිවූ අපකීර්තියෙන් ඇයට තවම ගොඩ ඒමට ලැබී නැත. ඒ කෙසේ වෙතත් තමා කළ එක් ප්‍රධාන දේශපාලන වරදක් වූයේ එම විසුරුවා හැරීම යැයි පිළිගැනීමට තරම් දේශපාලන මුහුකුරා යාමක් සහ නිහතමානීකමක් ඇයට තිබුණි. එසේ නමුත් වික්‍රමසිංහ නම් 2004 පාඩම තවම ඉගෙන ගෙන නැත.
19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරකට පසුව බැවින් තමාට ඕනෑම සෙල්ලමක් දැමිය හැකියැයි අගමැති වික්‍රමසිංහ සිතා සිටින බවක් පෙනේ. ඔහුගේ සුපිරි ඇමැතිධූර සැලැස්ම එවැනි එකකි. දැන් එය හබක්ය. මන්ද යත් රටෙහි සියලු පළාත් සභා විසින් එම පනත පරාජය කර ඇති නිසාය. ජනාධිපති සිරිසේනට පක්ෂපාතී දකුණේ පළාත් සභා හතම විසින්ද එය පරාජය කරන ලදී. අගමැතිගේ පනතක් පරාජය කිරීම වැනි තීරණයක් ජනාධිපති සිරිසේනගේ අනුමැතිය නොමැතිව සිදුවනු ඇතැයි සිතීම දුෂ්කරය. දැන් අප 2004 කරා ආපස්සට යමින් ඇත්තේ ඔන්න ඔය විදිහටය.
එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවී මහා මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් දැන් සිරිසේන පාර්ශවයේ කොටස්කරුවන් බවට පත්ව සිටින ජාතික හෙළ උරුමය හම්බන්තොට වරාය චීනයට විකිනීමේ ජාවාරමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අල්ලසක් ගත් බවට වික්‍රමසිංහට ප්‍රසිද්ධියේ චෝදනා කරයි. මාගම්පුර වරාය වසර 99 කට චීනයට දෙන ගිවිසුම තවමත් මෙරටට රහසකි. වික්‍රමසිංහ පාරම්බාන සාමයෙන් එක්වී සාමයෙන් සාකච්ජා කොට සාමයෙන් විසිර යාමේ තීරණ ගැනීමේ ලිච්ඡවී ක්‍රමය යනු තවත් ප්‍රෝඩාවක් බව යළි මෙම ජාවාරමෙන්ද තහවුරු වෙයි. ජනතා විමුක්ති පෙරමුණට අනුව වික්‍රමසිංහගේ බාල මලයාගේ පුතාගේ සමාගමක හොද්ද බොර කිරීම පිනිස පාසැල් පොත් සින්තටික් කොළවල මුද්‍රණය කිරීමට තීරණය කර තිබේ. වික්‍රමසිංහගේ ගෝලබාලයකු වන අකිල විරාජ්ට බාරදී ඇති උසස් පෙළ සිසුන්ට පරිගණක ලබාදීම තවත් ජාවාරමක සහ අවුලක මුල බවට පත්වීමට නියමිතව තිබේ. මෙම ක්‍රියාවලිය පටන් ගන්නට යන්නේ එවැනි ටැබ්ලොයිඩ් පරිගණක මෙරටදීම නිපදවීම සඳහා ඇති යෝජනා පිටු දැක හුදෙක් බැහැරින් මිලදී ගැනීම මතය. ටැබ්ලොයිඩ් කරා සිසුන් පුහුණු කිරීමේ එවැනි දැවැන්ත වෙනසකට අවශ්‍ය කිසිදු සූදානමක් ඇමැති කාරියවසම්ට නැත.
මේ උදාහරණ කිහිපය විසින් වුව පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තුළ එක් දිශානතියක් සහ ඉලක්කයක් නැතිකමයි.
2017 වසර 2004 කරා ආපස්සට යා හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. එකක් නම් රනිල් වික්‍රමසිංහ සිය බලය පුම්බා ගැනීමට ගෙන එනු ලබන සුපිරි ඇමැති පනත වැනි පියවරයන් සිරිසේන පාර්ශවය විසින් පරාජය කිරීමයි. එමගින් විකුමසිංහගේ අහංකාර දඩබ්බර පිළිවෙත් පාලනය වනු ඇත. එලෙසින් යූඇන්පී ආණ්ඩුවේ තවත් බලවන්තයකු වන රවි කරුණානායකගේ අයවැය යෝජනා රොත්තක්ම දැනටමත් පරාජය කරනු ලැබ ඇත්තේ ඒවා සංශෝධනය කරවීම මගිනි.
දෙවැනි ක්‍රමය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් විසින් යුඇන්පීය ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීමයි. පසුගියදා ශ්‍රීලනිප නිල ප්‍රකාශකයා සහ ජනාධිපති සගයකු බව පෙනෙන ඩිලාන් පෙරේරා කළ කුප්‍රසිද්ධ කතාව එවැනි එකකි. එහිදී ඔහු පහර ගසන ලද්දේ වික්‍රමසිංහ ඇතුළු යූඇන්පී නායකයින්ට නොව යූඇන්පී සමාජ තීරුවටමය. ඔහු කියන්නේ මෛත්‍රී- රනිල් හවුල් ආණ්ඩුවේ ඇමැතිවරයකු වීම මගින් තමන් ගෙවන්නේ යූඇන්පීකාරයින්ගේ පව් බවය. ඇත්ත වශයෙන්ම නම් ඔහුට ඇති බරපතල දූෂණ චෝදනා යටගසා ඇති බැවින් ඔහුට තවම පව් පලදීම පටන් ගෙන නැත.
ලෝකයේ බොහෝ රටවල මෙවැනි හවුල් ආණ්ඩු ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙයි. නමුත් අප රටෙහිදී නම් මෙම ආණ්ඩු හවුල වසරකට වඩා යහතින් එකට ජීවත්වූයේ නැත. දැන් ඩිලාන් පෙරේරා යූඇන්පී සමාජ තීරුවටම පහර ගැසීම මගින් පෙන්වන්නේ මෙම හවුල පල්ලම් බැසීම ආරම්භ කර ඇති බවද ? සිංහල සමාජයේම පක්ෂ දෙකක් අතර සහජීවනයක් ගොඩ නැගිය නොහැකි නම් දෙමළ සහ මුස්ලිම් ජනයා සමඟ සහජීවනයක් කෙසේ ගොඩ ගන්නද ?
ආණ්ඩුව ආරක්ෂා කරන අතරවාරයෙහි ඩිලාන් පෙරේරාගේ කුකතාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් ආණ්ඩුවේ සිටීමට බැරි නම් ඉවත්ව යන ලෙස දැන් අභියෝග කර තිබේ. 2017 වසර 2004 කරා ආපස්සට යෑමේ තීරණාත්මක මොහොත මෙම අභියෝගයෙන් සංකේතවත් වෙයි.
වික්‍රමසිංහ 2004 කරා පසු බැස්සවීමේ තෙවැනි සහ අවසාන පියවර වනු ඇත්තේ ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමයි. රාජපක්ෂ පාර්ශවය සමඟ ඇති කරගන්නා කවර හෝ එකඟතාවයකින් තොරව එවැනි පියවරක් කරා සිරිසේන පාර්ශවය ගමන් කරනු ඇතැයි සිතිය නොහැකිය. අගමැති වික්‍රමසිංහ දිගමට සිය උද්ධච්ච දේශපාලනය සහ විනාශකාරී ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙන යන්නේ නම් සිරිසේන පාර්ශවයට ඉතිරිවනු ඇති විකල්පය එයයි. මන්ද යත් දේශපාලනයේදී පරාජය වීමට කිසිවකු කැමැති නැති නිසාය. සිය සැමියා ඝාතනය කළ ජවිපෙ සමඟ එක්වීමට චන්ද්‍රිකාට (කුමාරතුංග) හැකිවී නම් සිරිසේනට ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්වීමට බැරි කමක් නැත.
මෙම දිශානතියේ ආරම්භයක් වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සිරිසේන පාර්ශවය සහ රාජපක්ෂ පාර්ශවය අතර නිතරඟ ගිවිසුමක් ඇතිවීමට වුව බැරි නැත. මන්ද යත් එකී දෙපාර්ශවය විසින් ශ්‍රීලනිප ඡන්ද බෙදා ගත හොත් එජාපය දැවැන්ත ජයක් ලැබීම නියත නිසාය. 2015 ජනවාරි 08 දා ප්‍රධාන සතුරා රාජපක්ෂ වූ පරිද්දෙන්ම 2017 මැද භාගයේදී වික්‍රමසිංහ ප්‍රධාන සතුරා වීමට ඉඩ තිබේ.
මෙම තත්වයට මුහුණ දීම පිනිස රාජපක්ෂ විරෝධී ශ්‍රීලනිප පිරිස් යූඇන්පියට එක් කර ගැනීම මගින් තමන්ගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වික්‍රමසිංහ ගමන්කරනු ඇතැයි යන දේශපාලන ඕපය සිදුවිය නොහැක්කක් ලෙස බැහැර කළ නොහැක.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන විසඳුම සහ සමාජ සුභසාධනය අරභයා සිය පිළිවෙත් එක් සාධනීය පදනමකට ගෙන ඒමට සිරිසේන සහ වික්‍රමසිංහ සමත් නොවුවහොත් 2017 වසර 2004 කරා විගඩමක් සහ ඛේදවාචකයක් කරා පිරිහීම වැළැක්වීම ඉතා දුෂ්කර වනු ඇත.
මෙම වර්ධනයෙහි ඇත්ත ඛේදවාචකය සහ විගඩම බවට පත්වනු ඇත්තේ 2004 කරා පිරිහීමම නොව රාජපක්ෂවරුන් යළි බලයට ඉව ඇල්ලීමයි. අප බොහෝ දෙනෙකුට රාජපක්ෂ භීෂණය දැන් අමතක වී යමින් තිබේ. ඉතා දුරස්ථ නමුත් එවැනි බියකරු වර්ධනයක් සය මසකට 6000 ක් ඝාතනය වී ඇති පිලිපීනයේ, මාධ්‍ය නිදහස සහමුලින්ම වළදමා ඇති තායිලන්තයේ සහ හිටපු ජනාධිපති පිටුවහල් කර විපක්ෂය සිරගත කළ මාලදිවයිනෙහි භයංකාර සංකලනයක් වනු ඇති බව සිහි තබා ගැනීම නුවනට හුරුය.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya