වත්මන් ශ්‍රී ලාංකීය සන්දර්භය විමසන කල දේශපාලඥයන් සහ ජ්‍යොතිශකාරයන් යන දෙපිරිසම කරමින් සිටින්නේ හැකිතාක් ධනය උපයමින් මඩිය තර කරගැනීම සහ තම පැවැත්ම තහවුරු කර ගැනීමේ උපායමාර්ගයක් හැටියට සාමාන්‍ය ජනතාවගේ ඔළුගෙඩි අවුල් කොට, එනම් ජනතාව පිස්සන් බවට පත් කොට තැබීමට වගබලා ගැනීම නොවන බව කා හට නම් කිව හැකිද? මේ සඳහා ඔවුහු තමන් තුළම පවතින බුද්ධි-මානසික විකෘතිතාද අඩු වැඩි වශයෙන් යොදා ගනිති. මේ නිසා, සමස්ථ ලංකාවම පාලනය කරනු ලබන්නේ මෙවැනි පිස්සන්ගෙන් බව සිතීමට ඕනෑ තරම් හේතුසාධක ඔවුන් අප වෙත සපයා තිබේ. සාමාන්‍ය පෙළවත් හරිහැටි සමත් නැති කේන්දරකාරයෙකු ජාතික බැංකුවක අධ්‍යක්ෂ තනතුරකට පත් කිරීමෙන්ද නොනැවතී සෞරග්‍රහ මණ්ඩලයට රටේ ජාතික දේශපාලනයට අදාළ තීරණ ගැනීම සහමුලින්ම පවරා තිබුණු මහින්ද රෙජීමයේ යුගය පමණක් නොව “මහින්දගේ මිථ්‍යාදෘශ්ටිය” හෙළා දුටු වත්මන් යහපාලන සමයද මීට එක සේ නිදසුන් දරයි. අද පවා ජ්‍යොතිශ පිස්සන්ට පැවැත්මක් ඇත්තේම දේශපාලඥයන් විසින් ඔවුන් වෙත ලබා දෙනු ලැබෙන මේ අමුතු ‘බැකප්’ එක නිසා බව අපි දනිමු. එක අතකින් දේශපාලඥයන් තුළ පවතින, තම තමන්ගේ කල්ක්‍රියාව නිසාම ඇති වන, පැවැත්මේ මානසික අස්ථාවරත්වය තුරන් කර ගැනීමේ උපක්‍රමයක් ලෙසද මේ මිථ්‍යාදෘශ්ටිකයන් යොදා ගනු ලැබේ.
වසරේ කතාව: ජ්‍යොතිශයටත් ගරහන ජ්‍යොතිශකාරයෙක්
මා රෝහණ විජේමුණි නමැති ජ්‍යොතිශ මිථ්‍යාදෘශ්ටිකයාට ගරු කරන එක හේතුවක් තිබේ. එනම්, ජ්‍යොතිශය යනු මොනතරම් විකාර, ප්‍රෝඩාකාරී සහ අතුගා දැමිය යුතු සමාජ පිළිලයක්ද යන වග සමාජගත කිරීමට අපට උපකාර කරමින් සිටීමය. ඒ මෙහෙවර වෙනුවෙන් ඔහු විසින් ඉටු කරන ලද ඉතාම මෑතකාලීන දායකත්වය නම් ජනාධිපතිවරයා මරණයට පත් වන නිල දිනය ජ්‍යොතිශ ඇසින් බලා ප්‍රකාශයට පත් කිරීමේ විකාරයයි. ජනාධිපතිවරයා අද මැරුණද අපට ඇති පෞද්ගලික අඳෝනාවක් නැත. එසේ වුවහොත් වෙනත් කෙනෙකු පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අප දන්නා සුපුරුදු ක්‍රමයයි. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන්, කෙනෙකු මරණයට පත් වන දිනය ජ්‍යොතිශයට අනුව සොයා ගත හැකි බවට විශ්වාසයක් ජ්‍යොතිශය පිළිගන්නන් අතර ඇති නමුදු සදාචාරාත්මක සහ ජ්‍යොතිශය සම්ප්‍රදායයන්ට ගරු කිරීමක් වශයෙන් ඒ බව හෙළි නොකර සිටීමේ සම්ප්‍රදායයක් ගැන අප අසා ඇත. ජ්‍යොතිශ කරුවෙකු බව මවා පෙන්වන මේ පුද්ගලයා සිටින තැන දැන් පැහැදිලිය. මේ නිසා, ජ්‍යොතිශය විශ්වාස කරන අය පළමුව කළ යුත්තේ තම ශාස්ත්‍රය ගැනවත් හරිහැටි නොදන්නා මෙවැනි අබුද්ධිකයන් කියන දෑ පිළිගැනීම නොව පන්නා දැමීමය.
තම විරුද්ධවාදීන්ගේ මරණ වැනි ආපදා සිහි කරමින් පහත් සතුටක් විඳීම මානසික ලෙඩුන්ගේ ලක්ෂණයකි. යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ සෝභිත හිමි අපවත් වීමෙන් පසුවද සමාජ මාධ්‍ය පුරා ඒ පිළිබඳ අපහාසාත්මක සතුට පළ කරන අදහස් පැතිරී යනු අපි දුටිමු. අනෙක් අතට, සාමාන්‍යයෙන් ජ්‍යොතිශය පොදුවේ පිළිගන්නා බහුතරයක් සිටින රටක ජ්‍යොතිශ කරුණු ඇදබාමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් සමාජයේ වැඩි පිරිසක් අතරද මේ පහත් ආශ්වාදයක් විඳීමේ ම්ලේච්ඡ අසනීප බෝ වීමට ඉඩක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මිනිසුන්ට කුණු රසය දැනවීමට නම් කළ යුතු පළමු දෙය ඔවුනට කුණු කැවීම බව අප කිසිසේත්ම අමතක කළ යුතු නැත! ජ්‍යොතිශය යනු සමස්ථ සමාජ ශරීරයම විනාශ කර දමන ශාපයක් බව අප පිළිගත යුත්තේ එබැවිනි. මෙවැනි පසුගාමීන් විශ්වාස කරන සමාජයක් කිසි දා ශිෂ්ටාචාරවත් ලෙස ඉදිරියට ගමන් කරනු ඇතිද?
සමාජ ඇස අන්ධ කරන තවත් ජෝකරයෙක්
සමාජ ව්‍යවහාරයෙන් කියන්නේ නම් ජ්‍යොතිශකරුවන් යනු කොහොමත් ‘එකාට එකා නැති’ පිරිසක් බවට පත් වීමට බලපාන හේතුවද විද්‍යාව වෙනුවට මිථ්‍යාව ආභරණයක් කරගෙන යටි අරමුණු හඹා යන අයට සෑම විටම තම පැවැත්ම ගැන විශාල භීතිකාවක් හා අවිනිශ්චිතතාවක් දැනීම බව කිව හැක. ඉහත කී මිථ්‍යාදෘශ්ටිකයා ජනපති මරණයට පත් වන දිනය මීට පෙරද ප්‍රකාශ කළ නමුත් පොට වරද්දාගත් පසුව සෙනසුරුගේ කිසියම් වක්‍ර වීමක් නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කොට තම අනාවැකියට ‘එක්ස්ටෙන්ෂන්’ එකක් ලබා දුන්නේය. එම තර්කයට අනුව දැන් සෙනසුරු කෙලින් වී තිබිය යුතුය. ඒ අනුව, පොතේ හැටියට නම් එම මරණය ජනවාරි 26, එනම් අද දින සිදු විය යුතුය. මේ සමගම ඉන්දික තොටවත්ත නමැති කූට මිථ්‍යාදෘශ්ටිකයාද විජයමුණිට එරෙහිව ඔහු ගැන අනාවැකියක් පළ කර ඇති බව අද දින ඒෂියන් මිරර් වෙබ් අඩවිය වීඩියෝ සහිතව පළ කර ඇත. තොටවත්තගේ අනාවැකියද විජයමුණිගේ අනාවැකියට නොදෙවෙනි ‘ඉළ ඇදෙන’ පන්නයේ එකකි. ඒ අනුව විජයමුණි ටක්කෙටම බන්ධනාගාරගත වීමට නියමිත අතර අපූරු කාල රාමුවක්ද ඒ සඳහා ඉදිරිපත් කර ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් දැන් ජ්‍යොතිශකාරයන් අධිකරණ කටයුතුද පටන් ගෙන ඇත. තොටවත්ත කියන්නේ විජයමුණි 2017 ජනවාරි 26 සහ 2018 මාර්තු 06 අතර අනිවාර්යෙන්ම බන්ධනාගාරගත වන බවයි. ජ්‍යොතිශකාරයන් යනු මොනතරම් පිස්සන් සහ අමනෝඥයන් පිරිසක්ද යන්න සමාජයට වටහා දීමට තවත් උදාහරණයක් ඇදබෑම ගැන ඔහුටද ජාතියේ ගෞරවය හිමි විය යුතුය.
රටක ජනාධිපතිවරයෙකු අසුවල් දින නියත වශයෙන්ම මරණයට පත් වන්නේය වැනි ප්‍රකාශ ඉතා බරපතල ඒවාය. එවැනි කතාවක් නිල වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ එක්කෝ ඝාතන කුමන්ත්‍රණයක් ගැන නිශ්චිත තොරතුරු සහ හෝඩුවාවන් දන්නා අයෙකුට පමණි. මෙනිසාම එවැනි ප්‍රකාශ පිළිබඳ මහත් විශ්වාසයෙන් අනාවැකි කියන කිසිවෙකු වේ නම් මොන ආණ්ඩුවක් යටතේ වුව ඔහුගෙන් ප්‍රශ්න කොට කිසියම් තර්ජනයක් වේ නම් ජනපතිගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රභූ ආරක්ෂකයෝ බැඳී සිටිති. අනෙක් අතට සමාජ මාධ්‍යවල වීඩියෝ පට පළ කරමින් ජනාධිපතිට සහ අගමැතිට තර්ජනය කළ කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කොට ඇතැම් අය රක්ෂිත බන්ධනාගාරගත කළ සිදුවීම් අපි දනිමු. මේ නිසා, සමහරවිට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද අවශ්‍ය නම් විජයමුණිගෙන් ප්‍රශ්න කිරීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු වන්නට ඉඩ ඇති බව සබුද්ධික ඕනෑම අයෙකුට පැහැදිලි වේ. ඒ බව ඉන්දික තොටවත්ත කියන්නට අවශ්‍ය නැත. ඔහුගේ අපූරු කාල රාමුවද හුදෙක්ම විහිළුවක් වන්නේ එබැවිනි. මේ ජ්‍යොතිශය නමැති මිථ්‍යාවේ හැටිය. දැන්වත් මෙවැනි මිථ්‍යාදෘශ්ටිකයන්ට රැවටීම අත්හැරීමට මේවා කදිම උදාහරණය. වැසි වැස්සොත් ගඟවල් පිරෙන බව අපට උගන්වන්නට ජ්‍යොතිශ පිස්සන් අවශ්‍ය නැත. එහෙත් කරුමය වන්නේ යම් හෙයකින් නමගිය එවැන්නෙක් මෙවැනි ප්‍රකාශයක් කළහොත් එය ‘අමුවෙන්ම’ භාර ගැනීමට අප අතරින් බහුතරය සූදානමින් සිටීමය! ශාරීරික වශයෙන් අන්ධ වීම සහ මානසික සහ බුද්ධිමය වශයෙන් අන්ධ වීම යනු දෙකකි. ඉන්දික තොටවත්ත නිතරම මාර්කට් කරන සිය ඇස් නොපෙනීමේ ප්‍රපංචය වැටෙන්නේ මින් කවර කුලකයටද යන්න තීරණය කිරීම පාඨකයාට භාරය.
මිථ්‍යාව ජීවන දහමක් කරගත් සමාජයක අනාගතය?
කිසියම් රටක අනාගතය තීරණය වන්නේ දේශපාලඥයන් ඒ රට ගැන නන්දොඩවන විකාර ප්‍රකාශ මත නොව එරට බහුතර පුරවැසියන්ගේ චින්තනමය නිදහස මත බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. පොදු සත්‍යය එසේ වුවද ජාතියක් හැටියට ශ්‍රී ලාංකික අප ඉතාම පසුගාමී අඩියක සිර වී සිටින බව පිළිගන්නට සිදු වේ. ජ්‍යොතිශය, ආගමික මූලධර්මවාදය වැනි පිළිළ අප මේ තත්ත්වයට ඇද දැමීමට හේතු වූ සමාජ දුරාචාරයන්ට නිදසුන්ය. “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී” ජනරජයක් බව අප පුරුද්දට මෙන් සඳහන් කළද අදටත් අප පාලනය කළ යුත්තේ කවුද හා කෙසේද යන්න තීරණය කිරීමේ බලයෙන් සෑහෙන කොටසක් අප විසින්ම පවරා ඇත්තේ මැතිවරණ කාලෙට අනාවැකි පළ කිරීමෙන් බඩවියත රැක ගන්නා ජ්‍යොතිශ කාරයන්ට නොවේද? මැතිවරණ පැවැත්වෙන දින වකවානු, ජාතික මට්ටමේ විභාග පැවැත්වෙන දින, පුරවැසියන්ගේ ඡන්දයෙන්ම පත් වූ ආණ්ඩු තම රාජකාරීන් භාර ගන්නා දින හා වේලාවන්, පාර්ලිමේන්තු පනත්වලට අත්සන් තබන දින හා වේලාවන් ආදී මේ සියල්ලම තීරණය කරන්නේ කවුද? මින් අදහස් වන සරල සත්‍යය අපට අපවත් “ෂුවර් නැති” බවද?
ජීවිතය දකින කැඩපත බවට පත්කර ගෙන ඇත්තේ ජ්‍යොතිශ, ගුරුකම් ආදිය නම්, අප කොතරම් පසුගාමී ජාතියක්ද යන වගට තවදුරටත් තර්ක අවශ්‍ය නැත. මෙහි නරකම තත්ත්වය නම් දැනටමත් ඔළුගෙඩි අවුල් කරගෙන සිටින වැඩිහිටි පරම්පරාවලින්ද ඔබ්බට ගොස් අනාගතයේදී රටේ පුරවැසියන් බවට පත් වීමට නියමිත කුඩා දරුවන් අතරටද මෙවැනි ලෙඩ බෝ කරන්නට ඉඩ හැර අප බලා සිටීමයි. මේ කාර්යයේදී තීරණාත්මකම (සහ ඉතාම පහත්) කාර්යභානරයක් ඉටු වන්නේ දිනපතා මාධ්‍යවලිනි. සෑම දිනයක්ම අපට ආරම්භ කිරීමට සිදුව ඇත්තේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල පට්ටපල් බොරු වපුරන ජ්‍යොතිශ පිස්සන් ඇසුරෙහි වන්නේ මේවා කදිමට විකිණිය හැකි මාතෘකා බව ඒවායෙහි හිමිකරුවන් දන්නා හෙයිනි. නමුත් ඉන් සමස්ථ සමාජයට වන හානිය මිනිය නොහැකි තරම් විශාල බව අප වටහා ගත යුතුය. ඒ හැරුණුකොට මෙරට අධ්‍යාපන පද්ධතිය යනුම අන්තිම මිථ්‍යාදෘශ්ටික එකකි. අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව වැනි රටේ ජනයාගේ අධ්‍යාපනයට බලපාන ආයතන පවා සමහර වැදගත්ම තීරණ ගන්නේ සිසුන් මිථ්‍යාවෙහි ගොදුරු බවට පත් කරමින් බවටද නිදසුන් පසුගිය කාලයෙන් සොයා ගත හැක. රාහු කාලය යෙදී ඇති බව ජ්‍යොතිශකාරයෙකු ප්‍රකාශ කළ හොත් විභාග පවා කල් දැමීමට ඔවුන් සූදානම්ය.
මිනිසුන්ට කුණු රසය දැනවීමට නම් කළ යුතු පළමු දෙය ඔවුනට කුණු කැවීම බව අප කිසිසේත්ම අමතක කළ යුතු නැත!
අශාන් වීරසිංහ | Ashan Weerasinghe