මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ වේදනාකාරී ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතියි. එහෙත් ඇතැමෙක් ඒ එසේ යැයි නො දකිති, ඇතැමෙක් එය දකින්නට ජීවතුන් අතරත් නැත.
මෙවන් තතු තුළ සිය ගණන් දරුවෝ උපත ලබමින් සිටිති. ගැටුමේ මුල් කොටස තුළ දී අවතැන් වූ මුස්ලිම් අභ්‍යන්තර අවතැන් වූවන් තව මත් පුත්තලමෙහි ඔහේ කල් ගෙවමින් සිටින්නේ ය යන කරුණ සැලකිල්ලට ගත් විට, උපන් මෙම ළමුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් තමන් උපන් තත්ත්වයන්ට සමාන තත්ත්වයන් තුළ ම (සමහර විට වැඩිහිටියන් ලෙස) මිය ගිය හොත් මම ඉන් පුදුමයට පත් නොවන්නෙමි.
අධ්‍යයනවලින් හැඟෙන්නේ, පශ්චාත් යුද චෛතසික කම්පනය යුද්ධය අතරතුර දී පෙළුණු මානසික ආතතියට වඩා වේදනාකාරී යැයි සිතිය හැකි බව යි. යුද සමයන් අතරතුර දී සහ ඊට පසුව ඇති වුණු කලහකාරී තත්ත්වයන් තිබිය දී ම, මහජනයා මෙම වේදනාවෙහි ගැළී ජීවත් වීමටත් විස්තර නොකළ හැකි ආතතියටත් ගොදුරු විය. කෙසේ වුව ද, මෙම අසාමාන්‍ය තත්ත්වයන් අඩු වී යනු ඇති බවට ද සාමාන්‍ය තත්ත්වය සෙමෙන් සෙමෙන් යළි ඇරඹෙනු ඇති බවට ද පවතින බලාපොරොත්තුව වූකලි වඩාත් ම දුෂ්කර කාලවල දී සැනසීම සොයමින් සිටින්නන්ට අස්වැසිල්ලට කරුණකි. මිලිටරිමය ගැටුමක් යැයි සිතිය හැකි දෙයක් සිදු නොවන මුත් මහජනයා දිගින් දිගට ම දුෂ්කර තත්ත්වයන්ගෙන් පීඩා විඳින පශ්චාත් යුද තත්ත්වයක දී, පශ්චාත් යුද චෛතසික කම්පනය සිය විසකුරු ග්‍රහණය දැඩි කිරීම නො වැළැක්විය හැකි ය.
එහි රුදුරු භාවය නිසා, එය අවසන් වීමෙන් පසුව දිගු කලක් ගත වන තුරුත් ගොදුරු වූවන්ට මනෝ විද්‍යාත්මක සහ මනෝ චිකිත්සීය උදව් අවශ්‍ය කරන නිසා, මෙය චෛතසික කම්පනාත්මක අත්දැකීම පිළිබඳ සුසමාදර්ශයක් බවට පත්ව ඇත.
මගේ පියා ඉතාලියානු රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක කළ ‛අධ්‍යාපනය සඳහා පෝෂණය’ නමින් හැඳින්වුණු ව්‍යාපෘතියකට සම්බන්ධ අධීක්ෂකයෙක් විය. ඒ නිසා ඔහුට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පිහිටි පාසල් හැත්තෑවකට ක්ෂේත්‍ර චාරිකාවල යෙදෙන්නට සිදු විය. ත්‍රිකුණාමලය, යුද්ධයට අතිරේකව 2004 සුනාමියෙන් ද දැඩි බලපෑමකට ලක් විය.
දරිද්‍රතාව, යටිතල පහසුකම් නැතිකම, පාසල් අධ්‍යාපනය සැලකිය යුතු තරම් දුරකට සම්පූර්ණ කර ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් නැතිකම සහ සුරක්ෂිතතාව පිළිබඳව පවතින බිය නිසා ළමුන් අතර පාසල් යාම ඉතා පහළ මට්ටමක පවතී. මෙම ළමුන් අතර මන්ද පෝෂණය බහුලව පැතිර ගිය බව ද හඳුනා ගෙන තිබිණ. මෙම පාසල් තුළ මුළුතැන්ගේ සහ සනීපාරක්ෂක පහසුකම් ගොඩනැගීමට ඉලක්ක කර ගත් ව්‍යාපෘතිය පාසලට පැමිණි ළමුන්ට නොමිලේ ආහාර බෙදා දුන්නේ ය. එලෙස, මෙම දිරි දීම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පාසල් ළමුන්ගේ නොපැමිණීමේ නැඹුරුව සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට උදව් විය.
මගේ පියා සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකා කිහිපයක දී මම ද ඔහු සමග එක් වුණෙමි. 2005-2006 අතරතුර දී මා අඩු ගණනේ දහ වතාවක් වත් ත්‍රිකුණාමලයට ගිය බව මට මතක ය.
හාත්පස පැවති සියලු වේදනාවන් ද දුක්පීඩාවන් ද නොතකා, තමන් සහ තම පවුල් ඉවසා දරා සිටි වේදනාවෙන් කඩිනමින් ගොඩ එමින් සිටි බවක් පිළිබඳ අපූරු හැඟීමක් ළමුන්ගේ මුහුණුවලින් විස්තර විය. අප්‍රමාදී දඟකාර මඳ සිනාවක් මුහුණට ඈඳා ගත් මෙම ළමයි, මා සතු සීමිත දෙමළ භාෂා දැනුම උපයෝගී කරගෙන මා කතා කළ බොහෝ දෙමව්පියන් කී ඉතා වේදනාකාරී කතාව සඟවා ලී ය.
දැන් මිලිටරිමය ගැටුම අවසානයකට ළඟා වී වසරක් ගෙවී ගොස් ඇත. එහෙත්, සිඳී බිඳී ගිය බලාපොරොත්තු ද සිහින ද පොදුවේ සමාජය ම ද යළි ගොඩ නැගීම සඳහා මෙම ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ කරන්නට වැඩ ඇත. මෙම ඡායාරූපවලට කළ හැකි වන්නේ, බොහෝ ළමුන් නොකියූ කතාව පිළිබඳව ප්‍රශ්න කිරීමටත් ඒවාට සාධාරණය ඉටු කිරීම සඳහා උත්සාහ ගැනීමටත් පමණකි.
ගැටුම් කලාපවල සිටි ළමුන්ගේ සියලු දෙනාගේ ම සිනහව අතු ගා දමන්නට මෙම ගැටුම සමත් වූයේ නැත. ඔවුන් කිසි දා එවන් තත්ත්වයකට පත්නොවන වාතාවරණයක් අප සහතික කළ යුතු ය, අඩු ගණනේ බලපෑමට ලක් වූ පිරිමින්, ගැහැණුන් සහ ළමුන් සියලු දෙනා සඳහා තවමත් ඇති තරම් කඩිනමින් සිදුනොවන යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන බව, අඩු ගණනේ ඒ සඳහා සැලසුම් සකස් කරන බව අප සහතික කළ යුතු ය.
(http://www.groundviews.org හි පළවූ The untold story of a child ලිපියේ සිංහල පරිවර්තනයයි.)