වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප්‍රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ යුද්ධය හා බැඳුණු අසාධාරණකම් නිවැරදි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තවම ප්‍රගතියක් පෙන්වා නැති බව ජනතා මතයයි. මේ කරුණු සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි වීම නිසා, ආණ්ඩුව කෙරෙහි පවතින ජනප්‍රියත්වය හීන වෙමින් තිබේ. අවුල් වියවුල් එක දිගට නොවිසඳී පවතින විට සිදුවන්නේ, හදිසියේ කර ගත් දීගය දුර්වල වීමයි. ආණ්ඩු සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙපිරිස අතර අද වන විට ප්‍රසිද්ධියේ කඹ ඇදීමක් දක්නට ලැබේ. මේ සන්දර්භය තුළ, පළාත් පාලන මැතිවරණ මග හැරීමට ආණ්ඩුව උත්සාහ කිරීම පුදුමයක් නොවේ. පසුගිය දෙවසරක කාලය තිස්සේ විවිධ අවසරයන් යටතේ මේ මැතිවරණ කල් දැමුණි. ඒවා නොපැවැත්වීම උදෙසා ආණ්ඩුව දෙන ලද හේතු කාරණාවල බරසාර බව එන්න එන්නම ක්ෂය වෙමින් තිබේ.
මේ මැතිවරණ එක දිගටම කල් දැමීම වෙනුවෙන් දෙන ලද එක් හේතුවක් වන්නේ, කොට්ඨාශ සීමා නිර්ණ වාර්තාව සම්පූර්ණ කොට නැති බව ය. මුලින්ම, එම වාර්තාව නිකුත් කිරීම පමා කෙරුණි. ඊළඟට, එම වාර්තාව පරිපූර්ණ නැති බව කියැවුණි. මේ වන විට ආණ්ඩුව විසින් එම වාර්තාව පිළිගෙන ඇති මුත්, මැතිවරණ ක්‍රියාවලිය දියත් කිරීමට තවත් සති දෙක තුනක් ගත විය හැකිය. ඊළඟට, පළාත් පාලන මැතිවරණ දිනය පමා කිරීම සඳහා අධිකරණය හරහා නීතිමය බාධකත් එල්ල විය හැකිය. පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම සඳහා පෙබරවාරි 28 වැනි දා සීමා නිර්ණ වාර්තාව ගැසට් කෙරෙන බව වාර්තා විය. පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරියෙකු කියා ඇති පරිදි, සීමා නිර්ණ කමිටු සභාපති අශෝක පීරිස් විසින් එම වාර්තාව භාර දීමෙන් පසුව, එහි ඉංග්‍රීසි වාර්තාවේ වැරදි තැන් 312 ක් තිබුණු බවත්, දෙමළ වාර්තාවේ වැරදි තැන් 535 ක් තිබුණු බවත් සැල විය. ඒවා පසුව නිවැරදි කරන ලදි.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා ආණ්ඩුව පස්ස ගහන්නේ, ආණ්ඩුව ඇතුළේම ඇති තරගයත්, විරුද්ධවාදී පිටස්තර පක්ෂ සමග ඇති තරගයත් හේතුවෙන් එම මැතිවරණයේදී ආණ්ඩුවේ ප්‍රතිඵල සතුටුදායක විය නොහැකි බවට ආණ්ඩුව තුළ ඇති අඩමානය නිසා ය. තමන් කළ යුත්තේ කුමක්ද සහ තමන් ලබා ගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මතභේදයක් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබේ. 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කෙළේ වෙන වෙනමයි. ඒ මැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙකු මේ වන විට සිටින්නේ ‘ඒකාබද්ධ විපක්ෂය’ සමගයි. ඒ තත්වය තුළ, ‘ඒකාබද්ධ විපක්ෂය’ විසින් තමන්ව තුන් වැනි ස්ථානයට පත්කළ හැකිය යන සැකයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබේ. එසේ වුවහොත්, ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ පවතින විශ්වසනීයත්වය වියැකි යා හැකි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි ඔහු අභ්‍යාස කරන බලය තවදුරටත් දුර්වල විය හැකිය. මේ ආකාරයට, ශක්තිමත් නායකත්වයක් නොමැති කම නිසා, දූෂණය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවේ පක්ෂ දිගින් දිගටම අසමත් වන අතර, දෘෂ්‍යමාන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට හෝ යුද්ධයට අදාළ අසාධාරණකම්වලට පිළියම් යෙදීමට අසමත් වීම හේතුවෙන් ආණ්ඩුවේ ශක්තිය තවත් පිරිහෙයි.
අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ව්‍යවස්ථාමය වෙනසක් ඇති කිරීමට තමන් තුළ ඇති අභිප්‍රායත්, එය ජනමත විචාරණයක් හරහා ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඇති සූදානමත් පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට තිබේ. අලූත් ව්‍යවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලූ පක්ෂවල අනුමැතියෙන් ජනමත විචාරණයකට යාම ආණ්ඩුවේ අරමුණයි. අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමත්, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහාය ඇතිව ජනමත විචාරණයක් හරහා අනුමත කර ගැනීමත් තමන්ගේ අරමුණ වන බව, පාර්ලිමේන්තුවේ සභානායක සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. මේ ව්‍යවස්ථාව තමන් රහසින් ගෙන නොඑන බව ඔහු පෙන්වා දුනි. අලූත් ව්‍යවස්ථාව සඳහා ඇතැම් පක්ෂ තවමත් යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවත් ඔහු කීවේය. එසේම, 13 වැනි ව්‍යවස්ථාවෙන් ඔබ්බට යාමට අවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කියා ඇති බවත් ඔහු මතක් කෙළේය. එසේම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන තුළ නව ව්‍යවස්ථාව ගෙන එන බව කී ඔහු, ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයකට නොයන බවත් කීවේය.
ජනමත විචාරණයකට තමන් මුහුණදෙන බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම මේ අවස්ථාවේ බලාපොරොත්තු නොවූවකි. ආණ්ඩුවේ ප්‍රකාශකයන් මීට කලින් කියමින් සිටියේ, තමන්ගේ මැතිවරණ පොරොන්දුවල එවැනි ජනමත විචාරණයක් පවත්වන බවක් කියා නැති නිසා තමන් ජනමත විචාරණයකට නොයන බවයි. මෑතකදී කොළොම්බියාවේදී සහ ඉතාලියේදී සිදු වූ ආකාරයෙන්, ව්‍යවස්ථාමය වෙනස්කම් අරභයා පවත්වන ජනමත විචාරණ, රටක පවතින ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය නිසා, පරාජයට පත්වීමේ අත්දැකීම් ඇති බව ඔවුන් පෙන්වා දුනි. ව්‍යවස්ථාමය වෙනසක් සඳහා වන ජනමත විචාරණයක්, වාර්ගික ප්‍රජාවන් එකිනෙකා කෙරෙහි බිඳවන අවස්ථාවක් වීමට ඇති ඉඩ නිසා භේදකාරී විය හැකිය. රාජ්‍යයේ ස්වභාවය ඒකීය වශයෙන් පවතින්නේද, නැතහොත් ෆෙඩරල් ක්‍රමයකට මාරු වන්නේද යන්න පිළිබඳවත්, උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම පිළිබඳවත් මතු විය හැකි ගැටළු නිසා විවිධ වාර්ගික සහ ආගමික ප්‍රජාවන් අතර භේදයක් ඇති වීමට ඉඩ තිබේ.
ඉදිරියේ ඇති වෙතැයි අපේක්ෂිත ව්‍යවස්ථාමය වෙනස්කම් අස්සේ, උතුරේ මහ ඇමති සී. වී. විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ ඇතැම් දේශපාලනික කණ්ඩායම්, දීර්ඝ කාලයත් තිස්සේ මතුවෙමින් පැවති ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳවත්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම පිළිබඳවත් වන තමන්ගේ ඉල්ලීම් ඉදිරියට දමමින් සිටිති. දේශපාලනික ව්‍යුහය තුළ, බෙහෙවින් වැදගත් වන සහ අනාගතයට බලපාන වෙනස්කම් ඇති කිරීමේ විභවයක් ජනමත විචාරණයක් හරහා ඇති කෙරේ. වර්තමාන ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක්, ජනමත විචාරණයකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් පමණක් වෙනස් කළ නොහැකි ඒවා වන්නේය. එයින් වඩාත් වැදගත් වන්නේ, රටේ සියලූ දේවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පරම බලය පවරන, රාජ්‍යයේ ඒකීය භාවය පිළිබඳ වගන්තියයි.
සන්ධානය ප්‍රතිනිර්මාණය කිරීම
ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය මගින්, පළාත්වලට බලතල බෙදා හැරීමේ අවකාශය සීමා කෙරේ. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පළාත් ආණ්ඩුකාරවරයාට එම පළාත් සභාවේ තීරණවලට ඉහළින් සිටීමට හෝ ඒවා අනුමත නොකිරීමට හෝ බලය මේ වගන්තිය යටතේ පවරා තිබේ. ආණ්ඩුකාරවරයාගේ මේ අධිගාමී බලතලත්, පළාත් සභා වෙනුවෙන් වෙන් කොට ඇති සම්පත්වල හිඟකමත්, සෑම පළාත් සභාවකම මහ ඇමතිවරුන්ගේ චෝදනාවට ලක්ව තිබේ. කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයාට එවැනි බලතල දීමක් සහ පළාත් සභාවලට ප්‍රමාණවත් සම්පත් සම්පාදනය නොකිරීමක්, ඒකීය රාජ්‍ය ක්‍රමයක් යටතේ වුවත් අනිවාර්ය වන්නේ නැත. එබැවින්, ඒකීය ක්‍රමය දිගටම පවත්වා ගැනෙන අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වුව, දැනට වඩා බලතල බෙදා හැරීමේ සහ දැනට වඩා සම්පත් පළාත් සභා සඳහා වෙන් කිරීමේ හැකියාව පවතී. සෑම ප්රජාවකගේම අවශ්‍යතාවන්ට ආමන්ත්‍රණය කෙරෙන අතරමැද තැනක් සොයා ගත හැකි දිසාව එය විය හැකිය.
2015 ජනවාරි මාසයේ හිටපු ජනාධිපතිවරයාව නොසිතූ විරූ ආකාරයෙන් පරාජයට පත්කැරැවූ මහා සන්ධානය ප්‍රතිනිර්මාණය කිරීමේ ශක්‍යතාවත් ජනමත විචාරණයකට තිබේ. හිටපු ජනාධිපතිවරයා ඒ වෙලාවේ ජනාධිපතිවරණයක් කැඳවුයේ එය ජයග්‍රහණය කිරීමේ විශ්වාසයක් ඇතිව ය. කෙසේ වෙතත්, ඔහුගේම කඳවුරේ විසිරී යාමත්, විපක්ෂ බලවේග ඒකරාශී වීම සහ එය බලගතු සිවිල් ව්‍යාපාර සමග අත්වැල් බැඳ ගැනීමත් නිසා හිටපු ජනාධිපතිවරයා, සුළුවෙන් වුවත්, නිශ්චිතවම පරාජයට පත්කෙරුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සිවිල් සංවිධාන පනහක් පමණ, යෝජිත අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට එකඟ වී තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සඳහා තදින් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සමග එකී ආස්ථානය පෑහෙයි.
2015 ජනවාරියේ ජයග්‍රහණයට මග පෑදූ සන්ධානය යළි ප්‍රතිනිර්මාණය කිරීමට නම්, අලූත් ව්‍යවස්ථාව සෑම පාර්ශ්වයකට සහ සෑම ප්රජාවකටම පිළිගත හැකි මට්ටමක එකක් විය යුතුය. කිසියම් වාර්ගික හෝ ආගමික ප්‍රජාවක් තදින් විරෝධය දක්වන යමක් අලූත් ව්‍යවස්ථාවට ඇතුළත් වෙතොත්, එම ප්‍රජාවේ සහාය ඊට නොලැබෙනු ඇත. සෑම වාර්ගික සහ ආගමික ප්රජාවකම බහුතරය එකඟ නොවන ව්‍යවස්ථාවක්, ජනමත විචාරණයකදී පරාජය වනු ඇත. එබැවින් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවේ බහුතරයකගේ අනුමැතිය ලබා ගත හැකි වන අතරේම සිංහල බහුතරයේ අනුමැතියත් ලබා ගත හැකි වන ආකාරයෙන් අලූත් ව්‍යවස්ථාව සකස් කිරීමට, ව්‍යවස්ථා කෙටුම්පත්කරුවන් වගබලා ගැනීම වැදගත් ය. ඒ ඔස්සේ ඇති කර ගන්නා ආණ්ඩුවේ සන්ධානය ජනමත විචාරණයෙන් ජයගතහොත්, ඒ සමගම, මෙතෙක් කල් දමමින් තිබෙන පළාත් පාලන ඡුන්දයටත්, අනතුරුව පළාත් සභා මැතිවරණයටත් සාර්ථකව මුහුණදීමට ඊට හැකියාව ලැබෙනු ඇත. වර්තමාන ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ අතර පවතින පරතරයත්, ව්‍යවස්ථා වෙනසක් සඳහා වන ජනමත විචාරණයක් ඔස්සේ අවම කර ගැනීමට හැකියාව තිබේ. මේ පක්ෂ අතරේ එකඟගත්වයක් ඇති කර ගත හැකි වෙතොත්, ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණය නැවත අත්කර ගැනීමේ ජයග්‍රාහී සන්ධානය යළි ස්ථාපිත කර ගැනීමේ හැකියාව තිබේ.
ජෙහාන් පෙරේරා
*2017 පෙබරවාරි 13 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Going Back to an Alliance that Can Win Elections නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි