පළාත් සභා බලතලවලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභා ක්රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද?
පෙබරවාරි 1 වැනි දා සිට, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ බලයත්, කර්මාන්ත සහ ඉන්ධන හල් සඳහා අවශ්‍ය අවසරය සැපයීමේ බලයත්, ජාතික වැදගත්කමකින් යුත් ගොඩනැගිලි ඉදි කිරීමේ බලයත්, නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබේ. මේ කර්තව්‍යයන් කලින් අභ්‍යාස කෙළේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසිනි. මීට ප්‍රතිචාරයක් වශයෙන්, දැනට පළාත් සභා මගින් ඉටු කරනු ලබන ප්‍රවාහණ සේවා සහ කසළ එක්රැස් කිරීම වැනි සේවාවන් මෙකී ව්‍යාපෘතීන්ට සැපයීමෙන් වැළකී සිටින බවට, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මහ ඇමතිවරුන් තර්ජනය කොට තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ, තමන්ගේ බලතල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම වනාහී දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය කිරීමකට සමාන වන බවයි.
පසුගිය රජය මගින් කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතට නාගරික සංවර්ධන අධිකාරිය ගනිමින් එය බලගතු ආයතනයක් බවට පත් කිරීම ගැන බොහෝ දෙනා එදා ප්‍රශංසාව පළ කළහ. මන්ද යත්, ඒ අනුව මහජන සේවාවන් පවත්වාගෙන යාමටත්, ඒවා උසස් මට්ටමකට ගෙන ඒමටත්, ත්‍රිවිධ හමුදාවත් සහාය කරගෙන ඊට හැකි වූ බැවිනි. අලූත් උද්‍යාන සහ විනෝද කලාප ඇති කිරීම සහ කොළඹ පැවති පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් නගරයට සහ තදාසන්න පෙදෙස්වලට අලූත් මුහුණුවරක් ගෙන දීමට ඒ මගින් හැකි විය. එසේම නගර වැසියන්ගේ තත්වය වර්ධනය කෙරුණු අතර සංචාරක ව්‍යාපාරයටත් ඒ මගින් විශාල සහායක් සැපයුණි.
කෙසේ වෙතත්, දශක ගණනාවක් තිස්සේ පදිංචිව සිටි ජනතාව එම තැන්වලින් ඉවත් කිරීමත්, ඒ වටිනා ඉඩම් බලසම්පන්න දේපළ සමාගම්වලට පැවරීමත් ගැන එදා බොහෝ විවේචන එල්ල විය. එසේ ඉවත් කරන ලද ජනතාව ඊළඟට පදිංචි කරවන ලද මහා තට්ටු ගොඩනැගිලි දැන් සිරස් මුඩුක්කු බවට පත්වීමේ තර්ජනයට මුහුණදී සිටී. එසේම, තවත් පවුල් 15,000 ක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කොට කොළඹින් පිට තැන්වල පදිංචි කැරැවීමෙන් පසු ඔවුන්ගේ මුල් ඉඩම් අල්ලා ගැනීමේ තවත් සැලසුමක් ද එදා තිබුණි. ඒ ආකාරයේ අනේක අසාධාරණකම් එදා වාර්තා වු අතර, සීමාවකින් තොරව සිදුවෙමින් පැවති සංවර්ධනයක වින්දිතයන් බවට අඩු ආදායම්ලාභී සමාජ කොටස් පත්වෙමින් තිබුණි.
පළාත් සභා විසින් තම වැසියන්ට ඊට වඩා හොඳින් සළකනු ලබන බවක් කිව නොහැක. මොන පාටක ආණ්ඩුවක් බලයේ සිටියත්, ප්‍රාදේශීය සභාවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ පළාත් සභාවේ අල්ලස සහ දූෂණය යහතින් වැජඹෙයි. මේ කාර්යාලවලින් අනුමැතිය ලබා ගත යුතු යම් පරිපාලන ලියවිල්ලක් ලබා ගැනීමට ගිය ඕනෑම කෙනෙකු, තමන්ට මුහුණදීමට සිදුවූ අනේක ගැහැට පිළිබඳ අපූරු කතා ලූණු ඇඹුල් ඇතිව විස්තර කර දෙනු ඇත. මේ තත්වය මොන තරම් නරක අතට හැරී ඇත්ද යත්, තමන්ගේ පළාත සඳහා අවශ්‍ය ආයෝජන තමන් විසින්ම සොයාගෙන රටේ ආර්ථිකයේ තරගකාරයෙකු වෙනවා වෙනුවට, එම පළාත් ආයතන දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහ දූෂිත මහජන නියෝජිතයන්ගේ ගුබ්බෑයම් බවට පත්ව ඇත. ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට අසමත් මේ ක්‍රමය තුළ, එහි සේවයක් සොයාගන යන අවංක පුරවැසියෙකුව හෙම්බත් කරවා ඔහුගෙන් හෝ ඇගෙන් කෙසේ හෝ අල්ලසක් ලබා ගන්නා මට්ටමට අද ඒවා පත්ව තිබේ.
ඉතිං, පිළිතුර විය හැක්කේ කුමක්ද? පළාතක ඉදි වන ව්‍යාපෘතියක් සඳහා නියමිත අනුමැතිය පැවරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරියට පැවරිය යුතුද? එසේ නම්, ඒ කුමන සේවාවන්දැ යි පැහැදිළිව වර්ගීකරණය කොට එය මහජනතාවට දැක බලා ගත හැකි වන සේ ප්‍රසිද්ධ කළ යුතුව තිබේ. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති රාමුව සකස් කරගත යුතුව ඇති අතර, නියමිත ක්‍රියාවලිය අනුගමනය කරන බවට සහතික විය යුතුව තිබේ. එසේ නොමැතිව, නගරයේ තිබෙන නිසි මුහුණක් නැති ආයතනයක වින්දිතයන් බවට අහිංසක ජනතාව පත්කළ යුතු නැත.
එහෙත් ආණ්ඩුවේ රාජකාරිය එතැනින් නිම නොවේ. තමන්ගේ බලතල ගැන මහත් සේ සංවේදී වන මහ ඇමතිවරුන්ද, තමන්ගේ නිලධාරීන් නිවැරදිව රාජකාරි කරන බවට වගබලාගත යුතුව තිබේ. විදුලිය සම්බන්ධතාව ලබා දීම සඳහා, වතුර මීටරය අළුත්වැඩියා කිරීම සඳහා හෝ නිවාස සැලැස්මක් අනුමත කිරීම සඳහා අල්ලස් ගැනීම තවදුරටත් ඉවසිය යුතු නැත. පළාත් සභා විසින් තමන්ගේ බලතල ජනතාවගේ සුභසිද්ධිය සඳහා පාවිච්චි නොකරන්නේ නම්, වෙනත් ආයතනයක් හරහා එම සුභසිද්ධිය අත්පත් කර ගැනීමට ජනතාව තීරණය කිරීමට බැරි නැත.
*2017 පෙබරවාරි 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ කර්තෘට ලියුම් තීරුවේ පළවූ Power to Whom? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි