අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන කතා කරන්නේ ද අද ඊයේ නොවේ. මෙය ලියන මොහොතේත් කොහේ හෝ තැනක එවැනි දේ කතා කරනවා විය හැකිය.

නමුත් ඒ සියලු දැනුමෙන් සහ තාක්ෂණයෙන් සමාජය දියුණු වෙමින් පැවතිය ද, වසර 200කට අධික කාලයක සිට ලංකාවේ ආර්ථිකයට විශාලම දායකත්වය ලබා දෙන වතුකරයේ මිනිසුන්ට විදින්නට වී තිබෙන්නේ එදවස විදින්නට සිදු වූ වේදනාවන්මය. දුක්ගැහැටය. නොසලකා හැරීම්ය. එය කෙසේ ද යත්, තවමත් පවුලේ සියලු දෙනා ජීවත්වන්නේ එක කාමරයකය. වැසිකිලි පහසුකම් ඇත්තේ ඉතාමත් සීමිතවය. වතුකරයේ පාලනයේ අඩංතේට්ටම්වලින් ජීවිතයම ගහණය. බෙහෙතක් ගන්නට ළගපාතක වෛද්‍යවරයෙක් නැති තරම්ය. දලු කඩා ලැබෙන සොච්චමෙන් එදා වේල පිරිමහා ගන්නට හිතා ගන්නට වත් නොහැකිය. අඩුම තරමේ ලංකාවේ බොහෝ මිනිසුන්ට ලැබී තිබෙන ‘ලිපිනය‘ ඔවුන්ට ලැබී නැත. ඔවුන් තවමත් ජීවත් වන්නේ ‘එඩ්‍රස් නැති මිනිසුන්‘ ලෙසය.

ඒ ‘මිනිසුන්‘ පිළිබද දේශපාලකයාට මතක් වන්නේ මැතිවරණ සමයේ පමණක් යැයි වතුකරයේ බොහෝ දෙනා පවසන්නේ ය. ‘ජන්ද ගන්න එනකොට නම් දිව්‍ය ලෝකේ අපිට පෙන්නනවා‘ ඔවුන් කියයි.

‘වත්තේ කියලා කිව්ව ගමන් ඔවුන්ව ගනන් ගන්නේ නෑ‘ බදුල්ලේ, ස්ප්‍රින්වැලි වතු යායේ ඉන්න එකම වෛද්‍යවරයා වන වෛද්‍ය වික්ටර් මහතා පවසයි. අපිට පුලුවන් විදිහට අපි මේ මිනිසුන්ට උදව් කරනවා. දේවල් කියලා දෙනවා, නමුත් ආණ්ඩුව මෙයිට වඩා මේ මිනිසුන් ගැන හිතන්න ඕන‘ වෛද්‍ය වික්ටර් පවසයි.

##

පහත පළවන්නේ වෛද්‍ය වික්ටර් මහතා සිය අත්දැකීම්වලින් බිදක් ‘විකල්ප‘ හා බෙදාගත් අයුරුයි.