”ඉස්සෙල්ලම ඔවුන් මාව නිරුවත් කරා. මගේ අත්දෙක මගේ පිටුපසට බැඳ මාව උඩු යටිකුරු කර බාල්කයෙන් එල්ලුවා. ඊට පස්සේ පහර දෙන්න පටන් ගත්තා. ඔවුන් එක් එක්කෙනා තමාගේ වාර ගෙන ……අතට හසුවූ ඕනෑම දෙයකින් මට පහර දුන්නා. පොලූ, යකඩ කූරු, සමහර වෙලාවට ලී බංකුවක් වුවත් …..පස්සෙ තවත් රැයක් පැමිණුනා. ඔවුන් මගේ අත්දෙක මගේ පිටුපසට බැන්දා..මගේ හිසට පොලිතීන් උරයක් දමා එම උරය දැවෙන සිගරට් වලින් පුච්චන්න පටන් ගත්තා. ඒ දැවෙන වේදනාව දරාගත ගන්න බෑ.”

මේ රවීගේ* කතාන්දරයයි.. රවී වතුකරයෙන් එන ද්‍රවිඩ පුද්ගලයෙකි. ඔහුව පැහැරගෙන, වධහිංසා පමුණුවා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත(PTA) යටතේ අත්තනෝමතිකව රඳවා තබාගෙන, පස් වසරකට පසු, ඔහුට එරෙහිව පැවති සියඵ චෝදනා අත්හැර දමා, නිදහස් කරන ලදී. රට වටා බන්ධනාගාරවල, සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් සිිටින රැඳවියන් සිය ගණනක් රවිගේ කතාන්දරය මගින් නියෝජනය කරයි. බොහෝ දෙනෙකුට බහුචෝදනා සමග වාද කිරීමට ද, පෙනෙන තෙක් මානයක අවසානයක් නොදැක එක් අධිකරණ නඩු විභාගයකින් තවත් අධිකරණ නඩු විභාගයකට අසීරුවෙන් හෝ යාමට ද සිදුව ඇත. වරදකරුවන් වී ඇති කිහිපදෙනො ඔවුනට නියමිත දඩුවම් ආරම්භ කරන්නේ වසර ගණනාවක් රැඳවුම් භාරයේ ගත කිරීමෙන් අනතුරුවය.

”මම කිසිදින එල්ටීටීඊයේ කොටස්කරුවෙක් නොවුයෙමි. මම ඉපදුනෙත්, හැදී වැඩුනෙත් නුවර” යැයි රවී පවසයි.

”නගරයේ සියල්ලන් මගේ පවුල හඳුනනවා. එයට හේතුව නම් මගේ සොහොයුරා හමුදාව වෙනුවෙන් මැරතන් තරගය දිවීමයි. එමනිසා ඔහු ඉතා ප‍්‍රසිද්ධ වුණා. ඔහු දිව්වේ සුළඟ වගේ….”

ප‍්‍රබල වධහිංසා වලින් පසු රවී තවමත් සිය පාදවල තදබල කැක්කුමකින් පීඩා විඳියි.


Image by: Sampath Samarakoon/VIKALPA.ORG

2008 වසරේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු නොනවත්වා මාස තුනක් තුළ ඔහුව තදබල වධහිංසාවලට ලක් කළහ. එම වේදනාව තවදුරටත් දරාගැනීමට අපහසු වූ විට, ඔහු සිංහල බසින් ලියූ පාපොච්චාරණයකට අත්සන් කිරීමට එකඟ වු අතර, අද වනතුරුත් එහි අන්තර්ගතය ගැන ඔහුට දැනුවත්කමක් නොමැත. එම පාපොච්චාරණය අත්සන් කළ විගස, වධහිංසා නැවතුණ අතර, පහර දීමකින් තොරව ඔහුව වසර 4 1/2 ක් වැනි දිගු කලක් රැඳවුම් භාරයේ සිටීමට (කිසිදිනක ඔහු අපරාධයකට වැරදිකරුවෙකු නොවුයෙන්) සිදුවිය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ යෝජිත ත‍්‍රස්ත විරෝධී පණත

දේශීය සහ ජාත්‍යන්තර කි‍්‍රයාකාරීන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත නම් කුරිරු ත‍්‍රස්ත-විරෝධී නීතිය අහෝසි කරන ලෙස දිගු කලක් ඉල්ලූම් කර ඇති නමුත්, කිසිදු පියවරක් ගෙන නොමැත. සමස්ථයක් ලෙස ත‍්‍රස්තවාදය වැළැක්විමේ පණත පුද්ගලයෙකුගේ මූලික අයිතීන් සහ නිදහස උල්ලංඝනය කළත්, එහි වඩාත් බිය උපදවන සුළු විධිවිධාන වලින් සමහරක් නම් නීති උපදේශකයෙක් නොමැතිව පොලිස් නිලධාරියෙකු වෙත පාපොච්චාරණය කිරීම, අධිකරණ අධික්ෂණයෙන් තොරව දීර්ඝ පරිපාලනමය රඳවා තබාගැනීම්, නීතිය බලාත්මක කරන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වෙත පැවරෙන අධික බලය, සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ ක‍්‍රමානුකූල වධ හිංසාවන්ට ලක් කිරීමට ඉඩ ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීම යන මේවාය. විසම්මුතිය සහ කතා කිරීමේ නිදහස සහ රැස්වීම මර්ධනය කිරීමටද ත‍්‍රස්තවාදය වැළැක්විමේ පණත පුළුල් ලෙස භාවිතා කර ඇත.

2015 සැප්තැම්බර් මස රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත සමාලෝචනය කර අහෝසි කිරීමට සහ සමකාලීන ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව ත‍්‍රස්ත-විරෝධී නීති සම්පාදනය මගින් එය ප‍්‍රතිස්ථාපනය කිරිමට ද කැපවුණු නමුත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණතෙහි අදහස් කරන ලද සමාලෝචනයට අදාළව මහජන අදහස් විමසීම සහ තොරතුරු පිළිබඳව පවතින්නේ පූර්ණ අඳුරුභාවයකි.

තවද, දැනට මහජනයා අතරට පත්ව ඇති ”ශී‍්‍ර ලංකාවේ යෝජිත ත‍්‍රස්ත විරෝධී පණතෙහි ප‍්‍රතිපත්තිය සහ නෛතික රාමුව” නම් ලේඛනය බැලූ බැල්මට, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණතටත් වඩා ගැටළුකාරී බව පෙනේ. යෝජිත ත‍්‍රස්ත-විරෝධී පණත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණතෙහි අතිශයින් ගැටළු සහගත අංග තවදුරටත් තර කිරීමට බලන අතර, පිටු අටක් පුරා දිවෙන නව විධිවිධාන පරාසයක්ම ඉදිරිපත් කරන බවක් පෙනේ.

මෙවැනි පණතක් පවතින බව රජය තවමත් නිළ වශයෙන් පිළිගත යුතුව ඇති මුත්, විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඇම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ ත‍්‍රස්ත-විරෝධී නීති කෙටුම්පතක් පාර්ලිමේන්තු අධික්ෂණ කාරක සභාව ඉදිරියේ පවතින බවය.

නම් නැති මිනිස්සු, අමතක කර ඇති මුහුණු

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ බොහෝ රැඳවියන් වසර ගණනාවක් චෝදනා ඉදිරිපත් නොකර රඳවා තබාගෙන ඇති අතර, සමහරු රැඳවුම් කාලය තුළ වධහිංසාවලට වුවද මුහුණ දී ඇත.


Image by: Sampath Samarakoon/VIKALPA.ORG

යුද සමය තුළ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පුළුල්ව භාවිතා කළ ද, එය තවදුරටත් විරුද්ධවාදීන්ට සහ විශේෂයෙන් ද්‍රවිඩ ජනතාවට තර්ජනයක්ව පවතී. මෙම ලිපිය බලාපොරොත්තු සුන්ව ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ බන්ධනාගාරවල සිටින බොහෝ සිරකරුවන්ගේ අවාසනාවන්ත තත්ත්වය සාරාංශ ගත කරයි.

මින් සමහරෙක් වසර 19 ක් දක්වා රිමාන්ඞ් භාරයේ සිටින අතර ඔවුන්ගේ නඩුවල අවසානයක් පෙනෙන තෙක් මානයේ දැකිය නොහැක. සමහරුන් හට අපරාධයක් සම්බන්ධව චෝදනා කිරීමටත් පෙර, වසර 15 ක් රැඳවුම් භාරයේ ගත කිරීමට සිදුව ඇති අතර, අන් සමහරුන් හට නඩුවෙහි අවසානයක් නොදැක අධිකරණ නඩු වාර 400 – 500 දක්වා මුහුණදීමට සිදුව ඇත.

රාජනීගේ පියා 1998 වසරේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ 1998 දී මහනුවර ප‍්‍රසිද්ධ දළදා මාළිගාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සැකපිටය. වසර 5 කට පසු ඔහුට නඩු පවරා 2003 දී මරණ දණ්ඩනය නියම කරන ලදී. ”ඔහුව රැගෙන යාමට නිවසට පැමිණෙන විට මට වයස අවුරුදු 10 යි. එය මට ඊයේ මෙන් මතකයි” යැයි රාජනී පවසයි. ”අපි මිට පෙර කිසිදිනක දැක නැති, අපේ අමතක වී සිටි නෑදෑයින් යැයි පවසමින් මිනිසුන් දෙදෙනෙක් ති‍්‍රකුණාමලයේ සිට අප නිවසට පැමිණියේ ඒ තෛයිපොන්ගල් දිනවලයි. ඔවුන් මගේ පියාට ‘බාප්පා’ කියා ඇමතුවා. ඔවුන් ලොරියක් පදවාගෙන ඇවිත්, ඔවුන් මහනුවරට ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණි බව පවසා, ඔවුන්ට නගරය නුහුරු බැවින් ඔවුන්ව නගරය වටා ගෙන යාමට මගේ පියාට හැකිදැයි විමසුවා. ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමක් කල හැකි බව පැවසුවා. මගේ පියා මසකට ඉපැයූයේ රු.15,000ක් වැනි සුළු මුදලක් බැවින්, මෙම අමතර ආදායම සතුටින් පිළිගත්තා”

ලොරිය මහනුවර මුරපොළවල් වල නැවැත් වූ සෑම විටකම, ලොරිය එම මිනිසුන් දෙදෙනාට අයත් වූවත්, නිතරම සටහන් කර ගත්තේ ඇගේ පියාගේ විස්තර බව රාජිනී සිහිපත් කළාය.

”මම කුඩා දරුවෙක් වූ නිසාත්, තාත්තාට ගොඩාක් ආදරය කළ නිසාත්, මාද ඔවුන් සමග ටවුමේ එහා මෙහා යනවා. ඔවුන් සමඟ ටවුමට ගිය අවසාන වතාවේ, ඔවුන් මට අයිස්කී‍්‍රම් එකක් මිලයට ගෙන දී, ඔවුන් එනතුරු ලොරියට වී සිටින ලෙස පැවසුවා. සුළු වේලාවකට පසු ඔවුන් පැමිණෙන විට, මගේ පියා සිටගෙන සිටීමටවත් බැරි තරම් බීමත්ව සිටි නමුත්, අනිකුත් දෙදෙනා හොඳින් සිටින බව පෙනුණා. ඔවුහු මගේ පියාව ට‍්‍රක් රථයට දැමූ පසු, එක් මිනිසෙක් මගේ පියාගේ ෂර්ට් සාක්කුවෙන් යමක් එළියට ගනු දුටුවා. එය කුමක්දැයි බැලීමට තරම් මට දැනුමක් තිබුණේ නැහැ. ඉන්පසු ඔවුන් මගේ පියාව සහ මාව ගෙදරින් බස්සවා රථය පදවාගෙන යන්න ගියා. නැවත අපි ඔවුන්ව දුටුවේවත් ඔවුන්ගෙන් ඇසුණේවත් නැහැ”

යනුවෙන් සිය පියා සමග ගත කළ අවසාන දවස් කිහිපය කඳුළු පිරි දෙනෙතින් රාජනී සිහිපත් කළාය.

”සතියකට පසු දළදා මාලිගාවෙහි බෝම්බයක් පිපිරුවා. අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මගේ නිවසට පැමිණ මගේ පියාව විමසුවා. ඔහු එළියට පැමිණි විට, ඔවුන් ඔහුගේ රියදුරු බලපත‍්‍රය ඉල්ලූවා. මගේ පියා එය ගෙන ඒමට ගෙතුළට ගොස් එය සාමාන්‍යයෙන් තබන තැන නොමැති බව පවසමින් ආපසු පැමිණුනා. රියදුරු බලපත‍්‍රය නැති වූ බව පොලීසියට වාර්තා නොකළේ මන්දැයි ඇසූ විට, එය නොමැති බව මේ වනතුරු ඔහු නොදැන සිටි බව පැවසුවා. මගේ පියාගේ රියදුරු බලපත‍්‍රය විහාරස්ථාන භූමිය අසළ තිබී හමුවූ බව ඔවුන් පැවසුවා. මගේ පියාගෙන් ප‍්‍රශ්න කර නැවත නිවසට එවන බව පවසා ඔවුන් මගේ පියාව රැගෙන ගියා. ඔවුන් මගේ පියාගේ දෑතට මාංචු දමා නිවසට නැවත රැගෙන විත් අපේ නිවස සම්පූර්ණයෙන්ම පරික්ෂා කළා. ඉන්පසු, ඔවුන් ඔහුව රැගෙන ගිය අතර මාස හයක් ගත වන තුරු ඔහු සිටින්නේ කොහේද කියා හෝ, ඔහුගෙන් හෝ, කිසිදෙයක් අසන්නට ලැබුණේ නැහැ. ඔහු ජිවතුන් අතර සිටිනවාද නැද්ද කියාවත් නොදැන දැඩි කණස්සල්ලෙන් පසුවුණාල”

යැයි ඇය පැවසුවාය.

”අවසානයේදී ඔහුව කොළඹ ත‍්‍රස්ත විමර්ශන අංශයේ රඳවා තබාගෙන සිටින බව අපි හඳුනන කෙනෙකුගේ මාර්ගයෙන් දැනගත් පසු අපි ඔහුව බලන්න ගියා. අපට දුටුවිට මගේ පියා හඬා වැටුණා. ‘ඔවුන් කියනවා මම මාලිගාවේ බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කළ බව’ යනුවෙන් ඔහු පැවසුවා. ඔවුන් ඔහුගේ සිරුර 21 වතාවක් පිළිස්සූ බව ද, ඔහුව එල්ලා පහරදුන් බව සහ ඔහුගේ නියපොතු ගැලවීමට වුව ද උත්සාහ කළ බව වසර ගණනාවක් ගතවූ පසු ඔහු මා සමග පැවසුවා. මේ සියල්ල මගේ පියා මා හට මෑතකදී පැවසුවේ මම දරුවකු කාලයේ ඒවා මට පවසා මාව කලබල කිරීමට අකැමති වූ නිසයි. ඔහුට වේදනාව තව දුරටත් ඉවසා ගැනීමට බැරිවූ විට, ඔහු තමාගේ නිර්දෝෂී භාවය ගැන කියා ඔවුන්ට කන්නලව් කර තිබුණ ද, පාපොච්චාරණයට අත්සන් කිරීමට ඔහු කැමති වී තිබුණා.


[බොහෝ රැඳවියන්ගේ පවුල් දිගටම ඉමහත් දිළිඳු බවින් දිවිගෙවන දිගන වතුකරයේ ලයින් කාමර. Image by: Marisa De Silva]

රාජනි සහ ඇගේ සොයුරිය දිනපතා පාසැල වෙත ඇවිද යාමට ඉමහත් සේ බිය වූහ. එයට හේතුව වුයේ ඔවුන්ගේ අසල්වැසියන් ”අන්න බෝම්බ ගහපු එකාගේ ළමයි යනවා” යනුවෙන් ඔවුන්ට නින්දා කිරීමයි. දස වසරකට පෙර ඔවුන්ගේ මව මියගිය බැවින්, ඔවුන්ව ආරක්ෂා කිරිමට කිසිවෙකු සිටියේ නැත. දැනට ඔවුන් ඔවුන්ගේ මාමා සමග දිවිගෙවන නමුත්, ඔහුට ද දරුවන් තිදෙනෙකු සිටින බැවින්, ඔහුට යාන්තමින් හෝ ජිවිතය ගැට ගසා ගැනීමට අපහසු වී ඇත. ”අහිංසක මනුෂ්‍යයෙකුව හිරේ දමන ලෝකයක් ගැන අපි කුමක් කරමුද? නිර්දෝෂී මිනිසෙකුට නීතිය මගින් දඬුවම් කරන්නේ නම්, චූදිතයන්ට දඬුවම් කරන්නේ කවුද?” යැයි රාජනී අසරණව පැවසුවාය.

යෝගේෂ්, කෲර වධ හිංසනයට ලක්වූ තවත් වින්දිතයෙකු වූ අතර, 2016 වසරේදී සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පෙර අට වසරක් අත්තනෝමතිකව රඳවාගෙන සිටි තැනැත්තෙකි. මොහුද වතුකරයෙන් වූ අතර, 2008 දී අත්අඩංගුවට ගෙන, ඔහුගේ අධිචෝදනා ඉදිරිපත් කරන ලද්දේ 2012 වසරේදීය. මහනුවර පොලිස් ස්ථානයේ මාස තුනක් තුළ රඳවාගෙන සිටි යෝගේෂ්, ත‍්‍රස්ත විමර්ශන අංශය මගින් සෑම රාති‍්‍රයකදීම ඔහුට කෲර ලෙස වධ හිංසා පමුණුවන ලද බව (අධි වෝල්ටීයතාවක් සහිත කම්බිවලින් විදුලි සැර වැදීම ඇතුළුව) සහ හිස් කඩදාසිවල අත්සන් කිරීමට සලස්වා බොරු පාපොච්චාරණ කිරීමට බලකරන ලද බව පැවසිය. යෝගේෂ් ත‍්‍රස්ත කි‍්‍රයාවල නියැලූණු බවට සහ අවි ආයුධ ලඟ තබාගත් බවට චෝදනා කරමින්, මෙසේ අත්සන් කරන ලද කඩදාසි පසුව පුරවනු ඇත. වරක් මිනිත්තු 15 – 20 ක් පමණ කාලයක් විදුලි කම්පනවලට මුහුණ දීමෙන් පසු රුධිර වහනය වීම නිසා ඔහුව බන්ධනාගාර රෝහල වෙත යවා ඇත. ඔහු තමාව මහ රෝහලට යවන ලෙස ඉල්ලූම් කළ මුත්, බන්ධනාගාර අධිකාරින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළහ. අවසානයේදිී ඔහුට ඔහුගේ නීතිඥයින් සමඟ කතා කිරීමට ලැබුණ හෙයින්, පහරදීම් සහ විදුලිසැර වැද්දීම් ගැන ඔවුන්ට දැනුම් දුන්නේය. නීතිඥයින් පවා යෝගේෂ්ගේ සිරුර මත තිබූ සළකුණු දුටු අතර, ඔහුගේ ඇඟිල්ල කැඞී රුධිරය ගලන බව සටහන් කර ගත්හ.

වෙහෙස නොබලා ඔවුන්ගේ නිදහස වෙනුවෙන් වැඩකිරිම

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණතට යටත් රැඳවියන් මුහුණදෙන කම්පනය බොහෝවිට දෙගුණයකි. පළමුව, වධ හිංසාව ඇතුළත් විය හැකි රඳවා තබා ගැනීමේ බිහිසුණු ක‍්‍රම, සහ දෙවනුව, ඔවුන් මුදාහැරීමෙන් පසුව නැවත සාමාන්‍ය දිවියක් ඇරඹීමට පවතින අරගලයයි.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණතෙහි රැඳවියන් සමග මුළුමණින්ම පාහේ වැඩකරන, මහනුවර මානව හිමිකම් කාර්යාලයේ නීති සම්බන්ධීකාරක ලූසිලි අබේකෝන්, සාමාන්‍ය තත්ත්වය කි‍්‍රයාකරන ආකාරය ගැන විස්තර කරයි. උදාහරණයක් ලෙස, 2007 වසරේදී දිගන ප‍්‍රදේශයේ ක්ලේමෝර් ප‍්‍රහාරයකින් පසුව පොලීසිය විසින් එක ගමක ද්‍රවිඩ තරුණයන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී. එක් ගමක තරුණයින්ගෙන් ප‍්‍රශ්න කිරීම සහ වධහිංසාදිීම හමාර වූ පසු, ඔවුහු ඊලඟ ගමට ගොස් එසේම සිදුකර, ඊලඟ ගමට යති. එය ඔවුන් අනුගමනය කරන රටාවක් මෙන් විය. පහරදීම සහ වධහිංසා පැමිණවීම නිතරම සිදුකළේ රාති‍්‍රයේදී ය.

මන්දයත්, ඔවුන් සාමාන්‍යයෙන් ඒ වනවිට බීමත්ව සිටින බව ඇය පැවසුවාය. නිතර රැඳවියන්ට ඔවුන්ට කියවීමට හෝ තේරුම් ගත නොහැකි සිංහල බසින් ලියන ලද පාපොච්චාරණ අත්සන් කිරීමට නැතහොත් හිස් කඩදාසි මත අත්සන් කිරීමට බල කළහ. මින් අදහස් වුයේ නිලධාරීන් හට ඔවුන් කැමති දෙයක් ඒවායේ ලිවීමට හැකියාව තිබූ බවයි. සමහරවිට, රැඳවියන් නිරුවත් කර, උඩු යටිකුරු කොට එල්ලා පහරදුන් පසු, ත‍්‍රස්ත විමර්ශන අංශයේ /අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු රැඳවියන්ගේ බිරින්ඳන් යාබද කාමරයට ප‍්‍රශ්න කිරීම සඳහා ඔවුන් විසින් ගෙන ආ බව පවසති. එවිට රැඳවියා, ඔහුගේ බිරිඳටද මෙවැනිම ඉරණමක් අත්වේයැයි බියෙන්, පාපොච්චාරණය අත්සන් කිරීමට එකඟවෙයි.

”මුදාහරින ලද බොහෝ දෙනෙක් ඔවුන්ගේ කම්පන සහගත කතා අප සමග පැවසුවත්, ආරක්ෂක හමුදාවල හෝ නීතිය බලාත්මක කරන අධිකාරීහු තමන්ගෙන් පළිගනිති යැයි යන බියෙන් ඔවුන්ගේ අත්දැකීම් ප‍්‍රසිද්ධියේ බෙදාහදා ගැනීමට හෝ නෛතික වන්දි පසුපස යාමට මැළිවෙති”
යැයි අබේකෝන් මානව හිමිකම් ක්‍රියාකාරිණිය පැවසුවාය. ‘‘සිය ප‍්‍රජාවන් වෙත ආපසු යා යුතු බොහෝ දිගු-කාලීන රැඳවියන් හට, යළි ඒකාබද්ධ වීම ඉතා අපහසු කරුණකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අත් අඩංගුවේ සිටියදී ලත් වධහිංසා හේතුවෙන් ඇතිවූ තුවාල නිසා වේදනාවෙන් ජීවත්වෙති. තවද ඔවුහු නින්ද නොයාම සහ විශාදයෙන් පෙළෙන අතර, ප‍්‍රජාවද ඔවුන්ව බොහෝවිට මඟහරිති” ඇය තවදුරටත් විස්තර කළාය.

ත‍්‍රස්ත තර්ජනය පිළිබඳව රජයේ ස්ථාවරය

හමුදාවන් ඉවත් කර ගැනිම සහ ත‍්‍රස්තවාදය වැළැක්විමේ පණත අහෝසි කිරීම සඳහා මහජන ඉල්ලීම් තිබියදීත්, ත‍්‍රස්ත-විරෝධී නීති සම්පාදනය සහ විශේෂයෙන් උතුරෙහි සහ නැගෙනහිර විශාල වශයෙන් හමුදාව සිටිමේ නිරන්තර අවශ්‍යතාව ගැන රජය තදින් සිටී. මිට හේතුව ලෙස දක්වන්නේ,”ජාතික ආරක්ෂාව” කෙරෙහි තිබිය හැකි තර්ජනය ISIS සමග පැවතිය හැකි දේශීය සම්බන්ධතා ගැන රජය විසින් බුද්ධි අංශ අධිසීරුවෙන් තැබීම නිසා, ත‍්‍රස්ත-විරෝධී නීති, ඔත්තු බැලීම සහ යුද හමුදාව සිටීම රජය විසින් සාධාරණිකරණය කිරීම තවදුරටත් නිත්‍යානුකූල කරයි.

ත‍්‍රස්ත-විරෝධී නීතියක් වූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත, 1978 සිට පැවතුන අතර, මේ වනවිට දශක තුන හමාරකට අධික කාලයක් තුළ සාමාන්‍ය මහජනතාවගේ ඇස් ඉදිරියේ එහි උදහසට පාත‍්‍ර වූ වින්දිතයින් අමානුෂික කිරීම සාර්ථකව ඉටුකරගෙන ඇත. පුද්ගලයෙකුගේ වරද හෝ නිර්දෝෂී බව විනිශ්චය කිරීම අපට අයත් කරුණක් නොවේ. අප වෙනුවෙන් මෙම කාර්යය ඉටුකිරීමට අප නීතිය මත රැඳෙන්නේ එබැවිනි. නමුත්, නීති-විරෝධී කි‍්‍රයාවලියන් නීතිමය ලෙස දැක්වීමට යම් නීතියක් විශේෂයෙන් සැලසුම් කර ඇත්නම්, අපි ඒ ගැන කනස්සල්ලට පත්විය යුතු මෙන්ම අප කළ යුත්තේ ද එයම ය. නීතිය යටතේ සෑම කෙනෙක්ම සමාන වන අතර, නිසි කි‍්‍රයාදාමය හැමටම හිමිවිය යුතුය. මේවා මූලික අයිතිවාසිකම් වේ. මේවා විවාදයට ලක්නොවිය යුතු මෙන්ම ඒ පිළිබඳව සම්මුති නොමැත. මෙම අයිතීන් සුරැකීම රජයේ යුතුකම වන අතර, මේ රටේ ජනතාව වන අපි, ඔවුන් එසේ කරන බව සහතික කළ යුතු වෙමු.

*අනන්‍යතාව ආරක්ෂා කිරීම පිණිස නම් වෙනස් කර ඇත.

මරීසා ද සිල්වා | Marisa De Silva