Image by: Maithreepala Sirisena/FB
දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය (23) දා පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන “නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.
රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේ්ෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමිණි.
ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වීය.
ඉතිහාසයේ දී රතු හමුදාව සිදුකළ විශිෂ්ඨ කාර්ය අගය කිරීමත් ඒ පිළිබදව වන දැක්මත් අගය කළ යුතුය.
”හඳුනන සොල්දාදුවෝ” සහ වන්නියේ කඳුළු
නමුත් අදට දින 37ක් සත්‍යග්‍රහයක නිරත ‘හඳුනන‘ කිලිනොච්චියේ මව්වරුන්ගේ වේදනාත්මක ඉල්ලීම ‘නාඳුනන සොල්දාදුවාගේ‘ ස්මාරකයට මල් තියන මෛත්‍රීරීපාල සිරිසේන ජනාධිපතිවරයා දකින්නේ නැත.
වව්නියාවේත්, කිලිනොච්චියේ ත් ඇතුලු උතුරේත්, නැගෙණහිරත් අම්මාවරුන් සහ පියවරුන් කියා සිටින්නේ
‘අපේ දරුවන් අතුරුදන් වූයේ නැහැ. අපි අපේ දරුවන් යුද්දේ අවසන් කාලයේ හමුදාවට බාර දුන්නා, කෝ අපේ දරුවන්…?‘
ඔවුන් අසන්නේ එයයි.
ඔවුන් සිය දරුවන්, සැමියන් යුද්ධයේ අවසන් කාලයේ බාර දී තිබෙන්නේ ‘හඳුනන හමුදාවටය‘. තවත් ලෙසකින් කියන්නේ නම් ‘මානුෂික මෙහෙයුම‘ ක් සිදු කළා යැයි කියන හමුදාවටය.
දැන් ඔවුන් ඉල්ලන්නේ ඒ ‘හඳුනන හමුදාවට‘ බාර දුන් දරුවන්ය. සැමියන්ය. අඩුම තරමින් ඔවුන්ට කුමක් වූයේ දැයි කියනා ලෙසය.
නමුත් රැසියාවේ නාදුනන සොල්දාදුවාට උපහාර පුදන ලංකාවේ ජනාධිපති සිරිසේනට හඳුනන සොල්දාදුවාට බාර දුන් සිය රටේම අම්මාවරුන්ගේ වේදනාව දැනේනනේ නැති සේයකි. ඇසෙන්නේ නැති සේයකි. අඩුම තරමින් මාසයකට වැඩි කාලයක් මහපාරේ සත්‍ය ග්‍රහය අසන්නට සිරිසේන, වික්‍රමසිංහගේ යහපාලනයට අවශ්‍යතාවයක් නැති සේයකි.
‘අපි යහපාලනයට ඡන්දේ දුන්නේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන, අඩුම තරමින් අපේ දරුවන්ට මොකද වූනේ කියලා දැනගන්න?‘ ඔවුන්ගේ ඉල්ලීම මහ දවල් අව්වට වේලෙමින්, රාත්රියේදී සීතලට හැකිලී යනු ඇතැයි යමෙක්ට සිතන්නට පිළිවන. නමුත් රුසියානු මිනිසුන්ගේ ගෞරවයට බදුන් වන ‘නාඳුනන සොල්දාදුවාගේ‘ ස්මාරකය රුසියානු මිනිසා කිසි දිනක අමතක නොකරනවා යම් සේද? වන්නියේ අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ වේදනාව ද පිළිතුරු නැතිව මිය යන්නේ නැති බව අද ද ඔවුන්ගේ ඇස්වල ලියැ වී තිබේ.
රුසියාවේදී නාඳුනන සොල්දාදුවාට කරන ලද උපහාරය, සැබෑ උපහාරයක් වන්නේ ලංකාවේදී ‘රණවිරු‘ ලේබලය මත ‘හඳුනන සොල්දාදුවන්‘ සිදු කළ අපරාධ වසන් කිරීම ට ගන්නා උත්සහය තුළ නොව ඔවුන් නීතිය හමුවට ගෙන ඒම තුළ බව සිරිසේන ජනාධිපතිවරයාට මතක් කර දීමට ඔහුගේ උපදේශකයන්ට වත් හැකි විය යුතුය.
එබැවින් ‘නාඳුනන සොල්දාදුවාට‘ මල් තබන සිරිසේන ජනාධිපතිවරයා, ‘හඳුනන සොල්දාදුවා‘ විසින් රැගෙන ගිය වන්නියේ ආත්මයට යුක්තිය ඉෂ්ඨ නොකරන්නේ ද, නම් ‘යහපාලනය ද‘ ‘සංහිදියාව ද‘ ලාංකීය මහපොළවේ සාරවත්ව රෝපණය කිරීමට හැකි වන්නේ නැත.
එමනිසා ප්රමුඛ කාර්ය විය යුත්තේ ‘හදුනන‘ වින්දිතයන්ට ‘යුක්තිය‘ ඉෂ්ඨ කිරීමය.